දරුවෝ පොඩි කාලෙ මට මේ රස්සාව දාලා එන්න හිතුණා – ශ්‍රීලංකන් හි දැනට සේවයේ යෙදෙන ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවරිය

ඇය චාමිකා රූපසිංහය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ දැනට සේවයේ යෙදෙන ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවරිය ඇයය. ගැහැනියකගේ අධිෂ්ඨානයට, අභිමානය සහිත ධෛර්යයට ළඟා විය නොහැකි ඉලක්කයක් නොමැති බව අපට කියන තවත් ජීවමාන ආදර්ශයක් ලෙස ඇයව හැඳින්විය හැකිය.

මේ අභිමානිත කාන්තාව සමඟ මේ කෙටි පිළිසඳර කෙරෙන්නේ අසීමිත පීඩාවන් හමුවේ ජීවිතය අත්හරින ගැහැනියට ජීවිතය ගැන නව මානයක බලාපොරොත්තුවක් දල්වනු රිසියෙනි. හිටිවනම පෙනී සිටින, යළි දින කිහිපයකට ගුවනේ අතුරුදන්වන දෙවඟනක් බඳු ආදරණීය අම්මා වටා දැවටෙමින් සෙනෙහස සොයන දරු කැකුළු දෙදෙනා අතරම හිඳ, ඇය සිය ජීවිත අරුමය අප සමඟ බෙදා ගත්තාය.

මේ ඒ මියුරු කතාවය. “ අපේ පවුලෙ ගෑනූ ළමයි තුන්දෙනයි. මම පවුලෙ දෙවෙනියා. අපි ඉගෙන ගත්තෙ විශාඛා විද්‍යාලයෙ. මගෙ අම්මා අපිව බලාගෙන අපේ රැකවරණයට හිටියා. තත්තා තෙල් සංස්ථාවෙ අධ්‍යක්ෂවරයෙක් විදිහට රැකියාව කළා.“ “ගුවන් නියමුවරියක් වෙන්න හිතුණෙ කවද්ද කියලා මට මතක නෑ, ඒක පුංචි දවස්වල ඉඳන් මා එක්ක හැදී වැඩුණු හීනයක්.

පොඩි දවස්වල මගේ ප්‍රියතම සෙල්ලම්බඩුව වුණේ බෝනික්කො නෙමෙයි. ගුවන්යානා. ඒත් මගෙ ගෙදරින් ඉතාම තදින් කියපු දෙයක් තිබුණා. අධ්‍යාපනය ඉවර වෙනකම් වෙන කිසිම දෙයකට අත ගහන්න බෑ. මම ඉගෙන ගත්තා. ගණිත අංශයෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරුණා. සරසවියෙදි තමයි ඉතාම දැඩි ලෙස තීරණය කළේ මම ගුවන් නියමුවරියක් වෙනවා කියලා.“ දිරිමත් නොවූ යුවතියකට නම් එය බොහෝ සේ දුර සිහිනයකි.

ඒ අනූව දශකයේ අග භාගයයි. යුද ගිනි ඇවිළෙමින් තිබිණි. වර්ෂ 1998 දී ඇය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සම්මුඛ පරීක්ෂණවලට ගියාය. එහෙත් ගුවන් නියමුවරියන් බඳවා ගැනීමේ පරිසරයක් රට තුළ එවකට තිබුණේ නැත. පෞද්ගලිකව ඉගෙනගෙන ගුවන් නියමු බල පත්‍රයක් ලබා ගැනීම සඳහා දරන්නට වන පිරිවැයේ තරම මේ රටේ මධ්‍යම පාන්තික පවුලකට දැරිය හැකි සීමාවෙන් බොහෝ සේ ඔබ්බෙනි.

එහෙත් ඇය සරසවියේ පළමු වසරේ දී සිය අනාගත ඉලක්කය වෙනුවෙන් මුල්ම ප්‍රායෝගික පියවරක් තැබුවාය. ඒ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක් ලෙස සම්බන්ධ වීමෙනි. “ ඒක ජීවිතයේ දැවැන්ත කැපකිරීමක් කළ කාලයක්. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස රැකියාවට එක් වෙන්නේ විශ්වවිද්‍යාලයෙ පළවැනි අවුරුද්දෙදි. මම සරසවියෙ දි ගණිත අංශයෙන් හැදෑරුවේ සංඛ්‍යානය, වීජගණිතය සහ භෞතික විද්‍යාව.

එය පූර්ණ කාලීන පාඨමාලාවක්. ශ්‍රී ලංකන් ගුවන් සේවයෙ ගුවන්සේවිකාවක් විදිහට මට කරන්න වුණේත් පූර්ණ කාලීන රැකියාවක්. සමහර දවස්වල රැය පුරා ලන්ඩන්වල ඉඳන් කොළඹ ඇවිත් උදේ සරසවියට ගියා. සරසවියෙ හවස් වෙනකම් ඉඳලා පහුවෙනිදා නැවත ගුවන්ගත වුණා.

දවසකට පැය 12ක් 15ක් වැඩ කළා. මේ වකවානුවෙ ඇත්තටම මට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ලැබුණෙ අසීමිත සහ­ායක්. “ “සරසවි එමින්, රැකියාව කරමින් ඉන්න අතරෙ මම සී.අයි.එම්.ඒ විභාගයටත් පෙනී ඉන්න අධ්‍යයන කටයුතු කළා.

ඒ අවුරුදු 03 ඉවරවෙනකොට මම උපාධිය සම්පූර්ණ කළා. සී.අයි.එම්.ඒ විභාගෙත් සමත් වුණා. රැකියාවත් සාර්ථකව කරලා මගේ ඊළඟ සිහිනයට යන්න අවශ්‍ය මුදල් ප්‍රමාණයකුත් සොයා ගත්තා.“ උපාධිය සම්පූර්ණ කරන චාමිකා ගුවන් නියමුවරියක වීමේ අභිලාෂයේ මුල්ම පියවර තබන්නේ රත්මලාන පෞද්ගලික ගුවන් නියමු පාසලකිනි.

එහි පුහුණුවෙන් මූලික ගුවන් නියමු දැනුම මෙන්ම බලපත්‍රයද ලබා ගන්නා ඇය අන්තර්ජාතික තලයේ වලංගුවන ගුවන් නියමු බලපත්‍රය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකන් සමාගමෙන් අධ්‍යයන නිවාඩු සහිතව ඇමරිකානු ටෙක්සාස් ප්‍රාන්තයේ ගුවන් නියමු පුහුණු පාසලකට සම්බන්ධ වුණාය.

එහි දී ගුවන් නියමුවරියක ලෙස සියලු ජාත්‍යන්තර අනුමැතීන් සම්පූර්ණ කරමින් ගුවන් නියමුවරියක සේ බලපත්‍ර ලැබුවාය. අනතුරුව නැවත ගුවන් සේවිකාවක ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක් වූවාය. “ මේ ඉන්න කාලෙදි තමයි ශ්‍රී ලංකන් ගුවන් සේවය කැඩේට් නිලධාරීන්ව බඳවා ගන්න අයදුම්පත් කැඳවනු ලැබුවෙ.

ඉතාම තරගකාරී අවස්ථාවක්. ගුවන් නියමුවරික වෙන්න එකම අවස්ථාව තියන්නෙ ජාතික ගුවන් සේවයේ විතරයි. අයදුම්පත් කැඳවපු පළමු අවුරුද්දෙ මට ඒ අවස්ථාව ලැබුණෙ නෑ. ඒත් ඊළඟ අවුරුද්දෙ යළිත් ගුවන් නියමුවන් සඳහා අයදුම්පත් කැඳෙව්වා. ඒ 2005 අවුරුද්ද.

මට කැඩෙට් නියමුවරියක ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයට බැඳෙන්න අවස්ථාව ලැබුණා. “ඊට පස්සෙ මම පළමු නිලධාරියෙක් විදිහට එයාබස් 320 යානයේ පුහුණුව ලැබුවා. ඊට අවුරුදු කීපයකට පස්සෙ මාව එයාබස් 330 යානයේ පළමු නිලධාරියෙක් විදිහට උසස් කරනු ලැබුවා.

ඒ වකවානුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ එයාබස් 340 යානය තිබුණා. මම එහිත් පළමු නිලධාරියෙක් විදිහට කටයුතු කළා.“ “ඊට අවුරුදු හයකට පස්සේ මාව කපිතාන්වරයෙක් විදිහට උසස් කරනු ලැබුවා. ඒ 2012 අවුරුද්දෙ. ඒ මොහොත තමයි සතුට පිරී ඉතිරී ගිය මොහොත. ..“ එය මහා බරසාර අත්දැකීමකි. එතැන් සිට ජීවිතය යනු රැකියාවය. රැකියාව යනු දරාගත නොහැකි තරම් වූ මහා වගකීමය.

ගැහැනියක ලෙස එය කළමනාකරණය කිරීම යනුම සහජයෙන්ම ගැහැනිය තුළ පවතින අයෝමය ශක්තියේ ඉස්මතු වීමය. අප චාමිකාගෙන් විමසා සිටියේ ඇය සිය ගුවන් නියමු වෘත්තීය ජීවිතයේ ලද අමතක නොවම අත්දැකීම ගැනය. “ එවැනි අත්දැකීම් කිහිපයක් තියනවා… ඇය කියන්නේ සිනාසෙමිනි. ගුවනේ දී සියලුම ජීවිත මෙන්ම යානයේ වගකීම පැවරෙන්නෙ කපිතාන්වරයට. අපට ගුවනෙදි තීන්දු ගන්න ඉතාම කෙටි කාලයක් තියෙන්නේ.

කාලගුණය අයහපත් තත්ත්වයක දී, යාන්ත්‍රික දෝෂයක් ඇතිවුණ තත්ත්වයක දී ගත යුතු ප්‍රශස්ථම පියවර ඒ මොහොතේ ගත යුතුයි. “එහෙම එක් සිදුවීමක් කියන්නම්. අප කොළඹ සිට ගුවන්ගත වුණා. කාර්මික දෝෂ තත්ත්වයක් යානයක වුණාම අප මුලින්ම බලන්නෙ එම දෝෂය ගුවනේදීම නිවැරදි කරන්න පුළුවන් ද කියලා. එදා සිදු වුණේ යානයේ තිබුණු හයිඩ්‍රෙ­ාලික් පද්ධති තුනෙන් ප්‍රධාන පද්ධතියෙ කාන්දුවීමක් ඇතිවීම.

ඒ එක්කම ක්‍රමයෙන් පද්ධතිය දුර්වල වුණා. දැන් අපගෙ ඊළඟ විකල්පය ලඟම තිබෙන ගුවන් තොටුපල වෙත යානය බැස්සවීම. නමුත් අපට ළඟම ගුවන්තොටුපළක් තිබුණෙ නෑ. එයා ට්‍රැෆික් කන්ට්‍රෝලර්ට කියලා යානය නැවත කටුනායකට ගෙනෙන්න තීරණය කළා.

යානය නිරුපද්‍රිතව ගුවන්තොටුපළට ගොඩබැස්සුවා. එහෙත් නැවත සිදුවන නඩත්තු කටයුතු සඳහා යානය ගුවන් පථයෙන් එළියට ඇදගෙන යන්න සිද්ධ වුණා.“ ඇය කියන්නී අසීමිත අත්දැකීම් සම්භාරයකින් අංශුවකි. අප සමඟ කෙරෙන කතාබහ අතරත් ඇගේ පස් වියැති හා සත් වියැති දරුවන් ඇය වටා ගැවසෙමිනි. “ ඔවුන් ගෙදර ඉන්න හැම තත්පරයකම මාව හොයනවා.

මගෙ සැමියා රැකියාව කරන්නෙත් විදේශයක. මේ අය පුංචි කාලෙදි මෙයාලට පේන්නෙ දකින අතුරුදන්වන අම්මා කෙනෙක්. ඉතින් ගෙදර ඉද්දි ඒ අය මට හෙල්ලෙන්න දෙන්නෙ නෑ…“ ඇය සිනාසෙමින් කියන්නීය. අවසාන වශයෙන් ඇයගෙන් විමසුවෙමි. “මේ රටේ පොදු ගැහැනියට ඔබට කියන්න තියෙන්නෙ මොනව ද?“ “ ගැටලු බාධක අප්‍රමාණව ඒවි. ඒත් තමන් බොහෝ සේ කැපකිරීම් කරලා අත්කරගත් ඉලක්ක, රැකියාව අත්හරින්න එපා.

මහත්තයා රැකියාව කරන්නෙ විදේශයක. මගෙ පැටවු පොඩි කාලෙ මටත් අනන්ත හිතුණා මේ රස්සාව දාලා ඇවිත් ඔවුන් එක්ක ජීවත් වෙන්න. ඒත් මතක තියාගන්න අවශ්‍යයි. ඔවුන් ඉක්මනින් ලොකු මහත් වෙනවා. ලෝකය තෝරගන්නවා. ඔවුන් වෙනුවෙන් ඔබ ඔවුන්ට වගේම රටටත් ඔබේ වගකීම ඉටුකළ යුතුයි…“ ජීවත්වීම යනු හැඟීම්, බුද්ධිය හා ආකල්ප කළමනාකරණය ය. ගැහැනියක සතු ඒ ආදර්ශවත් පරිචය ඈ සතු බව විශ්වාස කරමි.

Next Post

මුත්‍රා ගල් දියකර හැරීමේ අපූරු හැකියාවක් ඇති හුරු නැති ගුණ ඇති අක්ක­පාන සම්බෝ­ලය

Fri Mar 5 , 2021
කුඩා කල අප පොත් ඇතුළේ දමා අක්කපාන කොළ මුල් ඇද්ද වූ හැටි ඔබට මතක ඇති. බහුල වශයෙන් ගල් තලා මත වර්ධනය වන අක්කපාන ගසේ කොළ ආහාරයට ගත හැකි බව බොහෝ දෙනා නොදන්න කරුණක්. වර්තමානයේ අක්කපාන වැඩකට නැති ගහක් ලෙස හඳුන්වන්න පුරුදු වී සිටියත් එය ඖෂධීය ගුණයෙන් සපිරි ආහාරයට ගත හැකි […]

Breaking News