එයාර්ලංකා මොනරා වෙනස් කිරීමේ දුක තුරු තියේවි – තමන්ගෙ නිර්මාණ ගැන දුක් වෙන තවත් එක් මිනිසෙකුගේ කතාවක්

තිස්පස් වසරකට පෙර එයාර්ලංකා ගුවන් සේවාවේ මොනරා ලකුණ ඇන්දේ ඔහුය. ඒ මොනරා ලෝකය වටේම ගියේය. එදා මොනරා ඇඳි ඔහුට ලැබුණ තෑග්ග වුණේ එංගලන්තයේ මසක සවාරියකි. කලකට පසු ඒ මොනරා වෙනස් විය.

අපේ නිර්මාණ ශිල්පියා එයින් අතිශය කනගාටුවට පත්වූයේය. එහෙත් ඔහු බොහෝ දිගු ගමනක් ගියේය. ලාංඡන පමණක් නොව බොහෝ වෙළෙඳ දැන්වීම් ද නිර්මාණය කළේය. බොහෝ ව්‍යාපාරවල ආරම්භක ලාංඡන නිර්මාණකරු ඔහුය. ඔහුගේ නිර්මාණ අද ද මෙරට ඉතා ජනප්‍රියය.

දැන්වීම් කලාවේ දැවැන්තයකු වන ඔහු ශාන්ත සපරමාදු ය. “කුඩා කාලයේ සිට චින්‍ර අඳින්න දස්සකම් පෙන්වපු මම චිත්‍ර අඳින දෙස මගෙ තාත්තා බලාගෙන හිටියේ බොහෝම ආශාවෙන්. මගෙ අම්මා රානි සපරමාදු. තාත්තා සිරිල් සපරමාදු. තාත්තාට ඕන වුණෙ මගේ හැකියාවන් වඩාත් හොඳින් දියුණු කරන්න. අද මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. නමුත් ඔහු කොහේ හෝ සිට මා ලබා ඇති ප්‍රගතිය දෙස බලා සිටිනවා ඇති කියලා මං හිතනවා.

මම හැම විටම කැමැති මම කරපු දේ පිළිබඳව කතා කරනවට වඩා මට ඉදිරියට කරන්නට තිබෙන දේ පිළිබඳව කතා කරන්නයි.” දැන්වීම් ‍ක්ෂේත්‍රයේ මෙන්ම ලාංඡන ලෝකයේ දැවැන්තයෙකු වන ඔහු විසින් කළ නිර්මාණ බොහෝය. එදා මෙදාතුර ඔහු විසින් කරන ලද ලාංඡන සෑම එකක්ම පාහේ ජනතා මතකයේ රැඳී ඇත්තේය. කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව, සණස බැංකුව, මංචි බිස්කට්, ස්වර්ණවාහිනි, බ්‍රවුන් සමූහ ව්‍යාපාරය, ලිට්ල් ලයන්, රොබියලැක්, නිපොලැක්, කොත්මලේ, කිස්ට්, ටර්කි ඔයිල් ආදි වූ වෙළෙඳ ලාංඡන බොහොමයක් නිම වී ඇත්තේ ඔහුගේ අතිනි.

වසර තිස් පහක් යනු සුළුපටු කාල පරාසයක් නොවේ. අතීතයේ දවසක ඔහුගේ ගමන් මඟ අලුත් කළේ ඔහු පිළිබඳ කවුරුත් කතාබහ කරන්නට ඉදිරිපත් වූයේ එම ලාංඡනයත් සමඟය. එය නම් එයාර් ලංකා ගුවන් සමාගම වෙනුවෙන් ඔහු ඇඳි මොනර ලාංඡනයයි. “මම එම ලාංඡනය ඇන්දේ තරගයක් සඳහා. ඒ එයාර් ලංකා ගුවන් සේවාවට ලාංඡනයක් තෝරා ගැනීම සඳහා වූ තරගයයි. තරගය සඳහා ලාංඡන තුන්දහසක් පමණ ලැබී තිබෙනවා. ඒ අතරින් තමයි මට අවස්ථාව ලැබුණේ. මගේ ලාංඡනය පළමු තැනට තේරීම නිමිත්තෙන් ලැබුණ තෑග්ග තමයි සියලු වියදම් සහිතව මාසයක කාලයක් එංගලන්ත සංචාරයක් ලැබීම.

එංගලන්තයට ගිය ගමනේදී මට තවත් බොහෝ දේ ඉගෙන ගැනීමට ලැබුණා. මම මේ ලාංඡනය සඳහා මොනරා නිර්මාණය කිරීමේදී වඩාත්ම සැලකිල්ලක් දැක්වූවා. මම මොනරා නිර්මාණය කළේ ගුවන් යානයේ ගමනත් සමගම මොනරත් යන විදිහට. ඉදිරියට යන ආකාරයට. ලාංඡන නිර්මාණයේදී මොනරාගේ පිහාටු පහ යෙදුවේ පංචශීලය මුල්තැන දෙමින්. මොනරාගේ හිස මුදුනේ පිල් තුන යෙදුවේ ත්‍රිවිධ රත්නය සිහිපත් කරලා. එයාර් ලංකා ගුවන් සේවාව වෙනුවෙන් ලාංඡනය නිර්මාණය කිරීමේදී මුලින්ම හිතට ආවේ දඬුමොනරයයි. රාමායනයේදී රාවණා ලී වලින් හැදු දඬු මොනරා යානය මගේ මතකයට ආවා.

මේ සියලු සිතුවිලි එකට එකතු වී තමයි මොනරා ගොඩ නැඟුණේ. මට මතකයි එක් විදේශීය සංචාරයකදී ඇමෙරිකාවේ ගුවන් තොටුපළක නවතා තිබු එයාර් ලංකා ගුවන් යානයක සිටි මොනර ලාංඡනය දුටුවම මට පුදුම සතුටක් දැනුණා. බොහෝ රටවල ගුවන් සමාගම්වල නිල ලාංඡනය කුරුල්ලෙක්. නමුත් මං හිතනවා එදා අපේ මොනරා තරම් මේ කිසි කුරුල්ලෙක්ගේ රුවක් පැහැදිලි නැහැ කියලා. නමුත් මීට කලකට පෙර මේ මොනර ලාංඡනය වෙනස් වුණා. අලුත් ලාංඡනය දුටුවාම මගේ හිතට පුදුමාකාර දුකක් දැනුණේ. මං මැරෙනතුරු ඒ කනගාටුව මගෙ හිතෙන් නැති වෙන්නෙ නැහැ.” ශාන්ත පවසන්නේ බොහෝ කනගාටුවෙනි.

වසර තිස් හතකට පෙර එයාර් ලංකා මොනර ලාංඡනය ඇඳ එංගලන්තයට සවාරියක් යාමට අපේ ශාන්තට වාසනාව ලැබුණ ද; නව ලාංඡනය ඇඳීම සඳහා බොහෝ වියදම් දරා නිර්මාණ ශිල්පියකු ගෙන්වා ගෙන ඇත්තේ එංගලන්තයෙන් බව ශාන්ත කියයි. ග්‍රාන්ට් දැන්වීම් ආයතනයෙන් වෘත්තිය ජීවිතය ඇරැඹි ශාන්ත ඉන් පසුව සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත්ව තිබු ග්‍රේස් දැන්වීම් අංශයට සම්බන්ධ වූයේය.

එහි කළමනාකාර අධ්‍යක්ෂ වශයෙන් බොහෝ කාලයක් කටයුතු කළ ඔහු ඒ කාලය තුළ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ බොහෝ ව්‍යාපාරවලට ලාංඡන නිර්මාණය කළේය. “මට මතක හැටියට මම සෙලින්කෝ ආයතනයට සම්බන්ධව ලාංඡන දෙසීය පනහකට වැඩි සංඛ්‍යාවක් ඇඳලා ඇති. සෙලාන් බැංකුව ආරම්භ කිරීමට යාමේදී සෙලින්කෝ ව්‍යාපාරයේ නිර්මාතෘ ලලිත් කොතලාවල මහත්මයා මට කිව්වා ‘ඔහුට අවශ්‍ය හදවතක් ඇති බැංකුවක් රට තුළ ඇති කරන්න’ කියලා.

ඒ නිසා එයට හොඳ ලාංඡනයක් අවශ්‍ය බව කිව්වා. ඊට පස්සේ තමයි මම ඉංග්‍රීසි S අකුරු දෙකක් එකට එකතු කරලා හදවතක් හැඩයට ගත්තේ. සෙලාන් බැංකුවේ එම ලාංඡනය නිර්මාණය කිරීමෙන් පසුව මම මෙහෙම වාක්‍යයක් යෙදුවා. ‘සුහද හදක් ඇති දේශීය බැංකුව’ ඔහු කලක් සෙලින්කෝ සමූහ ව්‍යාපාරය සමඟ එකට බැඳී කටයුතු කළේය. නමුත් ඔහු මීට අවුරුදු ගණනකට පෙර එම ආයතනයෙන් ඉවත් වුණේ අනාගත අරමුණක් ඇතිවය. “ඇත්තටම මට ඕන වුණේ මගේ පුතාලා දෙන්නට මේ දැන්වීම් කලාව උගන්නන්න.

මට අවශ්‍ය වුණේ පුනිත් හා විශ්වජිත් පුතාලා දෙන්න මේ ආයතනය කරගෙන යනවා දකින්න. මගේ ඒ බලාපොරොත්තුව දැන් ඉටුවී තිබෙනවා. මම සෙලින්කෝ ආයතනයෙන් ඉවත් වෙද්දි එහි සභාපති ලලිත් කොතලාවල මහත්මයා මට දුන්න තෑග්ග තමයි ග්‍රේස් දැන්වීම් ආයතනය. එදා ඒක අයත්ව තිබුණේ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට.” ගෙවී ගිය කාලය තුළ ඔහු බොහෝ වෙළෙඳ ලාංඡන නිර්මාණය කෙළේය. අද රටේ ප්‍රසිද්ධ බොහෝ ආයතනවල ලාංඡන නිමැවුම්කරු ඔහුය.

ඔහුට ඔහුගේම ක්‍රමවේදයක් ඇත. “බොහෝ ආයතන ප්‍රධානින් ඔවුන්ගේ ආයතන ආරම්භ කිරීමට පෙර ලාංඡන නිර්මාණය සඳහා මා සමඟ කතාබහ කරනවා. ඔවුන් ඔවුන්ට අවශ්‍ය අදහස දෙනවා. මම ලාංඡන නිර්මාණයේදී බොහෝ විට ඔවුන්ගේ අදහස අනුව එක් ලාංඡනයකුත් මගේ අදහස අනුව තවත් ලාංඡනයකුත් අඳිනවා. බොහෝ විට මේ ලාංඡන දුටුවාම ඒ ආයතන ප්‍රධානීන් එක්කෝ ඒ දෙකෙන් එකක් තේරිමට මට පවරනවා. එහෙම නැත්නම් මං ඇඳපු ලාංඡනය ඔවුන් තෝරා ගන්නවා.

මට මතකයි ස්වර්ණවාහිනි රූපවාහිනි ආයතන ආරම්භ කිරීමට පෙර ආචාර්ය සෝමා එදිරිසිංහ මහත්මියයි, එවකට අධ්‍යක්ෂ හැටියට කටයුතු කළ අභාවප්‍රාප්ත එච්. ඩී. ප්‍රේමරත්න මහත්මයයි මට ඔවුන්ගේ අවශ්‍යතාව කිව්වා. අධ්‍යක්ෂ මණ්ඩලයට උවමනා වී තිබුණේ කතරගම කඳසුරිඳුන්ගේ මොනරා, ලාංඡනය සඳහා යොදා ගැනීමට. මම ඔවුන්ගේ අදහස්වලට ගැළපෙන්න ස්වර්ණවාහිනි රූපවාහිනි නාළිකාවේ ලාංඡනය නිර්මාණය කළා.” ඔහු අතීතයේ කළ නිර්මාණ බොහෝය.

ඒ අතරින් අප ඔබට කිව්වේ අපේ මතකයේ රැඳී ඇති නිර්මාණ කිහිපයක් පමණි. නමුත් අද ව්‍යාපාරික ලෝකය දෙස බැලු විට ඔහු විසින් නිර්මාණය කළ ලාංඡන සිය ගණනකටත් වඩා අපට සොයා ගැනීමට පුළුවන. ඔහු ඒ සියලු ලාංඡන අඳින්නේ අතිනි. ඔහු පරිගණකය යොදා ගන්නේ ආධාරකයක් ලෙසින් පමණක් වීම විශේෂිතය. ලාංඡන නිර්මාණය පමණක් නොව රූපවාහිනි ගුවන් විදුලි දැන්වීම් ද ඔහු විසින් නිර්මාණය කරන්නේය. එහෙත් ඔහු මේවාට තනි අයිතියක් කියන්නේ නැත.

ඔහු එදෙස බලන්නේ සාමූහික නිර්මාණයක් දෙස බලන අයුරිනි. “මගේ පුතාලා දෙන්නම දැන්වීම් කරණයේ නියැළෙනවා. අද ගුවන් විදුලි රූපවාහිනී දැන්වීම් කරන්නේ ඔවුන්. මෙතරම් නිර්මාණ කාර්යයක් කිරීමට තරම් මට මානසික නිදහසක් ලැබුණේ මගේ බිරිය අනුලාගෙන්.” ඔහු ඒ සියලු දැන්වීම් කලාවන් ගෙන් මිදුණු විට මූර්ති ශිල්පියකු මෙන්ම ඡායාරූප ශිල්පියකු ලෙස ද පෙරමුණ ගෙන සිටී. ශාන්ත එක්දහස් නවසිය අනූපහ වසරේදී හොඳම නළුවාට හිමි සරසවි සම්මානයෙන් පිදුම් ලැබුවේය.

ඒ නොමියෙන් මිනිසුන් චිත්‍රපටයේ ප්‍රභාකරන්ගේ චරිතය රඟපෑම වෙනුවෙනි. එතැනින් ඔහුගේ රඟපෑම අවසන් වූයේ නැත. ඉන් පසුව ද ඔහු චිත්‍රපට කිහිපයකම රඟපෑවේය. අද වන විට දැන්වීම් ක්ෂේත්‍රයේ මෙන්ම ලාංඡන නිර්මාණකරණයේ නොමැකෙන නාමයක් තබා ඇති ඔහු ඇසුරේ ගුරුහරුකම් ලැබු නිර්මාණ ශිල්පීන් ද බොහෝය. වසර ගණනාවක සොඳුරු නිර්මාණ දිවියක් ඇතුළත් අතීතයකට හිමිකම් කීව ද ඔහු විටෙක සිතෙන් තැවෙයි.

ඒ තම නිර්මාණයට වූ නොසලකා හැරීම වෙනුවෙන්ය. “එදා එයාර් ලංකා මොනරා අඳින්න මට හුඟක් අමාරු වුණා. මට තේමාවක් තිබුණා. නමුත් මං ඒ ලාංඡනය සාර්ථකව ඇන්දා. එය හොඳම නිර්මාණය හැටියට තේරුණා. මං හුඟක් ජනප්‍රිය වුණා. නමුත් එදා ඇඳපු නිර්මාණයට අසාධාරණයක් සිදුවුණේ. එම නිර්මාණයේ නිර්මාණකරු ජීවතුන් අතර සිටිද්දීමයි ලාංඡනය පිටරැටියෙකු ලවා නිර්මාණය කළේ. මගේ මරණය දක්වාම ඒ ගැන ඇතිවුණ කනගාටුව නැතිවෙන්නේ නැහැ.”

ඉනෝකා සමරවික්‍රම

Next Post

කලින් කසාදේ මඟහැර සිටි ටෙලි නාට්‍ය නළුවා

Tue Feb 23 , 2021
අධි_කරණ නියෝග නොසලකමින් සිය බාල_වයස්කාර පිරිමි දරුවන් දෙදෙනාට නඩත්තු මුදල් ගෙවීම හිතාමතා පැ.හැර හරිමින් අධි_කරණය මඟ හැර සිටින ටෙලි නාට්‍ය නළු ගයාන් ප්‍රසාද් වික්‍රමතිලක ඊයේ(22දා) වැනිදා න_ඩුව මහර අංක එක අධි_කරණයේදී යළි කැඳවූ අවස්ථාවේදීද අධි_කරණයට ඉදිරිපත් වී නොසිටි බැවින් නැවත වාරයක් සිතාසි නිකුත් කරන්නැයිද එම සිතාසි ඔහු විසින් ලබාදී ඇති […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News