නිවුන්නු හත් දෙනාගේ පන්ති කාමරේට ගියෙමු

කෑගල්ල ශාන්ත මරියා විදුහලේ පළමු ශ්‍රේණියට තෝරාගත් සිසුන්ට මුලින්ම පන්ති ඇර​ඹුණේ ඉකුත් දාහත් වැනිදාය. හා හා පුරා කියා පන්තියේ වාඩි වී අකුරු කරන්නට දරුවෝ එකසිය හතළිහක් පමණ එදා ඉස්කෝලෙට පැමිණ සිටියෝය. ඒ අතරේ සිටි සිසුන් හත් දෙනා මුළු ඉස්කෝලෙම අවධානය දිනා ගත්තේය.

ඉස්කෝලේ පමණක් නොව දැන් මුළු රටේම අවධානය දිනා ගෙන සිටින මේ දරුවන් හත් දෙනා නිවුන්නුය. හත් දෙනා අයත් වන්නේ පවුල් තුනකටය. පවුල් දෙකක සිටින්නේ නිවුන් දරුවන් දෙදෙනා බැගිනි. අනෙක් පවුලේ තුන් නිවුන්නුය. පළමු වසරට ඇතුළත් වීමට නිවුන්නු හත් දෙනෙක් ශාන්ත මරියාවට ආවේ ඒ ඉස්කෝලේ වසර 154ක දිගු ඉතිහාසයේ මුල් වරටය.

ශාන්ත මරියාවේ පමණක් නොව ලංකාවේ ඉස්කෝලේක මෙවැනි දෙයක් වූ මුල්වතාවද මෙය වන්නේය. මේ කාලේ ජනප්‍රිය ඉස්කෝලෙක පළමු වසරට දරුවකු ඇතුළත් කර ගන්නවා කියන්නේ මහා බැරෑරුම් කාර්යයකි. අන්තිමේදී බොහෝ දෙමවුපියෝ ඒ කාර්යයෙන් පරදින්නෝය.

එක දරුවෙක් ජනප්‍රිය පාසලකට ඇතුළු කර ගැනීමට නොහැකි වූ කාලයක නිවුන්නුන් ජනප්‍රිය පාසලක පළමු ශ්‍රේණියකට දා ගැනීම වූ කලී හිතන්නටත් බැරි සිද්ධියකි. එහෙත් කෑගල්ල ශාන්ත මරියා විදුහලට මේ නිවුන්නු ඇතුළත් කර ගැනීමට ඔවුන්ගේ දෙමාපියන්ට හැකි වූයේ ඉස්කෝලේ කිට්ටුවේ පදිංචිකරුවන් වීම හා ආගමික පදනම නිසාය. “නිවුන් දරුවන් හත් දෙනා අපේ ඉස්කෝලෙට ඇතුළත් වන බව තේරීම් කමිටු හරහා සුදුසුකම් පරීක්ෂා කරද්දී මා දැන ගත්තා,

නමුත් නිවුන් දරුවන්ගේ දෙමාපියන් ඔවුන්ගේ දරුවන්ට අමතරව තවත් නිවුන්නු ඇතුළත් වෙනවා කියලා දැන ගත්තේ පාසල වෙත දරුවන් සමග පැමිණි පසුගිය 15 වැනිදාය. එදා මම ප්‍රාථමික අංශයේ ගුරුවරුන් කැඳවා එම දරුවන් වෙන් නොකොට පවුල් තුනේ නිවුන් දරුවන් පන්ති කාමර තුනකට යොමු කරන්න කියලා උපදෙස් දුන්නා.

මවුකුසින් බිහි වූ දා සිට එකට සිට එකම ක්‍රියාකාරකම්වල නිරත වෙමින් එකවිට බොහෝ ක්‍රියාකාරකම්වල නිරත වීම නිවුන් දරුවන් විසින් කරන නිසා තමයි එම සහෝදර කණ්ඩායම්වල නිවුන් දරුවන් පන්ති කාමර තුනකට එලෙසින්ම යොමු කළේ.” කෑගල්ල ශාන්ත මරියා විදුහලේ විදුහල්පති ඩබ්ලිව්.එම්. සමන් ඉන්ද්‍රජිත් කීවේය.

මේ අපූරු දරුවන් හත් දෙනා ඉස්කෝලේ අකුරු කරන හැටි බලන්නට ඉකුත් 17 වැනිදා අපි ඔවුන් සිටින පන්ති කාමරය ළඟට ගියෙමු. පාට බෙදා හදා ගනිමින් එකම මේසයේ වාඩි වී ගුරුතුමිය විසින් චිත්‍ර පොතේ ඇඳ රවුම පිට පනින්නේ නැතිව ක්‍රමයෙන් පාට කරන අන්දම එහි ගොස් ටික වේලාවක් පන්ති කාමර අසල බලා සිටි අපට දැක ගැනීමට හැකි විය.

එම පන්ති කාමර භාර ආචාර්ය මණ්ඩලයෙන් අපි ප්‍රශ්නයක් ඇසුවෙමු. කොහොමද මේ දරුවන් හඳුනා ගන්නේ. ‘‘මෙම දරුවන්ගේ කෙටි නම යොදා කමිසයේ සවි කර ඇති ටැග් එක කියවලා නමින් දරුවන් හඳුනා ගන්නවා. නමුත් දරුවන් එක වර හඳුනා ගැනීම පහසුවන්නේද නෑ.

සමහර පුතාලාගේ ශාරීරික වෙනස්කම්වලින් හඳුනා ගන්න පුළුවන්. කොහොම වුණත් මේක අපූර්ව අත්දැකීමක්’’ ගුරවරියෝ කියන්නෝය. මේ කතාව කියූ විට කලකට ඉහතදී අපේ හිතවත් ගුරුවරියන් කී කතාවක් සිහි විය. දිනක් ඇය ඉස්කෝලේදී තම පන්තියේ සිටින දරුවෙක් කළ දඟකාර වැඩක් දුටුවාය. හදිසියේ වෙන වැඩකට යමින් සිටියදී සිසුවාගේ දඟ වැ​ඩේ දුටු නිසා ඇය ඔහුට දඬුවම් නොකර ගියාය.

යළි පන්තියට පැමිණි ඇය වේවැල අතට ගෙන සිසුවාට දෙක තුනක් ගහද්දි ඔහු අඬමින් මෙසේ කීවේය. අනේ මිස් ගහන්න එපා. මම දඟ කළේ නෑ. මල්ලි තමයි පන්තියෙන් මිස් නැති වෙලේ එළියට ගියේ. බැලින්නම් පස්සේ ගුටි කෑවේ මල්ලි වෙනුවට අයියාය.

ඔවුන් දෙන්නා නිවුන්නුය. ඒ කතා කෙසේ වෙතත් නිවුන්නු උදෙන්ම ඉස්කෝලේ යවනවා කියන්නේ මහා යුද්ධයකි. එක දරුවකුට නොව දෙතුන් දෙනෙක්ට එකවර ඇඳුම් ඇන්දිය යුතුය. බත් කැවිය යුතුය. පයින් යන්න බෑ කීවොත් වඩාගෙන යා යුතුය. ඒ මොන කතා කීවත් දරුවන් කියන්නේ අම්මල තාත්තලාගේ වටිනාම වස්තුවය.

කෑගල්ලේ කළුගල්ලේ කේ.එම්.ඩී. සාලිකා සම්මානනි. කොස්ගල්ලන (36) ඩබ්ලිව්. තිවංක මහේෂ් මුණසිංහ (38) ට නම් එක වස්තුවක් නොව වස්තු තුනක් සිටින්නේය. ශාන්ත මරියාවට යන නිවුන්නු තුන් දෙනාගේ දෙමාපියෝ ඔවුහුය. ඔවුන්ගේ ගෙදර සිට ඉස්කෝලෙට ඇත්තේ මීටර් හාරසියයකි.

සාලිකා කෑගල්ල මහ රෝහලේ රසායනාගාර තාක්ෂණික නිලධාරිනියකි. ගැබිනියක වූ සාලිකා වෛද්‍ය පරීක්ෂණ කරද්දී කාසල් රෝහලේ විශේෂඥ වෛද්‍ය ගාමිණී පෙරේරා කියා ඇත්තේ සාලිකාට දරුවන් තිදෙනෙක් ලැබීමට සිටින බවය. එදා ඉඳන් ඇය පරිස්සම් වූවාය.

නිරෝගීමත් දරුවන් තිදෙනෙක් 2015 දෙසැම්බර් 16 වැනිදා මෙලොව එළිය දුටුවේ කොළඹ කාසල් මහ රෝහලේදීය. මේ තිදෙනාම පිරිමි දරුවන් වන නිසා ඔවුන්ගේ සතුට තවත් වැඩි විය. උපත ලැබූ සිඟිත්තන්ගේ වැඩිමහල් පුතණුවන් ඩබ්ලිව්. නෙතුන් මෙත්දිනු මුණසිංහ, දෙවැනි පුතණුවන් ඩබ්ලිව්. විදුන් වින්දිනු මුණසිංහ, බාලයා ඩබ්ලිව්. සිතුන් නෙත්දිනු මුණසිංහ ලෙසින් ලස්සන නම් තුනක්ද පියා තැබුවේය. දරුවන්ගේ කරදඬු උස් මහත් වී ඔවුන් මොන්ටිසෝරි යන වයස එළඹුණේය. ඇතැම් දවසක එක දරුවෙක් තමා වඩාගෙන යන ලෙස මාපියන්ට කියන්නේය.

එවිට ඇය කරන්නේ වඩා ගන්නා කියූ දරුවාගේ අත් දෙක අනෙක් දරුවන් දෙන්නාට අල්ලා ගන්නට කියා ඔවුන් තුන් දෙනාටම වෙනසක් නොවන ලෙස කළමනාකරණය කර ගැනීමය. මොන්ටිසෝරි යන කාලයේ සිට මේ දක්වා දරුවන්ගේ වැඩ කර ගැනීමට සාලිකාට ඇගේ දෙමවුපියන්ගෙන් ලැබෙන්නේ ලොකු සහායකි. උදේ ඉස්කෝලෙ යන්න දරුවන්ට ඇඳුම් මැදලා දුන්නාම ඔවුන් ඇඳ ගන්නවා. තුන් දෙනාම උදේට කන්නේ බත්. ඒ නිසා එකට තියලා තුන්දෙනාට කවනවා.

කන්න අකැමැති නම් කෑම පෙට්ටියක දමලා දෙනවා. දුන්නාම ඒ තුන්දෙනා කාර් ඒකේ යන අතරේ කනවා. ඇය කියන්නීය. දරුවන් තුන්දෙනා හරි සමගියි. මෙයාලාගේ අයියා තමයි නෙතුන්. එයා තමයි අනිත් දෙන්නා බලා ගන්නේ.

කෑමට කලින් නෙතුන් මල්ලිලාගේ කෝප්ප සෝදලා වතුර ගෙනත් මේසය උඩ තියනවා. තුන්දෙනා පුංචි රණ්ඩු වෙනවා. නමුත් කවදාවත් කවුරුවත් පාවා දෙන්නේ නැහැ. නිදියන්නේ කෑම කන්නේ නාන්නේ එකට. මෙයාලගෙන් එක් කෙනකුට ලෙඩක් හැදුණොත් අනිත් දෙන්නා සංවේදී වෙනවා.

ඒ වාගේම අපිට ලෙඩක් හැදුණොත් එයාලා දුක් වෙනවා. දෙමාපියන්ට වාගේම අපේ අම්මලා තාත්තාලටත් ගොඩක් ආදරෙයි. තුන් දෙනාම පෙරපාසල් රඹුක්කන ‘රොස් බයිඩ්’ එකට යනකොටත් ඒ වස​​රේ නිවුන් දරුවන්ට හිටියේ මේ තුන් දෙනා විතරයි.

ලොකු වුණාම කවුරු වෙන්නද කැමති කියලා මම නෙතුන්ගෙන් විමසීමක් කළාම ඔහු කීවේ දොස්තරවරයෙක් වෙන්න කියලා. එතකොට විදුන් සහ සිතුන්ද අපිට කීවේ අයියා වැඩ කරන රෝහලේ අපි දෙන්නාත් අයියා වාගේම දොස්තරවරු වෙලා සේවය කරන්න කැමැති බවයි.

කාටුන් බලන්න අත්තම්මාගේ අත්තාගේ ලස්සන කතන්දර අහන්න අත්තම්මා කියන මහදැන මුත්තාගේ කතාව අහන්න හරි කැමැති බව අපට තුන්දෙනාම කීවෝය. මේ දරුවන් තුන් දෙනාම එකම ගෙදර ඉන්නකොට එකම පාට ඇඳුම් අදිනවා කියලා ඔබ කීවා.

එහෙම වුණාම මේ පුංචි පැටව් හඳුනාගන්නේ කොහොමද? අපි සාලිකාගෙන් ඇසුවෙමු. මුල් දවස්වල නම් ටිකක් පැටළුණා. එකම පාට ඇඳලා නිදා ගෙන ඉන්නකොට එක පාරම අඳුනාගන්න බැරි වෙනවා. අනික් වේලාවට හඳුනාගන්න පුළුවන්. තුන් දෙනාගේ මුහුණු වෙනස්කම් තියෙනවා.

වැඩිමහල් පුතයි තුන්වැනියායි එකට තිබ්බොත් පිට කෙනකුට හඳුනා ගන්න ටිකක් අමාරුයි. අපිට අපේ අම්මලා තාත්තලාට දැන් නම් මේ අය පැටළීමකින් තොරව හඳුනා ගැනීමට පුළුවන්. නමුත් මාස්ක් දාලා ඉන්නකොට නම් හඳුනාගන්න බැහැ.

මුහුණේ ඉරියව්වලින් හිසෙන් අත්වලින් හඳුනා ගැනීමට හැකියි. වෑකුඹුර, බෙලිගල ලසන්ති ලලනි (36) සහ 38 හැවිරිදි එල්.ආර්. ලියනගේ යන මවුපියන් දෙපොළට උපන් එල්, යෙතුල සස්විඳු ලියනගේ සහ එල්. මෙතුල සස්මිර ලියනගේ දරුවන් දෙදෙනා මෙවර ශාන්ත මරියා පාසලේ පළමු වසරට ඇතළත් වූ නිවුන්නු ජෝඩුවකි.

මේ දරුවන්ගේ මව කෑගල්ල මහ රෝහලේ රාජකාරි කරන්නීය. ​ඇයට වැඩිමහල් පුතෙක්ද සිටින්නීය. පුතාට වයස අවුරුදු 8කි. ඔහු ඉගෙන ගන්නේද ශාන්ත මරියා විදුහලේය. මේ අත්දැකීම ගැන අපි ඉන්නේ හරි සතුටින්. මේ දෙන්නා ලැබෙන්න ඉන්​නකොට අපි මුලින්ම දැනගත්තා.

වෛද්‍ය පරීක්ෂණයකට යොමු වෙලා ස්කෑන් කළාට පස්සේ. කෑගල්ල මහ රෝහලේදී තමයි මේ දෙන්නා උපත ලැබුවේ. එදානම් අපි දෙන්නට ගොඩක් සතුටු හිතුණා. දරුවන්ගේ පියා වන ලියනගේ කීවේය. මට ඉන්න දරුවෝ තුන්දෙනාම පිරිමි දරුවන්.

අපේ තාත්තටත් පිරිමි දරුවන් 5 දෙනෙක් හිටියා. මගේ අයියාටත් නිවුන් දරුවන් ඉන්නවා පුතයි දුවයි. මේ දෙන්නා තනිවම සෙල්ලම් කරමින් ඉන්න කැමතියි. අයියාට මල්ලි හරි ආදරෙයි. කෑම බෙදලා දෙනවා අයියාට. මේ දෙන්නාගේම අයියා ස්කෝලේ යන නිසා පුංචි දවස්වල ඉඳන් ඉස්කෝලේ යන දවස අපෙන් හැමදාම අහනවා.

හැමදාම නිදියනකොට අහනවා. තවත් දවස් කීයක් නිදියන්න ඕනද ස්කෝලේ යන්න කියලා. පිට අය පාසල් යන්නේ කවද්ද කියලා පුතාල දෙන්නගෙන් අහනකොට පුතාලා කියන්නේ ‘‘යන්නේ සෙම්මේරිස් යන දවස දන්නේ තාත්තා තමයි කියලා’’ ලොකු පුතා ගෙදරදි පාසල් ගීතය කියන නිසා මේ දෙන්නාටත් දැන් පාසල් ගීතය පාඩම්.

උදේ මෙතනට ආපු වෙලාවේ පාසල පටන් ගන්නකොට ගීතය යනකොට මේ දෙන්නාත් කීවා. මමත් උසස් පෙළට ආවේ මේ විද්‍යාලයට යැයිද දරුවන්ගේ පියා පැවසීය. ඒ නිසා ආදි ශිෂ්‍ය පදනම යටතේ මට පහසුවෙන්ම දරුවන් මේ පාසල ට ඇතුළත් කිරීමට හැකි වුණා. අපි මේ නිවුන් දරුවන් දෙදෙනාගේ අයියාගෙන් ඇසුවා ලොකු වුණාම කවුද වෙන්නේ කියලා.

අයියා නම් කීවේ යුද්ධයට යන්න ඕනෑ නිසා හමුදා නිලධාරියෙක් වෙනවා කියලා. මල්ලි නම් කීවේ දොස්තර කෙනෙක් වෙනවා කියලා. ඒ කරලා බෙහෙත් දෙනවා කියලා. ලියනගේ පවුලට මුලින්ම තිබුණේ නිවුන් දරුවන්ට සිටින දෙමාපියන්ට ඇතිවන පොදු ප්‍රශ්නයය.

දරුවෝ දෙන්නාම එක වාගේ. මට නම් බැලූ බැල්මට හඳුනා ගැනීම ටිකක් අමාරුයි. කොහොමද මේ අම්මායි තාත්තායි මේ දරුවෝ නිවැරදිව වයස් මට්ටම අනුව දරුවන් දෙන්නා හඳුනා ගන්නේ. අපිට නම් මුල් කාලයේ එක පාරින් හඳුනා ගැනීමට අපහසු වුණා. ගොඩක් වෙලාවට හඳුනා ගන්නේ ලොකු පුතාගේ හිසේ සුළි සහ පොඩි පුතාගේ හිසේ සුළිවලින්. ලොකුගේ සුළි එකයි පොඩි පුතාගේ සුළි දෙකයි.

ලොකු පුතාගේ තොලේ ලපයක් තියෙනවා. ඒ මගින් හඳුනා ගන්නවා. නමුත් මෙයාලාගේ අයියාට අයියා මල්ලි එක පාරින්ම හඳුනා ගැනීමට පුළුවන් අපිටත් දැන් නම් පැටළෙන්නේ නැතිව මේ පවතින වෙනස්කම් අනුව හඳුනා ගත හැකියි.

එම කතා බහෙන් පසුව අපි කතා කළේ එච්.එම්.ඩී. සෙනුන සියොන් සහ එච්.එම්.ඩී. සෙනුශ ඩිලන් නිවුන් දරුවන්ගේ දෙමාපියන් වන 40 හැවිරිදි සී.එම්.සී. මහදාන ආරච්චි (40) හා සම්පත් තුෂාර (41) සමගයි. මෙම දරුවන් මෙම පාසලට පැමිණෙන්නේ කුඩටම, රඹුක්කන සිටයි. තුෂාර ව්‍යාපාරිකයෙකි. ඔහුගේ බිරිය රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි කරන්නීය.

ඔවුන් දෙදෙනා කියන්නේ තමන් සහ ස්වාමියා රෝමානු කතෝලික නිසා එම පදනමෙන් දරුවන් පාසලට තෝරා ගන්නා ප්‍රතිශතය අනුව දරුවන් මේ පාසලට ඇතුළත් කර ගත් බවය. නිවුන් දරුවන් හැරුණු විට අපිට තවත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා.

දුව 7 වසර පුතාට අවුරුදු තුනයි. ඊට පස්සේ තමයි මේ නිවුන් දරුවන් ඉපදුණේ. රඹුක්කන සමුපකාර රෝහලේදී. නිවුන් දරුවන් දෙන්නෙක් කියලා දැනගත්තාට පස්සේ ලොකු සතුටක් දැනුණා. අනිත් නිවුන් දරුවන් වාගේම තමයි මේ දෙන්නාත් කෑම කන්නේ බොන්නේ නිදියන්නේ එකටයි. දෙවැනි පුතා ටිකක් දඟයි. එයා වාහනවලට කැමැතියි. දෙන්නාම පොත් පත් වැඩ කරන්නත් කැමැතියි.

මල්ලි කරන්නේ සෙල්ලම් වාහන ගලවලා හයි කරන වැඩ සහ කාර්මික පැත්තේ වැඩවලට තමයි. ඒ වාගේම දෙන්නාම යමක් ඉක්මනින් අල්ලා ගන්නවා. දෙන්නාම සංචාරය කරන්න කැමැතියි වැඩියෙන්ම යන්න කැමති නුවරඑළියේ. මේ නිවුන්නු හත් දෙනා ශාන්ත මරියාවේ ඉගෙනුම ලබන්නේ පන්ති තුනකය. ඉන් එක පන්තියක ගුරුවරිය වන්නේ ඩී.එල්. නිල්මිණි සංජීවනීය.

වසර 15ක ගුරු සේවයේදී ඇය මෙවැනි අපූර්ව අත්දැකීමකට මුහුණ දෙන මුල් වතාව මෙයය. ගුරු සේවයේ වසර 16ක අත්දැකීම් ඇතිරසිකා ප්‍රියංගනී මිස්ගේ පන්තියෙත් නිවුන්නු දෙදෙනෙක් සිටිති. මේ නිවුන්නුගේ අයියාටත් පළමු වැනි වසරේ ඉගැන්වූයේ මමයි. ඇය කියන්නීය. නිවුන් දරුවන් තිදෙනෙක් සිටින පන්තිභාර ගුරුතුමිය ඒ.බී.ආර්.එස්. සිල්වාය.

31 වසරක තම ගුරු වෘත්තියේ දී තමා මාතලේ ප්‍රදේශයේ සේවය කරන අවස්ථාවේ ගැහැනු නිවුන් දරුවන් තිදෙනකුට ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය දුන් බව ඇය කියන්නීය. එනමුත් නිවුන්නු හත් දෙනෙක් මින් පෙර එකම දවසේ එක වසරේ අකුරු කරන්නට ආවේ නම් ඒ ශාන්ත මරියා මවුතුමියගේ සෙවණටය.

Next Post

විජයගේ පස් එකතු කරන් අවුරුදු 33ක් තිස්සේ රකින ගැහැනියක්

Sun Feb 21 , 2021
මිනිසුන් අතර ඇතිවන බැඳීම් මහ පුදුමාකාරයි. සමහරු හිතනවා එහෙම බැඳීම් ඇති වෙන්නේ ආදරයත් එක්කයි කියලා. ඒක ඇත්ත. බැඳීම් නොකැඩී පවතින්නත්, මැරෙනතුරු ඒවා තිබෙන්නත් සවිමත් බැඳීම් තිබිය යුතුමයි. සමහරු මේ දිහා බලන්නේ වැරදි විදිහට. එහෙම අය හිතන්නේ ඒකට ආදරවන්තයන් විදිහට සබඳතා ගොඩනඟා ගත යුතුයි කියලා. ඒක එහෙම ඒ විදිහට වෙන්න ඕනෑ […]

Breaking News