ගුවන් යානා අලුත්වැඩියාවට රට ගිය සල්ලි දැන් ඉතුරුයි – නිෂ්පාදිත රටටම හදන්න යවපු එකයි මෙතෙක් කල් කලේ

පැහැදිලි පුරාවිද්‍යාත්මක සාක්ෂි නැතත් ලෝක ගුවන් යානා ඉතිහාසය ගැන කතා කරද්දී මුලින්ම කියැවෙන්නේ රාවණාගේ දඬු මොනරය ගැනය. ලංකා පුර පාලක රාවණ, සිය සොයුරිය වූ සුපර්ණිකාට උත්තර භාරතයේ අයෝධ්‍යා පුරවරයේ දශරථ රජුගේ පුත් රාම කුමරු කළ අවමානයට පළිගන්නට රාමාගේ බිරිඳ වූ සීතා පැහැරගෙන එන්නේ ගුවනින් ගොසිනි. එසේ රාවණා ගමන් ගත් යානය දඬු මොනරයයි. ඒ අනුව බලන විට ලොව පළමු ගුවන් යානයට ලංකාවේ නෑදෑකමක් ඇත්තේය.

භරද්වාජ සෘෂිවරයාගේ වෛමානික ශාස්ත්‍ර ග්‍රන්ථයේද හෙළයන්ගේ ගුවන් තාක්ෂණය ගැන සඳහන් කර ඇත.

පුෂ්පක රථ, වායු පා යානා, විමාන නමින් වූ විශාල යානාද ගිරි මුදුන්වල සිට ගමන් කළ යානා ගැනද එහි සඳහන්ය. හිරු බලයෙන්, සුළං බලයෙන් ක්‍රියාත්මක වූ යානා මෙන්ම රසදියෙන් ක්‍රියා කරන අධි තාක්ෂණික යානා ගැනද රාවණ ගුවන් තාක්ෂණය හා බැඳුණු ජනප්‍රවාදයේ සඳහන්ය.

ඒත් නූතන ගුවන් ඉතිහාසය වසර සියයකට එහා පැරණි නොවේ. නූතන ගුවන් යානා තාක්ෂණයේ පියවරුන් දෙදෙනා වන විල්බට් හා ඔලිවර් රයිට් සහෝදරයන් දෙදෙනා මුල් වරට ගුවන් යානයක් ගුවන් ගත කළේ 1903 දෙසැම්බර් මාසයේදීය. එදා මෙදාතුර ගුවන් යානා තාක්ෂණය ඉතා සීඝ්‍රයෙන් දියුණු වී අද වනවිට අධි සුඛෝපභෝගී හා අධි තාක්ෂණික ගුවන් යානා නිපදවීම දක්වා එය දියුණු වී තිබේ.

එහෙත් ගුවන් යානා තාක්ෂණය හා අලුත්වැඩියාව ඊයේ පෙරේදා වනතුරුම ලංකාවට අලුත් දෙයක් වී තිබිණි. ඒත් දැන් ලංකාවද ඒ ආගන්තුක බවින් මිදී ඇත්තේය. ඊට අඩිතාලම දමා ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. දැන් ගුවන් හමුදාවේ කාර්මික ශිල්පීන් කටුනායක ගුවන් හමුදා කඳවුරේදීම ගුවන්යානා සම්පූර්ණයෙන්ම අලුත්වැඩියාවට අත ගසා තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව ඇති ප්‍රවාහන ගුවන් යානා, ප්‍රහාරක ජෙට් යානා මෙන්ම පුහුණු ගුවන් යානාද මේ වනතුරුම අලුත්වැඩියා කෙරුණේ ​මෙරටදී නොව ඒවා මිලට ගත් රටවල සමාගම්වලටම රැගෙන ගොසිනි. ඒ සඳහා දරන්නා වූ වැය බර ඉතා විශාලය.

ඕනෑම ගුවන්යානයක් නිෂ්පාදනය කළ මොහොතේම එහි පියාසර පැය ගණන තීරණය කෙරෙන්නේය. එම පියාසර පැය ගණන සම්පූර්ණ කිරීමෙන් පසුව යළිත් සම්පූර්ණ අලුත්වැඩියාවක් කරනතුරුම යළිත් එම ගුවන් යානය ගුවනට නංවන්නේ නැත. එය ගුවන් යානා ක්ෂේත්‍රයේ පිළිගත් සම්ප්‍රදායයි. යම් හෙයකින් නිර්දේශිත පැය ගණනට වඩා ධාවනය කිරීමේදී සිදුවන කිසිදු සුළු කාර්මික දෝෂයක් ගැන හෝ නිෂ්පාදන සමාගම හෝ වගකීමක් දරන්නේ නැත. මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව සී 130 හර්කියුලස් ගුවන්යානා, ඇන්ටනොව් යානා, හෙලිකොප්ටර් යානා වැනි සියලු යානාවලට පූර්ණ අලුත්වැඩියාවක් අවශ්‍ය වූ විටදී කළේ ඒවා නිෂ්පාදිත සමාගම් වෙතම රැගෙන යාමයි. එසේ රැගෙන හා නොහැකි ගුවන් යානා ගුවන්ගත නොකරම තබා ගැනීමට සිදුවිය. මේ ආකාරයට පසුගිය වසර ගණනාවක් තිස්සේම ශ්‍රී ලංකාව සතු ගුවන් යානාවලින් බොහෝ යානා ප්‍රමාණයක් කලක් තිස්සේම ගුවන්ගත නොකර කෞතුක භාණ්ඩ සේ තබා ගැනීමට සිදුවී තිබුණේ ඒවා අලුත්වැඩියා කරන්නේ නම් මවු සමාගම්වලට දිය යුතු අධික මුදල දරා ගැනීමට නොහැකි වූ නිසාය. කෙසේ වෙතත් දැන් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබේ. ගුවන් හමුදාවේ තාක්ෂණ ඉංජිනේරුවන් ගුවන් යානා අලුත්වැඩියාව මෙහිදීම කිරීමේ කටයුත්තකට අතගැසීමත් සමගම මෙතෙක් ඒ සඳහා විදේශවලට ඇදී ගිය රුපියල් මිලියන ගණනක මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවී තිබේ.

මෙකී අලුත්වැඩියා කටයුතු සියල්ල සිදුවන්නේ කටුනායක පිහිටි ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ ඉංජිනේරු අංගණයේදීය. ඒ සඳහා දෙස් විදෙස් විධිමත් පුහුණුවක් ලැබූ නිලධාරීන් ගණනාවකගේම දායකත්වය ලැබී ඇති අතර එහි අණදෙන නිලධාරියා වන්නේ ගෲප් කපිතාන් ඉන්දික වික්‍රමසිංහයි.

සෑම ගුවන් යානයක්ම නිෂ්පාදනය කරන නිෂ්පාදිත ගමාගම ඒ සඳහා වූ පියාසර කාලසීමාව මෙන්ම අලුත්වැඩියා කළ යුතු කාලය හා ආකාරය නිර්ණය කරයි. එකී නිර්දේශකයන්ට අනුව අලුත්වැඩියා කර නවීකරණය කිරීමෙන් පසු යානයක් තවත් වසර ගණනාවකට ගුවන්ගත කිරීමේ හැකියාව ඇත්තේය.

ගුවන් හමුදාවේ කෆීර් ප්‍රහාරක ජෙට් බළගණයේ රිදී ජුබිලිය යෙදී තිබුණේ මීට සති කීපයකට ඉහතදීය. මෙම අවස්ථාව සමරනු වස් ගුවන් හමුදාව සතු ප්‍රහාරක ජෙට් යානා පහක් සම්පූර්ණයෙන්ම මෙහිදීම නවීකරණය කිරීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ තීරණය කිරීමත් සමගම මෙම වැඩපිළිවෙළ ආරම්භ වන්නේය.

‘‘අපිට අලුතින් ප්‍රහාරක ගුවන් යානාවක් මිලදී ගන්නවා නම් ඇමරිකා ඩොලර් මිලියන හතළිහකට වඩා වැඩි මුදලක් වැයවෙනවා. නමුත් අපිට මේ යානා පහම නවීකරණයට යන්නේ ඇමරිකන් ඩොලර් මිලියන පනහකට අඩු මුදලක්’’ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ පවසයි. ඒ අනුව එතැනදීම ඇමරිකානු ඩොලර් මිලියන එකසිය පනහක පමණ මුදලක් රටට ඉතිරි වන්නේය.

ගුවන් හමුදාපතිවරයාගේ මීළඟ ඉලක්කය ප්‍රහාරක යානා අලුත්වැඩියාවෙන් ඔබ්බට ගොස් අලුත්වැඩියා කළ යුතු සෑම ගුවන් යානාවක්ම මෙහිදීම අලුත්වැඩියා කර රටේ මුදල් රටේම ඉතිරිකර ගැනීමය.

මේ අනුව කටුනායක ගුවන් හමුදා ඉංජිනේරු අංශයේ කාර්ය මණ්ඩලය අතින් නව ජීවය ලද ගුවන් යානා ප්‍රමාණය දහතුනකි. දැන් ඒ යානා දහතුනම පෙර පරිදිම ගුවන සරසන්නේය.

මෙසේ ගුවන් යානා අලුත්වැඩියාව මෙහිදීම ආරම්භ කළ පසු මුලින්ම අලුත්වැඩියා කෙරුණේ චීනයේ නිෂ්පාදිත Y12 වර්ගයේ ගුවන් යානාවකි. ඉන් අනතුරුව ​F07 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා හා PT06 පුහුණු ගුවන්යානාවල අලුත්වැඩියාවද සිදුකෙරිණි.

මෙසේ අලුත්වැඩියාව අවශ්‍ය ගුවන් යානා තෝරා ගනු ලබන්නේද නිෂ්චිත ක්‍රියාවලියකට අනුවය. මුලින්ම ගුවන් පැය ගණන ඉක්මවීමට ආසන්න ගුවන් යානා පිළිවෙළින් ලැයිස්තුගත කෙරේ. අනතුරුව එම යානා අලුත්වැඩියාවට අතගසන්නට ප්‍රථමයෙන් අවශ්‍ය අමතර කොටස්ද ලැයිස්තුවකට ගෙන ඒවා යානය නිෂ්පාදනය කළ රටෙන්ම ගෙන්වා ගන්නේය. අනතුරුව ගුවන් පැය ඉක්ම වූ විගස යානය අලුත්වැඩියාව සඳහා යොමු කෙරේ. මෙහිදී උපාංග ගැලවීමේ කටයුතුවල සිට උපාංග මාරු කිරීම දක්වා අංශ දහකින් යුතුව සිදුකෙරේ. ඒ සෑම කාර්යයක්ම කෙරෙන්නේ තාක්ෂණික නිලධාරීන් හා වැඩ පරීක්ෂකවරුන්ගේ දැඩි අධීක්ෂණයෙන් යුතුවය. ඉන්පසුව අලුත්වැඩියා කළ යානය තත්ත්ව පාලන අංශයේ පරීක්ෂාවට යොමු කෙරේ. මේ ආකාරයට ගුවන් යෝග්‍යතාවය සහතික කරන තුරු අදියරෙන් අදියර ක්‍රමානුකූලව සිදුකෙරේ. යානය යළි ගුවන් ගත කිරීමට අවසර ලැබෙන්නේ යානයේ යෝග්‍යතා පිළිබඳව පූර්ණ සහතිකයක් නිකුත් කිරීමෙන් පසුවය. ගුවන් හමුදාපතිවරයා කියන ආකාරයට ගුවන් හමුදා ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය යටතේ මෙසේ අලුත්වැඩියා කරන යානාවක් තවත් වසර ගණනාවක්ම පෙර පරිදිම පියාසර කළ හැකි ගුවන් යානයක් බවට පත්වෙන බවයි.

ඉහත කී ක්‍රමවේදයන්ට අනුව ගුවන් කාලය ඉක්ම වූ Y12 ගුවන් යානයක් සම්පූර්ණයෙන්ම කොටස්වලට ගලවා අලුත්වැඩියා කිරීමට මාස පහක පමණ කාලයක් ගතවී තිබේ.

‘‘මේ වගේ යානයක් මවු රටට යවලා අලුත්වැඩියා කරන්න ඇමරිකන් ඩොලර් ලක්ෂ නවයක් පමණ වැය වෙනවා. නමුත් අපිට ලංකාවේදීම කරන අලුත්වැඩියාවකදී අමතර කොටස් ගෙන්වන්න යන මුදල පමණයි වැය කරන්න වෙන්නේ. ඉතිරි සියල්ල රටේ ශ්‍රමය, රටේ දැනුම, රටේ තාක්ෂණය. අපි දැනට කරල තියෙන අලුත්වැඩියාවන් වෙන රටක කලානම් ඇමරිකානු ඩොලර් මිලියන දාසයකට වඩා වැඩි මුදලක් මේ සඳහා වැය වෙනවා. ඒත් මේ ව්‍යාපෘතිය නිසා ඇමරිකානු ඩොලර් මිලියන අටකට වඩා මුදලක් රටට ඉතිරි කරදෙන්නට හැකිව තියෙනවා’’ යැයි ගුවන් හමුදාපතිවරයා සඳහන් කරයි.

ගුවන් යානා අලුත්වැඩියාව මේ රටේම ආරම්භ කළ ගුවන් හමුදාවේ මීළඟ සූදානම නියමුවන් රහිත ගුවන් යානාවල සිට නවීන අධි තාක්ෂණයෙන් යුත් යානාද මෙහිදීම අලුත්වැඩියා කිරීමයි.

මේ කාර්යයේදී ගුවන් හමුදාව නිරන්තරයෙන්ම මතක් කරදෙන චරිතයක්ද ඇත්තේය.ඒ මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යුත් හා විදුලි සංදේශ පීඨයේ ප්‍රධානී ලෙස කටයුතු කළ ආචාර්ය අමිත් මුනින්ද්‍රදාසය.

ඊළාම් යුද සමයේදී ගුවන් යානාවලට සවි කළ ඊශ්‍රායල් මිසයිල නාශක පද්ධතියේ දෝෂ ගැන ගුවන් නියමුවන්ට ඇති වූ සැකසංකා දුරු කරදී සතුරු ඉලක්ක කරා නොබියව යන්නට තාක්ෂණික සහාය ගුවන් හමුදාවට ලබාදුන්නේ ආචාර්ය මුනින්ද්‍රදාසය. එපමණක් නොව සතුරු මිසයිලවලින් බේරී ගුවන් ප්‍රහාර සඳහා යාමට ගුවන් නියමුවන්ට තාක්ෂණික උපදෙස් දෙමින් ඔහු කළ මෙහෙවරද නිරන්තරයෙන් මතක් කළ යුත්තක් බවද ගුවන් හමුදාවේ අදහසයි.

ගුවන් යානා, මල්ටි බැරල් හා රොකට් ලෝන්චර් ආදියෙහි ගැටලු මතු වූ අවස්ථාවලදී ඒවා නිරාකරණය කර ගැනීමට ගුවන් හමුදාවට විශාල සහයක් දුන් ඔහු සිව් වැනි ඊළාම් යුද්ධය ආරම්භ කර සුළු කලෙකින්ම, ඊශ්‍රායලයේ ආරක්ෂක වැඩමුළුවකට එක්ව සිටියදී හදිසියේ මියයන්නේය. එම මරණය අදටත් අබිරහසකි.

කෙසේ වෙතත් ගුවන් යානා අලුත්වැඩියාව මෙහිදීම ආරම්භ කරමින් තැබූ පියවර තවත් ඉදිරියට ගෙන යාම ගුවන් හමුදාවේ අපේක්ෂාවද වන්නේය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

Next Post

ලෝකයේ කප්ගැසූ බෞද්ධ කෝටිපතියෝ - බිරිඳගේ මඟපෙන්වීමෙන් බුකියේ මාර්කුත් ඒ අතර

Sun Feb 7 , 2021
ලයි කා ෂින්ග් ප්‍රකෝටිපතියෙකි. හොංකොං හි ධනවත්ම ව්‍යාපාරිකයාය. 2016 දී ඔහුට වයස 88 සැපිරෙන විට ඩොලර් බිලියන 31.9ක වත්කමකට හිමිකම් කීවේය. නමුත් ඔහු ජීවිතය ඇරඹුවේ පහළම අඩියෙනි. උසස් අධ්‍යාපනය ද අහිමිව මහ පාරට වැටී සිටි ඔහු සිය ජීවන ගමන් මඟ උත්සාහයෙන් වෙනස් කර ගත්තේය. දැන් ඔහු ඒ රටේ සුප්‍රකට CK […]

Breaking News