දැඩි තීරණ රැසක් – ක්‍රීඩකයන්ගේ ගෙවීම් කප්පාදු කරයි – සභාපති ධූරයට මහේල ජයවර්ධනට

අසන්ත ද මෙල්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරයට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති,හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පත් කරනු ඇතැයි වාර්තා වනවා.

දැනට තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්වනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි සදහන් කලත් වාර්තා වූයේ එම තනතුර සඳහා ඇමති නාමල් රාජපක්ෂ විසින් තෝරාගෙන තිබෙන්නේ මහේල ජයවර්ධන බවයි.

අසන්ත ද මෙල් ඊයේ ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වූ අතර මේ වනවිට ක්‍රිකට් බලධාරීන් නව තේරිම් කමිටුවක් පත් කිරීම සදහා සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

මේ අතර ක්‍රිඩා අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති,හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සදහන් කළේ මෙරට සියළු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රක්‍ෂණාවරණයක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

බිංදුවටම වැටී ඇති ක්‍රිකට් ක්‍රීඩාව යළි ගොඩනැගීම සදහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ,මහේල ජයවර්ධන,කුමාර් සංගක්කාර ඇතුළු කණ්ඩායම මේ වනවිට තීන්දු තීරණ රැසක් ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීම, තරගකාරී අභ්‍යන්තර හා පළාත් තරඟාවලියක් පැවැත්වීම,විනය හා ශාරිරික යෝග්‍යතාවයට ප්‍රමුඛත්වය ලබාදීම,දක්ෂතා පදනම් කරගෙන ක්‍රීඩකයින් කොන්ත්‍රාත් ගිවිසුම් ගත කිරීම සහ ප්‍රධාන පුහුණුකරුගේ සහායට අධ්‍යක්ෂවරයෙක් හා උපදේශකවරයෙක් පත් කිරිමට මෙහිදී තීරණය වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන්,ප්‍රධාන පුහුණුකරු,ජාතික ක්‍රීඩා සභාවේ නිලධාරීන්, අමාත්‍යංශ නිලධාරින් හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙම සාකච්ජාවට සහභාගී වී තිබේ.

ජාතික ක්‍රීඩා සභාවේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර පැවැති ඉහළ පෙළේ සාකච්ඡාවකදී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පිරිනමනු ලබන වාර්ෂික ගිවිසුම සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වී තිබේ. ඒ අනුව මින් ඉදිරියේදී, ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙත පිරිනමනු ලබන වාර්ෂික ක්‍රිකට් ගිවිසුමට තරග ජයග්‍රහණ වෙනුවෙන් ‘පාරිතෝෂික’ දීමනා එක් කෙරෙනු ඇත.

මෙම පාරිතෝෂික ටෙස්ට්, එක්දින අන්තර්ජාතික මෙන්ම විස්සයි-20 අන්තර්ාජාතික තරග සඳහාත් ගෙවනු ලබනු ඇත.

වාර්ෂික ගිවිසුමකදී ක්‍රීඩකයන් වෙනුවෙන් පිරිනැමෙන මූලික ගෙවීම් මේ වන විට පවතින මට්ටමට වඩා අඩුකෙරෙන අතර තරග ජයග්‍රහණය කිරීමකදී ඔවුන්ට පාරිතෝෂිකයක් ගෙවනු ඇත. එලෙසින්ම පිතිකරුවන් සහ පන්දු යවන්නන් වශයෙන් අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වලදී ඉහළ නගින ක්‍රීඩකයන්ගේ දස්කම් අගය කිරීම සඳහාත් ‘පාරිතෝෂික’ මුදලක් ගෙවීමට සාකච්ඡා වී තිබේ.

මෙම වෙනස්කම් වසර 2021 සඳහා සකස් කරනු ලබන ක්‍රීඩකයන්ගේ වාර්ෂික ගිවිසුමට ඇතුළත් කෙරෙනු ඇත. වාර්ෂික ගිවිසුම් ක්‍රීඩකයන්ට ප්‍රදානය කරනු ලබන්නේ තේරීම් කමිටුව විසින් කරනු ලබන නිර්දේශ අනුවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස්ම නිලධාරියකුගේ ප්‍රකාශයක් අනුව මේ වන විට ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩා කරන සෑම ක්‍රීඩකයකුටම ඩොලර් 7500 ක ගෙවීමක් හිමිවේ. ඊට අමතරව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සඳහා තවත් ඩොලර් 5000 ක් හිමිවේ. ඒ අනුව ටෙස්ට් තරගයක් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකුට හිමිවන මුදල ඩොලර් 12,500 කි. තරගයේ ජය හෝ පරාජය සම්බන්ධයෙන් තැකීමක් නොකර මෙම ගෙවීම් කරනු ලබයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලද පරාජයන් වැල මෙන්ම තම තමන්ගේ වගකීම සම්බන්ධයෙන් ක්‍රීඩකයන් තුළ පවතින දුර්වල ආකල්ප වෙනස් කරලීම සඳහා මෙම ගිවිසුම් වෙනස් කිරීමට සිදුවන බවද ශම්මි සිල්වා මහතා ලංකාදීපට පැවසීය.

“පසුගිය අවුරුද්දේදී (2020) අපි ලංකාවේ ක්‍රිකට් තරග එකක්වත් තිබ්බේ නෑ… අපේ ආදායම තියෙන්නේ ලංකාවේ තරග තිබ්බොත් තමයි. මොකද එතකොට තමයි රූපවාහිනී වලින් අපට ආදායම එන්නේ…එහෙම තියෙද්දිත්, අපි මේ ක්‍රීඩකයන්ට කිසිවක් අඩු නැතුව, ඔවුන්ගේ සම්පූර්ණ වැටුපම ගෙව්වා…”

“ඒත් මෙච්චර මුදලක් ගෙවලත් මේ ක්‍රීඩකයන් මොනවද කරන්නේ… ? මේවා වෙනස් කරන්නම වෙනවා” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.
තරග සඳහා කරනු ලබන මෙම ගෙවීම් වලට අමතරව, ක්‍රීඩකයන් සියලු දෙනාටම, රඳවා ගැනීමේ මුදලක් හෙවත් වාර්ෂික ගිවිසුමට අත්සන් කිරීම වෙනුවෙන් ඩොලර් ලක්ෂයක මුදලක් (රුපියල් ලක්ෂ 19.5 ක්) වාර්ෂිකව ගෙවනු ලබයි. එහෙත් ජාතික ක්‍රීඩා සභාවේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එකඟතාව වී ඇත්තේ වාර්ෂික ගිවිසුම සංශෝධනයේදී දැනට ගෙවනු ලබන අගයන් අඩුකර තරග ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ‘පාරිතෝෂික’ පිරිනැමීමට හැකිවන පරිදි එය සකස් කෙරෙන බවයි.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති මෙම රැස්වීමට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්, ජාතික පුහුණුකරු මිකී ආතර් සහ ජාතික ක්‍රිකට් සභාවේ සාමාජිකයෝ කිහිප දෙනෙක්ද සහභාගි වූහ.

Next Post

එන්නත ගැන දැනුවත් වෙමු - මෙරට පළමු කොවිඩ් එන්නත යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට ලබාදෙයි - ජායාරූප

Fri Jan 29 , 2021
ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත්, එන්නත්කරණය අද (29) පළමුව යුද හමුදා රෝහලේදී ආරම්භ විය.එහිදී යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට පළමුව එන්නත ලබාදීමට පියවර ගත්තේය. මේ අතර එන්නත්කරණ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී පැවැත්වුණේ සෞඛ්‍ය බලධාරීන් රැසකගේ සහභාගීත්වයෙනි.එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ […]

Breaking News