දරුවෝ පහක් කුසේ වැඩෙද්දි ඇය විඳින දුක මම දැක්කා. අම්මා කෙනෙක් වෙන්න එහෙම දුකක් උහුලන්න පුළුවන්ද කියලත් මට වෙලාවකට හිතුණා

දරුවන් යනු අමිල සම්පතක් බැවින්ම, ප්‍රියදර්ශනත්, රසාංජලීත් බලා සිටියේ එකවර දරුවන් දෙදෙනකු තම කැදැල්ලට එක්වන තුරුය. එම බලාපොරොත්තුව කවදා කොයි ලෙසින් හිතට පැමිණියේදැයි කියන්නට නොහැකි වුවත් දෙදෙනා අනුරපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් අබියසත්. රුවන්වැලි මහාසෑ රදුන් අබියසත් එම ප්‍රාර්ථනාව කළේ වරක් දෙවරක් නම් නොවේ.

ඔවුන්ගේ එම ප්‍රාර්ථනාව සඵල කරමින් පසුගියදා එකවර දූ සිඟිත්තියන් පස්දෙනකුම දෝතට පිවිසෙද්දී දැනුණු සතුට එම මාපියන්ට තවමත් හරිහැටි වචන කරගැනීමට නොහැකිය.

‘‘අපි රාගම ඉස්පිරිතාලෙන් තමයි පළමුවැනි ස්කෑන් එක කළේ. ඒ දොස්තර මහත්තයා කිව්වා බබාලා හතර දෙනෙක් ඉන්නවා කියලා. ඒ වෙලාවේ සතුටක් වගේම බයකුත් හිතට ආවා. ඊළඟ සතියේ ගියහම කිව්වා දරුවෝ පස්දෙනෙක් කියලා’’ ප්‍රියදර්ශන කීවේය.

එදා සිතට දැනුණ බිය දැන් නැතත් තම රෝස කැකුළියන් පස්දෙනාත්, බිරිඳ රසාංජලීත් තවමත් කොළඹ ද සොයිසා කාන්තා රෝහලේය. පුංචි පැංචියන් අතට ගෙන සුරතල් කරන්නට ඕනෑකම ඇතත් ඔවුන් තවම ඉන්නේ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේයි.

මෙම සිඟිත්තියන් පස්දෙනා මෙලොව එළිය දකින්නේ මෙරට උපන් හතරවැනි පස් නිවුන් දරුවන් ලෙස වාර්තා අතරට එක්වෙමිනි. අගෝස්තු මස අවසන් සිකුරාදා (28) උදෑසන දහයට පමණ ​ඔවුන් විනාඩි පහක් තුළ (විනාඩියෙන් විනාඩියට) මෙලොව එළිය දකින්නේ සිසේරියන් සැත්කමක් මගිනි.

රසාජංලී ජයවර්ධන සහ ප්‍රියදර්ශන ලියනආරච්චි පදිංචිව සිටින්නේ ගම්පහ. ගනීගම දකුණ, පැපිලියවෙලය. වෘත්තියෙන් ගුරුවරියක වූ රසාංජලී, කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකද වෙයි. ප්‍රියදර්ශන තමන්ගේම පාවහන් අලෙවිසලක් පවත්වාගෙන යන අතර ඔවුන් විවාහ වන්නේ 2017 වසරේයි. ඒ සය මසක ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් වශයෙනි.

‘‘දරුවෝ පහක් කිව්වම සතුටක් දැනුණත්, දරුවෝ ගැනයි, නෝනා ගැනයි ඊළඟට ආවේ බයක්. වෛද්‍යවරුන් ළඟට ගිහින් උපදෙස් ගන්නවා වගේම මම පන්සල්වලට නිතර ගියා. බාරහාර වුණා. රසාංජලීගේ වෙලාව බැලුවම කිව්වෙත් එයාට හොඳටම අපලයි කියලයි. ඒ අපලවලින් මිදෙන්න අපේ බබාලව ආරක්ෂා කරදෙන්න කියලා මම ම කිරි ආහාර හදාගෙන කැලණිය පන්සලට ගිහින් බාර වුණා, වත්පිළිවෙත් කළා.’’

ප්‍රියදර්ශන කියන පරිදි ඔහු වැඩිපුරත් සිටියේ පන්සල් ගානෙයි. රසාංජලීට ගුරු පත්වීම ලැබෙන්නේ 2018 වසරේයි. ඒ වව්නියාව ගාමිණී ජාතික පාසලටය. සඳුදා උදෑසන නිට්ටඹුවෙන් අනුරාධපුර බසයකට නගින රසාංජලී, ඊළඟට තවත් බසයකින් වව්නියාවට යා යුතු විය. අනතුරුව නේවාසිකාගාරයේ නැවතී සිට සිකුරාදාට යළි නිවසට ආ යුතු විය. මේ බස් ගමන කෙතරම් විඩාවක්දැයි දැනුණේ ඔවුනගේ පළමු දරු ප්‍රාර්ථනය මාස කිහිපයකදී බිඳ වැටුණ නිසාය.

‘‘ඉන් පස්සේ රසාංජලී මීගමුවේ ඉස්කොලෙකට පත්වීම හදාගත්තා. ඒත් ඒ පාසලත් ගෙදර ඉඳලා ගොඩක් දුරයි. කොහොම හරි දෙවැනි වරට ඇය ගැබ් ගත්තට පසුව අපි ගොඩක් පරිස්සම් වුණා. අලුත් ඉස්කෝලෙට යන්න වුණෙත් මාස කිහිපයයි. කොහොම හරි එයාට නොනවත්වා වමනයක් ආවා. දරුවෝ පහක් කියලා දැනගත්තට පස්සේ පාසලෙන් නිවාඩු අරගෙන වැඩි කාලයක් ඉන්න වුණේ ඉස්පිරිතාලේ’’ ප්‍රියදර්ශන කීවේය.

පළමුව රාගම රෝහලේ වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ගත්තත්, දරු ගැබට සති දහඅටක් පමණ වනවිට ද සොයිසා කාන්තා රෝහලේ මහාචාර්ය ඒකකයට ඔවුන් පැමිණෙන්නේ පවුලේ හිතවත් වෛද්‍යවරයකු විසින් මහාචාර්ය ඒ. කලුආරච්චි මහතා පිළිබඳව කී නිසාය. ඒ අනුව රසාංජලීගේ දරු ප්‍රසූතිය සිදුවන තුරු එම ඒකකයේ වෛද්‍ය කණ්ඩායම මනා විමසිල්ලකින් ඒ පිළිබඳව සොයා බැලීය. රසාංජලී දරු ප්‍රසූතිය සඳහා රෝහලට ඇතුළත් වූයේ මාසයකට කලිනි. එහෙත් ඉන් පෙරද ඇය නොයෙකුත් අපහසුතා හේතුවෙන් සතිය, දෙක රෝහලේ නතරව සිටියාය. එහිදී විශේෂඥ වෛද්‍ය ප්‍රබෝධන ජයවර්ධන ඇතුළු කණ්ඩායම අවශ්‍ය පරීක්ෂණ සිදු කරමින් පරීක්ෂාකාරීව මව පිළිබඳ සොයා බැලුවේය.

අගෝස්තු 27 බ්‍රහස්පතින්දා වනවිට රසාංජලීට නොයෙකුත් අපහසුතා දැනෙන්නට විය. උදරය විශාල බැවින් වාඩිවී හෝ නිදාගෙන හෝ සිටීමට නොහැකිය. එබැවින්ම පසුවදාම සිසේරියන් සැත්කම සඳහා ඇයව සූදානම් කරන්නට වෛද්‍යවරුන්ට සිදු විය.

නිර්වින්දන විශේෂඥ වෛද්‍ය සරෝජා ජයසිංහ කීවේ, කොතරම් ශාරීරික අපහසුතා තිබුණත් රසාංජලී බොහෝ ධෛර්යසම්පන්නව සිනාමුසුව එම අවස්ථාවට මුහුණ දුන් බවයි. ද සොයිසා රෝහලේ මහාචාර්ය ඒකකයේ ප්‍රධානී වෛද්‍ය ඒ. කලුආරච්චි, විශේෂඥ වෛද්‍ය ප්‍රබෝධන ජයවර්ධන ඇතුළු වෛද්‍ය කණ්ඩායම හා ශල්‍යාගාර කාර්ය මණ්ඩලය විනාඩි පහක් ඇතුළත රෝස මල් වන් පුංචි සුරංගනාවියන් පස්දෙනකු මෙලොවට ගෙනෙන්නට දායක වූයේ ඒ අයුරිනි.

දරු ප්‍රසූතියෙන් පසු රසාංජලී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන අතර දරුවන් පස්දෙනා නොමේරූ ළදරු ඒකකයේ ශ්වසන ආධාරකවලට යොමු කරන්නේ ඔවුන් නියමිත කාලයට පෙර සැත්කමක් මගින් බිහිකළ බැවිනි. එම දරුවන් උපදින විට කිලෝග්‍රෑම් එකත්, කිලෝග්‍රෑම් එකයි, ග්‍රෑම් තුන්සියයත් අතර බරකින් යුතු විය.

‘‘ඇත්තටම රසාංජලී මේ දරුවෝ පස්දෙනා මේ ලෝකෙට ගේන්න ගොඩක් දුක් වින්ද අම්මා කෙනෙක්. ඇය ගොඩක් උස කෙනෙක් නෙවෙයි. දරුවෝ පහක් කුසේ වැඩෙද්දි ඇය විඳින දුක මම දැක්කා. අම්මා කෙනෙක් වෙන්න එහෙම දුකක් උහුලන්න පුළුවන්ද කියලත් මට වෙලාවකට හිතුණා. මොකද රාගමදි එක් වෛද්‍යවරයෙක් කිව්වා මේ අම්මට දරුවෝ පස්දෙනෙක් කුසේ දරාගන්න අමාරුයි, ඉන්දියාවේ ගිහින් හරි කලල දෙකක් හෝ තුනක් ඉවත් කරගන්න කියලා. අපි ඒකට කැමති වුණේ නෑ. එහෙම කරන්නේ කොහොමද?’’

අද ඔහු කතා කරන්නේ පස් දරු පියකු වූ සතුටිනි. ඒ සතුට රසාංජලීගේ දෙනෙතෙහිද ඇත.

මේ වනවිට රසාංජලීගේත්, ප්‍රියදර්ශනගේත් දරු සිහිනය සැබෑ වී තිබේ. ඒ අතර ඔවුනට අභියෝගද නැතුවා නොවේ. කොරෝනා උවදුර නිසා ප්‍රියදර්ශනගේ සපත්තු සාප්පුව තිබුණේ දින ගණනක් වසා දමාය. පසුව කඩසාප්පු විවෘත කෙරුණත්, නිතර නිතර රසාංජලීව රෝහලට රැගෙන යාමට සිදුවූයෙන් කඩේ ඇරියේ නැත. එය ඔවුනගේ ආදායම අඩුවීමට හේතුවක් විය.

‘‘මට මේ දරුවෝ සම්පතක්. මට හැකි උපරිමයෙන් මම මගේ දරුවෝ බලා ගන්නවා.’’

ඒ පිය සෙනෙහසට ශක්තියක් වන්නට ප්‍රියදර්ශනගේ දෙමව්පියන් අද ජීවතුන් අතර නැත. රසාජංලීගේ මව ඔවුන් ළඟ සිටියත් ඇයට දරුවන් පස්දෙනකු බලා කියා ගන්නට දියණියට උදව් වෙන එක පහසු නැත. දරු පැටවුන්ගේ හෙට දවස වෙනුවෙන් ඔවුන්ට දරන්නට වෙන බරපැනද බොහෝය.

ඒ බරපැන වෙනුවෙන් දායක වෙන්නැයි ඔවුන් නොඉල්ලුවත් ඒ මවට, පියාට මේ පුංචි පැංචියන් ලොකු මහත් කරගන්නට ඔබට දායක විය හැකි නම් එය ඔවුනට ඉමහත් අස්වැසිල්ලක් වනවා නොඅනුමානය.

Next Post

හිතුමතේට වාහන මිල වැඩි කරන්න බෑ - වාහන සේල් හිමියන්ට පාඩමක් - ආන්ඩුවෙ මිල සූත්‍රයක්

Sun Sep 6 , 2020
වාහන ආනයනය තහනම් කිරීමත් සමග අලෙවිසැල්වල ඇති ඒවා අධික ලාභයක් සහිතව මිල ඉහළ දමා තිබීම හේතුවෙන් මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය සැලැසුම් කර තිබේ. ඊට අමතරව මිල පාලනයක් ඇති කර පාරිභෝගික සේවා අධිකාරිය හරහා ඒවා පරික්ෂා කිරීමට ද තීරණය කර ඇත. ඒ අනුව ණයවර ලිපි (LC) ආරම්භ කළ දින සිට […]

තවත් මෙවැනිම පුවත්..........