තම පවුල බැංකුවක් බවට පත්කළ ගැමියා – නිහඬව සමාජයට විශාල සේවයක් කල උත්තම පුරුෂයා

මේ ලිපිය පළවන්නේ 2020 සැප්තැම්බර් 03 වන දිනට සියවස් ජන්ම දිනය සමරන, නිහඬව සමාජයට විශාල සේවයක් කොට මීට වසර 22කට පෙර අපෙන් නික්ම ගිය උත්තම පුරුෂයකුට උපහාර පිණිසය.

නාවල ආරච්චිගේ ලුවිස් අප්පුහාමි හෙවත් පී.ඒ.එල්. පනාවල මහතා මෙලොව එළිය දුටුවේ 1920.09.03 දිනදීය. එතුමා මිනුවන්ගොඩ කලවාන ග්‍රාමයේ උපත ලබා කලවාන කනිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පළමු රැකියාව වශයෙන් දෙවැනි ලෝක යුද සමයේ රාජකීය යුද හමුදාවට බැඳී යුද්ධය නිමාවන තෙක් සේවය කොට ඉන් අනතුරුව ලංකා පොලිස් සේවයට සම්බන්ධ වී 1970 වසරේ වයස 50දී විශ්‍රාම ලැබුවේය.

හෙතෙම පොලිස් නිලධාරියකු වශයෙන් දිවයිනේ විවිධ පළාත්වල සේවය කර තම දරු පවුල සමඟ නිත්‍ය පදිංචියට මිනුවන්ගොඩ කලවාන ගමට පැමිණියේ 1959.12.20 දිනදීය. එහිදී තම දරුවන්ට නිසි ගුණධර්ම දියුණු කිරීම සඳහා තම ගමේ පන්සලේ දහම් පාසලට යැවූ අතර ප්‍රධාන පෝය දිනවලදී සිල් සමාදන්වීම සඳහාද යොමු කරනු ලැබීය.

දුරදක්නා නුවණින් කටයුතු කළ මෙම පියාණන් තම රාජකාරි නිමකර ගමට එන දිනවලදී ගෙදර දරුවන්ගේ දැනුම, සමාජශීලී බව, ගුණධර්ම වර්ධනය සඳහා පනාවල පවුලේ සමිතියක් ඇරැඹුවේ 1961 වර්ෂයේදීය. එහිදී තම දරුවන් සැමදෙනා සමිතිය ඉදිරියේ කවි, ගීත ගායනා කිරීම හා කතා පැවැත්වීම අනිවාර්ය විය. සභාපති වශයෙන් පියාණන්ද, ගුණධර්ම වර්ධනය සඳහා රටේ වැදගත් පුද්ගල චරිතවල ක්‍රියා දක්වමින්, බෞද්ධ සාහිත්‍යයේ කතා දක්වමින්ද තම දරුවන්ද එවැනි පුද්ගලයන්ගේ චරිත දෙසට යොමු කරනු ලැබීය. මේ තුළින් තම දරුවන් සමාජශීලී, ගුණධර්මවලින් යුත් අයවලුන් බවට පත්කිරීම එතුමාගේ අරමුණ විය. 

එසේම දරුවන්ගේ කියවීම වර්ධනය කිරීම සඳහා ගෙදර පුස්තකාලයක්ද ආරම්භ කර විවිධ කෙටි කතා, නව කතා, චරිත කතා, හා දැනුම වඩවන පොත්පත්ද ලබාදෙනු ලැබීය. දරුවන් ක්‍රියාශීලී බවින් වැඩිකිරීම සඳහා සැමදා උදේ ගෙය වටා දිවීම, බැඩ්මින්ටන් ක්‍රීඩාවට හුරු කිරීම හා විනෝද කටයුතු සඳහා කවි, ගීත ගායනා කිරීම හා සංගීතය සඳහා සංගීත උපකරණද ලබාදුණි. එසේම දරුවන්ව කෘෂිකාර්මික කටයුතුවලටද සහභාගි කරවා ගැනීම තුළ ඔවුන් එවාට හුරුපුරුදු කිරීමද සිදුවිය. 

තම දරුවන්ගේ සහ එම පවුල්වල සියලුදෙනාටම විශාල සේවයක් වන පරිදි ඉතාම දුෂ්කර හා බරපතළ කාර්යක් වන පවුලේ බැංකුවක් නිර්මාණය කරනු ලැබුවේ 1989 වසරේදී පනාවල පවුලේ ආර්ථික සහ සැකසුරුවම් සමිතිය වශයෙන් එතෙක් පැවැති පවුලේ සමිතිය තවදුරටත් දීර්ඝ කරමිනි. 

ලලිතා, සුනිතා ආරියවංශ, වීරවංශ, විජිතා, අශෝකා, නර්මදා, කුමාර, හේමමාලි, ඉන්ද්‍රානි විමලරත්න, වාසනා ඔහුගේ පවුලේ දරුවන් වූයේය. 

දිවංගත පී.ඒ.එල්. පනාවල මහතා සහ එම මෑණියන් වෙනුවෙන් සෑම වර්ෂයකම ඒ මහතා අධ්‍යාපනය ලැබූ කලවාන කනිෂ්ඨ විද්‍යාලයේ සියලු දුප්පත් දරුවන් උදෙසා අවශ්‍යතා මත පොත්පත් සහ උපකරණ ලබාදෙන අතර එය වර්ෂ 18ක් තිස්සේ අඛණ්ඩව කරගෙන යනු ලබයි.

ඊට අමතරව පවුලේ සාමාජිකයන්ගේ දරුවන් උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළත් වුවහොත් ඔවුන්ට සරසවි අධ්‍යාපනය අවසන්වනතුරු මාසිකව මූල්‍ය දායකත්වයක්ද ලබාදෙයි.

මෙම පවුලේ සාමාජිකයන් තම ඉඩම් මිලදී ගැනීමට, නිවාස තනා ගැනීමට, ව්‍යාපාරික කටයුතු දියුණු කරගැනීමට හෝ වෙනත් වත්කම් මිලට ගැනීමට කිසිම බැංකුවකට  වසර 30කට වැඩි කාලයක් තිස්සේ ණය ඉල්ලුම්කර නැතිවීම මෙහි ආරම්භක නියමුවා වන පී.ඒ.එල්. පනාවල මහතා වෙනුවෙන් ඔහුට කළ උපහාරයක්ද වේ. 

මේ මහතාගේ සියවැනි ජන්ම දිනය නිමිත්තෙන් 2020.09.05 වැනි දින පරිත්‍රාණ ධර්ම දේශනාවක් සහ පසුදින සංඝගත දානයක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Next Post

දුප්පත්,අසරණ පිලිකා රෝගීන් කබලෙන් ලිපට - පිළිකා රෝගීන්ට දෙනු ලබන එන්නතක් තාවකාලිකව නවතා දමයි

Wed Sep 2 , 2020
පිළිකා රෝගීන් සඳහා දෙනු ලබන එන්නතක් හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පිළිකා රෝගීයකුට ලබා දීමෙන් පසුව එම රෝගියා මිය යාමත් සමඟ එම එන්නත රෝගීන්ට ලබා දීම තාවකාලිකව නවතා දැමූ බව හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග උබේසිරි  මහතා පැවසීය. ඉකුත් අගෝස්තු මස පළමු දින මෙලෙස මිය ගොස් […]