මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්


කොරෝනා වසංගත තත්වය නැවත රට තුළ ඉස්මතු වීම සම්බන්ධයෙන් සමාජය තුළ මතුව ඇති බිය හා සැක සංකා හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය තුල රියදුරු බලපත්‍ර ලබා ගැනිම සඳහා මහජනතාව ඒකරාශී වීම මත අනපේක්ෂිත තදබදයක් නිර්මාණය වී ඇති බව නිරීක්ෂණය වී ඇතැයි මගී ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

ඊයේ දිනය (13) තුළ පමණක් පුද්ගලයින් 3500කට ආසන්න පිරිසක් වේරහැර කාර්යාලය වෙත පැමිණ තිබේ. එහෙත් සේවාවන් සැපයෙන්නේ එක් දිනකට 1300කට පමණි.

වේරහැර කාර්යාලය තුළ පැවැති තදබදය සම්බන්ධයෙන් ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෝටර් රථ ප්‍රවාහණ දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසීමක් කර තිබේ.

වේරහැර කාර්යාලය හරහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාළව දෛනිකව සේවා සැපයීම් සිදු කල හැකි ප්‍රමාණය සීමා සහිත බැවින්, පහත සඳහන් උපදෙස් අනුගමනය කරන මෙන් සේවාලාභී මහජනතාවගෙන් ඔවුන් කාරුණිකව ඉල්ලා සිටියි.

මේ වන විටත් 2020 අංක 3 දරන මෝටර් වාහන නියෝග මගින් 2020.03.16 සිට 2020.06.30 දක්වා කාලය තුල වලංගු කාලය අවසන් වන රියදුරු බලපත්‍ර සඳහා වලංගු කාලය අවසන් වන දින සිට මාස 06 ක අමතර සහන කාලයක් සහ 2020.07.01 සිට 2020.09.30 දක්වා කාලය තුල වලංගු කාලය අවසන් වන රියදුරු බලපත්‍ර සඳහා රියදුරු බලපත්‍රය අවසන් වන දින සිට මාස 03 ක සහන කාලයක් ලබා දීමට කටයුතු කර ඇත.

මීට අමතරව අවශ්‍යතාවය පරිදි තවදුරටත් මෙම කාලය දීර්ඝ කල යුතු බව නිරීක්ෂණය වුවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පියවර ගනු ඇත.

රියදුරු බලපත්‍ර එක් දින සේවාව යටතේ ලබා ගැනීමේ පහසුකම් වේරහැර කාර්යාලයට අමතරව හම්බන්තොට හා අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාල මගින්ද සලසා ඇති බැවින්, එම ස්ථාන වෙත යොමු වීමේ හැකියාවද පවතී.

සාමන්‍ය සේවාව මගින් රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා අනෙකුත් සෑම දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයක් හරහාම අවස්ථාව හා පහසුකම් සලසා ඇත.

මීට අමතරව වාහන හිමිකම් පැවරීම සාමන්‍ය සේවය යටතේ සිදු කර ගැනීම සඳහා දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම පහසුකම් සලසා ඇති බැවින් එක් දින සේවා පැවරුම් සඳහා පමණක් නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය වෙත යොමු වන්න.

කොවිඩි 19 වසංගත තත්වය රටතුල නැවත හිස එසවීමේ අවදානමක් පවතින බැවින් රජයේ කාර්යාල වෙත පැමි‍ණෙන විට සමාජ දුරස්ථභාවය ඇතුළු අනෙකුත් සෞඛ්‍යමය උපදෙස් තරයේ අනුගමනය කරන ලෙසත් පවත්නා තත්වය පිළිබඳ අවබෝධයෙන් හා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශය ඉල්ලා සිටී.

Next Post

මහනුවර ජනතාව ඇමතිට නිසි පිළිතුරු නොදුන්නොත් ඔවුන් මෝඩයින් වෙනවා - පොහොට්ටුවේ මන්ත්‍රී

Tue Jul 14 , 2020
අපගේම ඇමතිවරයෙක් 2011ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායම ගැන කළ ප්‍රකාශය අනුමත නොකරන අතර මහනුවර ජනතාව ඇමතිවරයාට නිසි පිළිතුරු නොදුන්නොත් ඔවුන් මෝඩයන් සේ සැලකීමට සිදුවන බව දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයලත් නන්දන ප්‍රනාන්දු මහතා ( පොදුජන පෙරමුණ ) අද(14) පැවසීය. වැඩ බලන සභාපති  ඉන්දික ජයසිංහ මහතාගේ  (පො.ජ.පෙ. ප්‍රධානත්වයෙන් පැවති  මාසික සභා රැස්වීමේදී […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News