අරවින්ද ක්‍රිකට් ගහපු හැටි ගැන උපුල් චන්දන කියයි

අතීතයේදී වූ සොඳුරු මතකයන් ගෙන හැර දක්වන්නේ, එදා ලෝක ශූර කණ්ඩායමේ හිටපු උපුල් චන්දනය.එදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටිමින්, පන්දු රැකීම, පන්දු යැවීම, පන්දුවට පහර දීම යන සෑම අංශයකින්ම දක්‍ෂතා පෙන් වූ නිසාම, උපුල් චන්දන කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයකු වීය. ක්‍රිකට් ලෝලී ඔබ ආදරය කරන මේ ප්‍රවීණයාගේ අද දවසේ කටයුතු ගෙවී යන්නේ මොන විදියටද?

ආරංචියේ හැටියට, උපුල් අද දක්‍ෂ පාපන්දු ක්‍රීඩකයෙක්. ශාරීරික යෝග්‍යතාව පවත්වාගෙන යාම වෙනුවෙන් පැයක විතර කාලයක් පාපන්දු ක්‍රීඩාව වෙත යොමු වී සිටි උපුල්, හිටපු තවත් දක්‍ෂ ක්‍රිකට් තරු පිරිසක් සමඟ පාපන්දු කණ්ඩායමක් හදාගෙන තරග එහෙමත් කරනවලු? මේ පාපන්දු කණ්ඩායමට මහේලත් ඇතුළත් බවයි සඳහන් වෙන්නෙ?

ඒ ගැන වූ විස්තර වගේම, උපුල් අද දවසේ ජීවිතය ගත කරන හැටි සහ එදා ක්‍රිකට් ගැසූ අතීතයේ සොඳුරු මිහිරි මතකයන් ගැනත්, දැන ගන්න මොහොතකට අපි ඔහුගේ කැදැල්ලට ගියෙමු.

•උපුල් කොහොමද? ජීවිතයේ අලුත් විස්තර මොනවද?
මේ වසංගත තත්ත්වයට පෙර අපි හිටියෙ ඉන්දියාවෙ. එහි පැවැත්වෙමින් තිබුණු ප්‍රවීණයින්ගේ කුසලාන තරගාවලියට ගිහින් හිටියෙ. මාර්තු 13 නැවත ලංකාවට ආවාම සති දෙකකට නිරෝධායනයට යන්න වුණා. මුල් දිනවල නම්, ගෙදරටම වෙලා සිටීම හරිම අපහසු දෙයක් වුණා. ඒත් ටිකින් ටික ඒකට පුරුදු වුණා.

මේ තත්ත්වයට පෙර මගේ දවස ගෙවී ගිය විදිය කිව්වොත්, ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස වසර දහයක් කටයුතු කළා. ඉන්පසුව අද දවසේ කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සිටින පන්දු රැකීමේ අංශයේ පුහුණුකරුවකු ලෙසයි කටයුතු කළේ එහි ප්‍රධාන පුහුණුකරු සහ තවත් පුහුණුකරුවකු සිටිනවා. ඊට අමතරව මාත් එම අංශයට ඇතුළත්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කරන්නෙ කිව්වොත් හරි. මේ තත්ත්වයට පෙර උදෑසනම අවදි වෙනවා. පුතාලා දෙන්නව පාසල් යවා ඊළඟට සුපුරුදු විදියට, ඇවිදින්න සහ ව්‍යායාම් වල යෙදෙනවා. සමහර දාට උදෑසන පැයක පමණ කාලයක් අපි පාපන්දු ක්‍රීඩා කරනවා. ඉන්පසුව තමයි රාජකාරී කටයුතු වලට යන්නෙ.

•පාපන්දු ක්‍රීඩා කරනවා කිව්වෙ?
අපේ පාපන්දු කණ්ඩායමක් තිබෙනවා. මුලින්ම අපි උදෑසන පැයක් විතර පාපන්දු ක්‍රීඩා කරන්න පටන් ගත්තෙ ශාරීරික යෝග්‍යතාව වෙනුවෙන්. ඉන්පසු අපි තරග වලටත් ගියා.

•කවුද ඔය කණ්ඩායමේ කට්ටිය?
අපේ ටීම් එකට, මහේල, චම්පික අයියා, ග්‍රෙගැම් ලැබ්රෝයි අයියා, චමින්ද වාස්, මහරුෆ්, චමිල ගමගේ, ඉසුරු උදාන මේ වගේ ක්‍රිකට් ක්‍රීඩා කළ සහ අදත් ක්‍රීඩා කරන පිරිසක් මේ කණ්ඩායමට ඇතුළත්. අපි දැනට සුහද තරග පහක් විතර ක්‍රීඩා කළා. ඒ තරග ඔක්කෝම වගේ අපි දිනුම්. සත්කාරක අරමුදල් වෙනුවෙන් තමයි අපි තරග විදියට ක්‍රීඩා කළේ. ශාරීරික සුවතාවට වගේම, අද දවසේ අපි හරියට මේ පාපන්දු ක්‍රීඩාව වින්දනය කරන බව කියන්න පුළුවනි.

•මේ කණ්ඩායමේ වැඩ කරුවෝ, තැන්නම් දක්‍ෂයෝ කවුද?
ඔක්කෝම වගේ දක්‍ෂයි. පාපන්දු වගේ ක්‍රීඩාවක් හැමෝම දක්‍ෂ නොවී කරන්නත් බැහැ. විශේෂත්වය වන්නේ, අපි මෙතෙක් තරග කළේ පාපන්දු ක්‍රීඩා කළ හිටපු පාසල් ක්‍රීඩකයින් සමඟයි. ඉතින් ඒ වගේ දක්‍ෂයින් තමයි අපි පැරැද්දුවෙ. පොලිස් කණ්ඩායම පරාද කළේ, එම කණ්ඩායමට ප්‍රිමියර් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් සිටියදීයි. අපි එදා ක්‍රිකට් ගහලා තිබුණට, අපේ ඇඟේ තියෙන්නෙ ක්‍රිකට් විතරක්ම නෙවෙයි. මේ පාපන්දු කණ්ඩායමේ සිටින දක්‍ෂයින් තෝරන්නත් අමාරුයි. මහේල, මහරූෆ්, වාස්, උදාන, ලැබ්රෝයි අයියා සහ චම්පික අයියා, වෙන්ඩල් ලැබ්රොයි එහෙම ඉතා දක්‍ෂයි.

•මේ විදියට දවස් ගෙවමින් සිටියදී නිවසට ගොනු වෙලා නිරෝධායනය වෙන්න සිදුවුණාම, මොන වගේ හැඟීමක්ද ඇති වුණේ.
එදා ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළ කාලයෙන් පසුවත් පුහුණු කරුවකු ලෙස රාජකාරී එක්ක කාර්ය බහුලව සිටියෙ. හැබැයි එදා මෙදා තුර ලැබුණු හොඳම නිවාඩුවක් වගෙයි දැනුණෙ. මෙච්චර නිදහසකින් ගෙදර ඉන්න ලැබුණු ප්‍රථම වතාව මෙයයි. ඒක මුලදී නම් හරිම අමාරු වුණා. ඒත් පසුව ඒකට හුරුවුණාම, ආස හිතුණා. කාර්යබහුල ජීවිතයේදී සමහර වෙලාවට කළ යුතු දේ කරන්නට තිබූ දේ මග හැරෙනවා. මේ කාලයේදී ඒ සියලු දේ කරන්නට වගේම ඉදිරිය සැලසුම් කරන්නත් පුළුවන් වුණා. ඉඩ තියෙන විදියට ගහක්- දෙකක් පැළ කළා. ගෙදර අස්- පස් කළා. මේ විදියට තමයි ඇදිරිනීති කාලය ගෙවී ගියේ.

•කොහොමද දරුවන්ගෙ විස්තර එහෙම?
ලොකු පුතා ඉලේෂ් සුදේව උමගිලිය. පාසල් අධ්‍යාපනය නිම කරලා දැන් එයා සරසවි අධ්‍යාපනය ලබනවා. දෙවැනියා සදිල් මානෙන් උමගිලිය. තවම පාසල් අධ්‍යාපනය හදාරනවා. ලොකු පුතාට හොඳට ක්‍රිකට් ගහන්නත් පුළුවනි. එයා හොඳ චයිනමන් රිද්මයේ පන්දු යවන්නෙක්.

•ඔබ කැමතිද ඔහු ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස අනාගතයේදී කටයුතු කරනවට?
එයාට මම පුහුණුවක් ලබා දෙනවා. එයා, ක්‍රිකට් වලට ආසයි. මගේ ප්‍රශ්නයක්- බාධාවක් ඊට නැහැ. කුමක් හෝ වේවා, තමුත් කැමති දේ හොඳින් කරලා, සතුටින් ජීවත් වෙනවා නම් හොඳයි.

•උපුල්, අපි යමු අතීතයට 96 කුසලානයෙන් ඔබ්බට ගිය, ඔබගේ ක්‍රිකට් දිවියේ මිහිරි මතකයන් අවදි කරවමු?
ශ්‍රී ලංකා කණ්ඩායමට එන්නට පෙර, මම පටන් ගත්තෙ ගාල්ල මහින්ද විද්‍යාලයෙන්. ඉන්පසුව ගාලු ක්‍රිකට් සමාජයට ක්‍රීඩා කළා. පසුව ටැමිල් යුනියන් (ද්‍රවිඩ ක්‍රීඩා සමාජය) එ්කට එක් වුණාම, මුරලිදරන් ආවෙත් ඒ කාලයේදීමයි. අපි දෙන්නම ටැමිල් යුනියන් එකට බැඳුනේ එකම වසරකදීයි. මුරලි ගැන මම විශේෂයෙන් කියන්නම ඕනෑ. පළමු වතාවට මට මුරලිව හමුවුණෙත් එදා ටැමිල් යුනියන් එකට ආවාමයි. ඒ දිනවල මුලින්ම මට එයාගෙ නම ‘‘මුත්තයියා මුරලිදරන්’’ කියලා උච්චාරණය කරන්න අමාරු වුණා. නිතරම ක්‍රීඩාවටම කැපවෙලා හිටපු චරිතයක්. හරිම සීරියස්. ඇස් දෙක ලොකු කරගෙන තරගයටම තමයි එයාගෙ අවධානය තිබුණේ. පස්සේ- පස්සේ ලංකාවේ අපි හැමෝටම හුරු නමක් වුණා.

එදා නම කතා කරද්දී වෙලාවකට අපි වැරදියට උච්චාරණය කළේ. දවල් දෙකට විතර ප්‍රැක්ටිස් ආවාම, පැය දෙකක් විතර එයා තනියම ‘ස්පොට්’ බෝලින්, (නිශ්චිත තැනකට පන්දු යැවීම) පුහුනු වුණා. ආයෙත් පුහුණු සැසියේදී එයා පන්දු යැව්වා. මහා පුදුමාකාර කැපකිරීමක් කළ චරිතයක්. අපි ප්‍රේමදාස කුසලානය එක දිගට දිනුවා.එදා මුරලිත් ලංකා පිලට එක් වූ මුල්ම අවදියයි. ක්ලබ් එකේ ප්‍රැක්ටිස් ඉවර වුණාම හවස හයට විතර අපි දෙපැත්තකට බෙදිලා පැයක් විතර පාපන්දු ක්‍රීඩා කළා. එතැනදීත් දෙගොල්ලම පරදින්න කැමති නැහැ. මරාගෙන තමයි ගෙරද යන්නෙ. ඉතින් හිත්වල තරහක් නැහැ. පහුවදාටත් පෙරදාටත් වඩා හොඳ යාළුවෝ. මුරලිත් එක්ක හොඳ මිතුදමක් ඇතිවුණේ ඒ කාලයේ ඉඳලාමයි.

ඔන්න මම අපූරු කතාවක් කියන්නම් ක්ලබ් එකේ නායකත්වය වසරින් වසර වෙනස් වෙනවා. මුරලිගෙ අවස්ථාව ආවා. පන්දු රැකීමට කණ්ඩායම පිටියට ගියාම, ටික වෙලාවකින් මගේ ළඟට එනවා. ඇවිත්, ‘‘මේ උඹ කරපං, මට සයිනස්, මට සයිනස් කියලා, එයා විවේක ගන්න යනවා. මේ නිසා මම මගේ අවුරුද්දෙත් ටැමිල් යුනියන් කැප්ටන්, මුරලිගේ අවුරුද්දෙත් මටම කැප්ටන් කරන්න වුණා. අපි දෙන්නගෙ මිත්‍රත්වයේ බැඳීම නිසා ඒ සිදුවීම් හරි සුන්දරයි.තවත් දෙයක් මම කියන්නම්, මගේ ජීවිතයේ මම දැකපු වඩාත්ම නිහතමානි චරිතයක්. ලෝක පූජිත ක්‍රීඩකයෙක් ලෙස මේ තරමට නිහතමානි වූ ක්‍රීඩකයෙක් දැක නැති තරම්. හරිම සරල කෙනෙක්. විකට් 800 අරගෙන එයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තා. ඉන් පසුව ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළා. රටට ක්‍රිකට් ගහන එක අත්හැරියාට එයා ඊළඟ දවසේ ඉඳලා ප්‍රේමදාස පිටියට ඇවිත් නැවත ‘‘ස්පොට් බෝලින්’’ කළා. පැයක් විතර ඒ විදියට පුහුණු වුණා. ලෝක පූජිත ක්‍රීඩකයෙක් නේද මේ? කියලා බලන් සිටි අයට එයා ගෙන දුන්නේ විශ්මයක්.

ඒ වගේම නවක ක්‍රීඩකයින්ට එයා එයින් ලබා දුන්නේ අපූරු ආදර්ශයක්. ඒකයි මම මුලදීත් කිව්වෙ, ඒ තරමට ක්‍රීඩාව එක්ක බද්ධ වී සිටි ක්‍රීඩකයෙක් මම දැකලා නැහැ කියලා. ක්‍රීඩාවට කොච්චර සාධාරණයක් කරන්න ඕනෑද? කියන එක දැන සිටින ක්‍රීඩකයෙක්.

•ඔබ ගැනත් කියන්න, අපි අහලා තියෙන විදියට, එදා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු අනිත් අයට නිතර- විහිළු තහළු කළ චරිතය ඔබ? මොනවද ඒ වගේ අවස්ථාවලදී මුහුණ දුන් සිදුවීම්?
මුලින්ම මම ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ වසරේදී, අර්ජුන අයියා, සහ අරවින්ද අයියා, විවේක අරගෙන හිටියෙ. එදා ඒ නිසා කණ්ඩායම මෙහෙය වූයේ රොෂාන් අයියා. අසංක අයියා එයාගෙ පළමු ශතකය ලබද්දී, එහා පැත්තේ පන්දුවට පහර දෙමින් සිටියෙ මම. එය මට කවදාවත් අමතක නොවන අවස්ථාවක්. මුලින්ම රොෂාන් අයියාගෙ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට ආ මම පසුව සංචාර ගියාම, අපි දෙන්නාට ලැබුණෙ එක කාමරය. ක්‍රීඩකයින් ඒ විදියට කාමරවලට යොමුකරද්දී සනත් එක්ක තමයි වැඩිපුරම හිටියෙ. හැබැයි අසංක අයියා එක්ක ඉන්න අපි කවුරුත් බයයි. කණ්ඩායමේ ටිකක් චණ්ඩියෙකුත් ඉන්න එපායැ. ඉතින් එදා අපේ චණ්ඩියා වුනේ එයා.

2000 දී විතර අසංක අයියගෙ රූම් එකට මම වැටුණෙ. කට්ටිය ඉතින් කියලා තිබුණෙ උඹ පරිස්සමින් ඉඳපං එයා චණ්ඩියා දන්නවනෙ කියලා? මම ඉතින් මාර බයකින් රූම් එකට ගියේ. ඔන්න ඉතින් නිදාගන්න ගියාම, බය වැඩිකමට මට නින්ද ගියෙත් නැහැ. පාන්දර ජාමෙ මට නින්ද ගියේ. උදේ ඇහැරුණාම ඒයි, ඒයි නැගිටපං අන්න තේත් හදලා තියෙන්නෙ බීපං කිව්වා. ඔන්න ඔය වෙලාවට තමයි කියන්නෙ යකා කියන තරම් කළු නැහැ කියලා. ඇත්තටම අසංක අයියා කියන්නෙ හොඳ පපුවක් තියෙන හරි හිත හොඳ මනුස්සයෙක්.

රොෂාන් අයියා එක්ක රූම් එකට වැටුණම, මම ඇඳුම් සහ සපත්තු- අරවා මේවා ඔහේ තැන්- තැන්වල දානවා. එයා කිසිම සද්දයක් නැතුව ඉඳලා පහුවදා අවදිවෙන කොට හරි පිළිවෙළට මගේ ඇඳුම් එහෙමත් නමලා හරි ගස්සලා තියෙනවා. එහෙම කළාම ඊළඟ දවසේ අපට පෙර විදියට වැරදි කරන්න බැහැනේ. මාත් ඒ පිළිවෙළට පුරුදු වුනා.

කණ්ඩායමට ක්‍රීඩා කරනවට වඩා වැඩි රාජකාරියක් කරන්න තිබුණෙ, අතිරේක ක්‍රීඩකයා හැටියට සිටියදීයි. සම්පූර්ණයෙන් තරගය දිහා බලාගෙන ඉන්න වුණා. අසංක අයියා බැට් කරද්දී, ආයේ ඉතින් අපි අහක බලන්නෙම නැහැ. එයාට ග්ලව්ස් (අත් ආවරණ) එහෙම ඕනෑ වුණාම අපි ඒවා රෙඩි කරගෙන ඉන්න ඕනෑ. අපි කළේ එයාගේ සියලු ආම්පන්න, වතුර, අරවා මේවා ඔක්කෝම එක තැනක තියා ගත්ත එකයි. එහෙම නොකර ටිකක් හරි පරක්කු වුණා නම් ඉතින් අපි ඉවරයි.

ඇත්තම කිව්වොත් මේ විදියට අපි ඒ විශිෂ්ටයින්ගෙන් ජීවිතයට ඉගෙන ගත්තෙ ක්‍රිකට් විතරක්ම නෙවෙයි. සිරිත්- විරිත් ඇතුළු බොහෝ දේ අපට ඒ ලෝකශූර කණ්ඩායමෙන් ලැබුණු දායාදයි. එදා ඇත්තටම ලෝක කුසලානය දිනුවෙ කණ්ඩායමේ නායකත්වයේ සිට ඒ සියලු ක්‍රීඩකයින් අතර තිබූ අපූරු ගුණාංග නිසයි.

අර්ජුණ අයියා බැට් කරන වෙලාවට, අනෙක් පැත්තෙ බැට් කරන්න ලැබුනාම කිසිම චකිතයක් නැහැ. නවකයින් හැටියට පිටියට ආ පිතිකරුවාට පීඩනය නොදී, එයා සම්පුර්න බර කරට අරගෙන අනෙක් පැත්තෙ ක්‍රීඩකයාට පුදුම සහයෝගයක් දැක්වූවේ.

මම ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරගයේදී, අර්ජුන අයියා ඉන්ජරි වෙලා හිටියෙ. ඒ නිසා අරවින්ද අයියා, නායකත්වය දුන්නෙ. එදා තරගයේදී පාකිස්ථානයට එරෙහිව පළමු ඉනිමේ විකට් 6ක් මම ලබා ගත්තා. ඒක අදටත් වාර්තාවක්. විශ්වාස කරන්න එදා මට පකිස්ථාන් පිතිකරුවන් හයේ ඒවා කොච්චර ගැහුවත්, අරවින්ද අයියා වචනයක්වත් කිව්වෙ නැහැ.

අර්ජුන අයියා එක්ක, මුලින්ම බැට් කරන්න ලැබුණ තරගයේදී, මම පිටියට ගියේ බයෙන්. හැබැයි විකට්ටුව අසලට ගියාම, ඔයාට කැමති විදියට ක්‍රීඩා කරන්න කියලා, එයා බර කරට ගත්තා. අපට තිබුණෙ නිදහසේ ක්‍රීඩා කරන්න විතරයි. ඔක්කෝමත් හරි අර්ජුන අයියත් එක්ක විකට් අතර දුවන එක ලෙහෙසි දෙයක් නම් වුණේ නැහැ. එයා එක්ක දුවන්න අපට බැහැ. එච්චරටම හයියෙන් විකට් අතර දුවන්න පුළුවන්. අරවින්ද අයියාත් එහෙමයි. එයා එක්ක රෝඩ් රනින් කරද්දී (මාර්ගයේ දිවීමේදී) පැය ගණන් එක දිගට එයාට දුවන්න පුළුවන්කම තිබුණා.

•තරග සංචාරවලදී ප්‍රතිවාදී ක්‍රීඩකයින් වෙතින් මුහුණ දුන් සිදුවීම් එහෙමත් ඇති.?
ආ… මම හොඳ සිදුවීමක් මතක් කරන්නම්. එක්තරා අවස්ථාවක ඔස්ට්‍රේලියාවෙ තරග සංචාරයකදී, මම බැට් කරද්දී, මැතිව් හේඩන්, මට නිතරම විහිළු කරලා මාව තරහා ගස්සවන්න හැදුවා. ඉක්මනට මාව අවුට් කර ගැනීම එයාගෙ උපක්‍රමය වුණා. ‘‘මට එයා චික්.. චික්… කියලා විහිළු කරන්න පටන් ගත්තා. ඒ නම මට දාළා තිබුණේ. ඇලෙක්ස් කොන්ටුරි. ඒකට හේතුව මේදය මැන බලද්දී මගේ සිරුරේ කුකුළෙකුගේ තරමටවත් මේදය නොතිබුණ නිසයි. එතකොට කොහොමද මේ ඇලෙක්ස් දාපු අන්වර්ථ නාමය මෙයා දැනගත්තේ කියලා මම හිතුවා. පන්දු රකින්න ගියාමත් මිනිහා මාව කේන්ති කරවන්න ඒ විදියට විහිළු කළා. හැබැයි මම නෙවෙයි. තරගය අත්හැරියෙ

•ලෝක කුසලාන තරගාවලියේදී වූ රස මතකයකින් මේ පිළිසදර නිමා කරමු.?
ලෝක කුසලානය දිනා ගැනීම ඉතින් එය මියෙන තුරුම, අමරණීය මතකයක්. අවසන් පූර්ව තරගයේදී ඊඩන් ගාඩ්න්වල හිටපු සෙනග කන්දරාව මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. ඒ කෑ ගැසිල්ලට පන්දු රකින අවස්ථාවේ අපි කතා කරන ඒවා කාටවත් ඇහුණේ නැහැ. ඊට වඩා නරඹන්නන්ගේ ඝෝෂාව වැඩියි. ඒත් පීඩනයක් අපි කාටවත් තිබුණෙ නැහැ.හොඳ නායකත්වයක් යටතේ අභීතව ගිය ගමනක ජයක්. මට මතකයි අපි එච්චර ඇඟට පීඩනයක් ගත්තෙ නැහැ. අවසන් තරගයදා උදේත් අපි ෂොපිං ගිහිල්ලා ආවා. ඒ වන විට ජයග්‍රාහී මාවතට අපි ඇවිල්ලා හිටියෙ.

අරවින්ද අයියා පන්දුවට පහර දෙන අවස්ථාවලදී, එහා කඩුල්ලේ හිටපු කෙනා එක්ක, එච්චර කතා කළේ නැහැ. එයාගෙ හැටි එහෙමයි. වැඩිය කතා නැහැ. පැය ගණන්, වරු ගණන්, පන්දුවට පහර දුන්නත් සද්ද නැහැ, ඕනෑ නම්, ‘‘මල්ලි හ්ම්’’ කියයි. එච්චරම තමා. එයාගෙ අවධානය සම්පූර්ණයෙන්ම තිබුණෙ, පන්දු යවන ක්‍රීඩකයා වෙතයි. අරවින්ද අයියගේ පිතිකරණය ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනෙ. ලෝකයේ මෙතෙක් බිහිවූ අග්‍රගණ්‍ය සහ ශ්‍රේෂ්ඨ පිතිකරුවන් අතරට අයත් තවත් අමරණීය චරිතයක්. එදා 96 දී අවසන් මහා තරගයේදී එයා ලබාගත්ත ශතකය මම මගේ ක්‍රිකට් ජීවිතයේදී දැකපු විශිෂ්ටතම ඉනිමක්. පන්දු රකින්න ගියාමත් මම මගේ ජීවිතයේ දැකපු විශිෂ්ටතම පන්දු රකින්නෙක් එයා.හැබැයි අරවින්ද අයියා සතු වූ ඒ දක්‍ෂතාව ගැන එදා අපි එච්චර විශේෂත්වයෙන් කතා කරලා නැහැ.

Next Post

මහේලට එන්න එපා කිව්වත් එයි - මාධ්‍යයෙන් විශේෂ ඉල්ලීමකුත් කරයි

Fri Jul 3 , 2020
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩයාමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට අද පෙරවරුවේ පැමිණ තිබේ. අදාළ ඒකකය විසින් ඊයේ රාත්‍රී නැවත වරක් මහේල ජයවර්ධන මහතාට දැනුම් දී ඇත්තේ අද (03) දින ප්‍රකාශය ලබාදීමට නොපැමිණෙන ලෙසයි.කෙසේ වෙතත් මහේල ජයවර්ධන මහතා අද පෙරවරු 9.00ට පමණ ක්‍රීඩා වැරදි […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News