සමාජයට පණිවිඩයක් දෙන්න ඕනේ නිසයි මම නැටුවේ – සමාජ මාධ්‍ය කැළඹු වීඩියෝව මෙන්න

ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ “චිත්‍රාංගනී විජේවීර” චරිතය රඟ පෑ සුලෝචනා වීරසිංහ ඔබට මතක ඇති. ඒ වගේම පසුගිය දිනවල වැඩි කතාබහට ලක්වූ තණමල්විල කොල්ලෙක් ටෙලි නිර්මාණයෙනුත් අපට ඇය දැක ගන්න ලැබුණා. ඒත් අපි මේ කියන්න හදන්නේ ඒවා ගැන නෙමෙයි.

පසුගිය සතියේ දවසක මුහුණුපොතේ (Face Book) අපි දැක්ක ඇගේ නැටුමකට සම්බන්ධ කතාවක් ගැනයි.සුලෝචනා මේ රංගනය ඉදිරිපත් කර තිබුණේ සාමාන්‍ය තැනකදී නෙමෙයි. සාමාන්‍ය තත්ත්වයකදීත් නෙමෙයි. කො_රෝනා රෝගය ආසාදිත වී මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

එතැන සිටි හැමෝම එක්ක එකතු වෙලා මේ නර්තනය ඉදිරිපත් කළේ නිකම්ම නෙමෙයි. යම් කිසි පණිවුඩයක් දිය යුතු නිසා. අපිට කො_විඩ් ආසාදනය වී තිබුණත් එතරම් ලොකු අමාරුවක් ඇඟට පතට දැනී තිබුණේ නැහැ. තිබුණේ මානසිකව ඇදවැටීමක් විතරයි. නමුත් රෝහලේ කාර්ය මණ්ඩලය ඒ තත්ත්වය නැති කරන්න ගත් ක්‍රියාමාර්ග ගැන අපි සතුටු වුණා. ඒ සතුට තමයි අර විධියේ නැටුමකින් අපි පෙන්නුවේ. ඒ විතරක් නොවෙයි ඒ නැටුම සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කළෙත් සමාජයට යම් පණිවුඩයක් ලබා දෙන්නයි.

මොකද කො_විඩ් රෝහල්වලදී රෝගීන්ට හරි හැටි ප්‍රතිකාරයක් ලැබෙන්නේ නැහැ. රෝගීන් ගැන බලන්නේ නැහැ කියන වැරැදි මතයක් සමාජ ගත වී තිබෙනවනේ. ඒක එහෙම නෙමෙයි කියලා මම එතැනදී අත්දැකීමෙන්ම දැන ගත්තා. ඒ හිටපු කාලය පුරාම වෛද්‍ය කාර්ය මණ්ඩලයේ පිරිස අපි වෙනුවෙන් කළ සේවය මම දැක්කා. ඇත්තටම ඒක සුවිශාල සේවාවක්. ඔවුන්ගේ කළ කැපවීම ඉතාමත් ඉහළයි. “ සුලෝචනා හදවතින්ම කතා කළා.”

සුලෝචනා කොවිඩ් රෝගයට ගොදුරු වී ඇත්තේ රූපගත කිරීමකට සහභාගි වෙමින් සිටියදීය. තමන් සිටි කණ්ඩායමේ සාමාජිකයන් කීප දෙනකුට කොරෝනා වැලඳී ඇතැයි කියා දැනගත් ඇය ඉක්මනින්ම ජයවර්ධනපුර රෝහලට ගොස් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකර ගත්තා. ඒ පරීක්ෂණයෙන් තමයි සුලෝචනාත් කො_විඩ් රෝගයට ගොදුරු වී ඇති බව දැන ගත්තේ.

කිසිදු කලබලයකින් තොරව වාහනය වෙත ආ සුලෝචනා ඊළඟට ගියේ කාර් පාර්ක් එකේ මුදල් ලබාගන්නා පුද්ගලයා වෙතයි. එහෙම ආ ඇය වාහනයේ වීදුරුව පහත් කොට මෙහෙම කිව්වා.මම කො_විඩ් පොසිටිව් කියලා දැනගත්තා. මේ සල්ලි ගන්න. හැබැයි හොඳින් Santize කරන්න.” කියා මා ඔහුට කිව්වා. ඔහු මුදල් ගත්තේ් නැහැ. මම එහෙම කළේ නොකියා මුදල් දී එන එක සුදුසු නැති නිසා.

සුලෝචනා අනතුරුව නිවෙසේ සිටින හැමෝම මේ සම්බන්ධව දැනුවත් කළා. ඊළඟට තමයි රෝහල් ගත වුණේ.මේ විධියට මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළු වුණා.ඇය දින හතරක් පමණ එහි ගත කළේ දැඩි මානසික ආතතියකින්. මොකද ඇයට නිතරම තමන්ගේ පුංචි දරුවා මතක් වෙන නිසා. ඒ දරුවාගෙන් අෑත් වෙලා ඉන්න එක ඇයට පුදුමාකාර විදිහේ මානසික කරදරයක් වුණා.

කො_විඩ් නිසා මට තිබුණේ පුංචි වෙහෙසක් විතරයි. ඒත් දරුවා හින්දා ලොකු මානසික වේදනාවක් මට ඇති වී තිබුණා. මේක මට විතරක් නෙමෙයි රෝහලේ සිටි බොහෝ අය තුළත් තිබෙනවා මම දැක්කා.“කොහොම හරි ඔන්න ඔය වගේ වේලාවක තමයි වෛද්‍ය කාර්ය මණ්ඩලය නිවේදනයක් නිකුත් කරලා “ අපි සින්දු දානවා. පුළුවන් හැමෝම ඇවිත් නටන්න” කිව්වේ.

ඇත්තටම ඒක නම් මාරයි. මමත් ඊට එකතු වුණේ යම් මානසික සහනයක් වුවමනා වී තිබුණු නිසාමයි. මේ වෙලාවේ අපි හැමෝටම කතා කළා. ඒ විතරක් නෙමේ මම දුරකථන ඇමතුමක් අරන් රෝහල් කාර්ය මණ්ඩලයෙනුත් ඉල්ලීමක් කළා ඔයගොල්ලොත් ඔය පැත්තෙම ඉඳන් අපිට පේන්න අපිත් එක්කම නටන්න කියලා. ඇත්තටම ඔවුන් ඒක කළා. ඉතිං පුදුමාකාර විධියේ සතුටක් අපේ හිත්වලට එදා දැනුණා.

සුලෝචනා මේ නැටුම ඉදිරිපත් කළේ රෝහලට ඇතුළු වෙලා දින 4කදී. ඇය කියන විදිහට රෝහල් කාර්ය මණ්ඩලය මේ විදිහේ වැඩ සටහන් නිරන්තරයෙන්ම කරනවා. ඔවුන් ඒක කරන්නේ රෝගීන්ගේ මානසික තත්ත්වය හොඳ තැනකට ගන්න වුවමනා නිසාමයි.

සාමාන්‍යයෙන් අපි දන්නවා කොවිඩ් රෝගයට ගොදුරු වෙන අයට දරුණු රෝග ලක්ෂණ තිබුණොත් විතරක් අයි.ඩී.එච්. රෝහල කරා රැගෙන යන බව. ඊට අමතරව සාමාන්‍ය රෝගී ලක්ෂණ පෙන්වන බොහෝ දෙනා ඇතුළු කරන්නේ සාමාන්‍ය රෝහල්වලට. නමුත් අයි.ඩී.එච්. රෝහල ඇරුණුකොට ඊළඟට දරුණු රෝග ලක්ෂණ පෙන්වන අය මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වගේ තවත් සැලකිය යුතු රෝහල් කිහිපයකට ඇතුළු කරනවා. ඊට අමතරව කොවිඩ් රෝගීන් සඳහා නිර්දේශ කොට තිබෙන කඳවුරු වෙතත් යොමු කරනවා.

කොහොම හරි මෙන්න මේ වගේ තැන්වලදී වෛද්‍යවරුන් හා හෙද සොයුරු සොයුරියන් වගේම කනිෂ්ඨ කාර්ය මණ්ඩලය කො_විඩ් රෝගීන් එක්ක ගනුදෙනු කරන්නේ රෝගීන්ගේ තත්ත්වය ගැන හොඳින් දැනගෙනයි.

සමහරු චෝදනා කරනවා “අපිව බලන්න ළඟටවත් එන්නේ නැහැ. බෙහෙත් එවනවා විතරයි” කියලා. රෝග ලක්ෂණ ලොකුවට නැත්නම් ඇත්තටම ඔවුන් එහෙම එන්න ඕනෑ නැහැ. මොකද අපි ඉන්නේ දවස් 10ක් වගේ කාලයක්. ඒ කාලය නිමා කරලා අපි එනවා. නමුත් අර වෛද්‍ය කාර්ය මණ්ඩලය ඊළඟට එන රෝගීන් විශාල ප්‍රමාණයක් වෙනුවෙන් සුරක්ෂිතව ඉන්න ඕනෑ”

අනෙක මේ කාර්ය මණ්ඩලය අඳින ආරක්ෂිත ඇඳුම අඳින්නත් ලොකු කාලයක් ගත වෙනවා. ඒක ඇඳගෙන ලොකු වේලාවක් ඉන්නත් බැහැ. හරිම අපහසුයි. ඒක අපිට බැලූ බැල්මට පේනවා. ඒ නිසා හදිසි අවස්ථාවකදී විතරයි ඔවුන් එහෙම එතැනට එන්නේ. ඒක සාධාරණයි.

සුලෝචනා මෙහෙම කියන්නේ අසාධ්‍ය තත්ත්වයට පත්වූ රෝගීන් දෙදෙනකුට එවැනි ප්‍රතිකාර ලබාදීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලය පැමිණි මොහොතේ ඇයත් ඊට උදවු කරන්න ඉදිරිපත් වූ නිසාමයි. ඒත් ඇත්තටම ඒ රෝගීන් දෙදෙනා තුළත් තිබී ඇත්තේ අනිසි බියක්.

වෛද්‍යවරු ඇවිත් බලලා ඒ රෝගීන්ව පරීක්ෂණ කීපයකට ලක් කළා. ඒත් ඒ හැම ටෙස්ට් රිපෝට් එකක්ම හොඳයි. එතැනදීත් සිදුවී තිබුණේ රෝග ලක්ෂණ ගැන ලොකුවට හිතලා ඒ රෝගීන් දෙදෙනා අනිසි බියක් ඇතිකර ගැනීමයි. ඒක ඇත්තටම වෙන්නේ මානසික තත්ත්වය පහළට වැටුණාම. ඉතිං වෛද්‍ය කාර්ය මණ්ඩලය මේ නිසාමයි අර විදිහේ වැඩසටහන් සංවිධානය කරන්නේ.

කොහොම හරි මේ දින 10 ගත කරලා ගෙදර ආවට පස්සේ මට හිතුණ දේ තමයි මම ලබාගත්ත අත්දැකීම් සමාජයට පණිවුඩයක් දිය යුතුයි කියන එක. අපි කොවිඩ් රෝගයට ගොදුරු නොවී ඉන්න වග බලාගන්න ඕනෑ. කවුරුත් අපිට බලෙන් කො_විඩ් බෝ කරන්නේ නැහැ. අපේ පරෙස්සම හා වගකීම අඩු වුණු තැනදී මේ රෝග බෝ වෙනවා. ව්‍යාප්ත වෙනවා.

ඒ වගේම අපි හැමෝටම එකම විදිහේ කොරෝනා ලක්ෂණ හා දරුණු රෝගීන් වෙන්නේ නැහැ. අපේ රෝගී ලක්ෂණ අනුව තමයි අපිට කො:විඩ් කඳවුරු හා රෝහල් ලැබෙන්නේ. ඒ වගේම ප්‍රතිකාර ක්‍රමවලත් තත්ත්වය එහෙමයි. අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඒ තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන තමයි රෝගීන්ට ළං වෙන්නේ හා දුරින් ඉඳන් ප්‍රතිකාර ලබා දෙන්නේ. ඔවුන් එහෙම නොකර හිටියොත් ඔවුන්වත් මේ රෝගයට ගොදුරු වෙනවා. එහෙම වුණොත් කවුද රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන්න ඉතුරු වෙන්නේ? මතකනේ ඉන්දියාවට වෙච්ච දේ! ඒ නිසා මුලින්ම අපි ගැන වගේම ඔවුන් ගැනත් අපි හිතන්න ඕනෑ.මම නම් ඇත්තටම සතුටු වෙනවා ඔවුන්ගේ ප්‍රතිකාර ක්‍රම හා අපිව බලාගත්ත විදිහ ගැන. අපි කවුරුත් වගකීමෙන් කටයුතු කරමු. ඒක තමයි මට මේ වෙලාවේ ඉල්ලන්න තිබෙන්නේ”.

Next Post

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මෙන්න

Sun Jul 4 , 2021
සුඛෝපභෝගී භාණ්ඩ ලෙස නම් කොට ඇති භාණ්ඩ ආනයනය තහනම් කිරීමට හෝ එම ආනයනයන්ට දැඩි සීමා පැනවීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.රට තුල පවතින ඩොලර් සංචිත ස්ථාවර කර ගැනීමේ තවත් පියවරක් වශයෙන් මෙය සිදු කිරීමට සූදානම්වන බව යි වාර්තා වන්නේ.ජංගම දුරකතන, රූපවාහිනී, අධිශිතකරණ ඇතුළු ගෘහ විදුලි උපකරණ, සුවඳ විළවුන් […]

Breaking News