දික්වැල්ල හා කුසල් ආපසු කැඳවයි – වීඩියෝව සමාජ මාධ්‍ය දැමු නසීර් නිස්තාර් තැබූ සටහන මෙන්න

බංග්ලාදේශයට එරෙහිව බංග්ලාදේශයේදී ශ්‍රී ලංකාව ලැබූ පළමු ක්‍රිකට් තරගාවලි පරාජය ලබන්නේ මීට සති කිහිපයකට ඉහතදීය. ඒ බංග්ලාදේශය එරෙහිව පැවැති එක්දින තරගාවලිය 2-1ක් ලෙස බංග්ලාදේශය ජයගැනීමත් සමගිනි.

නවක කණ්ඩායමක් මෙම තරගාවලියට එක්වූ අතර එම කණ්ඩායමම එංගලන්තය හා පැවැත්වෙන විස්සයි20 හා එක්දින තරගාවලියට නම් කරනු ලැබීය.

විස්සයි20 තරගාවලිය එංගලන්තය 3-0ක් ලෙස ජයගත්තේය. මෙම තරග තුනේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ක්‍රීඩා කළ ආකාරය පිළිබඳව අමුතුවෙන් අදහස් පළ කිරීමට අවශ්‍ය නොවේ. අඩුම තරමේ ඇතැම් ක්‍රීඩකයන්ට එංගලන්ත පන්දු යවන්නන් යොමුකරන පන්දුවක් තම පිත්තේ හෝ වද්දා ගැනීමට නොහැකි තරමටම ඔවුන් දුර්වල වී තිබුණි.

දෙරට අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය අඟහරුවාදා ඩර්හැම්හිදී පැවැත්වීමට නියමිත තරගයෙන් ආරම්භවීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම දැන් ඩර්හැම්වලට පැමිණ තිබේ.

තම රට පිළිබඳව කිසිඳු තැකීමක් නොකරමින් ක්‍රීඩා කරන මෙම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙපළක් ඊයේ  රාත්‍රී 11.28ට පමණ ඩර්හැම් නගරයේ වීදියක සිටිමින් විනෝදවන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතී.

වීඩියෝවේ දැක්වෙන ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස් හා මෙවර ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ වැඩිම වටිනාකම හිමිවූ ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයෙක් වන නිරෝෂන් දික්වැල්ල එසේ වීදියක සිටින ආකාරය දැක්වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විනය පිළිබඳව මේ වන විට දැඩි කථා බහක් නිර්මාණය වී ඇති අවස්ථාවක මෙන්ම ජෛව බුබුලක් ආකාරයට මෙම තරගාවලිය පැවැත්වෙන අවස්ථාවක ඔවුන් දෙදෙනාගේ හැසිරීම පිළිබඳව දැඩි විවේචන එල්ලවෙමින් පවතී.

එම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ පළකළ නසීර් නිස්තාර් වීඩියෝව සමගින් අපූරු සටහනක් එක්කර තිබුණි.

“ දැකල පුරුදු මුහුණු දෙකක් ඩර්හැම්වලිදී අද රාත්‍රියේදී දැක ගැනීමට අවස්ථාව ලැබුණා. ඔවුන් තම සංචාරයේ විනෝද වෙනවා. ඔවුන් ඇවිත් තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩා කරන්න නෙමෙයි. මේ වීඩියෝව ගත්තේ ඉරිදා රාත්‍රී 11.28ට. මේ ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩාවිලාශයක සිටියදීත් ඩර්හැම් රාත්‍රියක විනෝදවීමට අමතක කර නෑ.

ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් බොහෝ පිරිසක් අඟහරුවාදා දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහාය දැක්වීමට සැලසුම් කර තිබෙනවා. ඔවුන් එංගලන්තයේ සෑම ප්‍ර දේශයකම සිට තරගය බලන්න එන්න ඉන්නේ. ඒත් අවාසනාවකට මේ ‘විගඩයින්’ මෙහේ ඇවිත් තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට හෝ ප්‍රේක්ෂකයන්ට සේවය කිරීමට නෙමෙයි”

නිමාවූ විස්සයි20 තරග තුනේදී කුසල් මෙන්ඩිස් 9,39,6 හා නිරෝෂන් දික්වැල්ල 3,11 ලෙස ලකුණු රැස්කර තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස් හා පිතිකරු නිරෝෂන් දික්වැල්ල ඉරිදා රාත්‍රී 11ට පමණ ඩර්හැම් මාර්ගයක රැඳී සිටීමේ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරික්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තාවෙයි.

ඒ අනුව එම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය එංගලන්තයේ සිටින කණ්ඩායම් කළමනාකරුගෙන් කරුණු විමසා ඇති බවද දැනගන්නට තිබේ.

මූලිකම ඔවුන් දෙදෙනා තරගාවලිය සම්බන්ධයෙන් වූ ප්‍රොටෝකෝලය බිඳ දමා ඇත්දැයි මෙහිදී කණ්ඩායම් කළමනාකරුගෙන් විමසා ඇති බව වාර්තා වෙයි.

මෙම තරාගාවලිය කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ජෛව බුබුලක් ලෙස ක්‍රියාත්මකවන අතර මේ ආකාරයට ක්‍රීඩකයන් තමන් රැඳී සිටින හෝටලයේ පිටතට ගමන් කිරීම එම ජෛව බුබුලට බලපෑම් එල්ලකරනු ලබයි.   

එංගලන්ත තරග සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස් හා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ ඔවුන් දෙදෙනා ඊයේ (27දා) රාත්‍රියේ ඩර්හැම් මාර්ගයක රැඳී සිටීම හේතුවෙනි.

මීට අමතරව කණ්ඩායම් කළමණාකරුගෙන් වාර්තාවක් කැඳවීමටද ක්‍රිකට් ආතයන තීරණය කර තිබේ.

මෙම ක්‍රීඩකයන් විනය විරෝධීව හැසිරී ඇති බවට තහවුරුවුවහොත් ඔවුන්ට එරෙහිව උපරිම විනය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

තරගාවලිය ජෛව බුබුලක් ලෙස ක්‍රියාත්මක වන අතර ඔවුන් මෙසේ හෝටලයේන පිටතට පැමිණීම එම ජෛව බුබුලට දැඩි බලපෑම් එල්ලකරනු ලබයි.

Next Post

බැසිල් එක්ක මෛත්‍රීට ඇතුළු ආන්ඩුවේ මන්ත්‍රීවරුන්ට අලුතින් ලැබෙන ඇමතිකම් මෙන්න

Mon Jun 28 , 2021
බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දෙන අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාද කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි. බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යධුරයේ නොව මුදල් රාජ්‍ය  අමාත්‍යධුරයේ හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍යධුරයේ දිවුරුම් දෙන බවද අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. […]

Breaking News