මහාචාර්ය නීලිකා මලවිගේ එන්නත් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි – ලස්සණ ෆ්ලෝරා මගේ සැමියාගේ

ස්වාධීන එන්නත් උපදේශන විශේෂඥ කමිටුවෙන් ප්‍රජා වෛද්‍ය පීඨයට සම්බන්ධ මහාචාර්ය නීලිකා මලවිගේ ඉල්ලා අස්වී තිබේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේදි සහ අනුක වෛද්‍යවේදි මහාචාර්ය නීලිකා මලවිගේ මේ දිනවල කො_රෝනා වසංගත මැඩලීමේ කාර්යභාරයේ ඉදිරිපෙළ හැසිරෙන්නියකි. ඇගේ සැමියා ලසන්ත මලවිගේද විශේෂඥ වෛද්‍යවරයෙකු වන්නා සේම ‘ලස්සණ ෆ්ලෝරා‘ ව්‍යාපාරයේ හිමිකරු බව බොහෝ අය නොදන්නා කරුණකි.මවක, බිරියක ලෙස නීලිකා නිවසේ සිදුකරන භූමිකාව ගැනත් සැමියා ඇතුළු පවුලේ අය ගැනත් කළ සොයා බැලීමක් මේ සමග පළවේ.

මම අපේ පවුලෙ වැඩිමලා. නංගියි මල්ලියි මමයි. අම්මගෙයි තාත්තගෙයි රස්සාව හැටියට පොඩි කාලේ ගොඩාක් තැන්වල හිටියා. අම්මයි තාත්තයි වෘත්තියෙන් වෛද්‍යවරු.“

අම්මයි තාත්තයි වැඩි දුර අධ්‍යාපනය වෙනුවෙන් එංගලන්තෙට ගිහින් හිටපු අවධියෙ තමයි මා මුලින්ම පාසල් ගමන පටන් ගත්තේ. එය මා දරුවෙක් විදිහට ඉතාම පීඩාකාරීව ගත කළ කාලයක්. මුළු පාසලේම හිටිය සුදු හමක් නොතිබුණු එකම දරුවා මම. හිතාගන්න පොඩි දරුවකුට සමවයස් දරුවන් අතින් සිදුවන සමහර නොසලකා හැරීම් දැනෙන විදිහ. ඒ සියලුම පීඩා මා ඒ වසර කීපය තුළ අත්වින්දා. “

මගෙ ළමා කාලයේ මිහිරිම ජීවිත අත්දැකීම ලැබෙන්නේ ලංකාවට ආවට පස්සෙ. අම්මයි තාත්තයි දෙන්නම අනුරාධපුරයට යොමු කෙරුණා. මුලින්ම ලංකාවේදි ඉස්කෝලෙ ගියෙ අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා විද්‍යාලයට. තුනේ පන්තියට ඇතුළත් වුණේ. ඒ දවස්වල එය අනුරාධපුර කොන්වන්ට් එක.“

ඒ ගතකරපු කාලය තමයි නියම ජීවිතය. අපේ ගේ තිබුණේ නුවර වැව ඉස්මත්තේ. විසාල වත්තක්. අපේ ගෙවත්තේ අඹ ගස් හතක් තිබුණා. අද අපේ දරුවන්ට තියන ප්‍රශ්න එදා අපට තිබුණෙ නෑ. ටියුෂන් මොනවද කියලා දන්නෙ නැති කාලයක් ඒක. කළුවර වැටිලත් අම්මා හෝ තාත්තා ඇවිත් කෑ ගහනකම් සෙල්ලම් කරන එක නැවතුණේ නෑ.“

අනුරාධපුරයෙන් කොළඹ දේවී බාලිකා විද්‍යාලයට අවේ ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා. ඉස්කෝලෙ දී විධිමත්ව ක්‍රීඩාවට යොමුවුණා. මා මුලසිටම පාසල් දැල් පන්දු කණ්ඩායාම නියෝජනය කළා. මළල ක්‍රීඩාවල නියැලුණා. අනේ මම අදත් කැමතියි ක්‍රීඩා කරන්න.“ ඇය කියන්නී පුදුමාකාර ආශ්වාදනීය හැඟීමකිනි.

මහැදුරු නීලිකා මලවිගේ ගේ ප්‍රිය සැමියා රටම හොඳින් හඳුනන අතිවිශේෂ චරිතයකි. ඔහු විශෙෂඥ වෛද්‍ය ආචාර්ය ලසන්ත මලවිගේය. ලංකාවේ ප්‍රමුඛම කලාත්මක මල් සැකසුම්කරුවන් වන ලස්සන ෆ්ලෝරා ගැන රටේ නොදන්නා කෙනෙක් මේ රටේ නැත. විශේෂඥ වෛද්‍ය ආචාර්ය ලසන්ත මලවිගේ ඒ දැවැනත් ව්‍යාපාරයේ නිර්මාතෘවරයාය. හිමිකරුවාය. කලාකාර විශේෂඥ වෛද්‍යවරයකුගේ බිරිය වීමේ අසීමිත අත්දැකීම ගැන ඇගෙන් විමසුවෙමි.

ඔහු හරිම අපූරු කෙනෙක්. අපි දැනුත් ඉඩකඩ හදාගෙන මුහුදු වෙරළෙ දුවනවා. ගෙදර එන්නෙ වැල්ලවත්තෙ ඉඳන් වෙරළ දිගේ ගල්කිස්සට දුවලා මුහුදු වතුර එක්ක එන සුදු පාට වැල්ල නා ගෙන. මිනිස්සු ඉන්නෙ කොටුවෙලා ජීවත් වෙන්න නෙමෙයි. සොබාදහම එක්ක ජීවිතය බෙදා ගන්න. මම මගෙ දරුවන්ටත් ඒ ඇත්ත කියලා දෙනවා. නිවාඩුවක් හදාගෙන අපි හතරදෙනා කඳු නගින්න යනවා. මා ඔවුන්ව ක්‍රීඩාවලට යොමු කළා. ඒ වෙනස නිසා ඔවුන්ට අධ්‍යාපනයත් පහසු වුණා කියා මා හිතනවා. ඔවුන් ඉගෙන ගත්තෙත් ජීවිතේ නිදහසේ විඳින ගමන්. ලොකු දරුවා මේ වනවිට කොළඹ වෛද්‍ය විද්‍යාලයේ පළමු වසරෙ ශිෂ්‍යාවක්.“

මහැදුරු නිලීකා මලවිගේට විශේෂඥ වෛද්‍ය ආචාර්ය ලසන්ත මලවිගේ මුණගැසෙන්නේ කොළඹ විශ්විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දීය. ඔවුන් එකිනෙකා මුලින්ම මුණ ගැසී තිබුණේ ව්‍යුහ විද්‍යාවේ ප්‍රායෝගික අත්දැකීම් වෛද්‍ය ශිෂ්‍යයන් වෙත ලබා දෙන මුල්ම මෘත දේහ විච්ඡේදන අත්දැකීම ලබන දිනයේ දී ය.

වෛද්‍ය පීඨයේ දී ව්‍යුහ විද්‍යාව ප්‍රායෝගිකව හදාරන්න අපි මෘතදේහ විච්චේදනය කළ යුතුයි. අපි කණ්ඩායම් කරනවා. හැම කණ්ඩායමකම අපට වඩා එක් වසරක් වැඩි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් ඉන්නවා. මගෙ කණ්ඩායමේ හිටිපු ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා ඔහු. “

ඊට පස්සෙ…?“. මම විමසුවෙමි.අපි දෙන්න මාසයක් වගේ යනකොට පෙම්වතුන් වුණා. ඊට පස්සේ ඉතින් අපි ආදරෙන් හිටියා.“යළිත් ඇගේ සැහැල්ලු සිනහාව මා පුරවා දැමුවේය. ඔහු වෙත ආශක්ත වීමට මුල් වූ විශේෂ හේතුව කුමක් දැයි විමසීමට සිතිණි.

ඔහු ගොඩාක් වෙනස් අදහස් තිබෙන කෙනෙක්. එහෙම කෙනෙක් නම් මෙඩිකල් ෆැකල්ටි එකකින් හම්බවෙන්නෙ නෑ. නිදහස් කලාකාමී අදහස් තිබෙන අභියෝගවලට කැමති, අලුතින් හිතන, පොතට කොටු වුණ සීරියස් චරියක් නොවුණු කෙනෙක්. පුදුමාකාර විදිහට මගෙ සිතුම් පැතුම්වලට ඒවා සමානයි. ඔහු ලස්සන ෆ්ලෝරා පටන් ගත්තේ සරසවියෙ දෙවන වසරෙදිමයි. මල් සැරසිලිවලට පිටකොටුවේ මල් කඩවල ඇවිදිද්දි, කූඩ හොයන්න වේවැල්දෙණිය යද්දි මාත් ඔහු සමඟ යනවා. ඒ විවිධත්වය හරිම විචිත්‍රයි. ඔහු ලස්සන ෆ්ලෝරා පටන් අරන් ගොඩනඟනකොට හමුවන්නෙ අපේ වෘත්තියට හාත්පසින් වෙනස් චරිත. ඒ අත්දැකීම අප අලුත් කළා. සරසවියෙන් අවුට් වුණාට පස්සෙ අප විවාහ වුණා“

වෛද්‍යවරියක් සේ වෘත්තීය ජීවිතය පටන්ගත් ඇය මේ වනවිට අනුක ජීව විද්‍යාව පිළිබඳ සුපතල විද්‍යාඥ මහැදුරුවරියකි.ඒ විෂය ඇගේ ජීවිත අභිලාෂයම බව ඇයට වැටහෙන්නේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ පශ්චාත් උපාධිය වෙනුවෙන් ඇයව තේරුණු පසුය.

අපේ පොඩි කාලෙ ගෙවුණේ ටෙලිවිෂන් නැති යුගයක. ඒත් මගෙ අම්මයි තාත්තයි ඉගෙන ගන්න එංගලන්තයෙ ගිය කාලෙ ඒ රටේ ටෙලිවිෂන් තිබුණා. ඒ කාලෙ සතුන් සම්බන්ධ වැඩසටන් කළ විද්‍යාඥයෙක් වුණු ඩේවිඩ් ඇටෙම්බරෝ මා දැඩි ලෙසම ග්‍රහණය කළා. මට විද්‍යාඥයෙක් වෙන්න අසාව ඇතිවුණේ ඒ අවධියෙදිමයි. එත් ලංකාවේ විද්‍යා අධ්‍යාපනයේ නිශ්චිත කෙළවර වෛද්‍ය වෘත්තිය.“

එහෙත් සරසවි ජීවිතය නිමා කරලා මගෙ සීමාවාසී කාලෙ ඉවර වුණාට පස්සේ අපේ අවුරුද්දෙ ඉහළම ලකුණු අරන් තිබුණෙ මම. මට ඔක්සෆර්ඩ් විශ්විද්‍යලයෙ ආචාර්ය උපාධියක් කරන්න ශිෂයත්වයක් ලැබුණා. ඒ 2004 අවුරුද්දෙ. “

ආචාර්ය උපාධියට ඔක්ස්ෆර්ඩ් ගියාට පස්සෙ තමයි මට තේරුණේ මම ජීවිතේ ආසම දේ ප්‍රතිශක්තිවේදය නේද කියලා. අපේ ඇඟ කොහොමද වයිරස්වලට එරෙහිව ප්‍රතිශක්තිය ගොඩනඟන්නෙ, කොහොමද ඒවට විරුද්ධව සටන් කරන්නෙ කියල දැනගන්න මට ලොකු ආශාවක් තිබුණා. එහෙ ගිහින් පරීක්ෂණවලට සහභාගී වුණාම ඒක පුදුම ආශ්වාදනීය අත්දැකීමක් වුණා. ඊට ඉස්සර දවසේ කළ පරීක්ෂණයේ ප්‍රතිඵලය ගන්න දවසට වැඩට යන්න ඉවසිල්ලක් නෑ. “

ඔක්ස්ෆර්ඩ්වලදී මගේ පී.එච්.ඩී සුපවයිසර් මහාචාර්ය ග්‍රැහැම් ෆොක් කියලා කෙනක්. මම අදටත් දිනපතා ඔහු හා සම්බන්ධ වෙනවා. අපි මේ කරන හැම පරීක්ෂණයක්ම කරන්නෙ ඔක්ස්ෆර්ඩ් විශ්විද්‍යාලයත් එක්ක. කො_විඩ්වලට කලිනුත් එහෙමයි. “

ඒ එක්කම අපේ අධ්‍යයන අංශය ගැනත් කිව යුතුයි. අපේ අංශයේ විශිෂ්ඨයන් ගොඩ දෙනෙක් ඉන්නවා. ආචාර්ය චන්දිම ජීවන්දර කෙනෙක්. ඔහු එක්ක අවුරුදු දහයක් මා වැඩ කර තිබෙනවා. ඒ වගේම හිතාගන්න බැරි කැපකිරීමක් කරන රසායනාගාර ශිල්පීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුනුත් මා සමඟ මේ වැඩ ටික කරන්නේ මා තරම්ම තෘප්තියෙන්. ඔවුන්ගේ කැපවීම තෘප්තිය සඳහාම කරන දෙයක් නොවෙයි. ඔවුන් වැඩ කරන්නෙ ඊට වඩා මහා බරසාර හැඟීමක් සහිත මානුෂීය සංවේදනාවක් වෙනුවෙන්. “

මේ විසල් මිනිස් සම්පත මෙහෙයවමින් මහාචාර්ය මලවිගේ රට වෙනුවෙන් කළ අසීමිත වැඩකොටසක් තිබිණි. කොවිඩ් මේ රටට එන්නට පෙර ඇය ඔක්ස්ෆර්ඩ් සරසවිය හා බද්ධවී ඩෙංගු සම්බන්ධව ලෝකයේ ඵලදායීම පර්යේෂණ කරමින් සිටි විද්‍යාඥයින්ගෙන් කෙනෙකි.

කොවිඩ්වලට එනන්තක් තිබෙනවා. ඒත් මේ තරම් අපව පීඩාවට පත් කළ ඩෙංගු රෝගයට එන්නතක් නෑ. ඒ වනවිට අප කළ දේ ගැන මාධ්‍යයට මේ තරම් විවර වුණේ නෑ. ඩෙංගුවලින් මාරා_න්තික තත්ත්ව ඇතිවෙන්නේ ඩෙංගු රක්තපාතයත් සමඟ. එය ඇතිවෙන්නෙ සෛලවලින් තරල කාන්දු වීමෙන්. ඊට හේතුව අපි හෙවුවා. ඩෙංගුවලට ප්‍රතිශක්තිකරණ හැදෙන්නෙ කොහොමද කියලා අපි සොයා බැලුවා. වැඩි දෙනකුට වැළඳිලා සුළු පිරිසකට පමණක් අසාධ්‍ය වෙන්නෙ ඇයි කියලා සොයමින් හිටියා. ලෝකයේ තිබෙන බෙහෙත් ඩෙංගු රක්තපාත තත්ත්වය සඳහා අත්හදා බලමින් සාර්ථකව ප්‍රතිකර්ම සොයමින් යන අතරෙ තමයි කො_විඩ් වසංගතය පැතිරෙන්න ගත්තෙ.“

මා ප්‍රතිශකත්කරණ පද්ධතිය පැත්තෙන් කතා කරන්නම්. ප්‍රතිශක්තිකරණය අතින් ඇත්තටම කො_විඩ් සහ ඩෙංගු අතර බොහෝ සමනාකම් තිබෙනවා.

ඩෙංගු මාර_න්තිකයි කිවුවත්, කො_විඩ් මාරාන්තිකයි කිවුවත් එම රෝග වැළඳෙන අති බහුතරයකට කිසිම ප්‍රශ්නයක් නෑ. ඩෙංගු රක්තපාතය වගේම කො_විඩ් නිවුමෝනියා වැනි මාරක තත්ත්වයකට එන්නෙ ඉතාම සුළු පිරිසකට. කො_විඩ් ගත්තොත් ඇල්ෆාවලට වඩා ඩෙල්ටාවලින් හැදෙන කො_විඩ් රෝගීන්ගෙ දරුණු රෝග ලක්ෂණ සහිත ප්‍රතිශතය සාපේක්ෂව වැඩි බව ඇත්ත. ඒ වැඩිවුණාට වැඩි පිරිසකට රෝග ලක්ෂණ පෙන්වන්නෙත් නැතිව රෝගය හොඳ වෙනවා.“කො_විඩ් සඳහා අපේ පර්යේෂණ සූදානම ගැන ඇසුවෙමි. එය ඇත්තේ කොතැන ද?

ජනමාධ්‍යවලින් ජනගත වන්නේ අපි කරන පර්යේෂණවලින් මොන කො_විඩ් ප්‍රභේද සොයාගත්තද වගේ කරුණු. ඒත් කො_විඩ් ගැන ගත්තාම සංකීර්ණ වැඩ කොටසක් කරනවා. ලංකාවේ අයගෙ ශරීර මේ එක් එක් එන්නත් සඳහා ප්‍රතිචාර දක්වන ආකාරය ගැන අපි දන්නේ නෑ, එක් එක් කො_විඩ් ප්‍රභේදවලට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද කියලා දන්නෙ නෑ, ඒ ගැන සොයා බලනවා. මොකද මේ ඒනනත් වගේම අප ඉදිරියේ තිබෙන කො_විඩ් ප්‍රභේදත් අලුත්.“

කො_විඩ් හැමදාම අපේ පර්යේෂණ අත්දැකීම් අලුත් කරනවා. අලුත් වයිරස ප්‍රභේද එනවත් එක්කම, වයිරසය අනුවර්තනයවන වේගයටම අපිත් පරීක්ෂණ කටයුතු කරන්න ඕන. අපි එහෙම පරීක්ෂණ කටයුතු කළේ නැතිනම් වයිරසය අපිව අභිබවා යනවා. ඇය කීවාය.

අප මහා වසංගතයක. මේ ව්‍_යසනය එක්ක තව කාලයක් අපට ජීවත්වෙන්න වේවි. අපි මොනවද කරන්න ඕන.“ ඇසිය යුතුම ප්‍රශ්නයක් ඇසුවෙමි.

කො_විඩ් ආවේ 2019 දෙසැම්බර්. දැන් ලෝකයේ රෝගය පැතිරීගෙන යනවා. මෙය වේගයෙන් පැතිරෙන හෙම්බරිස්සාවක් නවත්වනවා වගේ වැඩක්. හොඳ වෙලාවට කො_විඩ්වලට ඉතා සාර්ථක එන්නත් තිබෙනවා. “

මේ එන්නත්වලින් කො_විඩ් රෝගයේ කොවිඩ් නිවුමෝනියාව ඇතිවීම වැනි දරුණු රෝග ලක්ෂණ සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වෙන බලපෑම ඉතාම කාර්යක්ෂමව මැඩපවත්වනවා. ඔය ඕනෑම එන්නතක් එහෙමයි. රටක් ලෙස මීට මුහුණ දිය හැකි එකම විද්‍යාත්මක ක්‍රමය ජනගහණයෙන් වැඩි පිරිසකට එන්නත් ලබා දීම පමණයි.“

ඔබ මෙය වටහා ගත යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කිසිම එන්නතක් අනුමත කරන්නෙ නෑ ආරක්ෂාව කියන අතිශය සංවේදී කාරණාවේ සියලුම පැති සැලකිල්ලට ගන්නෙ නැතිව. ඕනෑම පිළිගත් ඖෂධ නියාමන අධිකාරියකින් මුලින්ම සලකා බලන්නෙ එම එන්නත මොනතරම් ක්‍රියාශීලී ද කියලා නෙමෙයි, මොනතරම් ආරක්ෂා සහිත ද කියලයි.“

වඩාත්ම සුදුසුවන්නෙ කල්පිත අතුරු විපාක ගැන වද වෙනවට වඩා කො_විඩ් එන්නතක් හැකි ඉක්මනින් ලබා ගැනීම. කො_විඩ් වැළඳුණොත් දිගු කාලීනව අතුරු විපාක ඇති වෙන්න පුළුවන් බව ලෝකයේ රටවල් දැන් හොයාගෙන තිබෙනවා. ඒ වගේම කො_විඩ් එන්නත් සාර්ථකයි කියලා පෙන්නුම් කර තිබෙනවා. මා හිතන්නෙ ඉතාම වැදගත් එන්නත් ලබා ගැනීමයි. එකම විකල්පය එපමණයි. “

එකිනෙකට එකක් ගැලපී එන්නේ මහා සාරගර්භ දැනුම් සම්භාරයකි. කෘතියකට සංගෘහිත කළ යුතු මෙම ඥානය ලිපියක කෙටි වචන පරාසයක් තුළ ගොණු කළ හැක්කේ කෙසේ දැයි කල්පනා කරමි. ගෙවුණු සෑම මොහොතකම ජීවිතයට යමක් එකතු වෙමින් තිබිණි. එබැවින්ම ඒ සෑම තත්පරයකට අතිශයින්ම ඇලුම් කරමි. දැන් ඇගෙන් සමුගත යුතුව ඇත. මේ පොදු සමාජයට නොවැටහෙන යමක් ගැන විමසමින් සංවාදය නිමා කළෙමි.

ඔබ දෙපළම කාර්යබහුල ජීවිතයක් ගත කරන අය. ඔබ වෙනුවෙන් කාලය හොයා ගන්නේ කොහොම ද?“ඇය යළි සුපුරුදු සැහැල්ලුවට පැමිණියාය.

ඕනෑම කෙනෙක් කාර්යබහුල වුණාට වැදගත් දේවල්වලට කාලය හොයා ගන්න පුළුවන්. මට මගේ ජීවිතය වැදගත්, මගෙ පවුල වැදගත්. මගෙ සෞඛයය වැදගත්. බුදු හාමුදුරුවොත් කිව්වෙ උතුම්ම ලාභය නිරෝගී බව කියලා. මගෙ ළමයි දෙන්නා මට අතිශයින්ම වැදගත්. ඔවුන් වෙනුවෙන් වෙලාව වෙන් කරගන්න බැරි නම් මම කවුරු වුණත් වැඩක් නෑ. දරුවෝ දෙන්න පොඩි කාලෙ ඉඳන් කවන පොවන දේ, උගන්වන දේ ඉඳන් මම මඟ හැරලා නෑ. මේ අවබෝධය මගෙ මහත්තයටත් තිබෙනවා. “

පොඩි කතාවක් කියන්නම්. දරුවො ඉස්කෝලෙ යනකොට මම තමයි කෑම හදන්නෙ. කෑම වේල් දෙකක් හදන්න ඕන. මගෙ පුතා පහේ ඉන්නකොට ඔහුගෙ යාළුවො දවසක් මෙහෙම කියලා තිබුණා .

ඔයාගෙ අම්මා අපරාදෙ ඩොක්ටර් කෙනෙක් වුණේ. චෙෆ් කෙනෙක් වුණා නම් අම්මාට හොඳ ෆියුචර් එකක් තියෙන්න තිබුණා.“ අපි දෙන්නාම කොක් සන් දී සිනාසුණෙමු.

ඒ ප්‍රීතිය ඉතිරෙන අසීමිත කාන්තාවගේ සජීවි හඬ තවමත් මා දෙසවනෙහි දෝංකාරය දෙමින් ඇති සෙයකි. අවසානයේ දී කිව යුතු දෙයක් ඇත. සාර්ථක ගැහැනියකගේ ආදර්ශයක් අවශ්‍ය නම් මහාචාර්ය නීලිකා මලවිගේ දෙස බලන්න.

ටානියා මෝසස් (සිළුමිණ)

Next Post

ලංකාවම ආදරේ කරන ඒ තරුණ ක්‍රීඩකයා - කුසල් මෙන්ඩිස් ගෙවන සුපිරි ජීවිතය මෙන්න

Mon Jun 28 , 2021
බාලප්පු වඩුගේ කුසල් ගිම්හාන මෙන්ඩිස් එහෙමත් නැත්තම් කුසල් මෙන්ඩිස් කියන්නේ ශ්‍රීලංකා ක්‍රිකට් රසිකයන්ගේ මුවග නිතර රැදුන නමක්. මේ වෙනකොට තරග දින්නත් පැරදුනත් අන්තර්ජාලයේ කුසලට එරෙහිව පලවෙන උපහාසාත්මක වදන් වලින් අපිට එබැව පෙනේ.මේ දක්ෂ යොවුන් ක්‍රීඩකයා ජාත්‍යන්තර පිටියේ දී ශතක කිහිපයක්ම මීට පෙර වාර්තා කළ බව ඔබට මතක ඇති.ඒ අතරින් ඔස්ට්‍රේලියාවට […]

Breaking News