ලංකාවේ නිළියකට රුපියල් කෝටි 450ක සුපිරි මන්දිරයක් අරන් දුන්නු ව්‍යාපාරික පෙම්වතා කවුද ?

ශ්‍රී ලාංකේය නිළියක ලෙස සැලකෙන ජැක්ලීන් ෆර්නැන්ඩස් දැන් බොලිවුඩයේ ඉතා ජනප්‍රිය ශිල්පිනියක බව රහසක් නොවෙයි. ඇගේ රංගන ජීවිතය වගේම පෞද්ගලික ජීවිතය ගැනත් තොරතුරු නිතර මාධ්‍ය තුළ පළවෙනවා.

පසුගිය දිනවල ද ඇය සම්බන්ධයෙන් පළ වූ ආරංචියක් ඇගේ රසික රසිකාවන් තුළ විශාල උනන්දුවක් ඇති කර තිබුණා.

එයින් කියැවුණේ ජැක්ලීන් දකුණු ඉන්දියාවේ ව්‍යාපාරිකයකු සමඟ ආදර සම්බන්ධයක් ඇති කරගෙන සිටින බවයි. තවමත් ඔහුගේ නම ගම විස්තර ආදිය නම් අනාවරණය වී නැහැ.

මේ අතර ජැක්ලීන් සම්බන්ධයෙන් කියැවෙන තවත් අලූත් ආරංචියකින් පැවසෙන්නේ ඇය මුම්බායි හි අලූත් නිවෙසක පදිංචියට පැමිණීමට සූදානම් වන බවකි.

මුම්බායි හි ජුහු නමැති ප්‍රදේශයේ මෙම සුවිසල් නිවස පිහිටා ඇත්තේ වෙරළ ආසන්නයේ මුහුදට මුහුණ ලා බව සඳහන්. ජුහු ප්‍රදේශය වඩාත්ම ප්‍රසිද්ධියක් උසුලන්නේ එහි ඇති සුන්දර වෙරළ තීරය නිසා යි.

ජැක්ලීන් පදිංචි වීමට සූදානම් වන නිවෙස එසේ මෙසේ එකක් නොවන බවත් පෙනෙනවා.

එය ඉන්දියානු රුපියල් කෝටි 175 ක් පමණ වටිනා එකක් බවයි පැවසෙන්නේ. මෙය ලංකා රුපියල්වලින් කෝටි 450 කට ආසන්න මුදලක්. ජැක්ලීන් ට දැන් ව්‍යාපාරික පෙම්වතකුත් සිටින නිසා මෙය ඇයට එතරම් ලොකු මුදලක් නොවනවා විය හැකියි.

ජැක්ලීන් කාලයක සිටම අලූත් නිවෙසක් සොයමින් සිටින බව මාධ්‍ය තුළ පළ වී තිබුණා. වරක් ඇය ප්‍රියංකා චොප්රා ට අයත් ව තිබූ නිවෙසක ද පදිංචිව සිටි බවට කතාවක් පැතිරුණා.

නමුත් ජැක්ලීන් එහි පදිංචි වී සිටියේ කුලී පදනමකින් බවයි පැවසුණේ. ඇයගේ අලූත් නිවෙසට ජැක්ලීන් පැමිණෙනු ඇත්තේ ඇගේ පෙම්වතා ද සමඟින් විය හැකි බවටත් කටකතා පළ වී තිබෙනු දැකිය හැකියි.

ඔවුන් දෙදෙනා මෙම අලූත් නිවෙස සම්බන්ධයෙන් නිතර විඩියෝ ඇමතුම් ඔස්සේ ද සාකච්ඡා කරනු දකින්නට ලැබුණු බවක් ද මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඔවුන් ජුහු නිවෙසේ පදිංචියට පැමිණීමෙන් පසු ජැක්ලීන් ගේ පෙම්වතා ඔහුගේ ව්‍යාපාරික ආයතන ද මුම්බායි වෙත ගෙන ඒමට ඉඩ ඇති බවටත් කතාවක් තිබෙනවා.

නිවෙසේ අභ්‍යන්තර අලංකරණ කටයුතු සඳහා ප්‍රංශ ජාතික නිර්මාණ ශිල්පියකු තෝරාගෙන ඇති බවත් සඳහන්.

මේ අතර ජැක්ලීන් ගේ රංගන ජීවිතය ද ඉතා සාර්ථක අන්දමින් ඉදිරියට යමින් තිබෙනවා. ඇය සහ සයිෆ් අලි ඛාන් රඟන Bhoot Police චිත්‍රපටයේ රූපගත කිරීම් මෙයට මාස කිහිපයකට පෙර අවසන් වුණා. ආක්ෂේ කුමාර් රඟපාන Ram Setu චිත්‍රපටයටත් ඇය රංගනයෙන් දායක වෙනවා.

මෙය ඉන්දියාව සහ ලංකාව අතර ඈත අතීතයේ පැවැති බව පැවසෙන පාලම පිළිබඳ කතාව ඇසුරෙන් නිර්මාණය වන සිනමාපටයක්. ආක්ෂේ කුමාර් මෙහි රඟපාන්නේ මෙම පාලම සම්බන්ධයෙන් ගවේෂණය කරන පුරාවිද්‍යාඥයකු ගේ චරිතයක්.

එම චිත්‍රපටයේ රූපගත කිරීම් පසුගිය මාර්තු මාසයේ ආරම්භ වුණත් ආක්ෂේ කොරෝනා ආසාදිතයකු වී රෝහල්ගත කිරීමට සිද්ධ වීමත් සමඟ එම කටයුතු නතර කිරීමට සිදු වුණා.

එයින් පසු ඉන්දියාව තුළ කොවිඩ් දෙවැනි රැල්ල මහත් බියකරු ආකාරයෙන් පැතිරෙන්නට පටන්ගත් බැවින් චිත්‍රපට රැසක කටයුතු අතරමග නතර කර දමන්නට සිදු වූ බව රහසක් නොවෙයි.

කෙසේ වෙතත් Ram Setu රූපගත කිරීම් පසුගිය දා නැවත ඇරඹි බවටත් කතාවක් මාධ්‍ය තුළ පළ වී තිබුණා.

මෙම චිත්‍රපටයේ ජැක්ලින් රඟපාන චරිතය කුමක් ද යන්න ගැන මුලින් එතරම් විස්තරයක් දැනගන්නට තිබුණේ නැහැ. නමුත් පසුගිය දිනෙක පළ වූ වාර්තාවකින් පැවසුණේ ඇය අර පුරා විද්‍යාඥයා ගේ ප්‍රධාන සහායිකාව ලෙස රඟපාන බවයි.

මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් ශ්‍රී ලංකාවේ ද සිදු කිරීමට නියමිත අතර ලබන සැප්තැම්බර් – ඔක්තෝබර් මාසවල එම රූපගත කිරීම් කෙරෙනු ඇති බවට ආරංචියක් තිබෙනවා.

කසුන් අරවින්ද










Next Post

දික්වැල්ල හා කුසල් ආපසු කැඳවයි - වීඩියෝව සමාජ මාධ්‍ය දැමු නසීර් නිස්තාර් තැබූ සටහන මෙන්න

Mon Jun 28 , 2021
බංග්ලාදේශයට එරෙහිව බංග්ලාදේශයේදී ශ්‍රී ලංකාව ලැබූ පළමු ක්‍රිකට් තරගාවලි පරාජය ලබන්නේ මීට සති කිහිපයකට ඉහතදීය. ඒ බංග්ලාදේශය එරෙහිව පැවැති එක්දින තරගාවලිය 2-1ක් ලෙස බංග්ලාදේශය ජයගැනීමත් සමගිනි. නවක කණ්ඩායමක් මෙම තරගාවලියට එක්වූ අතර එම කණ්ඩායමම එංගලන්තය හා පැවැත්වෙන විස්සයි20 හා එක්දින තරගාවලියට නම් කරනු ලැබීය. විස්සයි20 තරගාවලිය එංගලන්තය 3-0ක් ලෙස ජයගත්තේය. […]

තවත් මෙවැනිම පුවත්..........

Breaking News