වයස අංකයක් විතරයි මල්ලි අපොන්සු-සුජාතා 67යි 25 ආදර කතාව – ජායාරූප

ආදරයේ වයස් සීමාව කොපමණද? එයට සීමාවක් නැත. එබඳු තවත් ආදර කතාවක් පසුගියදා මල්ඵල ගැන්විණ. පෙම්වතා ජයසේකර අපොන්සුය. පෙම්වතිය ඔහුට වඩා වයස අවුරුදු හතළිස් දෙකකින් බාල සුජාතා ප්‍රියදර්ශනීය. අපොන්සු – සුජාතා නව යුවළ විවාහයේ සුන්දරත්වය විඳිමින් මේ දිනවල කාලය ගත කරති.ජයසේකර අපොන්සු කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්. පසුගිය කාලයේ ඔහු ව්‍යාපාරයකුත් ආරම්භ කළා. විවාහ කිහිපයකින්ම වෙන් වූ ජයසේකරගේ හිත ගන්න අවුරුදු 25 ක යුවතියක් සමත් වෙලා තිබෙනවා. ඔවුන් දැන් විවාහකයි. යලි විවාහ වූ ජයසේකර ඒ ගැන කියන්නේ මෙහෙමයි.

අපොන්සු ජිවිතයේ තවත් අලුත් පිටුවක් පෙරළුණා නේද?
ඔව් මල්ලි, සුජාතා හඳුනගෙන ටිකක් කල් වෙනවා. කාටවත් එයා ගැන කිව්වෙ නැහැ. පහුගිය දවසක විවාහ වුණා. දැන් බය නැහැ. හැමෝටම හඳුන්වලා දෙනවා මේ මගේ වයිෆ් කියලා.

සුජාතා මුණගැසුණු විදිහ ගැන කිව්වොත්?
වේදිකා නාට්‍ය කරන්න මං රට වටේම යනවා. හොරු නාට්‍යය අරගෙන ගියා අනරාධපුරේ ෂෝ එකකට. මෙතනට සුජාතා ඇවිත් හිටියා. දර්ශන වාරය ඉවර වෙලා මගෙත් එක්ක කතා කළා. ෆෝන් නම්බර් එහෙමත් හුවමාරු කර ගත්තා. කොළඹ ආවට පස්සේ අපි නිතරම කතා කළා. මං එතකොට නැවතිලා හිටියේ නුගේගොඩ ඇඹුල්දෙණියේ ගෙදරක කාමරයක.

ඇය එතනට ඔබ හොයගෙන ආවා?
අපි නිතරම කතා කරපු නිසා ලොකු හිතවත්කමක් ගොඩනැඟී තිබුණා. කොළඹ ආව වෙලාවක සුජාතා මාව හොයාගෙන ආවෙ ඒ හින්ද වෙන්න ඇති. හැබැයි එයා තනියම නෙවෙයි ආවෙ, තාත්තත් එයත් එක්ක ආවා. කාමරේට ඇවිත් වට පිට බැලුවා. මං එහාට මෙහාට වෙනකම් ඉඳලා කාමරෙ අපිළිවෙලට තිබුණු දේවල් පිළිවෙළට හදලා. ඒකෙන්ම මං තේරුම් ගත්තා සුජාතා මට ගැළපෙන කෙනෙක් කියලා.

කවුද මුලින්ම ආදරය ප්‍රකාශ කළේ?
දෙන්නට දෙන්නා එහෙම විශේෂයෙන් ආදරය ප්‍රකාශ කරලා නැහැ. එයා මගේ ජීවිතේ හැම දෙයක්ම තේරුම් ගත්තා. ඒකනෙ වෙන්න ඕන.මට හැට හතයි. එයාට විසි පහයි. පේනවද මට එච්චර වයසද කියලා. නැහැනෙ. තවම කොල්ල වගේ. වයස අංකයක් විතරයි. ආදරයයි විශ්වාසයයි තමයි වැදගත් වෙන්නේ.

අප සමාජය තුළ ඔවැනි විවාහයක් සිදු වුණාම සාම්ප්‍රදායික දෝෂරෝපණයක් එල්ල වෙනවා?
මං දන්නවා. අපිටත් එක එක දේවල් ඔය කියන්නේ. අපිට ඒවායින් වැඩක් නැහැ. දන්නවද මල්ලි සුජාතගෙ ගෙදරින් අපිට ආශිර්වාද කළා. උඹත් එක්ක කතා කරන මේ වෙලාවෙත් ඉන්නෙ එයාලගෙ ගෙදර. එයාගෙ අම්මයි තාත්තයි නිතරම අපිත් එක්ක ඉන්නවා. ඒ ඇතිනෙ. ඒ දෙන්නා සුජාතාට වචනයක්වත් කියලා නැහැ. ඔයාට කැමැති නම් ඔයා එයාට ආදරේ නම් සතුටින් ඉන්න කියලයි කියන්නේ.

ඔබ කලින් විවාහ වූ කෙනෙක්?
ඒවා දැන් මගේ හිතේ නැහැ. සුජාතාට මං හැම දෙයක්ම කියලා තියෙන්නේ. පරණ ඒවා දැන් වැඩක් නැහැනෙ. මං හිතන්නේ මගේ අලුත් ජීවිතය ගැන විතරයි.

ඔබේ කරවල බිස්නස් එක දැන් නැහැ?
ඒක ඕනෑවට වඩා ප්‍රසිද්ධ වුණා. බාධකත් ආවා. ඒ හින්දා නවත්වලා දැම්මා. කලාවනෙ මගේ ජීවිතේ. ඒක මගේ වෘත්තීය. කලාවෙන් විතරක් ජීවත් වුණා නම් ඇති කියලා හිතුණා. ආයෙත් කලාවම මගේ ආදායම් මාර්ගය කර ගත්තා. උඹට වුණත් හිතෙන්නට පුළුවන් ජෝඩුවක් කොහොමද කලාවෙන් ජීවත් වෙන්නේ කියලා. උත්සාහය තිබුනා නම් පුළුවන්.

දැන් දෙන්නා පදිංචිය කොහේද?
සුජාතාගේ ගම මැදවච්චිය. එහෙ අපට ඉන්න බැහැ. පුළුවන් වෙලාවල්වල එහෙ යනවා. අපි දැනට දෙකටන තමයි පදිංචි වෙලා ඉන්නෙ.

කලා කටයුතු?
මං කරපු චිත්‍රපටයක් තියෙනවා තරුසොබා කියලා. ඒකෙත් වැඩ ඉවර කළා. මේ දවස්වල ටෙලි නාට්‍යයක් ලියාගෙන යනවා. සුපුරුදු පරිදි මගේ වේදිකා නාට්‍යය ටික රඟ දක්වනවා.

ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණා මැදිරි එළියටත් බයයිලුනේ. අතීතයේ ලබපු අත්දැකීම් එක්ක ජයසේකර අ‍පොන්සු කියන කලාකරුවා කොහොමද ඉදිරි ජීවිතයට මුහුණ දෙන්න හිතාගෙන ඉන්නේ?
මගේ ජීවිතයට ඇතුළු වෙලා මගේ දේවල් හූරාගෙන ගියපු කාන්තාවෝ හිටියා. හැබැයි සුජාතා ඒ වගේ කෙනෙක් ‍නෙවෙයි. ඉන්න ටික කා‍ලේ කලාවත් කරගෙන එයා එක්ක සතුටින් ඉන්න එක තමයි මගේ ලොකුම බලා‍පොරොත්තුව.

ජයසේකර අ‍පොන්සු එහෙම කියනකොට අපි සුජාතා දෙසට හැරුණේ ඒ ගැන වැඩි දුර තොරතුරු ඇගෙන්ම දැනගන්න හිතාගෙනයි

මම අ‍පොන්සු අයියාගේ හොඳම රසිකාවියක්. අපි දැන හඳුනාගෙන දැන් අවුරුදු 5ක් විතර වෙනවා. හොරු නාට්‍යය අනුරාධපුරේ වේදිකාගත කරපු කා‍ලේ තමයි අපි කතාබහ කරලා මිත්‍රත්වයක් ඇති කරගත්තේ.

ඒ බැඳීම තවත් ශක්තිමත් වුණේ කොහොමද?
දවසක් මම කොළඹ ආපු වෙලාවක මට අ‍පොන්සු අයියව බලන්න ඕනෑ වුණා. ඒ කා‍ලේ එයා කලා කාරිනියක් වන පුෂ්පා ජෙනට්ගේ ගෙදර පුංචි කාමරයකයි නැවතිලා හිටියේ. ඒක හොඳටම මකුණු දැල් බැඳුණු බොහොම අපිළිවෙළට තිබුණු කාමරයක්. මට පුදුමත් හිතුණා මේ වගේ වටිනා කලාකරුවෙක් මේ විදිහට ඉන්නේ ඇයි කියලා. එහෙම ගියාට පස්සේ මම මුලින්ම කළේ මකුණු දැල් කඩලා කාමරේ සුද්ධ පවිත්‍ර කරන එකයි. ඊට පස්සේ තමයි අපි අපේ ජීවිතවල අලුත් ගමනක් පටන් ගන්න හිතා ගත්තේ.

හැබැයි දැන් අලුත් ජෝඩුව ඉන්නේ අලුත් තැනක නේද?
ඔව්. අපට උයා පිහා ගන්නවත් ඉඩක් ඒ කාමරේ තිබුණේ නැහැ. තුන්වේලටම කඩෙන් කන්න ලොකු වියදමක් දරන්නත් සිද්ධ වුණා. ඒ නිසා අපි දෙකටන ප්‍රදේශයේ පුංචි ගෙදරකට ආවා. අපි ඒ අලුත් නවාතැනට ඇවිත් දැන් මාස තුනක් විතර වෙනවා.

ඔහු මීට පෙර කිහිප වතාවක් විවාහ වී සිටි කෙනෙක්. දෙදෙනා අතර ලොකු වයස් පරතරයකුත් තියෙනවා. මේ දේවල් ඔබට ගැටලුවක් වුණේ නැද්ද?
මම ඉපදුණේ 1993 අවුරුද්දේ. අ‍පොන්සු අයියා 1951 ඉපදිච්ච කෙනෙක්. ඒ වුණාට මට ඒක ගැටලුවක් ‍නෙවෙයි. එයාගේ අතීතය ගැන හැමදේම අ‍පොන්සු අයියා මට කියලා තියෙනවා. එයාගේ ගෙවල් දොරවල්වත් වෙන දේ‍පොළක්වත් බලාගෙන ‍නෙවෙයි. මම එයා එක්ක ජීවත් වෙන්න ආවේ. එදා එයා තනිවෙලා හිටපු විදිහට මට දුක හිතුණා.

කලා කටයුතුවල යෙදෙන්න වෙනදාටත් වඩා නිදහසකුත් දැන් ලැබෙනවා ඇති නේද?
සුජාතා- එයා වෙනදාට වඩා සතුටිනුයි දැන් ඉන්නේ. මේ දවස්වල අලුතින් ටෙලි නාට්‍යයකුත් ලියාගෙන යනවා. මමත් පුළුවන් උපරිම විදිහට ඒ වැඩ කටයුතුවලට උදව් උපකාර කරනවා.

Next Post

අත හැර ගිය පෙම්වතාට පේන්න කෝටිපතිනියක වුණ පෙම්වතිය රිද්මි

Tue Jun 8 , 2021
ලංකාවේ මිනිස්සුන්ගේ මතයක් තියනවා කාන්තාවක් දියුණු වෙන්න අමාරුයි, කාන්තාවකට තමන්ගේ ම කෙළ ව්‍යාපාරයක් පටන් ගන්න එක හරි අමාරු දෙයක් සහ එහෙම කරන එක හරි නෑ කියන මතයක්.. අන්න ඒ වගේ ප්‍රශ්නාර්ථයක් කාන්තාව ඉස්සරහ තියලා තියෙනවා. හැබැයි අන්න ඒ ප්‍රශ්නාර්ථට අභියෝගයක් කරගෙන ගිහිල්ලා තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් අරගෙන අද වෙනකොට තව […]