කාටත් අමතක වූ ඇසිඩ්වලින් නවතන්න බැරිවූ අඹන්වල අවසන් ගමන් යයි

මහනුවර සිට කිලෝමීටර් පහළොවක් පමණ අමුණුගම පැත්තට යන විට නාපාන, ගුන්නෑපාන ගම හමුවෙයි. නාපාන රටේ ප්‍රසිද්ධ වූයේ ඒ ගමේ උපන් නාපානේ පේමසිරි හාමුදුරුවෝ රාමඤ්ඤ මහා නිකායේ මහානායක පදවියට පත්වීම නිසාය.

උන් වහන්සේ හැරුණු කොට ඒ ගමේ මුළු රටේම කතාබහට ලක්වූ වීරයෙක් සිටියේය. එහෙත් ඔහු කොළඹ සිට ගමට ආවේ සිය තනතුර රාජකාරි ස්ථානයේ තියාය. ගමට එන ඔහු කලිසම උනා දමා, සරමට බැස වත්ත පිටියේ ගොවිතැන් කළේය. ඉන් ලද පලදාව අසල්වැසියන්ට නෑයන්ට බෙදා දුන්නේය.ඔහු ලලිත් අඹන්වලය.

මීට දහ නව වසරකට පෙරාතුව දිනෙක, සිදුවූ එක්තරා සා_පරා_ධී සිදුවීමක් නිසා මුළු රට ම, ලෝකයම ලලිත් අඹන්වල ගැන දැනගත්තේය. ඔහු එවකට මධ්‍යම පළාත් විගණන අධිකාරීවරයා වශයෙන් රාජකාරි කළේය. දහනව වසරකට පෙර ඔහු ගැන මුළු රටම දැන ගත්තේ රාජකාරිය දේවකාරිය ලෙස සලකා සේවය කළ ඔහු රාජකාරී කටයුතු හමාර කර නිවසට යමින් සිටියදී ඇසිඩ් ප්‍ර_හා_රයකට ගො_දුරු වීම නිසාය.

කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු වූ අඹන්වලට මේ ආකාරයෙන් ඇසිඩ් ප්‍ර_හා_රයක් එල්ල කරනු ලැබුණේ, තවත් දූ_ෂිත රාජ්‍ය නිලධාරීන් දෙදෙනකුගේ මෙහෙයවීමෙනි. මින් එක් අයකු ඒ වන විටත් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස සේවය කළේය. අනෙකා එම අධ්‍යාපන කාර්යාලයේම ගණකාධිකාරීවරයා විය.

මෙම සිද්ධිය හේතුකොටගෙන ලලිත් අඹන්වලගේ දකුණු ඇස මුළුමනින්ම පිච්චීගොස් තිබුණි. මුහුණ ද පිච්චී තිබුණි. ශ්‍රී ලංකාවේ මූලික ප්‍රතිකාර වලින් පසුව ඉන්දියාවට ත්, ඉන් අනතුරුව ප්‍රංශයටත් ගොස් ප්ලස්ටික් සැත්කම් ගණනාවකට මුහුණ දුන් ඔහු ඉක්මනින්ම යළිත් සිය රාජකාරී කටයුතු ආරම්භ කර, අතිරේක විගණකාධිපති තනතුර දක්වාම උසස්වීම් ලැබුවේ ය.

2012 ඔක්තෝබර් 24 වැනිදා ඇසිඩ් නඩුවෙහි තීන්දුව ද ලැබුණි. එම නඩුවේදී වරදකරුවන් වූ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා, පළාත් අධ්‍යාපන කාර්යාලයේ ගණකාධිකාරීවරයා ඇතුළු කුමන්ත්‍රණකරුවන් හත් දෙනකුට වසර දහය බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලැබුණි.

2017 දෙසැම්බර් 23 වැනිදා රාජකාරියෙන් විශ්‍රාම ගිය අඹන්වල පසුගිය සතියේ හෘදයාබාධයකින් මිය යන තුරු ම අවුරුදු තුන හමාරක් පමණ ඉතාම විවේක පාඩුවෙන් කල් ගත කළේ ය. ඒ අතර වරින් වර තවදුරටත් ආරාධනා ලැබෙන පරිදි, රජයේ විගණන කටයුතුවලට ද සහයෝගය දුන්නේ ය. විශ්‍රාම යාමෙන් පසුව ද, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ක්‍රීඩා අමාත්‍යංශය සහ ‘පෝට් සිටි‘ය පිළිබඳ විගණන කටයුතුවලට සහ-සම්බන්ධ වී සිය විශේෂඥ දැනුමින් තවදුරටත් සේවය කළේය.

මේ ආකාරයට ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් දුන් විගණන සේවය අගයමින්, ඔවුන් අඹන්වලට රුපියල් ලක්ෂ හතර හමාරක ‘චෙක් පතක්’ ලබාදුන් විට ඔහු එය ප්‍රතික්ෂේප කළේ අහිංසක ඉල්ලීමක් අපට කරමිනි.‘‘මට මේ චෙක් එක දුන්නට බොහොම ස්තූතියි… නමුත් මට අවශ්‍ය වෙලා තියෙන්නෙ ඊට වඩා ලොකු උදව්වක්.. මං උසස් පෙළට ඉගෙන ගත්තු වලල මධ්‍ය මහා විද්‍යාලයේ ළමයින්ට ක්‍රීඩා කරන්න අවශ්‍ය කරන උපකරණ ඉතාම හිඟයි… මේ චෙක් එක ආපහු අරගෙන වලල මධ්‍ය මහා විද්‍යාලයට ක්‍රීඩා උපකරණ අරන් දුන්නොත් බොහොම වටිනවා…’’ ලලිත් අඹන්වල කීවේය.

ඒ පිළිබඳ වැඩිදුර සොයා බැලූ ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් ලක්ෂ හතර හමාරට වඩා වැඩිමනත් වියදම් කර අවශ්‍ය ක්‍රීඩා උපකරණ සියල්ල ඔහු උගත් ඉස්කෝලේට ප්‍රදානය කළේය.වසර 31 ක් විගණන දෙපාර්තමේන්තුවේ අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම ගැන්වෙන තුරු ම කිසි දිනෙක ‘අත යටින් මුදලක්’ නොගත් ලලිත් අඹන්වල තමන්ගේ අනම්‍ය රාජකාරී ප්‍රතිපත්ති කිසි දිනෙක වෙනස් නොකළ බව ද ප්‍රකට කාරණයකී.

වතාවක් ඉමහත් ආන්දෝලනයට ද තුඩු දුන් ප්‍රභූන්, කැලේ අලින් අල්ලා හීලෑ කිරීමට අදාළ විගණනයක් ඔහු විසින් කරන ලදී. පසුව කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ උඩුවේ ධම්මාලෝක ඇතුළු හාමුදුරුවරුන් කිහිප නමක් ඇතුළු ‘චරිත’ කිහිපයකට ම නඩු පැවරෙන්නට නිමිත්තක් වූ එම විගණන වාර්තාව ඔහු විසින් කරනු ලැබ තිබෙන්නේ, දෙපාර්තමේන්තුවේ ඉහළ අධිකාරිය විසින් එල්ල වෙමින් පැවැති බාධක ද මධ්‍යයේ ය.

මේ ආකාරයට, ‘අකුරටම රාජකාරිය කිරීමේ‘ ඔහුගේ ප්‍රතිපත්තිය ‘ඇසිඩ් ග_සා‘ වත් වෙනස් කරන්නට නොහැකි වූ බව ඔහුගේ රැකියා ඉතිහාසය ම සාක්ෂි දරන බැවින්, ඒ පිළිබඳ අටුවා ටීකා අනවශ්‍ය ය. 2005 වර්ෂයේ දී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින්, වසරේ විශිෂ්ටතම රාජ්‍ය සේවකයාට පිරිනමන සම්මානය පවා ඔහු වෙත ලැබෙන්නේ, ඔහු විසින් ප්‍රකට කරන ලද මේ ගුණාංග නිසා ම ය.

පසුගිය සතියේ සිදුවූ අඹන්වල මහතාගේ හදිසි වියෝව සම්බන්ධයෙන් මේ සතියේ පාර්ලිමේන්තු සභා ගර්භයේ දී ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙතින් ‘අදහස් පළ වන්නේ‘ ද ඔහුගේ රාජකාරී ජීවිතයේ තිබුණු සුවිශේෂී ගුණාංග නිසා ම ය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මිය_ගිය විට ‘ශෝක යෝජනාවක්‘ ගෙන ඒම පාර්ලිමේන්තුවේද සම්ප්‍රදායක් වුවත්, මිය යන සෑම රාජ්‍ය නිලධාරියකු ගැන ම පාර්ලිමේන්තුවේ ‘ශෝක ප්‍රකාශ‘ කෙරෙන්නේ නැත. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පසුගිය දා අප අතරින් වියෝ වූ ලලිත් අඹන්වෙල ගැන පාර්ලිමේන්තුවේ ‘ශෝක කතාවක්‘ කළේ, ඔහු අපට සිටි ආදර්ශමත් ම රාජ්‍ය සේවකයකු වන බව සිහිපත් කරමිනි.

රාජ්‍ය සේවකයකු ලෙස මෙන් ම සාමාන්‍ය මිනිසෙකු ලෙස ද ඔහු ඉතා යහපත් පුද්ගලයකු බව නාපාන – ගුන්නෑපාන ගම්වැසියෝ කියති.

මම පුංචි කාලේ ගමනක් යනකොට අතරමගදී කෑරළෙක් කෑගැහුවා. මම ගමන නතර කරලා ඉන්න කොට ලලිත් අයියා මගේ කනින් අල්ලලා කීවා මම මිථ්‍යා විශ්වාස, විශ්වාස නොකරන්නෙමි කියන වාක්‍ය දහස් වතාවක් ලියන්න කියලා. ඔහු රාජ්‍ය සේවයේ කොතරම් ඉහළ නිලධාරියෙක් වුවත් සියලු තනතුරු රාජකාරි ස්ථානයේ තියලා ගමට ආවේ සාමාන්‍ය ගැමියෙක් ලෙසයි. ඒ කියන්නේ ගුන්නෑපානේ චන්දන සූරියආරච්චිය.

ලලිත් අඹන්වලගේ පියා රෝහල් ලේකම්වරයෙකි. මව ගුරුවරියක වූවා ය. දරුවන් නව දෙනෙකුගෙන් යුත් පවුලේ සිව්වැන්නා වූ ඔහු කුඩා කල අධ්‍යාපනය ලබා ඇත්තේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. නමුත් ඔහුට සිය පියාගේ හදිසි වියෝව හේතුවෙන් ‘දහය පන්තියේ‘ දී පාසල් ගමන නවත්වා,

වත්තේ පිටියේ – කුඹුරේ වැඩට කාලය යොදවන්නට සිදුවී තිබේ. ඒ නිසා ම සාමාන්‍ය පෙළ විභාගය ලිවීම ද අතපසු වී ඇති අතර පසුව ගුරුවරියක වූ සිය මවගේ ඇවිටිල්ල නිසා ම ‘පෞද්ගලික පන්තියක‘ට සහභාගී වී ලත් දැනුමින් සාමාන්‍ය පෙළ විභාගය ලියා සමත් වී උසස් පෙළ සඳහා වලල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වී තිබේ.

ඉන් අනතුරුව වාණිජවේදී විෂය ධාරාවෙන් උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. පසුව විගණන අධිකාරීවරයකු ලෙස රාජ්‍ය සේවයට බැඳෙන්නේ ඔහුගේ සමකාලීනයන් වන රංජිත් සියඹලාපිටිය (නියෝජ්‍ය කතානායක), බණ්ඩාර දිසානායක (සක්‍යා අධිපති), ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය (ලාෆ් සභාපති), නන්දන මුණසිංහ (ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති) වැනි අය සමග උසස් ලෙස උසස් අධ්‍යාපනය ලැබීමෙනි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෙම 1985 කණ්ඩායම ‘වට්ස්ඇප් ගෘෘප් එකක්‘ පවත්වාගෙන යමින්, හැකි සෑම විට ම එකිනෙකා මුණගැසෙමින් තවමත් යාළු මිතුරුකම් පවත්වමින් සිටී. විශේෂයෙන් 2017 සිට විශ්‍රාම ගැන්වුණායින් පසුව මෙම මිත්‍ර සමාගමය අඹන්වල ට මහත් අස්වැසිල්ලක් වූ බව ඔහුගේ ප්‍රිය බිරිඳ චන්ද්‍රිකා අඹන්වල අප සමග පැවසුවා ය.

‘මහත්තයාට හැමදාමත් හොඳ කල්‍යාණ මිත්‍ර ඇසුරක් තිබුණා… විශ්වවිද්‍යාලෙදි හඳුනාගත්තු මිත්‍රයන්ට නිතර දුරකථනයෙන් කතා කරලා දුක සැප අහනවා මම අහල තියෙනවා… ඒ විතරක් නෙවෙයි, එයාට අපි මේ ජීවත්වෙන උපන් ගමෙත් නෑයො මිත්‍රෙයා ගොඩක් ඉන්නවා… ඒ අය නිතර මේ ගෙදර ඇවිත් යනවා…‘‘

පශු සම්පත් සංවර්ධන නිලධාරිනියක ලෙස තවමත් ගැටඹේ ‘සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවකය කරන චන්ද්‍රිකා අඹන්වල ‘ඔහු‘ ගැන අප සමග වැඩිදුරටත් තොරතුරු බෙදාගත්තා ය.

ඇත්තට ම මං කෘෂිකර්මය සහ සත්ව පාලනය ගැන උසස් අධ්‍යාපනය ලැබූවෙක් වුණත්, ප්‍රායෝගික දැනුමින්, මහත්තයා මට වඩා ඒ ගැන දැන්නවා… මොකද එයා පොඩිකාලෙ ඉඳන්ම ගෙදර දොරේ දි කුඹුරුවල, වතු පිටිවල වැඩ කරපු කෙනෙක ගෙදර වත්තේ සත්ව පාලනය කළ කෙනෙක්… එයා කවදටත්, විශ්‍රාම යන්න කලිනුත් ඉඩක් ලැබෙන හැම වෙලේ ම වත්ත පිටියෙ ගොවිතැන කළා

විශ්‍රාම ගියායින් පස්සෙ වත්තෙ එළවළු වැව්වා… කෙසෙල් වැව්වා… පලදාව ලැබුණම, ගෙදර පාවිච්චියට ටිකක් තියාගෙන වැඩිපුර කොටස නෑයින්ට යාළුවන්ට ගමේ අයට දුන්නා… මහත්තයා රස්සාව හින්දා කාර්යබහුල වුණාට, හැමවෙලේම දූලා දෙන්නා ගැන හොයල බැලුවා… ඒ අයට හොඳට ඉගැන්නුවා… ලොකුදුව දැන් ඉන්නෙ කැනඩාවෙ… එයා ‘චාටඩ් එකවුන්ටන්‘ කෙනෙක්… පොඩි දුව විද්‍යා විෂයන් හැදෑරුවත් පස්සෙ ‘සිමා‘ කරලා වාණිජ විෂයධාරාවට යොමු වුණා… එයා තවදුරටත් ඉගෙන ගන්නවා…‘‘

චන්ද්‍රිකා අඹන්වල වැඩිදුරටත් පැවසුවේ, ඔහු කවදටත් පොතපත කියවීම සඳහා ඇබ්බැහි වී සිටි බව යි. ‘‘මහත්තයා පුරුද්දක් හැටියට හැම මාසෙම වැටුපෙන් පොත් දෙකක් ගන්නවා…ලලිත් අඹන්වල කීර්තිමත් විගණන නිලධාරියකු බවත්, 2002 වර්ෂයේ මැයි මාසයේ දිනෙක අස්ගිරිය ක්‍රීඩාංගණය අසලදී ඔහුට ‘ඇසිඩ් ගැසූ බව‘ ත්, රටම දන්නා නමුත් ඔහු තුළ ජීවත් වූ රසවතා, කිසිදින වයසට නොගිය මිත්‍රශීලී තරුණයා, අව්‍යාජ ගැමියා, සෙනෙහෙබර පියා – සැමියා ගැන වැඩිමනත් තොරතුරු නොදැන සිටියා විය හැකි ය.

සුරේඛා සමරසේන

Next Post

නගරාධිපතිගේ උපන්දිනය හබක් - පියුමි - චන්දීමාල්ලගෙ උපන්දිනෙත් අවුලෙන් අවුලට

Mon May 31 , 2021
කුරුණෑගල පොලිසිය සංවිධානය කර තිබූ පිරිත් සජ්ජායනාවක් අතර තුර කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතරණ මහතාගේ උපන්දින සැමරුම සම්බන්ධයෙන් පොලිස් අධිකාරිවරයකුගෙන් ප‍්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මෙම සිද්ධිය නිරෝධායන නිතිවලට පටහැනිව සිදුකරන ලද්දක් බවත් මෙය පොලීසිය සම්බන්ධවී නොකළ යුතු කි‍්‍රයාවක් […]

Breaking News