මඩ නාගෙන කුඹුරු කොටා ටයි දාගෙන වැඩට යන – අපේ රටේ ඉඩම් කොමසාරිස්

නගර සභාවට ඇතුළු වීමට අපේක්ෂාවෙන් පැමිණ ප්‍ර‍ධාන පිවිසුම අසල නතර කළ ඩබල් කැබ් රියකි. අසල ත්‍රිරෝද නැවතුම් පොළේ තරුණයෙක් කැබ් රියේ රියැදුරු අසුනේ සිටි පුද්ගලයා එකවර හඳුනා ගත්තේය.

“ආ… මචං.. උඹ නං කොහොම හරි ආණ්ඩුවෙ කන්තෝරුවක ඩ්‍ර‍යිවින් ජොබ් කට්ටක් සෙට් කරගෙන වගේ නේද..?’’
රියැදුරු අසුනේ තරුණයා නිහඬව සිට සිනාසුණේ තම මිතුරාගේ අනුමානය සනාථ වන පරිද්දෙනි…
“බලපං අපි තාම බජාර් එකේ කට්ට කනවා බං… පුළුවන් උණොත් අපිටත් ජොබක් සෙට් කරපං මචෝ..!’’

මේ අත්දැකීමට මුහුණ දුන්නේ අනුරාධපුර නාගරික කොමසාරිස් ලෙස වැඩ භාරගෙන හා හා පුරා කියා සේවයට පැමිණි පරිපාලන නිලධාරියෙකි. මේ නගර සභාවේ රියැදුරෙකු යැයි ත්‍රිරෝද මිතුරා වරද්දා ගත්තේ ඔහු කැබ් රිය පදවාගෙන පැමිණි නිසාම නොවේ. ඒ, ඔහු ඊට වසර කිහිපයකට පෙර මේ රියැදුරා අනුරාධපුරේ තමන් සමග හයර් දිවූ ත්‍රීවීල් කාරයකු බව මිතුරා දැන සිටි නිසාමය.

වත්මන් පරිපාලන සේවය තුළ ඉතා දුලබ චරිතයක් වූ ඔහු සම්පත් රෝහණ ධර්මදාස ය. පරිපාලන නිලධාරියෙක් කීවාට වඩා ගම්මු නම් ඔහු ගැන වැඩියෙන් දන්නේ ගොවියකු ලෙසය. රතු බාස්මතී වගා කරන අක්කර තුනක පමණ කුඹුරේ පුරන් කොටන්නේද, ට්‍රැක්ටරයේ නැගී පෝරු ගාන්නේද ඔහුය. තවත් විටෙක විවිධ ධාන්‍යද, ගොඩ බෝගයන්ද වගා කරමින් සාර්ථක ගොවියෙක් ලෙසද ඔහු කටයුතු කරන්නේය.

එහෙත් පරිපාලන නිලධාරියෙක් ලෙස නිර්මාණශීලී රාජ්‍ය සේවකයෙකුද ලෙසින් සිය ජනතා සේවයද මැනවින් ඉටුකරන්නෙකි. මේ වන විට ඔහු උතුරු මැද පළාත් ඉඩම් කොමසාරිස්වරයා ලෙස රාජකාරි කරන්නේය. කැත්ත උදැල්ල පමණක් නොව, රාජ්‍ය සේවයේ පරිපාලන කටයුතුද ගතට දෑතට හුරුය.

මැදවච්චිය, සංගිලිකනදරාව කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාළ ඔහු අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූයේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීමත් සමගය. “තාත්තා ඒ කාලෙ වැඩ කළේ අනුරාධපුරේ නගර සභාවේ. අම්මා වැඩකළේ උතුරු මැද පළාත් සභාවේ.

අපේ ගෙදර කට්ටිය ඔක්කොම බත් බැඳගෙන උදේට මැදවච්චියෙ ඉඳලා අනුරාධපුරේට එනවා. හවසට ආපහු ගෙදර යනවා. මේ කාලේ යුද්ධෙ සැරට යනවා. බස්වල බෝම්බ පුපුරනවා. මේ සෙල්ලම හැමදාම කරන්න බෑ කියලා තාත්තා අපි සේරම අරන් අනුරාධපුරේ ක්වාටස් එකේ පදිංචියට ආවා. එදා ඉඳලා අපේ ගම වුණේ අනුරාධපුරේ ටවුන් එක තමයි.’’

පාසල් සමයේ දක්ෂ පක්ෂකම් පෙන්වීමට නම් මේ සම්පත් රෝහණ සිසුවා සමත් වූවෙක් නොවීය. සිසුන් තිහක් සිටි පන්තියේ වාර විභාගයකදී ඔහු ගත් උපරිම ස්ථානය වූයේ 22 වෙනි ස්ථානයයි. විෂයන් වෙනුවෙන් අඩු ලකුණු ගත් මේ සිසුවාගේ ශිෂ්‍ය වාර්තා පොතේ ගුරුවරයාගේ සටහන වූයේ ‘අතිශයින් දුර්වලයි’ යන්නය. “සාමාන්‍ය පෙළ විභාගෙ මම සාමාන්‍ය සාමාර්ථ හතයි, සම්මාන තුනයි.

ඉංග්‍රීසි ෆේල්. අයියත්, අක්කත් ඉගෙනීමට දක්ෂයි. අයියා අද වෛද්‍යවරයෙක්. අක්කා ගුරු උපදේශකවරියක්. මම වැඩියෙන්ම දක්ෂ රස්තියාදු ගහන්න තමයි. මට යාළුවො ගොඩක් හිටියා. අදටත් එහෙමයි. හවස් වෙනකොට ටවුන් එකේ තියන අපේ ක්වාටස් එක ඉස්සරහා බයිසිකල් පනහක් විතර නතර කරලා තියෙනවා. අපේ ගැන්සිය සෙට් වෙන පොට් එක තමයි අපේ ගෙදර.’’

දක්ෂ සහ අදක්ෂ දරුවන් තෝරන අපේ අධ්‍යාපන ක්‍ර‍මයේ ඇති උපන් ගෙයි වැරැද්ද තවදුරටත් සනාථ කරමින්, සම්පත් රෝහණ කිසි දින ගුරුවරුන්ගේ ඇගයීමකට ලක් නොවූවෙකි. එබැවින් ශිෂ්‍යයෙක් ලෙස ඉදිරියට ඒමට තරු ලකුණු පෙන්වන පන්ති නායකකම්, ශිෂ්‍ය නායකකම් කිසි දින සම්පත්ලාට හිමි නොවිණි. පොතේ පතේ වැඩට ‘ඉතා හොඳයි’ කියා තරු ගන්නට බැරි දරුවන්, පිට්ටනියේදී රන් පදක්කම් ගන්නා සේ, සම්පත් රෝහණ මලල ක්‍රීඩාවලදී සමස්ත ලංකා මට්ටමටම ගියේය.

ඔහු බොහෝ විට පිටියේදී දෙවැනියා වූයේ සුගත් තිලකරත්නටය. “අපේ පන්තියේ ළමයි පේළි පහකට තමයි හිටියේ. දවසින් දවස පිටුපස ළමයි ඉස්සරහට ගන්නවා. ඉස්සරහ ළමයි පස්සෙ පේළිවලට යනවා. හැබැයි මමයි තව සෙට් එකකුයි හිටියේ අන්තිම පේළියේ. අපි කවදාවත් ඉස්සරහට ගන්නේ නෑ. අපිට උගන්නලා වැඩක් නෑ කියලා ගුරුවරුත් ඒ කාලෙ තීන්දු කරලයි තිබ්බේ.’’ සම්පත් රෝහණගේ ඒ අමිහිරි මතකය කියා පාන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වහා අවශ්‍ය බව හැඟෙන කතාවකි.

උසස් පෙළ කරද්දී මමත්, යාළුවෝ කීප දෙනෙකුටත් විනය කඩකිරීමේ චෝදනා මත ඒලෙවල්වලට ඇඩ්මිෂන් දෙන්න බැහැ කියලා අපේ පන්ති භාරව හිටපු හාමුදුරුවෝ කිව්වා. අපිට සිංහල උගන්නපු කුමාරසිරි සර් මැදිහත් වෙලා තමයි ඇඩ්මිෂන් අරන් දුන්නේ. ඒ වෙලාවේ අපි කල්පනා කළා මේ මැච් එක කොහොමහරි ගහන්න ඕන කියලා.

අපි හත් දෙනෙක් එකතුවෙලා කාමරේක නැවතිලා පාඩම් කරන්න පටන් ගත්තා. ඒත් අපි කාටවත් නෝට් පොත් තිබබේ නෑ. කාගෙන් හරි එක ණයට පොතක් බැගින් ඉල්ලගෙන ඇවිත් මාරු කරගෙන තමයි පාඩම් කළේ. කොහෙන් හරි පොල් ගෙඩියකුත් කඩාගෙන ඇවිත් මොනව හරි උයාගෙන කාලා තමයි පාඩම් කළේ.

පාඩම් කිරිල්ල කොච්චර සාර්ථකද කියනව නම් ඉස්කෝලෙටම එපා වෙලා හිටපු අපි හත් දෙනාම විශ්වවිද්‍යාලෙට සුදුසුකම් ලැබුවා. මරු වැඩේ කියන්නේ අපිට පාඩම් කරන්න පොත් දීපු කොල්ලො විභාගෙ ෆේල්.’’ඒලෙවල් කර නිවසට වී සිටින විට සම්පත්ට ගෙදරින් අසන්නට ලැබුණේ මෙබඳු කතාවකි.

අයියට, අක්කට වගේ උඹට නං ජීවිතේට ඉගෙන ගෙන තැනකට එන්න බෑ…’’ සම්පත්ගේ අම්මාගේ තක්සේරුව වූයේ එවැනි එකකි. අම්මා එසේ පැවසුවේ, වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබා සිටි වැඩිමල් පුතු හා ගුරු සේවයට තේරී සිටි දියණියත් හා මේ රස්තියාදුකාර පුත්‍ර‍යාගේත් කාර්ය සාධනය අධ්‍යයනය කරමින් විය යුතුය. “නිකං රස්තියාදු ගහන්නේ නැතුව ත්‍රීවීල් එකක්වත් එළවල කීයක් හරි හම්බ කරගනින් කියලා ලෝන් එකක් ගහලා අම්මා මට ත්‍රීවීල් එකක් අරන් දුන්නා.

ත්‍රීවීල් එක හම්බ වුණාම මගේ රස්තියාදු ගැහිල්ල තවත් වැඩිවුණා. හැබැයි මම හයර් දුවලා තව ත්‍රීවීල් දෙකකුත් ගත්තා. මේ අතරේ ඒලෙවල් විභාගයේ ප්‍රතිඵල ආවේය. සම්පත් ශ්‍රී ජයවර්ධනපුර සරසවියට තේරුණේය. එහෙත් ඔහු පරණ රස්සාව අතහැරියේ නැත. මම කැම්පස් ඉගෙන ගනිද්දී ලැබෙන විවේක දිනවලත්, කැම්පස් ඉවර වෙලා රස්සාවක් ලැබෙනකනුත් මම කළේ ත්‍රීවීල් එළවන එක තමයි.’

මේ නිසා ගමේ සමහර යාළුවෝ කල්පනා කළේ සම්පත් කොළඹ ගියේ ත්‍රීවිල් රස්සාවට බවය. එසේ නැතිව ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන බව ඔවුන් දැනගෙන සිටියේ නැත. සම්පත් ලොකුකම් කියන්නට ගියේද නැත.සම්පත්ලාගේ සරසවි ජීවිතයටද අද මෙන් ගහ මරා ගන්නා සංස්කෘතියකට අයත් නොවූවකි.

සරසවියේදී ඔහුගේ කාඩ් එක එසේ නැති නම් (අන්වර්ථ නම) ‘පොරමොලා’ ය. ඔහු සුපිරියටම කළේම ගජේ ගැසීම හෙවත් (මිතුරන් ඇසුර) ය. ඔවුන් නැවතී සිටි හොස්ටල් කාමරය රෑට දුවන අන්තිම සී.ටී.බී. බස් රථය මෙනි. අනාථ වී යන්න එන්න තැනක් නැති ඔක්කොම පොරවල් හිටියේ ඔවුන්ගේ භවනේය.

හොස්ටල් එකේ අපි හිටපු WD-13 කියන කාමරේ 15 දෙනෙක් හිටියා. ඒකෙ ඇත්තටම ඉන්න පුළුවන් හතර දෙනෙකුට විතරයි. උයාගෙන කෑවෙත් ඒ කාමරේමයි. කාමරේ නීතිය තමයි ඇඳේ ඉන්න එවුන්ට මෙට්ට තහනම්. බිම නිදා ගන්න එවුන්ට මෙට්ට දිය යුතුයි. හේදුවොත් රෙදි වේළන්න තැනක් නැති නිසා හොස්ටල් එකේදී වැඩිපුර හිටියේ හෙළු වැල්ලෙන් තමයි.’’

ඔහුගේ රාජ්‍ය සේවයේ පළමු රැකියාව වූයේ පොලොන්නරුව ආලාහන ව්‍යාපෘතියේ කැණීම් නිලධාරී ලෙසය. ඉන් අනතුරුව ලංකාව පුරා සංස්කෘතික මධ්‍යස්ථාන අරඹද්දී සංස්කෘතික නිලධාරීවරයෙකු ලෙස ඔහු පත්වීම් ලැබීය. ඔහුට අනුව, සිය වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය වූයේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සේවය කළ සමයයි.

ඒ කාලේ සංස්කෘතික අමාත්‍යාංශෙ අතිරේක ලේකම් හිටියේ, කේ.කේ.ඩබ්ලිව්. තිලකසිරි මහත්තයා, සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අධ්‍යක්ෂ හිටියේ අනුෂා ගෝකුල මැඩම්. මේ නිලධාරීන්ගේ කටයුතු දැකලා තමයි පරිපාලන සේවය ගැන ආසාවක් ඇති වුණේ. දවසක් ගෝකුල මැඩම් අපිට කිව්වා ඔයාලා සංස්කෘතික නිලධාරී තනතුරේ හිරවෙන්න එපා පරිපාලන විභාගෙ කරන්න කියලා මම උපාධිධාරියෙක් විදියට පරිපාලන සේවා විභාගයට ලීවා ඉන් සමත් වෙලා පරිපාලන සේවයට එක් වුණා.

පාසල් කාලයේ කළ කොලුකම් හේතුවෙන් පරිපාලන සේවයට එක්වූ මුල් සමයේ යම් යම් අපහසුතාවන්ට පත්වූ අවස්ථාද සම්පත් රෝහණ මහතාගේ සේවා දිවියේ අමතක නොවන සිදුවීම් ය. “ඉස්සෙල්ලම මට පත්වීම හම්බ වුණේ රඹෑව සහකාර ප්‍රාදේශීය ලේකම් විදියට. හැබැයි ඒ වෙනකොට ප්‍රාදේශීය ලේකම් තනතුර පුරප්පාඩු වෙලා තිබුණ නිසා මට වැඩ කරන්න වුණේ ප්‍රාදේශීය ලේකම් විදියට වගේ තමයි.

ඒ කාලේ තමයි රඹෑව පන්සලේ නායක හාමුදුරුවො අපවත් වුණේ. උන්වහන්සේගේ ආදාහන උත්සවේ සංවිධානය කරලා තිබුණෙ රඹෑව ඉස්කෝලෙ ක්‍රීඩාංගණේ. ආදාහන උළෙලේ පිළිගැනීමේ කතාව කරන්න තිබුණෙ ප්‍රාදේශීය ලේකම් විදියට මට හින්දා නිලධාරීන්ට වෙන් කරලා තිබුණ පුටු පේළියේ ඉස්සරහම පුටුවක මම වාඩිවෙලා හිටියා. මෙහෙම ඉන්නකොට අපිට උසස් පෙළ පන්තියෙදී ඇඩ්මිෂන් දෙන්න බැහැ කියපු අපේ පන්ති භාර හාමුදුරුවෝ එතනට වැඩියා.

මම දැක්ක ගමන් උන්වහන්සේ කුඩේ දික් කරලා මගෙන් ඇහුවේ, “තමුසෙ මොකද මෙතන කරන්නේ’’ කියලා. එතකොටම නිවේදක මහත්තයා පිළිගැනීමේ කතාව කරන්න මට ආරාධනා කළා. පන්තියෙ විනය කඩ කරපු, රස්තියාදු ශිෂ්‍යයා ගමේ ප්‍රාදේශීය ලේකම් කියලා හාමුදුරුවෝ දැන ගත්තේ ඒ වෙලාවෙ තමයි. ඉස්කෝල කාලේ අපි ඒ තරං සවුත්තු පොරවල් තමයි.’’

එමෙන්ම සම වයසේ අය හමුවූ පසු ආ ගිය තොරතුරු විමසීමේදී, තමා ප්‍රාදේශීය ලේකම් බව සම්පත් රෝහණ කියා සිටි විට ඇතැමුන් එය විශ්වාස නොකළ බවද ඔහු කීවේ සිනහ සෙමිනි.“මම ඉතිං රඹෑවෙ ප්‍රාදේශීය ලේකම් කියලා කිව්වම, අනේ පලයන් බොරු කියන්නේ නැතුව..‘ කියල යාළුවෝ බැණපු වෙලාවල් අනන්තවත් තිබුණා.’’ ඔහු එසේ පවසයි.

රටටම ප්‍ර‍ශ්නයක් වී ඇති කැළි කසළ ගැටලුව සාර්ථකව ජයගත් මෙරට ප්‍ර‍ධාන පෙළේ නගරයක් වන්නේ අනුරාධපුරය නගරයයි. එම ජයග්‍ර‍ණය අනුරපුරයට හිමි කර දුන්නේ, සම්පත් රෝහණ මහතා අනුරාධපුර නාගරික කොමසාරිස් ලෙස පත්වීමෙන් අනතුරුව ක්‍රියාත්මක කළ විධිමත් කසළ බැහැර කිරීමේ වැඩසටහන හේතුවෙනි.

මම අනුරාධපුරේ නාගරික කොමසාරිස් වෙලා එනකොට අනුරාධපුරේ තිබුණු ලොකුම ගැටලුව තමයි කැළි කසළ ගැටලුව. ඒ වෙනකොට අනුරාධපුරේ කුණු දාන්නේ හරිස්චන්ද්‍ර උද්‍යානය කියන ග්‍රවුන්ඩ් එක මැද තියන සුන්දරම ස්ථානයේ. මේ උද්‍යානෙට යාබදව තමයි අනුරාධපුරේ ප්‍ර‍ධාන පාසල් හතරක්ම තියෙන්නේ. සමහර දවස්වල මේ කුණු කන්ද ගිනි ගන්නවා. එවැනි දවස්වලදී දුමාරයයි දුර්ගන්දයයි හින්දා පාසල් වහන්න පවා සිද්ධ වෙනවා.

මම තමයි කුණු ගොඩ ඉවත් කරලා, තණකොළ පිඩලි අල්ලලා, ගස් වවලා, හරිස්චන්ද්‍ර‍ උද්‍යානය ලස්සන කළේ. අනුරාධපුරේ ලස්සන කරගන්න උදව් කරපු තවත් කට්ටියක් තමයි ත්‍රීවීල් සහෝදරවරු. නගරෙට එන මිනිස්සුන්ට ටොපි කොළයක්වත් ඉවත දාන්න ඔවුන් ඉඩ දුන්නේ නෑ. මමත් ඔවුන් සමග ත්‍රිරෝද රථ රියැදුරෙක් විදියට වැඩ කරපු ෆිට් එකට තමයි එයාලා මගේ වැඩවලට උදව් කළේ.’’

නිර්මාණශීලී හා ප්‍රායෝගික පරිපාලන නිලධාරියෙක් වූ ඔහු නගර සභාවේ සනීපාරක්ෂක කම්කරුවන් වෙනුවෙන් වාර්ෂික ඇගයීම් උළෙලක්ද සංවිධානය කළේය. අනුරාධපුර ව්‍යාපාරික ප්‍ර‍ජාව ඒ සඳහා අනුග්‍ර‍හය දක්වා තිබිණි. “නගර සභාවක සනීපාරක්ෂක සේවකයන් නැත්නම් පළාත් පාලන ආයතන පච වෙනවා. ඒ නිසා මේ මිනිස්සුන්ට වැන්දත් පව් නෑ.

මගේ වාහනේ එදා ඉඳලා බූට්, ග්ලව්ස් තියනවා. නගර සභා කම්කරුවන් එක්ක මම කානු සුද්ද කරපු වෙලාවල් තිබුණා. ඇත්තටම නාගරික කොමසාරිස් හැටියට ඒක කළ යුතු නැහැ. ඒත් මම එහෙම කළේ ඒ මිනිස්සුන්ගේ සේවයට ගරු කිරීමක් හැටියට. ඔවුන් අදටත් මට කියන්නෙ, ‘අපේ කොමසාරිස්තුමා‘ කියල.’’

උතුරු මැද ඉඩම් කොමසාරිස්වරයා ලෙස සම්පත් රෝහණගේ පෞද්ගලික අත්දැකීම් අනුව ඔහු කියා සිටින්නේ මෙරට ඇති ඉඩම් ගැටලුවලින් 99.9% ක්ම ඉඩම් ගැටලු නොව පෞද්ගලික ආරවුල් බවයි. මින් සැලකිය යුතු ප්‍ර‍මාණයක් පවුලේ සහෝදර සහෝදරියන් අතර ඇති දේපළ ප්‍ර‍ශ්න බවයි ඔහුගේ නිගමනය. ඉඩම් ගැටලු සඳහා ලබා දිය හැකි සාර්ථක පිළියම් කොතරම් තිබුණද පවුල් ආරවුල් විසඳීම වෙනම කලාවක් බවද ඔහු පවසන්නේය.

කාර්යාලෙදී මම හමුවෙන්න මිනිහෙක් එන්නෙම තමන්ගෙ ප්‍ර‍ශ්නෙකට උත්තරයක් ඉල්ලගෙන. කට වචනෙට ඉඩම් බෙදාගෙන ඉන්න සහෝදරයො, ගෑනුන්ගෙ ප්‍ර‍ශ්න හින්ද මායිම්වලට මරා ගන්න එක තමයි ලොකුම ප්‍ර‍ශ්නෙ. මිනිස්සු ඉඩම් ප්‍ර‍ශ්න කියලා ගේන පෞද්ගලික ආරවුල් දැක්කම සමහර වෙලාවට යකා නගිනවා. ඒත් මම කවදාවත් මගේ ළඟට ආපු මිනිහෙකුට බැණල නෑ.’’

රජයේ නිලධාරීන්ට පැවරී ඇති ඇතැම් වගකීම් සම්බන්ධයෙන් තමා එකඟ නැති බවයි සම්පත් රෝහණ මහතා තම පරිපාලන අත්දැකීම් අනුව ප්‍ර‍කාශ කරන්නේ. ඔහු කියා සිටින්නේ, තම සහායක නිලධාරින්ගේ ගෙවීම්, අතිකාල දීමනා හෝ රථවාහනවල ධාවන සටහන් අනුමත කිරීම වැනි සිල්ලර වැඩ සඳහා කාලය මිඩංගු කිරීමට සිදුවීම අප_රාධයක් බවයි. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් උගෙන, පරිපාලන සේවයේ යෙදෙන ඔවුන්ගේ කාලයෙන් ඊට වඩා ඵලදායක ලෙස සේවයක් ගත යුතු බවද කොමසාරිස්වරයාගේ අදහස වේ.

පරිපාලන නිලධාරියෙක් මෙන්ම දක්ෂ ගොවියෙකුද වන ඔහු කුඹුරු කෙටිල්ලටත්, මහ ට්‍රැක්ටරයෙන් සී සෑමට හා පෝරු ගෑමටත් එකසේ දක්ෂය. “මම ගොඩ මඩ බෝග දෙකම වගා කරනවා. කෘෂිකාර්මික කටයුතු කරන්නේ මගේ ආත්ම තෘප්තියට. පහුගිය කාලෙ අපි යාළුවො කීප දෙනෙක් එකතු වෙලා අක්කර 20 ක උඳු වැව්වා.

මේ දවස්වල තල වවනවා. කාර්යාලයේ කටයුතු නැති හැම වෙලාවෙම මම යොදන්නෙ මගේ ගොවිපළේ වැඩවලට තමයි. ඒත් මම වැඩියෙන්ම සතුටු වෙන්නෙ රාජ්‍ය සේවයේ කටයුතු කිරීමෙන්. ඒකට හේතුව තමයි රාජ්‍ය සේවය තුළින් තරම් මිනිස්සුන්ට පිහිට විය හැකි වෙනත් ක්ෂේත්‍ර‍යක් නොමැති වීම.

වර්තමානයේ රාජ්‍ය සේවකයන්ට සිදුව ඇත්තේ ඔවුන් සතු නිර්මාණශීලී කාර්ය භාරය නිදහසේ මුදා හැරීමට ඔවුන්ට අවස්ථාව නැතිකම බව කොමසාරිස්වරයාගේ අදහස වේ. එම තත්ත්වය මැඬලීම සඳහා තමා සෑම විටම සිය සහායක කාර්ය මණ්ඩලයට වගකීම් පවරන බවද ඔහු පවසයි. “බොස්ට බයේ ඉන්න නිලධාරියෙකුගෙන් ආයතනයට හරි සේවයක් ලැබෙන්නෙ නෑ. මං පොර සංකල්පෙන් මිදිලා අනිත් මිනිහට ඉඩ දෙන්න ඕන.’’

සමාජයෙන් බැහැරව යන කියවීමේ පුරුද්ද ඇති කිරීම සඳහා මේ ඉඩම් කොමසාරිස්වරයා ඇගයිය යුතු වැඩසටහනක්ද ආරම්භ කොට තිබේ. ඒ ‘පොතක් සමග පැයක්’ වැඩසටහනය. “රාජ්‍ය නිලධාරියෙක් ලෙස අපි තත්කාලීන දැනුම වගේම අහුවෙන හැම දේම කියවන්න ඕන. ඒත් දැන් බොහෝ අය කියවන්න කම්මැළියි.

ඒකට විසඳුමක් විදියට මගේ ඔෆිස් එකේ හැම සිකුරාදාටම හවස අන්තිම පැය වෙන්කරලා කියෙන්නෙ ‘පොතක් සමග පැයක්’ කියන වැඩසටහනට. එතනදි තමන්ගේ කාර්යාල පුටුවෙ වාඩිවෙලා පොත් කියවන්න මම අවසර දීලා තියනව. එහෙම අවස්ථාව ලැබිලත් පොතක් අල්ලන්නෙ නැති එවුන් ඉන්නවා.’’

ඔහු කියන්නේ උණ පුරුකේ දමලත් බලු වලිගේ ඇද අරින්න බැරි කතාව අපිට සිහිකරමිනි.

Next Post

බබා බත් කන්නේ නෑ කියලා 119 ට කියන්න එපා - ඇතැම් කාන්තාවෝ බේසම් - පුටු සීට්ටු ප්‍රශ්න කියන්නෙත් මේකට

Thu May 6 , 2021
මෙවර සිංහල හා හින්දු අලුත්‌ අවුරුද්ද බොහෝදෙනා සමරනු ලැබුවේ සතුටින්‌ හා සැහැල්ලුවෙනි. ගියවර කො_රෝනා වසංගතය නිසා අවුරුදු සමරන්නට නොලැබුණු සියල්ලන්ම පාහේ මෙවර තමන්ට හැකි උපරිමයෙන්‌ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළෝය. ඒ අතර ලැබුණු නිවාඩුවේ කාට හෝ ලණුවක්‌ දී සතුටු වෙන්නට සිතූ අයත්‌, එසේ ලණු දී සතුටු වූ අයත්‌ නොසිටියාම නොවේ. […]

Breaking News