අද පැවැත් වූ විවාහ මංගල්‍ය කාගේද – සියළු තොරතුරු හෙළි වෙයි

වසංගත පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහෝදරියගේ දියණියගේ විවාහ මංගල්‍ය අද (03) දින පැවැත්වෙන බවට මේ වන විට සමාජ ජාලා තුළ ප්‍රධාන පුවතක් ලෙස සැරිසරමින් තිබෙන අතර එයට විශාල විරෝධයක් ගොණු වෙමින් තිබේ.කාරණාව සහසුද්දෙන් සත්‍ය නම් එකී පුවතේ හෝ එයට එරෙහිව ගොඩනැගෙමින් තිබෙන විරෝධයේ කිසිදු අසාධාරණයක් නැත.

රටේ පවතින දැඩි අවදානම් සහගත තත්ත්වය හමුවේ වසංගත මර්දන මෙහෙයුමට නායකත්වය දෙන ප්‍රධාන පුරවැසියෙක් ලෙස යුද හමුදාපතිවරයා එවන් දෙයක් සිදුවන්නට ඉඩ හැර ඇත්නම් එය අතිශය බරපතල වරදකි. මේ වන අතිශය බරපතල තත්ත්වයක් හමුවේ සැබෑ ලෙසම එවන් අකටයුත්තක් සිදුවන්නේ දැයි අපි සොයා බැලීමක් කරන ලදී.

ඒ අනුව සමාජ ජාලා තුළට එක්කර තිබෙන එම පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව අප විසින් තහවුරු කරගත්තේය.එම පුවතේ සඳහන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහෝදරියගේ දියණිය තවමත් පාසල් යන ශිෂ්‍යාවක් බව අප තහවුරු කරගෙන තිබේ.

දේශපාලන විරෝධයන්,ක්‍රම විරෝධයන් ඕනෑම කෙනෙකුට තිබිය හැකිය. ඒවා දැරීමට ප්‍රකාශ කිරීමට බාධාවක් නැත. අද සමාජ මාධ්‍ය ජාලා තුළ බොහෝ හොඳ දේ මෙන්ම නරක දේද අපි අත්විඳිමින් සිටිමු. එකී හැසිරීම් හේතුවෙන් අද දවස වන විට සමාජ මාධ්‍ය ජාලාවලට මල් අභිබවා ගල් මුල් එල්ලවෙමින් තිබෙන තත්ත්වයක් ගොඩ නැගී ඇත.

එහෙත් ඕනෑම තීරණාත්මක අවස්ථාවක ප්‍රධාන යැයි සමාජ සම්මත මාධ්‍ය අභිබවා සමාජ මතවාදය ස්ථාපිත කිරීමෙහිලා මෙන්ම ඒවා ජයග්‍රහණය කිරීමෙහිලා සමාජ මාධ්‍ය පෙරමුණේ වෙයි. එහෙයින් සමාජ මාධ්‍ය සක්‍රීය ලෙස භාවිතා කරන්නන් ලෙස ඒවායේ විශ්වසනීයත්වය රැක ගැනීමේ වගකීමද අනෙක් පසෙකින් වෙයි.

අපද සමාජ ජාලා මාධ්‍ය මෙහෙයවන්නන් ලෙස එහි විශ්වසනීයත්වය රැක ගැනීම වෙනුවෙන් දැඩි වෙහෙසක් ගනිමින් පසුවෙයි. එවන් පරිසරයන් මැද මෙවන් මඩ අවලාද,නොමඟ යැවීම් හමුවේ පළුදු වන්නේ සමාජ මාධ්‍ය කෙරෙහි තබා තිබෙන විශ්වාසයයි. සමාජ මාධ්‍ය දිනෙන් දින පෙරටුගාමී ගමනක් යා යුතුවනවා මිස දිනෙන දින ඒ ගැන අපුලක් ඇතිවන ලෙස ඒවා හැසිරවිය යුතු නොවේ.

විශේෂයෙන් මෙවන් තීරණාත්මක, අවදානම් සහගත තත්ත්වයක සමාජය කුපිත කරවන, අපුලක් ඇතිකරවන අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම කිසිලෙසකින්වත් සාධාරණීකරණය කළ නොහැක. මෙවන් දේ සමාජ ගත කිරීමේදී ඒවා සාක්ෂි සහිතව ඉදිරිපත්කරන්නේ නම් ඉතා යහපත් බව සිහිපත්කරන්නෙමු. ඔබලාගේ මේ උඩ බලාගෙන සිදුකරන කෙළ ගැසීම් වලින් හානි වන්නේ ඔබලාට පමණක් නොව අප සියලු දෙනාටමය.

මිනිහෙක්ට ගැසීමට අවශ්‍ය වූ කළ එය කුමන හෝ මජර ක්‍රමයකින් කිරීම කිසිලෙසකින්වත් අපි අනුමත නොකරමු. මතවාදී සටනක් ඇත්නම්,දේශපාලනික විවේචනයක් ඇත්නම්,ක්‍රම විරෝධයක් ඇත්නම් ඒ වෙනුවෙන් මහත්වරුන් සේ සටන් කළ යුතුය.

අපට යුද හමුදාපතිවරයා ආරක්ෂා කර ගැනීමට හෝ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් පෙළා දැමීමට කිසිදු අවශ්‍යතාවක් නැත. මේ කිසිදු අයෙක් සමඟ අපට පෞද්ගලික කෝන්තර හෝ විශේෂ ඇගෑලුම්කම් නැත.

අප මේ මොහොතේ පෙනී සිටින්නේ රටේ පවතින තත්ත්වය සමඟ කියන කරන සෑම දෙයකම පාහේ විශ්වසනීයත්වය රැක ගත යුතුය යන මතයේය.සමාජ ව්‍යසනයක් පරාජය කිරීමේ පසුබිමක අපට අවශ්‍ය වන්නේ අසත්‍ය පුවත්වලට පණ පොවා ජනතාව කුපිත කරවා අනවශ්‍ය විරෝධයක් ඇති කිරීම නොවේ. අපට අවශ්‍ය වන්නේ ජනතාව වෙනුවෙන් හැකි ඉක්මණින් වඩා යහපත් තත්ත්වයක් දක්වා මේ ව්‍යසනය නැවත හරවා ගැනීමටය.

මන්ද අප ද මේ ව්‍යසනයට මැදිව පීඩාවිදින කොටසක් ලෙසය. සාතිශය බහුතරයක් මේ බිමේ වෙසෙන මිනිසුන්ට අවශ්‍ය වන්නේ එයයි. එහි විවාදයක් නැත. එසේ නැතිව මේ බිම අතහැර ගොස් හෝ පළා ගොස් සිටින කයිවාරුකාර කීබෝර්ඩ් වීරයන්ට මේ බිම ගැන දැන් වගක් නොතිබිය හැකිය. එහෙව් මිනිසුන්ට හිතේ හැටියට සමාජ මාධ්‍ය තුළ කරනම් ගැසිය හැකිය. ගහන කරණමක් ගැසිය යුත්තේ තවත් කෙනෙකුට එයට ඇගිල්ලක් දිගුකිරීමට ඉඩ නොතබාය.

අවසාන වශයෙන් අපට කියන්න ඇත්තේ කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ කියාය. අප සියලු පාර්ශව වෙත තවදුරටත් අවධාරණය කරන්නේ සමාජ මාධ්‍ය නොකෙලසා එහි විශ්වසනීයත්වය රැක ගැනීම වෙනුවෙන් මැදිහත්වන ලෙසය.මීට අමතරව ඊයේ දිනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාටද මෙවැනි ආකාරයේ මඩ ප්‍රචාර දැකගත හැකිවිය.

විවාහ මංගල්‍ය කතාවට අදාළව සිදුව ඇත්තේ මෙයයි.අද (03) දින විවිධ උත්සවයක් ගෙන ඇත්තේ යුද හමුදාවේ සේවය කරමින් සිට මේ වන විට විශ්‍රාම ලබා පෞද්ගලික බැංකුව සේවය කරමින් සිටින මේජර් සම්පත් වීරසූරිය මහතාගේ දියණියගේ විවාහ උත්සවයයි. සමාජ මාධ්‍ය ජාලා තුළ සැරිසරමින් ඇත්තේ එම ජායාරූපයි.


එම ජායාරූප සමඟ යුධ හමුදාපතිවරයා සහ මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ මහතා එකට සිටින ජායාරූපයක්ද වෙයි. එම ජායාරූපය ගෙන ඇත්තේ මෙකී විවාහ මංගල්‍ය උත්සවයේදී නොව ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ලෙස පත් වූ දිනයේය. 

උපුටා ගැනීම – ලංකා නිව්ස් වෙබ්

Next Post

අද පැවති මගුල් ගෙදර ගැන හමුදාපති හෙළි කරයි - වීඩියෝ සහිතයි

Mon May 3 , 2021
මේ දිනවල ලංකාවේ වසංගත ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබීම හේතුවෙන් සෞඛ්‍ය අංශය විසින් වසංගත මර්දන මාර්ගෝපදේශය මේ වන විට ජනතාවට ඉදිරිපත් කර තිබෙනවා. නැවත දැනුම්දෙන තුරු මෙම මාර්ගෝපදේශ බලපැවැත් වෙයි. මෙවන් වාතාවරණයක යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය ඔස්සේ කටකතාවක් පැතිරුණා. එහි සඳහන් වුණේ, ඒ මහතාගේ […]

Breaking News