වසංගතය නිසා ලංකාවට දරුණු බලපෑම ජුනි මාසයේදී – 2024 වෙනකම් ලෝකෙටම අවදානම් – ප්‍රබල අනාවැකියක්

මේ වසරේ ජූනි මස 14වදා සිට නොවැම්බර් 21 දක්වා කාලය තුළ වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට දුෂ්කර මෙන්ම පීඩාකාරී තත්ත්වයක් ගෙන එන බවත්යි 2021 නොවැම්බර් මාසයේ සිට 2022 අප්‍රේල් මාසය දක්වා යම්  සැනසිලිදායක ස්වභාවයක් පවතින බව ප්‍රවීණ ටොලමියානු ජ්‍යොතිර්වේදී කේ.සී.ජේ. රත්නායක මහතා පැවැසීය. මෙම වසංගතය 2024 අප්‍රේල් මාසය දක්වා ලෝකයට බලපෑම් එල්ලකරනු ඇති බවත් ඔහු පැවැසීය.

විශ්වය සැකසී තිබෙන්නේ මූලික ශක්තීන් පහකිනි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ යනුවෙන් අපි ඒවා හඳුන්වනු ලබනවා. විශ්වයේ තිබෙන සියලුම ශක්තීන්වල මූලාශ්‍රය නැත්නම් මූලික පදනම වන්නේ මේ ශක්තීන් පහයි. විශ්ව හා සත්‍යය ක්‍රියාත්මක වන්නේ න්‍යාය ධර්ම පහක් යටතේයි. මේවා අපි පංච නියාම ධර්ම ලෙස හඳුන්වනු ලබනවා. සෘතු නියාමය, ධම්ම නියාමය, චිත්ත නියාමය, බීජ නියාමය, කර්ම නියාමය එම නියාම පහ වේ.

මේවායින් වසංගත තත්ත්ව අපිට විග්‍රහ වන්නේ සෘතු නියාමය යන නියාමය යටතේයි. එනම් ලෝකයේ කාලෙන් කාලෙට ඇතිවන වසංගත, දුර්භික්ෂ, යුද්ධ ආදී වශයෙන් වූ මනුෂ්‍යයාටත් ජීවීන්ටත් ඇතිවන විපත්ති තත්ත්වයන් හඳුනාගන්නේ එහෙමයි. දිගු කාලයක් පවතින කාලගුණික, දේශගුණික, දුර්භික්ෂ විපර්යාසයන් ආදියත් සෘතු න්‍යාමයෙන් තමයි අපි විග්‍රහ කරන්නේ. එහෙම ගත්තාම ලෝකයේ වර්තමානයේ පවතින්නේ සාමාන්‍ය වසංගත තත්ත්වයක් නොවෙයි.

අපි මෙය ඉංග්‍රීසියෙන් කියනවා ග්ලෝබල් පැන්ඩමික් එකක් කියලා, නැත්නම් ගෝලීය වසංගතයක් කියලා. ගෝලීය වසංගත තත්ත්වවල ඉතිහාසය ගැන බලනකොට ක්‍රිස්තු පූර්ව අවදිය දක්වාම සාධක තිබෙනවා. ලෝකයේ විශාල ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වූ මෙවැනි ගෝලීය වසංගතවලින් අද අපි හිතනවාට වඩා මනුෂ්‍ය ජීවිත විශාල ගණනක් විනාශ වෙලා තිබෙනවා. ඒ වගේම ඇතැම් වසංගත තත්ත්වයන් අවුරුදු 10, 05, 04 වගේ දිගු කාලයකට විහිදී තිබෙනවා.

එවිට බලන විට ගෝලීය වසංගත කියන්නේ ලෝකයට අලුත් දෙයක් නොවෙයි. කාලෙන් කාලයට මේවා ඉස්මතු වී එනවා. නමුත් ජ්‍යෝතිෂයට හෝ අනෙකුත් සම්මත විෂයන්ට මේ තත්ත්ව හරියටම කල්තියා පුරෝකථනය කරන්න හැකියාවක් නැහැ. මෙන්න මේ කාලයේ ගෝලීය වසංගතයක් පැතිරෙනවාය, එය නිශ්චිතවම ඉදිරි කාලයේ යම් දිනක අවසන් වෙනවා කියලා කියන්න බෑ.

නමුත් මේ වසංගත ගැන මූලික ඉඟි, සංඥා වගේ දේවල් අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඒවාට අපි ග්‍රහයන් තමයි පාවිච්චි කරන්නේ. නමුත් ග්‍රහ මණ්ඩලය හෝ ග්‍රහයන් නිසා කිසිදු පුද්ගලයෙකුට සෙතක් හෝ විපතක් හටගන්නේ නැහැ. ග්‍රහයන් නිසා නොවෙයි මේවා හටගන්නේ.

ග්‍රහයන් කියන්නේ කාලයේ ඇතිවන විපර්යාසයන් කල්තබා දැනගැනීමට පාවිච්චි කරන සංඥා පද්ධතීන් වේ. මේවා සංඥා දර්ශක වේ. ඒ හැර ශනි, රවි, සඳු, බුධ ආදී ග්‍රහයන් කෝප වෙලා මිනිසුන්ට විපත්ති කරනවා කියන අදහස සම්පූර්ණ මිථ්‍යාවක්. ඒ වගේම කාලෙන් කාලෙට හටගන්න සූර්යග්‍රහණ, චන්ද්‍ර ග්‍රහණ, වල්ගා තරු ආදිය ප්‍රබල සංඥාවන් වෙනවා ලෝකයාට හා සත්ත්වයාට ඇතිවන හොඳ හෝ නරක පිළිබඳ දැනගන්නට.

මුලින්ම මම කියන්න කැමතියි මේ ඇතිවෙලා තිබෙන වසංගත තත්ත්වය පිළිබඳව හරියටම මේ මේ කාලවලදී හටගන්නවාය, අහවල් කාලයේ ඉවර වෙනවාය යනුවෙන් පුරෝකථනය කරපු කිසිම ජ්‍යෝතිර්වේදියෙක් බටහිර ලෝකේ හෝ පෙරදිග ලෝකයේ නැහැ.

නමුත් ඇති වුණ ග්‍රහචාරය ඇති වෙන්නට මාස තුනකට පමණ පෙර ලංකාවේ ගල්කිස්ස ප්‍රදේශයේ ජීවත් වන ප්‍රියදර්ශන ආරියරත්න නම් තරුණ ජ්‍යෝතිර්වේදී මහත්මයෙක් ප්‍රසිද්ධ පුවත්පතකට මෙලෙස සඳහන් කර තිබුණා.

ගුප්ත වසංගත, වෛරස රෝග තත්ත්වයක් පැතිරීමට වැඩි ඉඩක් පවතී යනුවෙන්. වෛරස කියන වචනය පාවිච්චිකර මේ පිළිබඳ සදහන් කළ මා දැනුම්වත් එකම පුද්ගලයා ඔහුයි. එතුමා මේ ගුප්ත වසංගත වෛරස රෝගයක් ඉදිරි කාලයේ පැතිරෙනවා යනුවෙන් සඳහන් කරමින් ජෛව ලෝකයේ සිදුවන යම් සිදුවීමක් ඔහුගේ ජ්‍යෝතිෂ දැනුමෙන් ග්‍රහණය කරගෙන ඇති බවක් පෙන්නුම් කරනවා. එය අපි අගය කරන්න අවශ්‍යයි.

2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 26වෙනිදා හා ඒ ආසන්න දිනයක ඉතාම සුවිශේෂ, කලාතුරකින් හටගන්න ප්‍රබල සූර්ය ග්‍රහණයක් හා චන්ද්‍ර ග්‍රහණයක් සිදුවුණා. මේ අවස්ථාවේදී මේ තත්ත්වය විග්‍රහ කරමින් මම යූටියුබ් නාළිකාවකට හා පුවත්පත්වලටත් කිව්වා ලෝකයේ විශාල අනතුරකට ගමන් කරමින් තිබෙන බව. ඒ ග්‍රහණ දෙක සුවිශේෂී නිසාම අනෙක් ග්‍රහණවලට වඩා විශාල බලපෑමක් සිදුවන බව කිව්වා. නමුත් එහෙම කිව්ව මමවත් මේක වෛරස තත්ත්වයක් බව මොන ක්‍රමයකටවත් ග්‍රහණය කරගත්තේ නැහැ. ඒ අනුව ලෝකයට මහා විපත්තියක් වන බව පමණක් මම සඳහන් කළා.

මේ වසංගතය කවදා ඉවර වෙයිද කියලා බැලුවොත් අපිට කාල රාමුවක් අධ්‍යයනය කරන්න පුළුවන්. මේ ග්‍රහණ සිදුවීම පදනම් කරගෙන 2022 අප්‍රේල් 08 දක්වා ඉතාම තදින් මේ ගෝලීය වශයෙන් තිබෙන වසංගත තත්ත්වය පැතිරෙනවා කියන එකයි මගේ අධ්‍යයනයන්ට අනුව මට පෙනී යන්නේ. මීළඟට මේ අවුරුද්දේ ජූනි මාසයේ 14වෙනිදා සිට නොවැම්බර් 21 දක්වා කාලය තුළ විශේෂයෙන් ලංකාවට උග්‍ර පීඩනයක් ඇති වෙන්නට පුළුවන්.

මගේ ගණිත ක්‍රම අනුව මට පෙනුනේ ජූනි මාසයේ සිට වුණත් එය ඉක්මන් වූ තත්ත්වයක් තමයි පේන්නේ. කොහොම නමුත් මේ වර්ෂයේ ජූනි මස 14වෙනිදා සිට නොවැම්බර් 21 දක්වා කාලය ලංකාවට දුෂ්කර මෙන්ම පීඩාකාරී තත්ත්වයක් ගෙන එන බවයි පෙන්නුම් කෙරෙන්නේ. ඉන්පසුව 2021 නොවැම්බර් මාසයේ සිට 2022 අප්‍රේල් මාසය දක්වා යම් සැනසිලිදායක ස්වභාවයක් ලැබුණත්, අවදානම අඩු වී යන්නේ නැහැ.

මීළඟට ගෝලීය වශයෙන් මේ වසංගතය ඉවත්ව යන කාලය ගැන බැලුවොත් 2024 වසරේ අප්‍රේල් මාසය පසුවනතුරුම ලෝකයට මේ වසංගතය බලපාන බවයි මගේ අධ්‍යයනවලින් පේන්නේ.

ලෝකයේ ඕනෑම දෙයක් නිර්මාණයට මුලින් කී ශක්තීන් 5 දායක වෙනවා වගේම එහි පැවැත්ම සඳහා න්‍යාය ධර්ම 5 බලපානු ලබනවා. මේවාට අපි නම් යෙදුවත් ඒවායේ සිද්ධාන්ත ඕනෑම ආගමික දෘෂ්ටියකින් තේරුම්ගත හැකියි. ඒ අනුව ආගමික ඉගැන්වීම් ලෙස ලඝු කරන්න අවශ්‍ය නැතත්, බුදුහාමුදුරුවන් බුද්ධ දේශනාවෙන් මේ පිළිබඳ ඉතාම හොඳින් විග්‍රහ කර තිබෙනවා.

2017 වර්ෂයේ සිට අවුරුදු හතක දිග්ගැසූ යුද්ධ තත්ත්වයක් ලෝකයේ වෙනස් කිරීමක්, බලහත්කාරයෙන්, ප්‍රචණ්ඩත්වයෙන් ලෝකය වෙනස් කිරීමක් සිදුවන බව අපි දැක්කා. 2016 වර්ෂයේ සිට අද පුවත්පතට මම මේ පිළිබඳ ලිපි මාලාවක් ඉදිරිපත් කළා. 2017 වර්ෂයේ අප්‍රේල් මස 8වැනිදා සිට 2024 අප්‍රේල් මාසය දක්වා ලෝකයට මොකක්ද වෙන්නේ කියන දේ මම සඳහන් කළා.

මේ ලිපි ලියන්න කලින් මම 2016 වර්ෂයේ ‘තුරුම්පුවාගේ වික්‍රමය’ නමින් ග්‍රන්ථයක් සටහන් කරලා ලෝකයේ විවිධ රටවල් ගැන වගේම සමස්ත ලෝකයටම මොකද වෙන්නේ කියලා පුරෝකථනය කිරීමක් සිදුකළා. එහිදී මම කිව්වා 2017ට පෙර පැවැති ලෝකයේ බල තුලනය ඉදිරියේදී වෙනස්වන බව. එය ප්‍රචණ්ඩ ආකාරයෙන් සිදුවන බවත්, බලවත්ව තිබූ රටවල් දුබල වන බවත් අලුත් බලවේග ඉස්මතු වන බවත් සඳහන් කළා. ඒ අනුව මේ තත්ත්වය තුන්වන ලෝක යුද්ධයක් හා සමානයි.

සාමාන්‍යයෙන් යුරේනස් තමයි ලෝක යුද්ධ වගේ දේවල් හටගන්නා බව සංඥා කරන්නේ. ඒ අනුව ලෝකය විප්ලවකාරී ආකාරයට සමාජ ආර්ථිකය, බල තුලනය, මිනිස්සු හිතන පතන විදිහ, මිනිසුන්ගේ ආහාර පාන රටාව ආදිය වෙනසකට ලක්වෙනවා. පළමු ලෝක යුද්ධයෙන් පසු එලෙස වෙනස් වුණා. නැවත දෙවන ලෝක යුද්ධයෙන් පසු වෙනස් වුණා. ඒ අනුව කාල වකවානු නිවැරදියි. පළමුවන ලෝක යුද්ධ සමයේ පැවැති ග්‍රහ රටාවත්, දෙවන ලෝක යුද්ධයට වූ ග්‍රහ රටාවත් 2017 සිට ලෝකයට නැවත ඒ ආකාරයෙන්ම ක්‍රියා කරන්න පටන් ගත්තා.

ඒ අනුව හත් අවුරුද්දක් දිග් ගැහුණු ලෝක පරිමාණයේ යුද්ධයක් වෙන්න පුළුවන් බව මම සඳහන් කළා. මේ යුද්ධය ආයුධ අතට අරගෙන කරන යුද්ධයක් කියලා මම සඳහන් කළේ නෑ. කුමන ආකාරයේ හෝ තුන්වන ලෝක යුද්ධයක් සිදුවන බව මම සඳහන් කළා. ඒ වගේම ඉන්දියාව සම්බන්ධයෙන් අද පත්ව ඇති තත්ත්වය මගේ කෘතියේ සඳහන් කර තිබෙනවා. ඒ කියූ හැමදෙයක්ම අද සිදුවී තිබෙනවා. ඒ වගේම නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා විශාල කුමන්ත්‍රණයකට හා ජනතා අප්‍රසාදයකට මැදිවෙලා දැඩි අසීරුතාවන්ට ලක්වී බලයෙන් පහව යන්නට සිදුවන බවත් මම සඳහන් කළා.

මීට පෙර 2020 මාර්තු මාසයේදීත් මම සඳහන් කළා ඉතාලියට වඩා හානියක් ඉන්දියාවට සිදුවන බව. එය අද පෙනී යනවා. මෙහිදී මම කියන්න හදන්නේ පුරෝකථන හරහා මම ඉස්මතු වෙන්න නෙමෙයි, මේ කියන තත්ත්ව අපිට ජ්‍යෝතිෂය හරහා පෙර සිටම සඳහන් කළ හැකි බවයි.

2017 වර්ෂයේ ආරම්භ වූ හත් අවුරුදු ලෝක විපර්යාසය වගේම ලංකාව සම්බන්ධයෙනුත් බලනකොට පැරණි දේශපාලන බලකඳවුරු දේශපාලන පක්ෂ, පැරණි දේශපාලන නායකයන්, පැරණි දේශපාලන චින්තන එකක් නෑර අභාවයට යන බව මම සඳහන් කළා. ඒ කියූ අයුරෙන් එක්සත් ජාතික පක්ෂය, නිදහස් පක්ෂය ආදිය යටපත් වෙලා තියෙනවා. ඒ අනුව මට කියන්න තියෙන්නේ ජ්‍යෝතිෂයට අනුව යම් යම් දේවල් කල් තියා ග්‍රහණය කරගත හැකි බවයි.

කෙනෙකුට ලෙඩක් හැදුනම උචිත ඖෂධ ලබාගත යුතුයි. එසේ නොමැතිව දේවාලයකට ගිහින් පොල් ගැසුවට ලෙඩේ සුව වෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපි දැක්කා මේ තත්ත්වය තුළදීත් විවිධ අන්ධ විශ්වාස හා අන්ධ මත පැතිරෙනවා. මහා බලසම්පන්න දෙවිවරු ඉන්නවා කියූ ඉන්දියාවට අද මොකද වෙලා තියෙන්නේ. අපේ රටෙත් අනුවණ දේශපාලඥයන් පවා මේ දේවාලවලට රිංගගෙන අඩ නිරුවතින් ඇඟේ අලු ගාගෙන කරපු දේවල් දැක්කම අපිට ලැජ්ජා හිතුණා.

අද ඉන්දියාව රැකගන්න ඔය දේවාල වලට හැකිවෙලා නැහැ. ඒ නිසා මිනිසුන් තමන්ගේ බුද්ධිය වෙහෙසලා ප්‍රතිකර්ම නිවැරදිව නොගෙන නොපෙනෙන දෙවියන්ට යාතිකා කර සහනයක් ලබාගත නොහැකියි. මෙයින් මම දේව සංකල්ප බැහැර කිරීමක් නොවෙයි කරන්නේ. මිනිසුන් තමන්ගේ වගකීම පැහැර හැරලා දේවාලයට පලතුරු වට්ටියට හෝ වෙනත් මිථ්‍යා විශ්වාසයන්ට දුන්නාම සිදුවන්නේ විපත තවදුරටත් පැතිරෙන එක විතරයි.

ඇතැම් මිථ්‍යාදෘෂ්ටික ආගම්වල ක්‍රියාකලාප නිසා මේ රෝගය පැතිරෙන්නටත් හේතු කාරණා ඇතිවී තිබෙනවා. ඒ නිසයි මම කියන්නේ බෞද්ධයෙක් ලෙස තමන්ගේ ආරක්ෂාව තමන් සලස්වාගැනීම තමයි සිදුවිය යුතුයි. ඒ අනුව මේ වසංගතය පාලනය කිරීම ජ්‍යෝතිෂයට අයිති දෙයක් නොවෙයි. මෙය බුද්ධියෙන් හා වෛද්‍ය විද්‍යාත්මක පදනමකින් විසඳිය යුත්තක්. මේ අනුව ලෝකයේ තිබෙන මිථ්‍යාවන්ට මේ වසංගතය හරහා හොඳ අතුල් පහරක් එල්ල කර තිබෙනවා.

අපිට 2022 වර්ෂයේ අප්‍රේල් මාසයේ මේ වසංගත තත්ත්වය යම් දුරකට පහවී සහනයක් ගෙනාවත්, 2024 වෙනතුරු මෙහි අවසානයක් නොමැති බව වටහාගත යුතුයි. ඇතැම් විට දැන් මේ පවතින තත්ත්වය දිග්ගැසෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් වෙනත් තත්ත්වයක් එක්ක මිශ්‍ර වෙලා පැවතෙන්න පුළුවන්.

කෙසේ හෝ 2024 වර්ෂයේ අප්‍රේල් දක්වා මෙය පවතින බව පෙනී යනවා. මෙය සංක්‍රමණික අවදියක්. ඒ අනුව අභාවයට යා යුතු දේ ලෝකය විසින් ඉවත් කරමින් යනවා. 2024න් පස්සේ බිහිවෙන්නේ අලුත් ලෝකයක්. එයට රැගෙන යන දේ තීරණය කරන්නේ දරුණු ආකාරයට. ඒ නිසා ඉදිරි කාලය ඉතාම දුෂ්කර කාලයක්. 2024 වර්ෂය වෙනකන්ම මේ තත්ත්වය පවතින නිසා සූදානම්ව සිටින්න.

Next Post

කෝඩුකාර ප්‍රවීන්ගෙන් ශ්‍රී ලංකා වාර්තා දෙකක් - තිසර අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගනී

Mon May 3 , 2021
මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාව ජය ලැබූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා යොවුන් වමතින් දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවීමට සමත් විය. ප්‍රවීන්, බග්ලාදේශ පළමු ඉනිමේදී ලකුණු 92 කට කඩුලු 6 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 86 කට කඩුලු 5 […]

Breaking News