පිය උරුමයෙන් තමන්ට ලැබුණු නිවස රනිල්ගේ අන්තිම කැමැත්ත රාජකීයට දෙන්න

ලංකාවේ අගමැති ධුරයට පත්වන අයකුට නිල බලයෙන් හිමිවන ගෙදරක් ඇත්තේය. එය හැඳින්වෙන්නේ ‘අරලිය ගහ මන්දිරය’ යනුවෙනි. සිව් වතාවක් අගමැති ධුරයට පත්වුවත් ඒ කිසිදු අවස්ථාවක සිය නිල නිවසේ පදිංචියට නොගිය අයෙක් වේ නම් ඔහු රනිල් වික්‍රමසිංහය. ඒ ඔහුගේ හැටිය.

රනිල් පිළිබඳ කුමන විවේචන තිබුණද ඔහුගේ මිතුරෝත් පසමිතුරෝත් හැමදාමත් කියන කතාවක් තිබේ. ඒ, ඔහු කවදාවත් තම නිලයට ලද වරප්‍රසාද භුක්ති විඳීමට ලොල් නොවූ දේශපාලනඥයෙක් බවය. ඉපදුණු දා සිට මේ දක්වා ඔහු පදිංචිව සිටියේ කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ පිහිටි පිය උරුමයෙන් ලද නිවසේය.

එසේ නොමැතිව රනිල්ට සිදුහත් කුමරුට මෙන් රම්‍ය, සුරම්‍ය, ශුභ යනුවෙන් මාලිගා තිබුණේ නැත. නමුත් ලංකාවේ බොහෝ දේශපාලනඥයන්ට රට වටා රම්‍ය, සුරම්‍ය, සුභ මාලිගා ඇති බව රහසක් නොවේ. එම මාලිගා ඉදිකරන්නට සල්ලි උපයාගත් හැටි හැමදාමත් රටුන්ගේ කතාබහට ලක්වූ මාතෘකාවක් වූවේය.

එහෙත් රනිල්ගේ ගෙදර ගැන කවදාවත් එවැනි චෝදනා එල්ල වූයේ නැති මුත් ගිය සතියේ සිට එම ගෙදර ගැන කතාබහක් ඇතිවී තිබේ. එම කතාවට මුල රනිල් තමන්ගේ ගෙදර කොළඹ රාජකීය විදුහලට පැවරීමය. රනිලුත්, ඔහුගේ බිරියත් නැති දවසට පස්වැනි පටුමගේ ගෙදර හිමිවන්නේ කොළඹ රාජකීය විදුහලටය.

ඒ ගැන අපි රනිල් වික්‍රමසිංහගෙන් විමසූ විට ඔහු අපට කාරුණිකව කීවේ තමා එය කළේ ප්‍රසිද්ධිය පතා නොවන බැවින් ඒ ගැන කතා කිරීමට මනාපයක් නැති බවය.රනිල් මනාපයක් නැති වුණාට ඔහුගේ ගෙදර ගැන රටුන් දැන ගැනීම වටී. ඊට හේතු වන්නේ රනිල්ට එම ගෙදර හිමි වන්නට පෙරත් ලංකා​ දේශපාලනය උඩු යටිකුරු කළ තීන්දු තීරණ රැසක් ගනු ලැබූයේ පස්වැනි පටුමගේ ගෙදර බිත්ති හතරේ බැවිනි. රනිල්ගේ ගෙදර යනුවෙන් කීවාට ඒ ගෙදර රනිල්ගේ නොව, ඔහුගේ තාත්තාගේ ගෙදරය. එම ගෙදර ගැන කතාකළ යුත්තේ රනිල්ගේ පරම්පරාවත් සමගය. කොල්ලුපිටියේ ගෙවල් දොරවල් හදාගත්තාට රනිල්ලාගේ මුල් ගම් කොළඹ නොවේ.

රනිල් වික්‍රමසිංහ අගමැතිකම කරපු කාලයේ අරලියගහ මන්දිරය නැරඹීමට ශිෂ්‍යාවෝ පිරිසක් පැමිණියෝය. ඔවුන් සමග ආගිය තොරතුරු කතා කරමින් සිටි අගමැතිවරයා මේ දරුවන්ගේ ගම කොහේදැයි ඇසුවේය.‘‘බද්දේගම’’ ශිෂ්‍යාවෝ කී‍වෝය.‘‘ආ, බද්දේගමද? අපේ ගමත් බද්දේගම’’ අගමැති කීවේය.

ඒ කතාව ඇසූ ගුරුවරුද අරලියගහ මන්දිරයේ කාර්ය මණ්ඩලයද පුදුම වූයේ එවැනි කතාවක් මින් පෙර ඔවුන් අසා නැති බැවිනි. රටම දන්නා පරිදි රනිල් කොළඹ හතේ කුරුඳුවත්තේ ප්‍රභූ පැලැන්තියේ අයෙකි. රනිල් කොළඹ හතේ කීවාට ඒ කතාව සියයට සියයක් හරි නැත. කොළඹ නාගරික බෙදිල්ල අනුව රනිල්ගේ නිවස අයත් වන්නේ කොළඹ තුනේ කොල්ලුපිටියේ පස්වැනි පටුමගටය.

කොල්ලුපිටියෙන් පටන් ගන්නා පස්වැනි පටුමගේ එක අන්තයක් වැටෙන්නේ කොළඹ හතේ රාජකීය විදුහල කිට්ටුවටය. රනිල් ඉස්කෝලේ ගියෙත් රාජකීය විදුහලටය. රනිල් පමණක් නොව, ඔහුගේ තාත්තාත්, සීයාත්, ජේ.ආර්. මාමාත් ඇතුළු තවත් බොහෝ නෑයන් ඉස්කෝලේ ගියේ රාජකීයටය. රාජකීය ය සමග ඇති මේ සබඳතා නිසා රනිල් අන්තිමේදී සිය නිවසත් රාජකීයටම ලීවේය.

රනිල් බද්දේගමට නෑකම් කියන්නේ ඔහුගේ සීයාගේ පාර්ශ්වයෙනි. රනිල්ගේ සීයා සිරිල් ලෙනාඩ් වික්‍රමසිංහය. ජේමිස් හෙන්ද්‍රි වික්‍රමසිංහ හා ගාල්ලේ සමරවික්‍රම පරම්පරාවේ මේරි හෙලන් යුවළගේ පස්වැනි දරුවා සිරිල් ලෙනාඩ්ය. වික්‍රමසිංහ පවුලේ මුළු දරුවන් ගණන නවදෙනෙකි. සී.එල්. වික්‍රමසිංහ නමින් ප්‍රකට සිරිල් ලෙනාඩ් වික්‍රමසිංහ ගාල්ලේ රිච්මන්ඩ් විදුහලෙන් අධ්‍යාපනය ලබා වැඩිදුර ඉගෙන ගන්නට කොළඹ රාජකීය විදුහලට ආවේය. බ්‍රිතාන්‍ය යටත්විජිත සමයෙහි සිවිල් සේවයට එක්වූ සී.එල්. වික්‍රමසිංහ හැඳින්වෙන්නේ ලංකාවේ මුල්ම සිංහල මහ දිසාපතිවරයා ලෙසය.

මතු නොව ඔහු ඉඩම් කොමසාරිස් ධුරයට පත් මුල්ම ශ්‍රී ලාංකිකයාය. ඩී.ඇස්. සේනානායකගේ මින්නේරිය හා මිනිපේ ගොවි ජනපද ව්‍යාපාරය පිටුපස සිටි කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙක් වන්නේද ඔහුය. ඔහු විවාහ වූයේ කුරුණෑගල එස්මි මූණමලේ ගුණවර්ධන සමගය. එස්මි ගුණවර්ධනගේ තාත්තාත් ගාල්ලේය. ඔහු එඩ්වර්ඩ් ග්‍රෙගරි ගුණවර්ධනය. රිච්මන්ඩ් විදුහලෙන් ඉගෙන ගෙන ගාල්ලේ නීතිඥවරයෙක් ලෙස රැකියාව කළේය. පසුකලෙක කුරුණෑගල පදිංචියට ගිය ඔහු ප්‍රසිද්ධ මූණමලේ පවුලේ මේරි ඉවැන්ජලින් ඒඩා මූණමලේ සමග විවාහ විය.

දරුවන් දොළොස් දෙනකුගෙන් එම පවුලේ බාලම දුව එස්මි සිරිල් සමග විවාහ විය. එම විවාහයෙන් ඔවුහු දරුවන් සිවුදෙනකු ලැබූහ. වැඩිමලා එස්මන්ඩ් වික්‍රමසිංහය. දෙවැනියා තිස්ස වික්‍රමසිංහය. තෙවැනියා ලක්ෂ්මන් වික්‍රමසිංහය. පවුලේ එකම ගැහැනු දරුවා මුක්තා වික්‍රමසිංහය. තාත්තා මෙන් වික්‍රමසිංහ පවුලේ පුතාලා ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විදුහලේය. උපතින්ම ඇන්ග්ලිකන්වරු වූ ඒ පවුලේ දරුවන් අතරින් ලක්ෂ්මන් වික්‍රමසිංහ පූජකවරයට පිවිසියේය. පසුකලෙක එතුමාණෝ ලංකා සභාවේ කුරුණෑගල රදගුරු ධුරයට පත්වූහ.

වික්‍රමසිංහ පවුලේ එකම දුව මුක්තා විවාහ වූයේ පසුකලෙක පාර්ලිමේන්තු මහ ලේකම් ධුරයට පත් සෑම් විජේසිංහ සමගය. එම යුවළගේ එකම පුතා වන මහාචාර්ය රජීව් විජේසිංහ ලිබරල් පක්ෂයේ දේශපාලනයට ආවේය. එම පක්ෂයේ නායකයා ලෙස කලක් කටයුතු කළ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම රාජ්‍ය ඇමැතිවරයෙක් ලෙසද පත්විය. ඒ දෙදහස් දහයේ දෙදහස් පහළොවේ පාර්ලිමේන්තුවේය.

ඒ සමයෙහි රජීව් විජේසිංහගේ ඥාති සොයුරෝ තිදෙනෙක්ද පාර්ලිමේන්තුව නියෝජනය කළෝය. ඔවුහු රුවන් විජයවර්ධන, වසන්ත සේනානායක හා රනිල් වික්‍රමසිංහය. රනිල්ගේ මවත්, රුවන්ගේ තාත්තාත් අක්ක මලෝය. එසේ බලන විට රනිලුත්, රුවනුත් දෙමස්සිනාලාය. අනෙක් පැත්තෙන් වසන්තත්, රුවනුත් දෙමස්සිනාලය. වසන්තගේ තාත්තාත්, රුවන්ගේ අම්මාත් අක්ක මලෝය.

එපමණක් නොව රනිලුත්, රජිව් විජේසිංහත් දෙමස්සිනාලාය. රජිව්ගේ මාමා, එසේත් නැතිනම් ඔහුගේ අම්මාගේ සොයුරා වූ එස්මන්ඩ්ගේ පුතා රනිල්ය. එහෙත් රජීව් හා රනිල් දේශපාලන පසමිතුරෝය. එබැවින් ඔහු එජාපයේ පස් පෑගුවේවත් නැත. දෙදහස් පහළොවේ රජීව් පාර්ලිමේන්තුවට ආවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පත්කළ මන්ත්‍රීවරයකු ලෙසය.

වික්‍රමසිංහ පවුලේ බලවත් චරිතය රනිල් වික්‍රමසිංහ බව කවුරුත් සිතුවත් රනිල්ටත් වඩා බලවන්තයෙක් ඒ පවුලේ සිටියේය. එහෙත් ඔහු කවදාවත් මැති ඇමැතිකම් දරන්නට ක්‍රියාකාරී දේශපාලනයට ආවේ නැත. ‘රජුන් තනන්නා’ යන වදන ලංකා දේශපාලනයේ මුලින්ම හැඳින්වූයේ වික්‍රමසිංහ පවුලේ එස්මන්ඩ් වික්‍රමසිංහ වෙනුවෙනි.

ඔහු රනිල් වික්‍රමසිංහගේ තාත්තාය. එස්මන්ඩ් වික්‍රමසිංහ දේශපාලනය ආරම්භ කළේ ලංකා සම සමාජ පක්ෂයෙනි. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, බර්නාඩ් සොයිසා ආදීන්ගේ ඇසුරේ එඩ්මන්ඩ්ගේ දේශපාලනය වැඩුණේය. අනෙකුත් වාමාංශිකයන් මෙන් එඩ්මන්ඩ්ද කල්පනා කළේ ළඟ ළඟ එන විප්ලවය ගැනය.

පසු කලෙක සිය දේශපාලන ගමන් මග සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට ඔහුට බලපෑ හේතුව වූයේ විවාහයය. එස්මන්ඩ් විවාහ වූයේ ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධනගේ දියණියක වූ නාලනි විජයවර්ධන සමගය.

විවාහයෙන් පසු සිය මාමණ්ඩියගේ පුවත්පත් ව්‍යාපාරයට එක්වූ ඔහු ලේක්හවුස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ පදවියද දැරුවේය. කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ ගෙදර ඉදිකළේ ඔහුය. එය දෙමහල් නිවසකි. නිවස වටා ලොකු ඉඩමක් තිබුණේය. අද මෙන් එකල කොල්ලුපිටිය ජනාකීර්ණ නැත.

පනහ හැටේ හැත්තෑවේ දශකයේ ලංකාවේ දේශපාලන තීන්දු පිටුපස සිටි අදෘශ්‍යමාන හස්තය එස්මන්ඩ් වික්‍රමසිංහ බව ප්‍රසිද්ධ රහසකි. ඔහු රජුන් තැනුවේ මේ ගෙදර සිටය. අගමැතිවරයා, මැති ඇමැතිවරු, ආණ්ඩුකාරවරයා, රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් මේ නිවසට අඩුවක් නැත.

එක්දහස් නවසිය පනස් දෙකේදී අගමැති ඩී.එස්. සේනානායක හෘදයාබාධයක් වැලඳී මියගිය මොහොතේදී සභානායක ජෝන් කොතලාවල කල්පනා කළේ වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය අනුව මීළඟ අගමැති තමා වනු ඇති බවය. එහෙත් ඔහු සිතූ පරිදි එය සිද්ධ වූයේ නැත.

කොතලාවල වෙනුවට ඩඩ්ලි සේනානායක අගමැති කරන මෙහෙයුමක් ජෝන් කොතලාවලට නොදැනුවත්වම ක්‍රියාත්මක විය. එහි පිටුපස සිටි රජුන් තනන්නා වූයේ එස්මන්ඩ් වික්‍රමසිංහය. ඒ, ඩී.ඇස්. සේනානායක මිය යන්නට දෙතුන් මසකට පෙර එස්මන්ඩ් වික්‍රමසිංහට දුන් පැවරුම හරියට ඉටු කරමිනි. හෘදයාබාධයකින් පීඩා විඳි අගමැතිවරයා තමාට යන්නට වේලාව පැමිණ ඇති බව කල්තියාම දැනගෙන සිටියේය.

තමා මියගිය පසු තම අනුප්‍රාප්තිකයා ඩඩ්ලි යැයි අගමැතිවරයා එස්මන්ඩ් වික්‍රමසිංහට දැනුම් දී තිබුණේය. දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් අගමැතිවරයා පසු වෙද්දී අග්‍රාණ්ඩුකාර සර් සෝල්බරි සාමි විදෙස්ගත වූයේ වැඩබලන අග්‍රාණ්ඩුකාර ධුරයට අගවිනිසුරු සර් ඇලන් රෝස් පත්කරමිනි.

යම් හෙයකින් අගමැතිවරයා කලුරිය කළහොත් කිසිදු හදිසි තීරණයක් නොගන්නා ලෙසත්, තමා ලංකාවට පැමිණෙන තුරු එස්මන්ඩ් වික්‍රමසිංහ සියලු කටයුතු කළමනාකරණය කරනු ඇති බව ඔහු සර් ඇලන් රෝස්ට කීවේය.

ඔහු කී පරිදිම අගමැතිවරයා කලුරිය කළ පසු හා සෝල්බරි සාමි ලංකාවට පැමිණ ඩඩ්ලි අගමැති ධුරයට පත් කරනතුරු එස්මන්ඩ් වික්‍රමසිංහ තිරය පිටුපස සිට සියල්ල මෙහෙයවූවේය. මේ සිද්ධිය සිතේ තබාගෙන සිටි ජෝන් කොතලාවල 53 අගමැති ධුරයට පත්වූ මොහොතේ සෝල්බරි සාමි අග්‍රාණ්ඩුකාර ධුරයෙන් ඉවත් කර සර් ඔලිවර් ගුණතිලක එම ධුරයට පත්කර ගත්තේය.

එක්දහස් නවසිය හැට හතරේදී පාර්ලිමේන්තු කුමන්ත්‍රණයකින් මැතිනියගේ ආණ්ඩුව ගෙදර යැවීම පිටුපස සිටි නූල් සුත්තරකාරයා වූයේද එස්මන්ඩ් වික්‍රමසිංහය. ඒ කාර්යයේදී ඔහු කොතරම් දක්ෂයෙක් වූවේද කියනවා නම් බණ්ඩාරනායක අගමැතිවරයාගේ මරණයෙන් පසු මැතිනිය එනතුරු ශ්‍රීලනිපය මෙහෙයවූ සභානායක සී.පී. ද සිල්වාත්, විරුද්ධ පැත්තට ගත්තේය. ශ්‍රීලනිප මන්ත්‍රීන් මැතිනියට එරෙහිව යොදා ගැනීමට එස්මන්ඩ් මන්ත්‍රීන් පස්වැනි පටුමගේ නිවසට ගෙන්වා සල්ලි දුන් බවට එකල කියැවිණි.

ඉක්බිතිව ඔහු හැට පහේදී යළිදු වරක් ඩඩ්ලි රජ කරවීමට පාර කැපුවේය. හැට පහේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය හැදුවේ කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ එස්මන්ඩ්ගේ ගෙදරදීය. එජාප ආණ්ඩුව පිහිටුවන්නට එස්මන්ඩ් කළ කැපකිරීම් නිසා අගමැති ඩඩ්ලි සේනානායක යෝජනා කළේ ඔහු සෙනට් මණ්ඩලයට පත්කර විදේශ ඇමැති ධුරය දෙන්නටය. නමුත් එස්මන්ඩ් එම යෝජනාවට කැමති වූයේ නැත.

කිසිදු දිනක පාර්ලිමේන්තු යාමට කැමති නොවූ එස්මන්ඩ් පස්වැනි පටුමගේ ගෙදර සිට මුළු ආණ්ඩුවත් එජාපයත් මෙහෙය වූ බව ප්‍රසිද්ධ කතාවකි. එස්මන්ඩ්ගේ පස්වැනි පටුමගේ නිවසේ ඉඩම දැන් පුංචි වී ඇත්තේය. එහි දැන් හිමිකරුවා රනිල් වික්‍රමසිංහය. ඔහු එස්මන්ඩ්ගේ දෙවැනි පුතාය.

රනිල් වික්‍රමසිංහ යනුවෙන් රට්ටු අතරේ ප්‍රසිද්ධ වූවාට ඔහුගේ සම්පූර්ණ නම රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහය. ඩඩ්ලිගේ අභාවයෙන් පසු එජාප නායකත්වයට පත් ජේ.ආර්. ජයවර්ධන එස්මන්ඩ් වික්‍රමසිංහට ක්‍රියාකාරී දේශපාලනයට එන්නැයි සිය මස්සිනා වන එස්මන්ඩ්ට ආරාධනා කළේය. සුපුරුදු පරිදි ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය. එනමුත් ජේ.ආර්. ට වික්‍රමසිංහ පවුලෙන් අයෙක් දේශපාලනය කරන්නට ඕනෑ විය.

ඔහුගේ තේරීම වූයේ රනිල්ය. රනිල් මුලින්ම පත්වූයේ ජේ.ආර්. මුලින්ම පාර්ලිමේන්තුවට පත්වූ කැලණිය ආසනයේ එජාප සංවිධායක ලෙසය. හැත්තෑ හතේ ඡන්දයේදී කැලණිය හා දොම්පේ ආසන දෙකින් කොටස් දෙකක් කඩා අලුතෙන් බියගම ආසනය හැදූ ජේ.ආර්. එය රනිල් බෑණාට දුන්නේය.

හැත්තෑ හතේ මැතිවරණයේදී ඔහු බියගම මන්ත්‍රීවරයා ලෙස පත්වූයේ ශ්‍රීලනිපයේ ඩේවිඩ් හපන්ගම පරාජය කරමිනි. ඔහු හැත්තෑ හතේ සිට දෙදහස් විස්ස දක්වා නොකඩවා හතළිස් තුන් අවුරුද්දක් පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

සිය තරුණ විය වියැකී ගිය පසු විවාහ දිවියට පිවිසි රනිල්ගේ අත ගත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ මහාචාර්යවරියක වූ මෛත්‍රි වික්‍රමසිංහ සමගය. ඇය මියුසියස් විදුහලේ ආදි ශිෂ්‍යාවකි. ශාස්ත්‍රීය කටයුතුවල නිරත වූවා මිසක් ඇය සිය සැමියාගේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ නොවී සියලු දෙනාගේ ගෞරවයට පාත්‍ර වූ චරිතයක් වූවාය.

කලා ශාස්ත්‍රීය කටයුතුවලදී කොළඹ සමාජයේ නිතර කැපී පෙනුණු චරිතයක් වූ ඇය, දැන් පෙනෙන්නට නැත. ඇය ඉන්නේ ගිලන් වීය. ඇය කලක් කොළඹ හා එංගලන්තයේ සසෙකස් විශ්වවිද්‍යාලයේ ආරාධිත මාහාචාර්යවරියක් ලෙස කටයුතු කළාය. ඇයත් ග්‍රන්ථ කර්තෘවරියකි.

විවාහයෙන් පසු රනිලුත්, මෛත්‍රිත් පදිංචි වූයේ පිය උරුමයෙන් ලද පස්වැනි පටුමගේ ගෙදරය. එම යුවළ සාහිත්‍යය, කලාව, දර්ශනය, ජාත්‍යන්තර දේශපාලනය ගැන බොහෝ උනන්දුය. ඔවුන් දෙන්නා ගෙදරදී වැඩිම වේලාවක් ගත කරන්නේ නිවසේ පහළ මාලයේ ඇති පුස්තකාලයේය.

රනිල්ගේ ගෙදරට යන ඕනෑම අයකුට නිතරම දක්නට ලැබෙන්නේ ඔහුත් බිරිඳත් ගෙදර ඉදිරිපිට ඇති පුටු දෙකක වාඩිවී පොත්පත් කියවන අයුරුය. පසු කලෙක රනිල් පුස්තකාලයේ සිට පොත් ලියන්නට පටන් ගත්තේය. දේශපාලනය හා ධර්මය, ජයවර්ධන යුගය, කලියුගය, අනාගත අභියෝග ඔහු ලියූ පොත්පත් අතර වේ.

කොහොම වුවත් ඒ ගෙදර රනිල්ට ඇති වටිනාම වස්තුව වන්නේ පොත්පත්ය. මිලාධික ගෘහභාණ්ඩ, විදුලි උපකරණ ඒ ගෙදර නැත. ඇත්තේ එදිනෙදා අවශ්‍ය භාණ්ඩ කිහිපයකි. රනිල් සමග සොයුර සොයුරියෝ පස් දෙනෙක් මේ ගෙදර ලොකු මහත් වූහ.

රනිල්ගේ අයියා ශාන් වික්‍රමසිංහය. ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන්නේ ඔහුය. දැන් රජය සතු වුවත් ස්වාධීන රූපවාහිනිය පටන් ගත්තේ ඔහුය. රජය ස්වාධීන රූපවාහිනී සේවය පවරාගත් පසු ශාන් ටී.එන්.එල්. නාළිකාව පටන් ගත්තේය. ශාන්ගේ එකම දියණිය ඉෂිණි වික්‍රමසිංහ මාධ්‍ය පරිපාලකවරියක ලෙස කලක් කටයුතු කළාය. ඇය දැන් ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරියය.

ඉෂිණි විවාහ වූයේ එක්දහස් නවසිය අනූ හතරේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පොදුජන එක්සත් පෙරමුණු ලැයිස්තුවෙන් පත්කළ මන්ත්‍රී අසිත පෙරේරා සමගය. ලිබරල්වාදියකු වූ ඔහු භීෂණ සමයේ භාරවීමට කැමති වූ ජනතා විමුක්ති පෙරමුණේ තරුණයන් භාරගත් ස්වාධීන කමිටුවේ සාමාජිකයෙක් විය.

ජවිපෙ තරුණයන් දෙදහසක් පමණ පුනරුත්ථාපනය කිරීමට ඔහු මුල් වූවේය. නෑකමේ හැටියට රනිල් වික්‍රමසිංහ ඔහුගේ බාප්පාය. පසු කලෙක ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වූ අසිත පෙරේරා ඉතාලියේ මෙන්ම දකුණු කොරියාවේ තානාපති ලෙස රාජකාරි කළේය. දෙදහස් දහතුනේදී ඔහු මියගියේය.

වික්‍රමසිංහ පවුලේ ශාන් හා රනිල් සොයුරන් හැර තවත් තිදෙනෙක් සිටිති. ඒ නිරාන් වික්‍රමසිංහ, චන්න වික්‍රමසිංහ හා ශානිකා වික්‍රමසිංහය. නිරාන් ටීඑන්එල් ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේය. බාල සොයුරා වන චන්න තමන්ගේ තාත්තා ආරම්භ කළ සීමාසහිත වර්ණ හා සිත්තර සමාගම්වල කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

රනිල්ගේ එකම සොහොයුරිය වන ශානිකා නීතිඥවරියකි. රනිල් ආණ්ඩු කළ කාලයේවත් ඔවුහු කරළියට ආවේ නැත. අනෙක් පසින් රනිල් වික්‍රමසිංහට ඔටුණු පලඳවන්නට කුමාරයෙක් හා කුමාරිකාවක් නැත. එහි අරුත රනිල් වික්‍රමසිංහගෙන් පසු වික්‍රමසිංහ පරම්පරාව දශක ගණනාවක් කළ දේශපාලනය අවසන් වන බවය. ඒ පමණක් නොව අවසානයේදී ඔහුගේ නමට තිබූ ගෙයත් නැත.

Next Post

විනාඩි කිහිපයකින් ව්‍යාංජන හයක් ලෝකෙ දිනා රහටම ඉව්වත් ඒත් මට රස දැනෙන්නේ නෑ - මිනෝලි

Sun May 2 , 2021
පසුගියදා ඔස්ට්‍රේලියාවේ ප්‍රකට රූපවාහිනි නාළිකාවක් වන ‘නෙට්වර්ක් ටෙන්’ මගින් සංවිධානය කළ ‘මාස්ටර් චෙෆ්’ සූපවේදි තරගයේ අවසන් වටයට පිවිසීමට දැනට එරට වෙසෙන ලාංකික යුවතියක් වන මිනෝලිද සිල්වා සමත් වූවාය. තරග වට දහතුනකින් පසුව අවසන් තරගයට තේරුණු තරගකරුවන් විසි හතර දෙනකු අතරින් අවසන් පස් දෙනා අතරට එක් අයකු වීමට පත්වෙමිනි. අවසන් වටයේ […]

Breaking News