ප්‍රංශ වීදියක සිංහ නාද කළ සිංහල යුවතිය

දිනය පසුගිය 16 වැනිදාය. එදින පැරීසියේ එක් වීදියක ඇවිද යන ශ්‍රී  ලාංකික කාන්තාවක් එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ ඩයස්පෝරාවේ කිහිපදෙනකු සමඟ වාග් සංග්‍රාමයක් ඇති කර ගත්තේ ශ්‍රී  ලාංකික පුරවැසියකු සතු වගකීම මැනවින් වටහාගෙනය. 

පැරීසියේ ෂැරොන්තොන් ලුපොන් නගර සභාව (Cheventon le – pont) ඉදිරිපිටදී සිදු වූ මේ වාග් සංග්‍රාමයට හේතුවන්නේ අපේ රටට එරෙහිව ඒ මොහොතෙත් පැවැත්වෙමින් තිබුණු ඡායාරූප ප්‍රදර්ශනයකි. මේ ඡායාරූපවලින් එල්.ටී.ටී.ඊ. හිතවාදීන් ප්‍රංශ ජාතිකයන්ට පෙන්වා දීමට උත්සාහ කළේ අපේ දේශපාලන නායකත්වය සහ යුද විරුවන්ගේ අමා{නුෂික බව කියාපෑමටය. 

කාලයක් පුරා ප්‍රංශයේ ප්‍රධාන නගර සහ සෙසු නගරවල පැවැත්වෙන මේ එල්.ටී.ටී.ඊ. හිතවාදී ප්‍රචාරයක යාන්ත්‍රණයට සිංහල සංවිධානවලින්ද එල්ල වී ඇත්තේ එවැනිම ප්‍රතිචාරයක් වුවත් ඔවුන් මේ ප්‍රචාරක යාන්ත්‍රණය නවතා දමා නැත. 

එදා තනිව ගොස් ඒ ප්‍රචාරක යාන්ත්‍රණයට එරෙහිව කෑ ගසන ප්‍රතිචාර දක්වන ශ්‍රී  ලාංකික යකඩ ගැහැනියගේ් උත්සාහය වන්නේත් එයමය. 

මේ යකඩ ගැහැනිය නමින් හිමාලි ප්‍රියංගිකාය. ඇය 2011 සිට ප්‍රංශයේ ජීවත් වන මවකි. ඇගේ බාලම දරුවා තවමත් කිරි දරුවෙකි. 

“ඇත්තටම මට එදා ඒ පින්තූර ටික දැක්කහම ඉන්න හිටින තැන් පවා අමතක වුණා. ශ්‍රී  ලාංකික ගතිය ඉස්මතු වෙන්න පටන් ගත්තා. ඒව බල බලා වැඩට යන්න ඉදිරියට ගියත් මට ආපසු හැරිලා එන්න හිතුණේ මේ බොරුව හැමෝටම පෙන්වන්න ඕනෑ නිසා. හිමාලි අපට කීවාය. 

හිමාලි මේ රටට හිතැති ඝෝෂාව කළේ නොකර බැරිම තැනය. ඉවසා දරාගෙන අහක බලා යන්නට තරම් හිත ඉඩ නොදුන් නිසාය. 

“මම මේ කටවුට් දිහා බලාගෙන යද්දී දැක්ක මහින්ද රාජපක්ෂ මහත්තයගේ වගේම සරත් ෆොන්සේකා මහත්තයලගේ පින්තූරත්. ඒ ඇරුණු කොට යුද්ධයෙන් උතුරේ දමිළ ජනතාවට වුණු විනාශයත් ඒවායේ දැක්වුණා. නමුත් ඒ හැම පින්තූරයක්ම ඇත්ත ඒවා නෙවෙයි. කොටින්ම කැබිතිගොල්ලෑව යකාවැව ගමට කොටි අම)නුෂිකව පහර දුන්න වෙලාවේ මැරිච්ච පුංචි දරුවෙක්ව ඔසවාගෙන අඬ අඬා ආපු සිංහල තාත්තාගේ (ප්‍රියන්ත මහාරච්චි සොයුරා) ෆොටෝ එක පවා තිබුණේ දමිළ තාත්තා කෙනෙක් විදිහට දක්වලයි.” 

මේවා දකිද්දී මට ලොකු කේන්තියක් ආවා. අසාධාරණයිනේ.” 

“අනික අපේ හමුදා විරුවන්ව ම්ලේ_ච්ඡ විදිහටයි ඒ ඡායාරූපවලින් පෙන්නලා තිබුණේ. රටේ නායකයන්ව පවා අපහසුවට, අපහාසයට ලක්වෙන විදිහට තමයි ප්‍රදර්ශනය කරලා තිබුණේ.” ඇය කීවාය. 

හිමාලි මේ බොරුවට එරෙහිව මුලින්ම කළේ ඒ සියලු දේ තමන්ගේ ජංගම දුරකථනයෙන් පටිගත කර ගැනීමය. ප්‍රශ්නය ඇතිවූවේ ඒ පරිසරය තුළය. 

“ඔවුන් ඇවිල්ලා මගෙන් ඇහුවා ඇයි වීඩියෝ කරන්නේ කියලා. මම කිව්වා ඔයගොල්ලන්ට ප්‍රසිද්ධියේ පෙන්නන්න හොඳනම් මට මේ බොරුව වීඩියෝ කරගන්න බැරි ඇයි කියලා.” 

අන්න එතකොට තමයි ඔවුන් මට නොයෙක් දේවල් කියන්න පටන් ගත්තේ. 

ඔවුන්ට මම කිව්වා මේ සේරම දේවල් බොරු කියලා. අපි ගැන බොරු කියනවා  කියලා” මම කෑගැහුවා.” 

කොටි හිතවාදීන් මා_රාවේශ වුණේ ඉන් පසුවය. ඔවුහු ශ්‍රී  ලාංකික දේශපාලන නායකයන්ට හා සිංහල ජනතාවට අපහාස වන අයුරින් වාග් ප්‍රහාර දියත් කිරීමට පටන් ගත්හ. ඔවුන් කෑගැසුවේ ‘මි_නීම_රුවෝ’ ‘බොරුකාරයෝ’ කියාය. 

“ඉතින් මෙහෙම කෑගහනකොට මම කොහොමද නිකන් ඉන්නේ? මමත් කෑ ගැහුවා. මමත් වාග් ප්‍ර_හාර එල්ල කළා. මම කිව්වා ඔයගොල්ලොයි බොරු කියන්නේ. ඔයගොල්ලොයි එහෙම කළේ කියලා.” 

හිමාලි මෙහිදී බැන වැදුණේ සිංහලෙන් හා ඉංගී්‍රසියෙනි. ඇතැම් අවස්ථාවලදී ඇය ප්‍රංශ බසින් සිය විරෝධය පෑවාය. 

“මුලදී මම සිංහලෙන් කියනවා කියලා මට බැන්නා. මම ඇහුවා ඇයි මට  මගේ භාෂාව කතා කරන්න බැරි කියලා. මම ශ්‍රී  ලාංකික. මම සිංහල කියලා කිව්වා. මගේ භාෂාව මට කතා කරන්න තහනමක් නෑ කියලත් මම කිව්වා.” 

කෙසේ හෝ මේ වාග් සංග්‍රාමයේදී හිමාලි පසුබැස්සේ හෝ බිය වූයේ නැත. ඇය නිර්භයව තනිව ඒ සටනට උර දුන්නාය. 

“කොහොම හරි මේ විදිහට මේ ප්‍රශ්නය දුර දිග යද්දී සමහරු මට පොලිසියට යන්න කිව්වා. ඒත් මට එහෙම වුවමනාවක් තිබුණේ නැහැ. මට ඕනෑ වුණේ මගේ විරෝධය ලෝකයට අරන් යන්න විතරයි.” 

හිමාලි තමන් පටිගත කරගත් වීඩියෝව ෆේස්බුක් මාධ්‍යයෙන් මුදාහැරියේ ඉන් පසුවය. ඇය එසේ එම වීඩියෝව මුදාහරිද්දී ඉල්ලා සිටියේ ශ්‍රී  ලංකාවේ වගකිවයුතු පාලකයන් මේ සම්බන්ධව තම අවධානය යොමු කිරීමේ වැදගත්කම ගැනය.

මේ ආකාරයට අප්‍රේල් 16 වැනිදා දහවල් ඇති වූ මේ විරෝධය එදා හවස් යාමය වනවිට මුළු ලෝකයම දැනගත්තේය. 

ඒ අනුව විවිධ සමාජ තලවල බොහෝ දෙනා හිමාලි ගැන සොයන්නට, කතා කරන්නට පටන් ගත්හ. ඇත්තටම කවුද මේ හිමාලි?

ඇගේම වචනවලින් කියනවා නම් ඇය කිසිදු දේශපාලන පක්ෂයකට හෝ නායකයකුට හිතවත් නැති ‘කට්ට කාගෙන’ ප්‍රංශයට ගිය අපේ කාලයේ සොයුරියකි.

“මම හැදී වැඩුණේ කොළඹ. ඉස්කෝලේ ගියේ මොරටුවේ. ඒවත් දුප්පත් ඉස්කෝල දෙකක්.ඊළඟට කොළොන්නාවේ තෙල් සංස්ථාව ළඟම ගෙදරක පදිංචි වෙලා හිටියා.

කොළොන්නාවේ තෙල් සංස්ථාවට කොටි ගහනකොට අපි බයට පත්වෙලා හිටිය හැටි මට තවමත් මතකයි. ප්‍ර_හාරයට ආ කොටි එහාට මෙහාට යනවත් අපි දැක්කා.

මේ භී_ෂණය අපට දැනුණා. අපි ඒ වේදනාව වින්දා.”

හිමාලි මේ ප්‍ර_හාරය දුටුවේ තරුණ අවධියේය. පසු කලෙක ඇය උතුරේ යුද්ධය නිසා රණවිරුවන්ගේ හා සාමාන්‍ය ජනතාවගේ ජීවිත හානි, දේපළ හානි ගැන අවබෝධයෙන් සිටියාය. ඇගේ ඇඟ ඇතුළේ ඒ වේදනාව කකියමින් තිබිණි.

“මට දෙමළ යාළුවෝ හුඟදෙනෙක් ඉන්නවා. දෙමටගොඩ – කොළොන්නාව පාරේ වැඩිපුරම යාළුවෝ හිටියා. ඒ අය දු_ෂ්ට නැහැ. කුහක නැහැ. වර්ග වාදී, ජාති වාදී නැහැ. කොටි සංවිධානය කරන දේවල් අනුමත කළෙත් නැහැ.

ඉතින් එහෙම ඉන්න දෙමළ යාළුවෝ කොටි කරන දේවල්වලට වැරැදි නැහැ. මම ඒක හොඳින්ම දැනගෙන හිටියා. අදටත් මගේ හුඟාක් යාළුවෝ දෙමළ අය. පස්සෙ කාලේ මගේ එක සහෝදරයකුත් යුද හමුදාවට බැඳුණා. ඉතින් ඒ පැත්තෙන් රණවිරුවෝ ගැනත් මට කැක්කුමක් ඇතිවුණා.”

කෙසේ හෝ මේ හැම දේකින්ම පසු හිමාලි රට අතැර මැදපෙරදිග රැකියාවට ගියේ ආර්ථික පීඩාව දරාගත නොහැකි වූ නිසාය.

“මම මැදපෙරදිග රටවල් දෙකක රැකියා කළා. ඉන් පස්සේ තමයි ප්‍රංශයට එන්න ලැබුණේ. ඒ ඇවිල්ලා මම මගේ පාඩුවේ දරු පවුලත් එක්ක ජීවත් වුණා. මේ වෙද්දිත් මම රැකියාවත් කරන ගමන් අනතුරකින් පාදයක් තුවාල වී සිටින ස්වාමි පුරුෂයා ගැන වගේම බාල කිරිදරුවා ගැනත් විමසිල්ලෙන් ඉන්නේ.

ඉතින් මේ වගේ ප්‍රශ්න ඇති කරගන්න මම කැමැතිම නැහැ. ඒත් එදා මගේ ලේ කෝ_ප වුණා” ඇය හිනැහෙමින් කීවාය.

ඇගේ ලේ කෝ_ප වීම හා කොටි ඩයස්පෝරාවේ උදවියට ඇති වූ ප්‍රතිචාරවලින් පසුව ලෝකයම ඇය ගැන කතා කරන්නට පටන්ගත් බව අපි ඔබට කීවෙමු. ඇයට විශාල වශයෙන් ලැබී තිබුණේ ගෞරවනීය ස්තුති කිරීම්ය.

“ඒත් සමහර දෙමළ යාළුවෝ කතා කරලා මගෙන් ඇහුවා ඇයි අපිට විරුද්ධව කතා කළේ කියලා. එහෙම නොකරන්නනේ තිබුණේ කියලා කිව්වා. මම ඒ වෙලාවේ ඒ යාළුවන්ට කිව්වා ඔයගොල්ලන්ට විරුද්ධව නෙවෙයි මම කතා කළේ බොරු ප්‍රචාර අරන් යන ඔයගොල්ලන්වත් අපහසුතාවට පත් කරන කොටි හිතවාදී අයට විරුද්ධවයි කියලා.

“ඇත්තටම මම කතා කළේ ඔවුන්ට විරුද්ධව විතරයි. මගේ දෙමළ යාළුවෝ හැමදාම මගේ යාළුවෝ” හිමාලි අප සමඟ කළ කතාබහ ඒ විධියට අවසන් කළාය.

හිමාලි දිල්රුක්ෂි එදා කළ මේ හපන්කම ගැන අපි ප්‍රංශයේ ශ්‍රී  ලාංකිකයන්ගේ සංගමයේ සභාපති මහේෂ් නවරත්න මහතා සමඟත් කතා කළෙමු.

“අපි ප්‍රංශයේ ශ්‍රී  ලාංකික සංගමය හදාගත්තේ 1992 ඉඳලා. එදා අපි මෙහෙම සංවිධානය වුණෙත් ප්‍රංශයේ කොටි හිතවාදීන් කරන බොරු ප්‍රචාරවලට පිළිතුරු දෙන්නයි.

ඔවුන් මේ විදිහේ ප්‍රචාරක වැඩකටයුතු කරන්නේ ප්‍රංශයේම ඉපදී මෙහිම හැදී වැඩුණු තරුණ කොටස ඒකරාශී කරගෙනයි. ඔවුන්ට මොවුන් මුදල් ගෙවනවා. එහෙම මුදල් දීලා දෙතුන් දෙනෙක් යොදාගෙන මේ පින්තූර කටවුට් එක එක නගරවල ප්‍රදර්ශනය කරනවා. ඇත්තම කිව්වොත් මේ දෙමළ තරුණයෝ අපේ රටේ උතුරේ තිබුණු යුද්ධය ගැන මොකුත්ම දන්නේ නැහැ. ඔවුන්ට කියලා තිබෙන දේ ඔවුන් අනිත් අය අතරේ බෙදාහරිනවා” මහේෂ් නවරත්න මහතා කීවේය.

ප්‍රංශයේ ජීවත්වන දමිළ ජනයා සංඛ්‍යාවෙන් ඉතා ඉහළය. සිංහල ජනතාව අඩුය. මේ ආකාරයට ජීවත් වන දමිළ ජනතාවට ඡන්ද අයිතියද හිමිය.

මේ ඡන්ද ප්‍රමාණය ලබාගැනීමට ප්‍රංශයේ ඇතැම් දේශපාලන නායකයන් කටයුතු කරන්නේ දෙමළ ඩයස්පෝරාව ගහන පදයට නටමින්ය.

“අපි ඇත්තටම සටන් කරන්නේ, විරෝධතා දක්වන්නේ මෙවැනි පසුබිමකයි. අපි දන්නවා අපිට මෙහෙ සිටින දේශපාලන නායකයන්ගෙන් එතරම් ලොකු සහයෝගයක් නැහැ කියලා. නමුත් පොලිසිය අපට සහයෝගය දක්වනවා. අපිට ආරක්ෂාව ලබාදෙනවා. කොටි ඩයස්පෝරාව අරගෙන යන බොරු ප්‍රචාර ඉදිරියේ අපි සටන් කරන්නේ අපේ රට වෙනුවෙන්. හමුදා විරුවෝ වෙනුවෙන්.”

දමිළ ඩයස්පෝරාව සවිමත්ය. ඒ සවිමත්කම ඔවුන්ට ලැබී තිබෙන්නේ ඒ ඒ රටවල ජීවත්වන දෙමළ ජනතාවගේ ප්‍රමාණය ඉතා ඉහළ අගයක් ගන්නා නිසාය. එමෙන්ම පෙර කී පරිදි ඡන්ද අයිතිය නිසාය.

මේ අභියෝග හමුවේ අපේ රටේ අනන්‍යතාව වෙනුවෙන් සටන් කරන රටවිරුවන් සැබැවින්ම කරන්නේ අමිල මෙහෙවරකි. ඒ මෙහෙවර සවිමත් වන්නේ හිමාලි දිල්රුක්ෂිලා මෙන්ම මහේෂ් නවරත්නලා ප්‍රමුඛ දේශ හිතෛෂී ශ්‍රී  ලාංකිකයන් නිසාය. එනිසාම අප ඔවුන්ට ගරු කළ යුතුය.

සමන් ප්‍රියංකර නම්මුනිගේ

(ප්‍රංශයේ හේමා කටුකුරුන්ද මහතාට විශේෂ ස්තූතිය)

Next Post

නුවරඑළියේ - කතරගම දැන් තත්වය මෙන්න - ජායාරූප සහිතයි

Sat Apr 24 , 2021
කො_විඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමක් පවතින නිසා විනෝද චාරිකා සදහා නොයන ලෙස සෞඛ්‍ය අංශ විසින් කල ඉල්ලිම නොතකා නුවරඑලිය (24) දිනයේ විශාල දේශිය සංචාරකයන් පිරිසක් පැමිණ සිටි අයුරු අප කැමරාවේ සටහන් විය. නුවරඑලිය මහ නගර සභාව විසින් මේ මස 30 දින දක්වා පවත්වන වසන්ත උදානයට සමගාමිව (24) දිනයේ තරග […]

Breaking News