ලංකාවට පැමිණි අවස්ථා දෙකේදීම තම පළමු මෝටර් රථය නරඹා සතුටු වුනා – සමුගත් පිලිප් කුමරුගේ කතාව

අද ලෝකයේ තාක්ෂණය කෙතරම් දියුණු වුවද බකිම්හැම් මාලිගය සන්නිවේදන කටයුතු කරන්නේ අවුරුදු 500කටත් වඩා පැරණි සම්ප්‍රදායන්ට අනුවය. රජ උපත්, රජ මඟුල්, ඔටුනු පැලඳීම, රාජ්‍ය අවමඟුල් සියල්ලම ලොවට හෙළි කරනු ලබන්නේ බකිම්හැම් මාලිගාවේ ගේට්ටුව උඩ අලවන පුංචි දැන්වීමකිනි.අපේ්්‍රල් 9දා දවල් 12ට බකිම්හැම් මාලිගාවේ ගේට්ටුවේ අලවන ලද පුංචි දැන්වීමේ මෙසේ සඳහන් විය.

“දෙවැනි එලිසබෙත් මහ රැජන තමන්ගේ ආදරණීය ස්වාමිපුරුෂයා රාජකීය උත්තම එඩින්බරෝ ආදිපාද පිලිප් කුමාරයා අභාවප්‍රාප්ත වූ බව ඔබ සැමට ඉතාමත් කනගාටුවෙන් මෙයින් දැනුම්දෙයි.”පැය භාගයක් තුළ මෙම පුවත ලොව පුරා විදුලි සැරයක් මෙන් කඩිනමින් පැතිර ගියේය. ඇමෙරිකානු සෝවියට් හා ප්‍රංශ ජනාධිපතිවරු, ඕස්ට්‍රේලියානු හා නවසීලන්ත අගමැතීන් මහ රැජනට තම හෘදයාංගම කනගාටුව මුලින්ම ප්‍රකාශ කළ රාජ්‍ය නායකයෝ වූහ.

එඩින්බරෝ ආදිපාදවරයා දැඩි ලෙස රෝගීව පසුගිය පෙබරවාරි 16දා ලන්ඩන් රාජකීය එඩ්වඩ් රෝහලට ඇතුළත් කරන ලදී. ඔහු තව කලක් ජීවත් කරවීමේ බලාපොරොත්තුවෙන් රාජකීය වෛද්‍යවරු පිලිප් කුමාරයාගේ හදවත දෙවරක්ම සැත්කම්වලට භාජන කළෝය. ඉන්පසු සති කිහිපයක්ම එතුමා රෝහලේ විවේක සුවයෙන් ගත කළ යුතු බවට වෛද්‍යවරු උපදෙස් දුන්නත් පිලිප් කුමාරයා එයට කැමැති වූයේ නැත. “ඩාලිං මම ඉතින් හෙට අනිද්දා මැරෙන එක කවුරුත් දන්න දෙයක්නේ. මට මගේ ගෙදර (වින්සර් මාලිගාව) මගේ ඇඳේ ඔයාගේ අත අල්ලන් මැරෙන්න ඉඩ දෙන්න කියලා මේ ‍ෙදාස්තරලාට කියන්න”යි එතුමා තම බිරිය වූ මහ රැජනට පින්සෙණ්ඩු විය. අන්තිමේදී එතුමියට 73 වසරක් තමන්ගේ සෙවණැල්ලක් මෙන් සිටි ආදරණීය සැමියාගේ ඉල්ලීමට පිටුපා සිටිය නොහැකි විය. අවසානයේ වෛද්‍යවරුන්ගේ නොකැමැත්ත පිට මහ රැජන මාර්තු 15දා ආදිපාදවරයාගේ ටිකට් කප්පවාගෙන වින්සර් මාලිගාවට එක්කගෙන ගියාය.

එඩින්බරෝ ආදිපාදවරයා මේ ගත කරන්නේ ජීවිතයේ අන්තිම සති කිහිපය බව මුළු බි්‍රතාන්‍යයම දැන සිටි නමුත් හැමෝගේම යටි සිතේ බලාපොරොත්තුව වූයේ එතුමා ලබන ජුනි 10දා තෙක් ජීවත්වෙමින් ජීවන ගමනේ ශතකය සම්පූර්ණ කරනු ඇති බවයි.නමුත් ඒ බලාපොරොත්තු කඩ කරවමින් 99 හැවිරිදි එඩින්බරෝ ආදිපාදවරයා මෙම වසරේ 99 වැනි දිනය වූ අප්‍රේල් 9දා උදෑසන 9ට තමන්ගේ ආදරණීය බිරිය වූ එලිසබෙත් මහ රැජනගේ අත් අල්ලා ගෙන ඇය සමඟ සිනහසෙමින් තම දෙනෙත සදහටම පියා ගත්තේය.

එඩින්බරෝ ආදිපාදවරයාගේ මරණය නිල වශයෙන් ප්‍රකාශ කොට පැය භාගයකට පසු ඔවුන් නිල නිවෙස ඉදිරිපිටදී ජාතිය ඇමැතූ අගමැති බොරිස් ජොන්සන් මහතා මෙසේ කීය.“පිලිප් කුමාරයා අපේ රටේ පමණක් නොව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලත් ලෝකයේ අනෙක් රටවලත් පරම්පරා ගණනාවකම ආදරය හා ගෞරවයට පත්වුණු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් විය.ලෝක ඉතිහාසයේ දීර්ඝතම කාලයක් රාජකීය වල්ලභයා ලෙස සේවය කළේ එතුමාය. පිලිප් කුමාරයා දෙවැනි ලෝක යුද්ධයේ සේවය කොට වැඩිම කලක් ජීවත් වූ රණවිරුවන් අතරින් කෙනෙකි. සිසිලියේ පැවැති යුද්ධයේදී ක්ෂණික නුවණ නිසා තම නෞකාව බේරා ගැනීමට මේ වීර සෙබළා සමත් විය.

ස්වභාවධර්මය රැක ගැනීමේ සටනේ පතාක යෝධයකු වූ එතුමාගේ කීර්ති නාමය කිසිවිටක නොමියෙන්නේ එතුමා පටන්ගත් එඩින්බරෝ ආදිපාද ප්‍රසාද ක්‍රමය තුළ අද ලොව පුරා තරුණයන් ලක්‍ෂ ගණනක් නායකත්ව පුහුණුව ලබා රටට වැඩදායී පුරවැසියන් වී ඇති නිසාය.මේ හැමටම වඩා අප ගෞරවයෙන් සිහි කරන්නේ වසර 70කට වඩා අධික කාලයක් තිස්සේ මහ රැජනගේ සෙවණැල්ල මෙන් සිටිමින් දහසක් රාජකීය කටයුතු කිරීමට එතුමියට එතුමා ලබාදුන් ධෛර්යය හා ශක්තියයි. සහයෝගයයි. අප සැමදෙනාගේම සෝබර සිතිවිලි මේ අවස්ථාවේ යොමු විය යුත්තේ රාජකීය උත්තමාවිය අපේ දෙවැනි එලිසබත් මහ රැජන හා එතුමියගේ ආදරණීය පවුල වෙතය. ඔවුන්ට අද නැති වූයේ මුළු ලොවම ආදරය හා ගරු කළ පොදු පුද්ගලයකු පමණක් නොවේ. ඔවුනට ආදරණීය සැමියකු, උදාර පියකු හා වටිනා සීයා කෙනකු අහිමි විය. තමන්ගේ ස්වර්ණ ජයන්ති උළෙලේදී මහ රැජන ප්‍රකාශ කළේ එතුමිය හා මුළු රටම තම සැමියාට අතිවිශාල ණය ගැති බවය. අපි රට වැසියන් සියල්ලෝම අද එම කියමන සියයට සියයක්ම අනුමත කරන්නමු.

එනිසා මහ රැජන හා පවුලේ සියලුදෙනාටම අපේ බලවත් ශෝකය පිරිනමන මේ මොහොතේ ජාතියක් හා එක්සත් රාජ්‍යයක් වශයෙන් එක්වී රටට නොමැකෙන සේවයක් ඉටුකළ වීරෝදාර පිලිප් කුමාරයාණන්ට අප හද තුළින් නැඟෙන කෘතඥතාව පුද කරමුයි“ කියමින් අගමැතිතුමා කතාව අවසන් කළේ බලවත් ශෝකයෙනි.පිලිප් කුමාරයාගේ අවමංගල්‍ය උත්සවය නිම වනතුරු එතුමාට ගෞරවයක් වශයෙන් ළඟ එන පළාත් පාලන මැතිවරණයේ ඡන්ද කටයුතු කිසිවක් නො කිරීමට අගමැතිතුමා, විපක්ෂ නායක හා අනෙකුත් පක්ෂ නායකයන් දැනටමත් එකඟ වී තිබේ.

බොහෝදෙනකු හිතන්නේ පිලිප් මවුන්බැටන් කුමාරයා ඉංග්‍රීසි ජාතිකයකු කියාය. නමුත් ඔහු ඇත්තෙන්ම ග්‍රීක් ජාතිකයෙකි. ග්‍රීසියේ හා ඩෙන්මාර්කයේ පිලිප් කුමාරයා යන නම්බුනාමය සමඟ 1921 ජුනි 21දා ඉපදුණු ඔහු ග්‍රීක් හා තුර්කිය අතර ඇති වූ යුද සමයේ පවුලම සමඟ රටින් පිටුවහල් කරන ලදී. ඔහු කුඩා කල ජීවත් වූයේ ප්‍රංශයේය. දෙවැනි ලෝක යුද්ධය ඇරඹෙන විට එවකට වයස 18ක් වූ පිලිප් බි්‍රතාන්‍ය නාවික හමුදාවට බැ¾දුණේය. වයස 21දී නාවික හමුදාවේ ළාබාලතම ලෙප්ටිනන්ට්වරයා ලෙස උසස්වීම් ලද පිලිප් කුමාරයා යුද සමයේදී ජර්මන් නැව් ගණනාවක් විනාශ කළ නාවික හමුදා ඛණ්ඩයක ප්‍රධානියා ද විය.

පිලිප් කුමරු දෙවැනි ලෝක යුද්ධ සමයේ ලංකාවේ නැංගුරම්ලා තිබූ HMS Ramwer නැවේ සේවය කළේය. එම නැවේ ප්‍රධාන කාර්යය වූයේ ඕස්ට්‍රේලියාවේ සිට මධ්‍යධරණී පෙදෙස දක්වා යාත්‍රා කළ භාණ්ඩ සපයන නැව්වලට ආරක්ෂාව සැපයීමය.ඉන්පසු එතුමා HMS Kent හා HMS Shropshire ප්‍රහාරක යාත්‍රාවලද සේවය කළේය. වරක් ත්‍රිකුණාමල වරායේ ආරක්ෂාව පරික්ෂා කරන ලෙස පිලිප් කුමරුට අණ ලැබුණු විට ඔහු ඒ ගමන යෑම සඳහා රිදී හා කළු පාට Staderd 7 නමැති පරණ මෝටර් රථය මිලදී ගත්තේ්ය. එය පිලිප් කුමාරයා තම ජීවිතයේ මුල්වරට මිලදී ගත් මෝටර් රථයයි. (X8468 නාම පුවරුව දරන මෙම මෝටර් රථය ප්‍රතිසංස්කරණය කොට දැන් ගෝල්ෆේස් හෝටල් කෞතුකාගාරයේ ඉතා අලංකාර ලෙස ප්‍රදර්ශනයට තබා ඇත.)

1939දී බි්‍රතාන්‍යයේ පස් වැනි ජෝර්ජ් රජතුමා හා රැජන Dartmouth වරායේ නාවික විදුහල නැරැඹීමට පැමිණියේ තම දියණියන් වූ එලිසබෙත් හා මාග්‍රට් කුමාරිකාවන් සමඟය. නාවික විදුහල තුළ ඇවිදින මෙම කුමාරිකාවන් දෙදෙනා රැක බලාගැනීම පැවරුණේ (Escort) පිලිප් කුමාරයාටය. එවකට 13 හැවිරිදි එලිසබෙත් කුමරිය හා පිලිප් කුමාරයා අතර ඉන්පසු ලියුම් කියුම් හුවමාරු වී එය ප්‍රේම සම්බන්ධයක් දක්වා දිග්විය.

ජෝර්ජ් රජු හා බිරියගේ අවසරය හා ආශීර්වාදය මැද පිලිප් කුමරු 1947 නොවැ. 20දා එලිසබෙත් කුමරිය සමඟ අතිනත ගත්තේ ලෝකය වටෙන්ම පැමිණි රාජ්‍ය නායකයන් හා සම්භාවනීය අමුත්තන් දෙදහසක් ඉදිරිපිටය. මහ රජු විසින් එදින උත්සවාකාරයෙන් පිලිප් කුමාරයාට (Duke of Edinburgh) එඩින්බරෝ ආදිපාදවරයා යන ගෞරව නාමය පිරිනමන ලදී.හයවැනි ජෝර්ජ් රජුගේ හදිසි අභාවයෙන් පසු 1952 පෙබ. 6දා එලිසබෙත් කුමරිය දෙවැනි එලිසබෙත් මහරැජන ලෙස අභිෂේක ලදී. රැජනගේ ස්වාමියා වශයෙන් ඉතා භාරධූර රාජකාරි හා පොදු ජන කටයුතු කළ යුතු වූ බැවින් එඩින්බරෝ ආදිපාදවරයාට තමා පණ මෙන් ආදරය කළ නාවික හමුදාවේ රැකියාව අතහරින්නට සිදුවිය. එසේ නොකළානම් ඉන් වසර කිහිපයකට පසු මහා බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ නාවික හමුදාපති වන්නට සිටියේ එඩින්බරෝ ආදිපාදවරයාය.

පසුගිය වසර 70 තුළ එලිසබෙත් රැජනගේ සෙවණැල්ලක් මෙන් ඇය පසු පස සිටගෙන ඇයට නිසි උපදෙස් දෙමින් එඩින්බරෝ ආදිපාදවරයා මහා බි්‍රතාන්‍යය හා පොදු රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටු කළේය. දුකේදීත් සැපේදීත් රැජනගේ ප්‍රධානතම උපදේශකයාත් ආරක්ෂකයාත් වූයේ පිලිප් කුමරුය. පිලිප් කුමාරයාට චාර්ල්ස් ඇන්ඩෘෘ හා එඩ්වඩ් පුත් කුමාරවරු හා ඇනා දූ කුමරිය දරුවන් වශයෙන් ලැබුණු අතර එතුමාට මුනුපුරු මිනිපිරියන් අටකගේ හා මී මුනුපුරු-මිනිපිරියන් 10කගේ දරු සුරතල් බලන්නටද වාසනාව ලැබිණි.

ඕනෑම ප්‍රශ්නයක් දෙස මධ්‍යස්ථව බැලීමේ සහජ හැකියාවක් එඩින්බරෝ ආදිපාදවරයා තුළ තිබිණි. එනිසා පසුගිය වසර 70 තිස්සේම රාජකීය පවුලේ “දුක්ගන්නාරාල” වූයේ එඩින්බරෝ ආදිපාදවරයාය. කවුරුත් එතුමාගේ අවවාද පිළිපැද්දේය. චාල්ස් කුමාරයා හා ඩයනා කුමරිය අතර ඇතිවුණු විරසකය දුරදිග යද්දී ඩයනා කුමරිය විස¾දුමක් පතා පිලිප් කුමාරයාට ලියුම් පිට ලියුම් ලීවාය. තම මාමණ්ඩියගේ දිග පිළිතුරුවල තිබූ අනර්ඝ උපදෙස් ඇය බෙහෙවින් අගය කළා. පමණක් නොව ඒවා බැතියෙන් පිළිපැද්දාය. ඇන්ඩෘෘ කුමාරයා හා සේරා ෆර්ගියුසන් කුමරියගේ දික්කසාද අර්බුදයේදීද දෙපාර්ශ්වයටම අවවාද කළේ පිලිප් කුමාරයාය. හැරී කුමාරයා හා මේගන් මාකල් රජ පවුලෙන් අස්ව ඇමෙරිකාවට ගිය පසු ඔවුන් සමඟ ළඟ සම්බන්ධයක් පැවැත්වූ රාජකීය පවුලේ එකම සාමාජිකයා වූයේද පිලිප් කුමාරයාය.

නිතරම සිනාවෙන් පිරුණු මුහුණක් ඇති පිලිප් කුමරු උත්සවවලදී විහිළු කතා කියමින් පැමිණ සිටියවුන් විනෝද සාගරයේ ගිල්වීමට සමත් විය. මහ රැජන සමඟ කෙළින්ම කතා කිරීමට බය විදේශ රාජ්‍ය නායකයෝ පිලිප් කුමරු සමඟ පැය ගණන් කතා කරමින් අතිශයින් විනෝද වූහ. යුද්ධ කාලයේ ලංකාවට අනුයුක්තව නාවික හමුදා සේවයේ යෙදුණාට පසු පිලිප් කුමාරයා 1954දී හා නැවත 1981දී එලිසබෙත් මහ රැජන සමඟ ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ අවස්ථා දෙකේදීම ශ්‍රී ලංකා රජය හා ලංකා ජනතාව විසින් රාජකීය උත්තම යුවළ ඉතාමත් ඉහළින් පිළිගන්නා ලදී. මහ රැජන හා ආදිපාදවරයා සහභාගි වූ සෑම උත්සවයකටම ජනතාව දසදහස් ගණනින් රැස්වෙමින් රාජකීය යුවළට ගෞරව ආචාර දැක්වුහ.

ලංකාවට පැමිණි අවස්ථා දෙකේදීම ගෝල්ෆේස් හෝටලයේ කෞතුකාගාරයට ගොස් තමන්ගේ පරණ Standard 7 මෝටර් රථය නරඹමින් එතුමා මහත්සේ සතුටට පත්විය.මහ රැජන කිරුළු පැලඳි 1952 සිට 2017දී විශ්‍රාම යනතුරු එඩින්බරෝ ආදිපාදවරයා ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වූ උත්සව සංඛ්‍යාව 22191කි. මෙය ලෝක වාර්තාවක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. එතුමා එංගලන්තයේ පුණ්‍යායතන හා අනෙකුත් විවිධාකාර සංවිධාන හා සංගම් 785ක සභාපති හෝ ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කර තිබිණි.එලිසබෙත් රැජන සමඟ රටවල් 143ක නිල ගමන් 251ක යෙදුණු එඩින්බරෝ ආදිපාදවරයා රැජන නොමැතිවද විදේශ සංචාර 637ක යෙදෙමින් තවත් වාර්තාවක් පිහිටු විය. නාවික හමුදා නිලධාරියකුව සිටි අවධියේ 1953දී ගුවන් හමුදාව යටතේ පයිලට් බලපත්‍රය දිනාගත් එඩින්බරෝ ආදිපාදවරයා 1997දී පියෑඹීම අත්හරින විට ගුවන්යානා වර්ග 53ක් පැය 5986ක් තිස්සේ පදවා තිබිණි.

1997දී ඩයනා කුමරිය තම අවසන් ගමන යද්දී ලක්ෂ 25කට අධික පිරිසක් ලන්ඩන් නුවර මඟ දෙපස රැස්ව මහ හ¾ඩින් හඬමින් ඇයට ගරුබුහුමන් දැක්වූහ. නමුත් කොවිඩ් නීතිරීතිවලට රාජකීය පවුලත් යටත් බැවින් වෙනත් රජ පවුලේ අවමංගල උත්සවවලදී මෙන් වින්සර් මාලිගයේ සිට ලන්ඩන් නුවර වෙස්මිනිස්ටර් දේවස්ථානය කරා පිලිප් කුමරාගේ දේහය රථ පෙරහරින් ගෙන එන්නේ නැත. රජ පවුලටත් කොවිඩ් නීතිය පොදුය. එනිසා ලබන සෙනසුරාදා පැවැත්වෙන රාජකීය අවමංගල්‍ය උළෙලට සහභාගි වෙන්නේ පවුලේ සාමාජිකයන් හා ළඟ ඥාතිවරුන් එකසිය විස්සක් පමණය. දැනට ලැබී තිබෙන ආරංචි අනුව එතුමාගේ අවමංගල්‍යයට හැරී කුමාරයා සහභාගී වන නමුත් ඔහුගේ බිරිය මේගන් මාකල් එයට පැමිණෙන්නේ නැත. පිලිප් කුමාරයාම කලින් ඉල්ලා තිබූ පරිදි එතුමා රාජ්‍ය ගෞරවවලින් තොරව චාම් දේව මෙහෙයකින් පසුව වින්සර් මාලිගවේ ශාන්ත පාවුළු දෙවස්ථානය තුළම මිහිදන් කෙරෙනු ඇත.

සමාජ දුරස්ථ නීති නිසා එදින එඩින්බරෝ ආදිපාදවරයාට අවසන් ගෞරව දැක්වීමට වින්ස්ටර් මාලිගය වටා රොක් නොවන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී. එහෙත් පොලිස් අණ නොතකා විශාල පිරිසක් මල් පොකුරු රැගෙන එතැනට රැස්වනු ඇතැයි බි්‍රතාන්‍ය ජනමාධ්‍ය අනුමාන කරයි.අවුරුදු හැත්තෑ තුනක් තිස්සේ සෙවණැල්ලක් මෙන් සිටි සුන්දර සැමියා පිලිප් අද එලිසබෙත් මහ රැජන ළඟ නැත. තමා සමඟ දුක සැප එකසේ බෙදාගත් හා රාජ්‍ය හා පවුලේ අර්බුදවලදී තමන්ට අර්ථයෙන් ධර්මයෙන් උපදෙස් දුන් අයෝමය පුරුෂයා මතු කිසි දිනක සිනාසෙමින් ඇය දෙස බලා සිටින්නේ නැත. දැන් වයස 94ක් වන මහ රැජනට මින්පසු ශෝකය, තනිකම හා පාළුව ඇති වීම වැළැක්විය නොහැකිය. වාර්තාගත වසර 68ක් තිස්සේ බි්‍රතාන්‍ය කිරුළ දරමින් සිටින ඇය සැමියාගේ අභාවයෙන් පසු තවදුරටත් අධික ලෙස වෙහෙස මහන්සි විය යුතුද? තව මාස කිහිපයකින් එතුමිය තම ඔටුන්න චාල්ස් කුමාරයාට භාරදී ජීවිතයේ සැ¼දෑ සමය ඉතා සතුටින් මීමුනුපුරන් සමඟ ගත කිරීමට තීරණය කළහොත් එතුමියට පණ මෙන් ආදරය කරන බි්‍රතාන්‍ය පුරවැසියන් එයට අකැමැති වන්නේ කෙසේද?

දෙවැනි එළිසබෙත් රැජණගේ ස්වාමිපුරුෂයා ලෙස සෙසු ලෝකය හඳුනන එඩින්බරෝ හි ආදිපාද පිලිප් කුමරු සුපිරි රාජකීයයෙකි. රටවල් කිහිපයකම රාජකීය උරුමයන්ට නෑකම් කියන්නෙකි. ඔහුගේ මව බැටන්බර්ගයේ ඇලිස් කුමරියයි. ඇය මහා වික්ටෝරියා අධිරාජනියගේ මී මිනිබිරියකි. ඇගේ වල්ලභයා වූ පිලිප්ගේ පියා පළමුවැනි ජෝර්ජ් රජුගේ බාලම පුතුය. ඔහු එවකට ග්‍රිසීයේ සහ ඩෙන්මාර්කයේ ඔටුන්න දැරූ ඇන්ඩෘ කුමරුය. මේ නිසාම පිය පාර්ශ්වයෙන් පිලිප් කුමරා ග්‍රීසියේ ඔටුන්නට හිමිකම් කියන්නෙකි. ඩෙන්මාර්ක් කිරුළටද හිමිකම දරන්නෙකි. ඔහු ග්‍රීසියේ කොන්ස්ටන්ටයින් රජුගේ බෑනාය. මේ නිසා ඔහු ග්‍රීක රජ පෙළපතේ ඔටුන්නට හිමිකම දරණ 6 වැනියාය. දෙමාපියන්ගේ මේ ඉපැරැණි රාජකීය උරුම සබඳතා අනුව ඔහු පර්සියානු සහ රුසියානු රජ පෙළපත්වලටද නෑකම් කියන්නෙකි. රුසියාවේ රොමානොව් සාර් අධිරාජ්‍යයන්ට ඔහුගේ ඇති මේ ලේ නෑකම නිසා මෑතකදී දෙවැනි නිකොලායි සාර් රජුගේ ඇටකටු සොයාගත් විට ඒවා නිවැරැදිව හඳුනාගැනීමට සිදුකළ ඩී.එන්.ඒ. පරීක්ෂණය සඳහා රුධිරය ලබාදුන් තිදෙනා අතර පිලිප්ද එක් ඥාති සාර්වරයෙකි.

ග්‍රීසියේ බටහිර වෙරළාසන්න කෝෆූ දූපතේ ඇති ග්‍රීසියේ රාජකීයන්ගේ පුරාණ මාලිගාවක් වූ Mon Repos, හිදී ඒ රට තුළ එවකට භාවිත කළ ජූලියන් කැලැන්ඩරයට අනුව පිලිප් කුමරු උපන්බව සඳහන් වෙන්නේ 1921 මැයි 28දාය. නමුත් සෙසු ලෝකයාට අනුව නම් ඔහු ඉපැදී ඇත්තේ 1921 වසරේ ජූනි 10 වැනිදාය. ඒ අනුව ඔහුට උපන්දින දෙකකි. රාජකීයයකු වූවත් උපන්දා සිටම පිලිප්හට හිමිවූයේ විප්‍රවාස වාසයකි. විවිධ ඥාති පවුල් අතරේ තැනින් තැන යන, මව – පියා අහිමි අයාල ජීවිතයකි.

ග්‍රීසිය සහ තුර්කිය අතර යුද්ධය ඇවිල ගිය 1919–22 කාලයේ පිලිප්ගේ මාමා වූ පළවෙනි කොන්ස්ටන්ටයින්හට සිය පවුලත් සමග රටින් පලායන්නට බල කැරිණි. එංගලන්ත මවුන්ට්බැටන් පවුලට තිබූ සබඳතාව නිසා මේ රජ පවුල සඟවාගෙන එන්නට HMS Calypso නැව යවන ලදි. ඉපදී එක් දිනකින් උපන් රටෙන් පිටුවහල් කරන ලද සිඟිති පිලිප් කුමරුද මේ පිරිස සමග රැගෙනවිත් ඇත්තේ ලී පළතුරු පෙට්ටියක බහා සඟවාගෙනය. එදා සිට ඔහු මුල් අවදියේ දිවිගෙවූයේ සිය නැන්දනිය වූ ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ ඔටුන්න දැරූ කුමරිය මාරි බොනපාර්ට් සමගිනි.

ඔහුගේ කුඩා කාලය අඳුරු වූ සොඳුරු නොවූ හැලහැප්පිලි සහිත වූවකි. ඔහුට යාන්තම් අවුරුදු 8ක් වනවිට, 1930දී මව මානසික රෝගිනියක වූවාය. මේ හේතුවෙන් සිය රාජකීයයන්ගේ සමීපයෙන් ඉවත්කළ ඇලිස් කුමරිය මානසික රෝහල්වල නේවාසිකාවක බවට පත්වූවාය. ඇය ස්විට්සර්ලන්තය වෙත ගෙන ආ විට ඇගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළේ සුප්‍රකට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ය.

ඉන්පසු අවුරුදුවල පිලිප් කුමරු සිය දෙමාපියන් දුටුවේ ඉඳහිටය. ඔහුගේ පියා අනියම් බිරිඳක් සමග ප්‍රංශ රිවේරියාවට පළා ගියේය. එතැන් සිට ඔහුව හදාවඩා ගත්තේ එක්සත් රාජධානියේ විසූ ඥාතීන් වන මවුන්ට්බැටන්වරුන්ය. ඒ නිසාම තමන්ට පිය උරුමයෙන් ආ ඉතා දිගු වාසගම අත්හැර දැමූ පිලිප් සිය මව් පාර්ශ්වයෙන් උරුම මවුන්ට් බැටන් නම තෝරා ගත්තේය. ඉතා කෙටිකලකින්ම ඔහුගේ ආරක්ෂකයා මෙන්ම හිමිකරුවාව සිටි මවුන්ට්බැටන් මාමණ්ඩිය පිළිකාවකට ගොදුරුව මියගියේය. එයට පෙර වසරේ ඔහුගේ සහෝදරිය සහ පවුලම ගුවන් අනතුරකින් මියගියහ. මේ සියලු බාධක කම්කටොලු මැද පිලිප් දක්ෂ ලෙස ඉගෙන ගත්තේය. ප්‍රංශය, ජර්මනිය සහ එංගලන්තය රටවල් 3කම පාසල්වලින් විනය හා ශික්ෂණය ලැබුවේය. පාසල් අධ්‍යාපනයෙන් පසු පිලිප් ඩාර්ට් මූවර් හී රාජකීය නාවුක කැඩෙට් පුහුණුවට එක්විය. එහිදී විශිෂ්ට කෙඩෙට් භටයෙක් ලෙස සිය පන්තියේ අංක එක බවට පත්විය. ඔහුගේ ජීවිතය වෙනස් කළ රාජකීය ප්‍රේමය හමුවට මඟපෑදෙන්නේ මෙහිදීය.

1939 වසරේදී VI වැනි ජෝර්ජ් රජු එංගලන්තයට නිල චාරිකාවක් සඳහා පැමිණියේය. පිලිප් කුමරුට එහිදී පැවරුණේ ඔහුගේ දියණියන් වූ එළිසබෙත් කුමරිය සහ මාග්‍රට් කුමරිය සතුටෙන් සහ විනෝදයෙන් තැබීමේ රාජකාරියයි. කුමරියන්ගේ භාරකාරිය ලෙස කටයුතු කළ මේරියන් ක්‍රව්ෆර්ඩ් පසුව සිහිපත් කරන්නේ පිලිප් කුමරු එය ‘අතිශයින්ම උනන්දුවෙන්’ සිදුකළ බවයි. 13 හැවිරිදි එළිසබෙත් කුමරියගේ සිතේ ඔහු නොමැකෙන ලෙස රැඳෙන්නට ඒ සුළු කාලය තුළ සමත් වුණේය.

පිලිප් දෙවැනි ලෝක යුද්ධයේදීද විශිෂ්ට සේවාවක් ඉටුකළේය. ඉන්දියානු සයුරේ සිදුකළ හමුදා මෙහෙයුම්වලට සම්බන්ධ විය. 1942 වසරේදී, එනම් අවුරුදු 21 දී ඔහු රාජකීය නාවික හමුදාවේ ළාබාලතම පළමු ලුතිනන්වරයා බවට පත් විය. නව යොවුන් පිලිප්, එළිසබෙත් කුමරිය සමග හසුන් හුවමාරු කරගනිමින් සිටියේය. සිතට ළඟ පෑනේ මිතුරන් බවට පත්වූහ. ඔහුගේ ඡායාරූපයක් කුමරියගේ ඩ්‍රෙසිං ටේබල් එක මත විය.

මිතුරන් වී වසර 7කට පසු පිලිප්, රජුගෙන් එළිසබෙත් කුමරියගේ අතපතා සිටියේය. කෙසේ හෝ ජෝර්ජ් රජු, සිය දියණිය සමග විවාපත් වීමට පිලිප්ට අවසර දුන්නේය. නමුත් මුලින් එය ලෙහෙසි තීරණයක් නොවිණි. ග්‍රීසියේ සහ ඩෙන්මාර්කයේ කුමරු, ඒ වනවිට බ්‍රිතාන්‍යයේ උදාසීන මාතෘකාවක් බවට පත්ව තිබුණේය. එංගලන්ත කතෝලික පල්ලිය සමග එක්වී ඔහු පසුව සිය සියලු විදේශ ගරුනාම අතහැර දැමුවේය. 1947 නොවැම්බර් 20 වැනිදා සිය මංගල දිනයේදී ඔහු එඩින්බර්ග්හි ආදිපාදවරයා බවට පත් විය. ඒ, ඉතිරි මුළු ජීවිත කාලය පුරාම ඔහුව හැඳින්වුණු, බොහෝ දෙනෙක් ඔහුව දැන සිටි නමයි. ඒ වනවිට ඔහු 26 හැවිරිදි වූ අතර, ඔහුගේ බිරිඳ 21 හැවිරිදි විය. ඒ ලෙස 1947දී විවාපත් මෙම රජ යුවළ, දරු දෙදෙනෙක් සමග නිස්කලංකව වසර 4ක් ගත කළහ. අනතුරුව කිරීටයේ රාජකාරි පවුල් ජීවිතය තුළට කඩා වැදුණේය. ඒ සයවැනි ජෝර්ජ් රජු නොහොත් එළිසබෙත්ගේ පියා, වයස අවුරුදු 56 දී මියගිය බවට වූ ආරංචියත් සමගිනි. ඔවුන්ට ඒ ආරංචිය ලැබෙන විට ඔවුන් සිටියේ කෙන්යාවේය. 1952 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය සංචාරයට සහභාගී වෙමිනි. කිරීටයේ බර එළිසබෙත් වෙත හිමි වෙද්දී ඔහුට වගකීම් සහගත රාජකීය සැමියෙක් බවට පත්වන්නට සිදුව තිබුණි.

ඒ අනුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ළාබාලතම අධිරාජිනියගේ වල්ලභයා ලෙස ඔහු මියයන තුරු රාජකීය කටයුතු 22,191ක් සමග සම්බන්ධ වී තිබේ. 2017 වසරේදී රාජකීය නිල කටයුතුවලින් සමුගත් පසුවද සංවිධාන 780කට වඩා වැඩි සංඛ්‍යාවක මහජන කටයුතුවලට දායක විය. ලොවපුරා යන රැජණ සමග ඔහු පොදු රාජ්‍ය මණ්ඩලයීය ඇතුළු සෙසු සංචාරයන් සඳහා එක් විය. පිලිප් කුමරු සහභාගීව ඇති රාජකීය විදෙස් සංචාර ප්‍රමාණය 637කි. චතුර ලෙස ප්‍රංශ සහ ජර්මානු බස කතා කිරීමට ඇති හැකියාව එහිදී ඔහු ප්‍රයෝජනයට ගත්තේය. සිය දීර්ඝ දිවිසැරිය තුළ ඔහු විසින් කර ඇති දේශන සංඛ්‍යාව ආසන්න වශයෙන් 5,493ක් ලෙස දැක්වෙන අතර, බ්‍රිතාන්‍යයේ වඩාත් ජනාදරයට පත් රාජකීයයා ලෙස ඔහු විවිධ සංවිධාන 800කට ආසන්න ප්‍රමාණයක නිල සහ ගෞරව තනතුරැ දරා තිබේ.

දකුණු පැසිෆික් සාගරයේ පිහිටා ඇති වනුආටු දිවයිනට පැමිණි විට වැසි වනාන්තරයක වෙසෙන ප්‍රජාවක් විසින් ඔහුව සලකා තිබෙන්නේ සිය පුරාණ යුධ විරුවෙකුගේ පුනරුප්පත්තිය ලෙසය. අදටත් මේ වනවාසීහු පිලිප් නම් වූ සුදු දෙවියා අදහති. වඳිති.විවාහ පත්වූ දා සිට වසර 73ක සාර්ථක විවාහ දිවියක් ගත කළ ඔවුන් දෙදෙනා දරුවන් සිව් දෙනෙක් සහ මුණුපුරු මිනිපිරියන් 10 දෙනකුගේ දරු සුරතල් දකින්නටද වාසනාව උදාකර ගත්හ. දෙන්නාම කුමරු මිය යනතෙක් මේ දෙදෙනා සැමදාම සවස තේ මේසයට පැමිණීම චාරිත්‍රයක් ලෙස පවත්වාගෙන ආහ. මේ සැඳෑ තේ සාදය ඔවුන්ටම වෙන්වූ සොඳුරු හෝරාවක් විය. මේ දෙදෙනා එකනෙකා හා තදින් බැඳිගත් යුවළකි. පිලිප් කුමරු පුංචි පුංචි විහිලු තහලු කරමින් රැජණ විස්මයට හා අමන්දානන්දයට පත්කරන්නට ක්‍රියා කළේය. එක් වතාවක රැජණ පිටත රාජකාරියකට ගොස් මාලිගයට එද්දී මාලිගය ඉදිරියේ අමුතු ආරක්ෂක භටයෙක් සීරුවෙන් සිටිමින් ඈ දෙස හොරුහින් බලා උන්නේය. රැජණ වසර 13ක බාලිකාවක ලෙස සිටියදී ඇගේ හද සොරාගත් දඟකාර කෙළිලොල් තැනැත්තාමය. මේ දුටුවනම එතෙක් දරා සිටි බැරෑරුම් රාජකීය සාටෝපවත් බව අමතකව ගිය රැජණද එදා මුල් හමුවදා ඈ පෑ දැරියකගේ ලජ්ජාශීලි සිනාව පෑවාය. ඇය හැරදා ගිය පිලිප් එබඳු ආලවන්ත තැනැත්තෙකි.

උත්පත්තියෙන්ම රජකිරුළකට හිමිකම් කී සුපිරි රාජකීයයෙකු වුවත් ඔහු රාජකීය සැමියෙකු වනු මිස කිසිදා රජෙකු වීමට උත්සාහ නොකළේය. ඔහු සිය බිරිය, අධිරාජිණියට පසෙකින් සිටීම තෝරාගත්තේය. ඩියුක්වරයා හෙවත් ආදිපාදවරයාව සිටි සමයේ සිටම නිකම්ම නිකං පිලිප් කුමරු බවට පත්විය. සිය දරුවන්ට සිය වාසගම වූ මවුන්ට්බැටන් ලබාදීමට අසමත් වීම නිසා සිතින් තැවුණේය.‍ නමුත් කතා කළ යුතු තැන නිභයව තරාතිරම නොබලා ඇත්ත කතා කළේය. කියන්න ඇති දේ මුහුණටම කීවේය. ඔහු උපහාසාත්මක ප්‍රකාශවලට දැඩි රුචිකත්වයක් දක්වන්නෙකි. ඇතැම්විට රාජකීයත්වයට නොගැළපේ යැයි සිතෙන තරමේ විහිළු තහළු ගැනද ඔහු ප්‍රසිද්ධය. මලාලා යූසුප්සායි සමග හමුවූ අවස්ථාවක ඈ රාජකීය ගෞරවයද පෙරදැරිව තමන්ගේ රටේ දරු දැරියන් පාසලට නොයවන බවත් ඒ නිසා ඔවුන්ට සිදුවන අසාධාරණය ගැනත් බැරෑරුම් ලෙස කීවාය. පිලිප් කුමරු ගත්කටටම කීවේ “මෙහේ නම් ළමයි පාසල්වලටම තල්ලු කරන්නේ ඒ අයගේ කරදරෙන් බේරිලා කණක් ඇහිලා ගෙදර ඉන්නයි” කියාය. උන්හිටි තැන අමතකව ගිය මලාලාද හිනාවෙන් පුපුරා ගියාය.

ඔහු වෙනස්කම් ප්‍රියකළ පුහු සම්ප්‍රදාය පිළිකෙව් කළ අලුත් ලෝකය සහ තාක්ෂණය වැළඳගත් රාජකීයයෙකි. 1949 වසරේදී ක්ලැරන්ස් හවුස්හි වාසයට පැමිණි විට, ඔහු සිය කබායට බොත්තම දැමීමටත් සේවකයෙකු සිටින බව දැන, ස්වයංක්‍රීයව බොත්තම දමන යන්ත්‍රයක් සිය අල්මාරියට සවිකර ගත්තේය. බකිංහැම් මාලිගයේ සේවකයන් තමන් වෙනුවෙන් ශ්‍රමය අනවශ්‍ය ලෙස යොදවන ආකාරය ගැන පිලිප් කුමරු සතුටෙන් සිටියේ නැත. සාමාන්‍යයෙන් එතෙක් පැවැති පිළිවෙත වූයේ, රැජණ වෙත පණිවුඩ ලියා ඒවා සේවකයන් අත යැවීමයි. නමුත් ඒ වෙනුවට පිලිප් කුමරු මාලිගයේ ඉන්ටකොම් දුරකථන පද්ධතියක් සවි කළේය. එයින් නොනැවතී, තමන්ගේ බඩු බාහිරාදිය තමන්ම උස්සාගෙන ගියේය. තමන්ගේ උදේ ආහාරයද තමන්ම පිළියෙළ කර ගත්තේය. කාමරයේ සිට ඔහු එය කරගත්තේ විදුලි සාස්පානකිනි. නමුත් එහි ආහාර සුවඳට රැජණ ප්‍රිය නොවූ නිසා ඔහුට එය ඉවත් කිරීමට සිදුවිය.

මේ කරුණු කෙසේ වුවද මියයන්නට මාස කිහිපයකට ආසන්න වනතුරුම වාගේ රාජකීයයන් අතර කාර්යබහුලම තැනැත්තා වූයේ පිලිප් කුමරුය. ඔහුගේ නමේ දැලි ගෑවුණේ ඩයනා කුමරියගේ මරණය පිළිබඳ සැකය ඔහු වෙත එල්ල වූ මොහොතේදී පමණය. ඒ හැර පීලිප් කුමරු රටේ සහ සමස්ත ලෝකයේම ජනතාව අතර ජනාදරය දිනාගත් ජනකාන්ත චරිතයකි. දැන් ඔහු කාලාන්තරයකට අමතක නොවන කඳුළු මතකයකි.

ඔහු මිය ගිය පසු එම රියෙන් ඔහුගේ මෘතදේහය රැගෙන යා යුතුව තිබු නිසා ඔහු විසින්ම ඔහුගේ අවශ්‍යතාවය පවසා එය 2003 වර්ෂයේ සකස් කරගත් බවයි සඳහන් වන්නේ. එනිසාම ඔහුගේ අවසන් ගමන සඳහා ඔහු විසින්ම තෝරා ගත් ජීප් රිය භාවිතා කිරීමට අදාල බලධාරීන් කටයුතු කරන බවත් පැවසෙනවා.එඩින්බර්ග් හි ආදිපාදවරයා ලෙස හඳුන්වන පිලිප් කුමරුගේ සිරුර රැගත් රථ පෙරහැර සෙනසුරාදා වින්ඞ්සර් මාලිගාවේ සිට ශාන්ත ජෝර්ජ්ගේ දෙව්මැදුර වෙත ගෙනයනු ලැබුවා.


Next Post

අගමැතිතුමා අමාරුවේ දාන්න අපිට බෑ .විමල් - වාසු - උදය පක්ෂ නායක් රැස්වීමෙන් නැගිට යයි

Mon Apr 19 , 2021
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කැඳවා තිබූ ආණ්ඩුවේ පක්ෂ නායක හමුවෙන් වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් නැගිට ගොස් තිබේ. අගමැතිවරයා වෙත ඔවුන් සඳහන් කර ඇත්තේ එම හමුව සඳහා පක්ෂ නායකයන් නොව පිරිසක් ද කැඳවා ඇති බවයි. අගමැති මහනිද රාජපක්‍ෂ මහතාද තම නිලධාරීන් හරහා ඒ බව […]

Breaking News