පන්දහසේ දීමනාවේ වෙනසක් – දීමනාව ගන්න ගිය වියපත් යුවළක් මුහුණදුන් අත්දැකීම

සහනාධාර ලබන පවුල් ලක්ෂ 30කට පූර්ව සූදානමක් නැතිව කඩිමුඩියේ දින දෙකකින් රුපියල් 5000ක සහනාධාරය ගෙවීමට රජය තීන්දුවක් ගෙන ප්‍රකාශයට පත්කිරීම ගැන දැඩි ලෙස විරෝධය පළකරන ග්‍රාම නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම් ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමය සිය දැඩි විරුද්ධතාව ප්‍රකාශ කර සිටී.

ඊයේ (අප්‍රේල් 11) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගම්වල නිලධාරීන් පළකළ අදහස් මෙසේ යි.

චක්‍රලේඛ නිකුත් කළ පමණින් කිසිදු සැලසුමක් නොමැතිව පවුල් 30 ලක්ෂයකට රුපියල් 5000 දීමනාව ගෙවීම එක් වරම සිදුකළ නොහැකි බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන බැංකු මහ සංගම් හා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

එම සංගමයේ සභාපති එන්.ඒ.අයි.බී.එම්. අබේසිංහ මහතා කියා සිටියේ මෙම මුදල් ගෙවීම් ක්‍රියාත්මක කිරීම සඳහා කිසිසේත්ම පවතින කාලය ප්‍රමාණවත් නොවන බව ය.

මාධ්‍ය හමුව අමතමින් වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද කී ය.

“අදාළ බලධාරීන් මේ තීරණය ගෙන ඇත්තේ ඉකුත් 10 වන දා දහවල්. මේ දක්වා ම චක්‍රලේඛය හෝ නිකුත් කර නෑ. මේ තීරණ ගත් නිලධාරීන් දන්නෙ නැද්ද 12 වන දා රජයේ නිවාඩු දිනයක් බව. 13 වන දා රජයේ බැංකු ඇරලා තියෙනව ද කියලා තව ම තීරණයක් කරලා නෑ. සමෘද්ධි ක්ෂේත්‍ර නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා මේ සල්ලි අඩු ආදායම්ලාභී පවුල්වලට හා සමෘද්ධි පවුල්වලට ගිහින් දෙන්න කියලා. සල්ලි ලබා ගන්නත් බැරිව ඒ සඳහා අවශ්‍ය නාම ලේඛන පවා සකස් නොකොට මේ හදිසියේ මේවා කොහොම ද කරන්නේ?

දැන් හෙට ඉඳලා මේ ජනතාව සමෘද්ධි බැංකු ළඟ පෝලිම් ගැහිලා ඉඳීවි. අපි මොනව ද මේ මිනිසුන්ට දෙන උත්තරේ. හිටිගමන් ගහෙන් ගෙඩි එන්නා වගේ චක්‍රලේඛ හදලා මේ වගේ ප්‍රායෝගික දේවල් කරන්න පුළුවන් ද? ගියපාර පවුල් ලක්ෂ 70කට ආධාර දුන්නත් මේ පාර පවුල් ලක්ෂ 30කට තමයි ආධාර දෙන්නේ. මේ නාම ලැයිස්තු සකස් කරන්නේ නැද්ද?

අපි කියන්නේ, අපි මේ වැඩේට සහයෝගය දෙනවා. ඒත් මේ දීලා තියෙන දවස් දෙකෙන් ඒක කරන්න බෑ. 15දායින් පසු මේ මුදල් ගෙවීම් අපි විධිමත්ව කරන්නම්. සල්ලි තියෙන සමෘද්ධි බැංකු ගෙවීම් කළාට අපිට ප්‍රශ්නයක් නෑ. අපි කියන්නේ එක දිනක් තුළ පවුල් 30 ලක්ෂයකට මේ මුදල් දෙන්න බෑ කියලා විතරයි. මේ සැලසුම් සහගත නොවන කටයුතුවලින් අප්‍රසාදයට ලක් වෙන්නේ රට පුරා ඉන්න සමෘද්ධි නිලධාරීන් බව මේ අය තේරුම් ගන්න ඕනෑ. කළ නොහැකි දේවල් එක්වර ම එළියට දැම්මම කොහොමද ඒවා කරන්නේ?”

මේ අතර අලුත් අවුරුදු සමයේ අඩු ආදායම්ලාභීන් හට රුපියල් 5000ක් ගෙවීමේ වැඩසටහනින් සියලු ම ග්‍රාම නිලධාරීන් ඉවත් වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි.

මහනුවරදී ඊයේ (11දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා කියා සිටියේ, මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා ඇතුළු අදාළ බලධාරීන් දැනුවත් කළ බව ය.

මාධ්‍ය හමුව අමතමින් වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේ ද කීය.

“කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පවුල් අතරින් අවසන් වරට රුපියල් 5000 දීමනාව ගෙවූ පවුල් කාණ්ඩ 10 අතරින් කාණ්ඩ 7කට අයත් පවුල් පමණක් මෙම දීමනාව ලබාදීම සඳහා මෙවර තෝරාගෙන තිබෙනවා.

එබැවින් සැලකිය යුතු පවුල් ප්‍රමාණයකට මෙම දීමනාව අහිමිවී දැඩි ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වීම කිසිවකුටත් වළක්වන්න බෑ. එම අවස්ථාවේදී මෙම චෝදනා එක එල්ලේ ම එල්ලවෙන්නේ ග්‍රාම නිලධාරීන් වෙතයි. එවන් අවස්ථාවලදී සැබෑ කරුණු පැහැදිලි කිරීමක් කිසිවිටෙකත් රජය පාර්ශ්වයෙන් සිදු නොවේ. එබැවින් ග්‍රාම නිලධාරීන් දැඩි අපහසුතාවට පත්වීම අනිවාර්යෙන් ම සිදුවෙනවා.

මෙම වැඩසටහන මගින් දිවයිනේ පවුල් ඒකක ලක්ෂ 30කට පමණ ප්‍රතිලාභ ලබාදීමට බලාපොරොත්තු වන බව රජය සඳහන් කළත් මෙවැනි විශාල කාර්යයක් සංවිධානය කිරීම සඳහා කිසිදු හෝ පූර්ව සූදානමක් නොමැති බව ද සඳහන් කළ යුතුය. මේ වන විට දිවයිනේ සියලු ග්‍රාම නිලධාරිවරුන් විශාල කාර්යභාරයක නියැළෙමින් සිටියදී මෙම රුපියල් 5000ක් ගෙවීමේ කාර්යයට කිසිසේත් ම සම්බන්ධ විය නොහැකි වන අතර මේ වන විට දැඩි කාර්යබහුල තත්ත්වයක රාජකාරි සිදු කරන ග්‍රාම නිලධාරීන්හට කොතෙක් ඉල්ලීම් කළ ද කොවිඩ්-19 එන්නත ලබාදීමටද රජය පියවර ගෙන නොමැති බව සඳහන් කළ යුතු ය. ඉහළ නිලධාරීන් සිය කාර්යයන් ඉටු කර ගැනීමට අවශ්‍ය මොහොතේදී භාවිත කරන මෙවලමක් ලෙස ග්‍රාම නිලධාරීන් යොදා ගැනීම සම්බන්ධයෙන් අපේ බලවත් විරෝධය හා කනගාටුව ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

පසුගිය අවස්ථාවේ රුපියල් පන්දහසේ දීමනාව ගෙවීම් සිදුකරන අතර ජනතාව, මාධ්‍ය, දේශපාලන නියෝජිතයන් හා නිලධාරීන්ගේ බලපෑමට හා දෝෂ දර්ශනයට ලක් වීමට ද ග්‍රාම නිලධාරීන්ට සිදුවිය. එසේම මෙම අවස්ථාවේදී ද අවශ්‍ය ප්‍රතිපාදන සමෘද්ධි බැංකු සංගමය හරහා සපයන බවට වාර්තා වී ඇති බැවින් අදාළ දීමනාව ගෙවීමේ කාර්ය සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා සාමූහිකව බැංකු වර ගෙවීමට කටයුතු කිරීම ගැටලු අවම කිරීමට හේතුවක් වන බව අපේ අදහසයි.

රජයට මෙම මුදල ගෙවීමේ අවශ්‍යතාවක් තිබුණේ නම් සති කිහිපයකට පෙර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට විධිමත් ආකාරයෙන් මෙය කිරීමට තිබුණා. මෙවර සියලු ම ආයතන නිවාඩු ගොස් ඇති අවස්ථාවක ගහෙන් ගෙඩි එන්නා වාගේ හදිසි චක්‍රලේඛ දමා මේ ආකාරයෙන් සියල්ල ම අවුල් කරන්න මේ නිලධාරීන් උත්සාහ කරන්නේ මොකට ද කියලා අපිට තේරෙනවා.

පසුගිය වර පවුල් ලක්ෂ 70කට මෙම රුපියල් 5000ක මුදල ලබා දුන්නා. මෙවර එය ලක්ෂ 30කට සීමා කර තිබෙනවා. මේ හේතුවෙන් මහා අර්බුදයක් උද්ගත වෙනවා ම යි. මේ අර්බුදය ඇති කිරීමට මුල් වූ අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු ඉහළ රජයේ නිලධාරීන් මෙහි වගකීම භාරගත යුතුයි. රාජ්‍ය නිලධාරීන් දේශපාලනය කිරීම සඳහා යොමු කරවා ඔවුන් ජනතා අප්‍රසාදයට ලක් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අපි රජයට බලවත් අප්‍රසාදය පළ කරනවා’යි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

අවුරුදු සැමරීමට රජය ලබා දෙන රුපියල් 5,000 දීමනාව ලබා ගැනීම සඳහා ඉරුදෙණියාය, වව්ලෑව සිට පොල්පිතිගම සමෘද්ධි බැංකුව වෙත වියපත් යුවළක් අද (අප්‍රේල් 12) පෙරවරුවේ ගමන් කරන අයුරු අප වාර්තාකරු සිය කැමරාවට හසු කර ගෙන තිබේ.

එලෙස ගමන් කර ඇත්තේ 89 වන හා 75 වන වියේ පසුවන වියපත් යුවළකි.අප වාර්තාකරු සඳහන් කළේ, එම යුවළට දරුවන් තිදෙනෙකු සිටිය ද ඔවුන්ගේ සරණක් නොමැතිව වාසය කර ඇති බව ප්‍රදේශ වාසීන් පැවසූ බවය.

පය වාරු නැති සිය බිරිඳ රෝද පුටුවක තබාගෙන සැමියා මෙලෙස රු. 5,000 දීමනාව ගැනීමේ අපේක්ෂාවෙන් අපහසුතා හමුවේ යන බව ප්‍රදේශ වාසීන් වැඩිදුරටත් පවසා ඇත.

ඒ අනුව, අප වාර්තාකරු මෙම වියපත් යුවළට රුපියල් පන්දාහේ දීමනාව දෙනවා දැයි පොල්පිතිගම සමෘද්ධි බැංකුවෙන් ප්‍රශ්න කර තිබේ.එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ මෙවැන්නකි.

“මුදල් දෙනවා කියා රජය කීවාට තවමත් මුදල් ලැබී නැහැ. ඒ පිළිබඳව චක්‍රලේඛයක්වත් තව ම ඇවිල්ලත් නැහැ. මුදල් ආවොත් මෙතැන බැංකුවේ මුදල් දෙන්නේ නැහැ. ඒවා තමන් ඉන්න ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරීන් මගින් ඒ ඒ ප්‍රදේශවල තමයි දෙන්නට කටයුතු කරන්නේ. එම පන්දාහේ දීමනාව ගන්න පිටතින් පිරිස් මෙහි පැමිණීම නිෂ්ඵල කරුණක්.”

Next Post

උදාවන අලුත් අවුරුද්ද ඔබට සහ රටට සුබ අසුබ වෙන්නේ මෙහෙමයි

Mon Apr 12 , 2021
උදාවන්නේ තවත් අලූත් අවුරුද්දකි. ඇත්තටම ජ්‍යෝතිෂය අනුව නව වසරක උදාව ලෙස හ`දුන්වන්නේ ජනවාරි 1 දා නොව අපේ‍්‍රල් 14 දාය. ඒ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වන අවස්ථාවයි. මෙවර අපේ‍්‍රල් 14 බදාදා පාන්දර 2.33 ට සූර්ය සංක‍්‍රාන්තිය හෙවත් හිරු මීන රාශියෙන් මේෂ රාශියට මාරුවීම සිදුවන්නේය. මේ වේලාවට ශනි හිමි මකර […]

Breaking News