දකුණේ පිං ඇති පින් බිම වැවුරුකන්නල පන්සලේ මඩමක දරුවෙක් හදපු යෝධ ලී ඔරලෝසුව

ඒ මීට අවුරුදු 95කට පෙර 1926 වසරයි.වැව්රුකන්නල බුදුරජ වෙහෙරේ බජ්ජම සිරි සද්ධාතිස්ස නාහිමියෝ කොළඹ බලා වැඩම කරන අතරතුර අතරමඟදී හමුවුණු මග්ගොන විහාරස්ථානයකට රැය පහන් කිරීම සඳහා වැඩියහ.

රාත්‍රියේ විටින් විට ඇසෙන ඝණ්ටාර හඬක් හොඳින් අසා සිටි එහිමියෝ ඒ කුමක්දැයි මග්ගොන පන්සලේ හාමුදුරුවන්ගෙන් ඇසූහ.ඔය හඬ ඇහෙන්නේ මේ ළඟ තියෙන ළමා මඩමේ ඔරලෝසුවෙන්. මග්ගොන හාමුදුරුවෝ පිළිවදන් දුන්හ.

“මට ඒක දැක බලාගන්න ඕනෑ”පසුදා බජ්ජම හාමුදුරුවන් ඔරලෝසුව දැක බලා ගනු පිණිස ළමා මඩමට කැඳවාගෙන යන ලදී.ඒ යෝධ ඔරලෝසුව දෙස බලා සිටි බජ්ජම නාහිමියෝ එය තමන් වැඩවසන වැව්රුකන්නල වෙහෙරට ගෙන යන්න ඇත්නම් මැනැවැයි සිතූහ.

“මේක විකුණන්න කැමැතිද? අපි සල්ලි ගෙවලා ගෙනියන්නම්” උන්වහන්සේ ඇසූහ. රුපියල් තුන්දහසකට එය විකිණිය හැකි බව ඔරලෝසුව අයිති ළමා මඩමේ පාලන අධිකාරියේ ප්‍රධානියා කීවේය.කොළඹ යන ගමන පසුවට කල්තැබූ බජ්ජම නාහිමියෝ ආපසු වැව්රුකන්නල වෙහෙරට වැඩ අදාළ මුදල සොයාගෙන නැවත ළමා මඩමට ගොස් මුදල් ගෙවා ඔරලෝසුව මිලදී ගත්හ.

එතැන් පටන් අද දක්වාම මේ ඓතිහාසික යෝධ ඔරලෝසුව ඇත්තේ වැව්රුකන්නල පන්සලේය.ලක්දිව මුල්ම ඔරලෝසුව හැටියට සැලකෙන මෙහි නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ ඩබ්ලිව්. එලාරිස් ද සිල්වා නමැති තරුණයෙකි. එවක ඔහු බේරුවල මග්ගොන ළමා මඩමේ සිටි බාලා_පරාධ චෝදනා ලැබූවෙකි.

මඩමේ සමාජානුයෝජනය වෙමින් සිටි බාල අප_රාධ චෝදනා ලැබූවන්ට සිය කුසලතා ඔප්නංවා ගනු පිණිස යම් යම් නිමැවුම් මැවීමට ඉඩදී තිබිණි. එලාරිස් අත ගැසුවේ මේ අරුම පුදුම ඔරලෝසුව නිම වීමටය. එය සාර්ථකව නිම කරන විට ඔහුගේ ළමා කාලයද ඉකුත්ව ඔහු තරුණ වියට සමීපව සිටියේය.

එලාරිස් නමැති විස්මිත කාර්මිකයා මේ යෝධ ඔරලෝසුව තනා ඇත්තේ පිත්තල දැති සහිත රෝද සහ දැව භාවිත කරමිනි. ඔරලෝසු යන්ත්‍රයේ උස අඩි 4කි. පළල 6කි. දිග අඩි 7කි.යන්ත්‍රය අසල අඟල් 7ක විෂ්කම්භයෙන් යුතු මුහුණක් තිබේ. ඔරලෝසුවේ වේලාව සකස් කරන්නේ එය නිරීක්ෂණය කරමිනි. ජනතාවට වේලාව පෙන්වීම සඳහා ඊට අඩි 15ක් පමණ දුරින් අඩි 2 1/2ක විෂ්කම්භයෙන් යුතු ඔරලෝසු මුහුණක් ද වෙයි.

මේ ඔරලෝසුව සාමාන්‍ය ඔරලෝසුවල මෙන් දුනු ආධාරක නැත. දැති රෝද කරකැවීම සඳහා එලාරිස් තරුණයා භාවිත කර ඇත්තේ දබරයකි. රාත්තල් 55ක් බර පිත්තල සිලින්ඩරයක් දබරයක් ආකාරයට එතූ කේබලයක කෙළවර එල්ලා තිබේ. කේබලය ඔතා තිබෙන්නේ අක්ෂ දණ්ඩක් වටාය. පිත්තල රාත්තල් 55 සිලින්ඩරය පහළට තෙරපෙන විට දබරයට ඔතා ඇති ලෝහ දණ්ඩ භ්‍රමණය වෙයි. ඔරලෝසුවේ දැති කැරකැවෙන්නේ එකී භ්‍රමණ ශක්තියෙනි.

ඒ අනුව පිත්තල සිලින්ඩරය ඉහළින්ම තිබෙන විට වේලාව මධ්‍යම රාත්‍රි 01 ලෙස සිටින අතර සිලින්ඩරය ක්‍රමයෙන් පහළට එද්දී වෙලාව ඉදිරියට ගමන් කරනු පෙනෙයි. සිලින්ඩරය පහළටම ආ විට පැය විසි හතරක් හෙවත් දවසක් අවසන් වී වේලාව රෑ 12ට පිහිටයි. මෙහි තාක්ෂණය නිපදවා ඇත්තේ ගුරුත්වාකර්ෂණ බලය මනාව කළමනාකරණය කර ගැනීමෙනි.

ඔරලෝසුවේ ඝණ්ටාර හඬ නොහොත් එළාම් හඬ වැදීමේ බලය උපදවාගෙන ඇත්තේ අනෙක් සිලින්ඩරයෙනි. එළාමය පැය භාගයකට වරක් වදියි. එය ඝණ්ටාරයකට සවිකර ඇත්තේ කේබල් ආධාරයෙනි. අද ඒ ඝණ්ටාරය සියක් රියන් බුදුපිළිම වහන්සේට ශබ්ද පූජාවක් ලෙස පිළිම වහන්සේ ඉදිරිපිට සවිකරනු ලැබ තිබේ.

ඔරලෝසුව හා ඝණ්ටාරය අතර දුර මීටර් 35කි. ඝණ්ටාරය අඩි 40ක් පමණ උස කුලුනු හතරක් මත සවිකර ඇති සැටි දිස්වෙයි.මේ ඔරලෝසුව ලෝක ප්‍රකට වී ඇත්තේ වැව්රුකන්නල ලී ඔරලෝසුව ලෙසිනි.මේ වන විට මේ ඓතිහාසික ඔරලෝසුවේ දාරුමය ආකෘතියක් ද තනා තිබේ.

වැව්රුකන්නල බුදුරජ වෙහෙරේ ආදි විහාරාධිපතින් වහන්සේ ලෙස සැලකෙන්නේ මහනුවර යුගයේ රාජාධි රාජසිංහ රජුගේ පුතකු වූ කිරින්දේ ශ්‍රී සීලානන්ද සංඝරතන හාමුදුරුවෝය. ඉන්පසු වැලිහිටිපේ සිරිසුමන නාහිමියෝත්, බජ්ජම සිරි සද්ධාතිස්ස හාමුදුරුවෝත්, විහාරාධිපති බවට පත්වූහ. අද එහි විහාරාධිපති වන්නේ දික්වැල්ලේ තිස්ස නාහිමිය.

ඓතිහාසික ඔරලෝසුව හැදූ ළමා මඩම අද නැතත් එය පිහිටි ස්ථානය අසලින් යන පාර මඩම පාර යනුවෙන් හැඳින්වෙයි.

මාතර _ උදය කුමාර රණවීර

Next Post

ඉස්සර තිබුණු ප්‍රේක්ෂක ආදරය ඒ විදිහට දැනුත් දැනෙනවා - සැමියාගෙන් වෙන් වෙලා ශේෂාද්‍රි අලුත් පෙම්වතා එක්ක ගෙවන ජිවිතේ ජායාරූප

Sat Apr 10 , 2021
ශේෂාද්‍රි ප්‍රියසාද් වැඩිපුරම දකින්න ලැබුණේ සිනමාවෙන්. එහෙත් ඇය සිනමාවෙනුත් නිහඬ වුණු කාලයක් තිබුණා. සියලු නිහඬතා බිඳිමින් ශේෂාද්‍රි නැවත තම රංගන ගමන අලුත් කරගෙන. ඒ පුංචි තිරයෙන්. ‘ආලියා’ ලෙස ප්‍රේක්ෂකයන්ට හමුවෙන ඇයට මේ ඉඩකඩ වෙන් වුණා. කාලෙකට පස්සේ ඔබට අලුත් වුණු මාධ්‍යයකින් නේද නැවත රංගන ගමන පටන්ගෙන තියෙන්නේ?‘ආලියා‘ කියන්නේ මම සම්බන්ධ […]

Breaking News