මම දික්කසාද නැහැ වගකීමෙන් කියන්නේ -කිරුළ ගැලවුණු විවාහක රූ රැජින පොලිසි යයි

ශ්‍රී ලංකා රූ රැජිණ ලෙසින් අභිසෙස් ලැබූ නිරූපිකා පුෂ්පිකා ද සිල්වා ඊයේ පැවති විවාහක රූ රැජිණ අවසන් මහා තරඟයෙන්ද ජයගත්තා. 2020 විවාහක රූ රැජින ලෙසින් ඈ කිරුළු දැරුවත් ඒ කිරුළ හිස දරාගෙන හිටියේ විනාඩි කිහිපයක් පමණයි.ඇය දික්කසාද කාන්තාවක් නිසා ඒ කිරුළ සුදුසු නැති බව පවසමින් හිටපු ලෝක විවාහක රූ රැජිණ වූ කැරොලින් ජුරී පුෂ්පිකාගේ හිස රැදී කිරුළ ගලවා දමනවා.

ඒගැන පුෂ්පිකා ද සිල්වා කිව්වේ මෙහෙමයි. එහි හඬ පටිය පහතින්. ඒ අතරතුර පුෂ්පිකා සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ඇය කුරුදුවත්ත පොලිසියේ පැමිණිල්ලක් කර තිබෙනවා.එහිදී ඇය කියා සිටියේ අද පැවැත්වීමට නියමිත ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සියල්ල හෙළිකරන බවයි.වගඋත්තරකරුවන් 5දෙනෙකුද නම් කර ඇති බවයි සඳහන් වන්නේ. ඒ වගේම ඇය පැමිණිලි කර තිබෙන්නේ ඇයගේ කිර්ති නාමයට හානියක් වූ බවටයි

ඊයේ රාත්‍රියේ නෙලුම් පොකුණ රඟහලේ දී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟයේදී කිරුළ ගැලවූ පුෂ්පිකා ද සිල්වා එම සිද්ධිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබෙනවා.

පහත දැක්වෙන්නේ ඉන් උපුටාගත් එම සටහනයි.

ආයුබෝවන්!

මා හිතවත්, ආදරණීය, ගෞරවණීය, බුද්ධිමත් ශ්‍රී ලාංකික සහ ලෝකවාසී ජනතාවනි,

සිදුවූ අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් ඔබ මගේ ප්‍රතිචාරය අපේක්ෂා කරන බව මම දැනටමත් දනිමි. කියන්නට බොහෝ දේ තිබුනත්, අත්‍යවශ්‍ය කාරණා පමණක් මෙහි සටහන් කරමි.

පළමුව, 2020 වර්ෂයේ විවාහක රූ රැජිණ කිරුල ජයග්‍රහණය කිරීම සඳහා මා තෝරාගත් විනිශ්චය මණ්ඩලයට මගේ ගෞරවය සහ ස්තුතිය පුද කරමි.

දෙවනුව, මා සිතන ආකාරයට ලංකාවේ නොව ලෝකයේ ම රූ රැජිණ ඉතිහාසයේ පලවෙනි වරට එසේ අපහාසාත්මක ලෙස, සියල්ලන් ඉදිරියේ මගේ කිරුල උදුරා ගනු ලැබුවත්, මේ ලියන මොහොතේ ත් මම මගේ හිස කෙලින් තබාගෙන, පෙර සේ ම අභිමානයෙන් ආඩම්බරයෙන් සිටින බව කියමි. මම, මම ම වන අතර, මට මෙය තවත් එක සිදුවීමක් පමණි.

ලෝක විවාහක රූ රැජිණ, එසේ මගේ හිසින් මගේ කිරුල උදුරා ගනිද්දී මගේ හිස් කබලට සිදු වූ තුවාල වල වේදනාව, කිරුල අහිමි වෙද්දී සිතට දැනුන වේදනාව යන දෙකටම වඩා, “.. අම්මිගෙ ඔලුව තුවාල වෙලා නේද..? රිදෙනවද අම්මි?” යැයි මගේ කුඩා පුතු අසන විට දැනෙන වේදනාව මට දරාගත නොහැකි ය.

එහෙත්, මෙය තනි ගැහැණියක් වූ මා වෙනුවෙන් මුලු ලෝකයක ගැහැණුන් මෙන්ම පිරිමින් ද, පක්ෂ පාට ජාති ආගම් කුල මල භේද පසෙක ලා හඬ අවදි කරන ඓතිහාසික මොහොතකි. ඔබ සියලු දෙනාගේ මේ ආදරය මට යෝධ ශක්තියක් වන බව කියමි.

අනික් අතට මම දික්කසාද ගැහැණියක් නො වෙමි. මේ ලියන මොහොතේ ත් මා දික්කසාද ගැහැණියක් නොවන බව ඉතා වගකීමෙන් කියමි. මම දික්කසාද නම්, මගේ දික්කසාද ලියවිලි ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ට අභියෝග කරමි. මම මගේ දරුවා සමග සිටින බව මම ලෝකයෙන් සඟවා නැත. එ සේ සිටින්නට මට පෞද්ගලික හේතු ද ඇත. නමුත්, වෙන් ව සිටීම එකකි. දික්කසාදය යනු වෙනම එකකි. මම තවම දික්කසාද නො වූ තැනැත්තියක් වෙමි.

මේ තරඟාවලියේ ආරම්භයේදී ම මා ඊට නුසුදුසු නම් මා එයින් ඉවත් කරන්නට ඔවුන්ට ඉඩ තිබුණි. අවශේෂ තරඟ ඉසව් එකින් එක පසුකර මා මෙතෙක් දුර එනතෙක් ඔවුන් සිටියේ නින්දේ නො වේ.

මම 2011 ශ්‍රී ලාංකික රූ රැජිණ වූයෙමි. ඉන් දස වසරකට පසු ඊයේ රාත්‍රී විනිශ්චය මණ්ඩලයේ තීරණයෙන් විවාහක රූ රැජිණ කිරුල පැලඳුවෙමි. ඒ මොහොතේ ම මම ලංකාවේත් ලෝකයේ ත් සිටින ඔබ සියලු දෙනාගේ හදවතේ විවාහක රූ රැජිණ බවට පත් වූයෙමි.

ඉදින්, සංකේතාත්මක ඒ කිරුල මගේ හිසෙන් උදුරා ගත්ත ද, මම ඒ සිදුවූ අසාධාරණය සහ අපහාසය වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වෙත දැනටමත් අවතීර්ණ වී ඇති බව, ඔබට දැනුම් දෙමි.

“අවසාන වශයෙන්, සැබෑ රැජිණක් යනු, අනෙක් ගැහැණියගේ කිරුල උදුරාගන්නා ගැහැණියක් නො ව, අනෙක් ගැහැණිය ගේ ඔටුන්න රහසේ සකසන ගැහැණියක් බව කියමි”!!!

පුෂ්පිකා ද සිල්වා

  • කිරුල උදුරාගන්නා ලද පලමු ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ

Next Post

ලක් රූ රැජින පුෂ්පිකා ද සිල්වා සැමියා නොමැතිව ගෙවන සුපිරි ජිවිතයේ ජායාරූප 20ක්

Mon Apr 5 , 2021
2011 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුල හිමිකරගත්තේ පොලොන්නරුවෙන් ආව පුෂ්පිකා සඳමාලි ද සිල්වා. 2011 වසරේ ලන්ඩන් නුවර පැවති ලෝක රූ රුජන තරගාවලියටද ඉදිරිපත් වූ පුෂ්පිකා දක්ෂ නිරූපණ ශිල්පිනියක් ලෙස නමක් දිනාගත්තා. ලංකාවේ බොහෝ දෙනෙක් ඇයව දැනගත්තේ ඉන් පසුවායි. පසුව ඇය එම වසරේදීම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක රූ රැජින තරගය වෙනුවෙන් […]