උදුරා ගත් විවාහක රූ රැජිණ කිරුළ යළිත් පුෂ්පිකාටම – පුෂ්පිකා ද සිල්වා රෝහල් ගත වෙයි

විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරඟාවලිය ජයගත් නිරූපණ ශිල්පිනි පුෂ්පිකා ද සිල්වා හට හෙට (06) දිනයේදී යළිත් එම කිරුළ ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මෙම තරඟාවලියේ සංවිධායක චන්දිමාල් විසින් ඊට අදාළ පියවර ගෙන ඇති බව සඳහන්.

පුෂ්පිකා දික්කසාද වී ඇති බව පවසමින් ඇයගේ ජයග්‍රහණය අවලංගු කළ ද ඇය දික්කසාද වී නොමැති බවයි චන්දිමාල් ප්‍රකාශ කර ඇත්තේ.

ඊයේ රාත්‍රියේ නෙලුම් පොකුණ රඟහලේ දී පැවති ශ්‍රී ලංකාවේ 2020 විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණේ එම කිරුළ ජයග්‍රහණය අත්කරගත්පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ තත්පර කිහිපයක් ඉක්ම යාමටත් මත්තෙන් ඇයට අහිමිවීමත් සමඟයි.

කෙසේ වෙතත් ඊට ටික වේලාවකට පසු විවාහක ලෝක රූ රැජිණ බවට පත්වූ කැරොලයින් ජූරි වේදිකාවට පිවිස රූ රැජිණ ලෙස අභිසෙස් ලැබූ පුෂ්පිකාගේ කිරුළ ඉවත් කරන බව ප්‍රකාශ කළා.

ඇය සඳහන් කළේ දික්කසාද කාන්තාවකට විවාහක රූ රැජිණ ලෙස කිරුළ දැරිය නොහැකි බව තරඟ කොන්දේසිවල සඳහන් වන බවයි.

ඒ අනුව පුෂ්පිකා හිස මත පැළඳි කිරුළ ගලවා දමන කැරොලයින් ජූරි එය මෙම තරඟයේ අංක 17 යටතේ තරඟකර දෙවන ස්ථානයට පත්වූ ආශ්‍යා බස්නායකට පැළඳ වූ අතර එහිදී උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා කියා සිටියේ මාධ්‍ය හමුවක් පවත්වා තමන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කරන බවයි.

මේ අතර පැළඳ සිටි කිරුළ ගැළවීමට උත්සාහ කිරීමේදී තුවාල සිදුවීම හේතුවෙන් පුෂ්පිකා ද සිල්වා මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

Next Post

අර්බුධ රැසකින් අවසන් වූ විවාහක රූ රැජින තරඟයේ ජායාරූප මෙන්න

Mon Apr 5 , 2021
කොළඹ නෙලූම්පොකුණ රගහලේ ඊයේ පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේදී මතභේදකාරී තත්ත්වයක් උද්ගත වුණා. ඒ, මෙම තරගයේදී විවාහක රූ රැජින ලෙස කිරුළු පැලදි පුෂ්පිකා ද සිල්වා එහි ජයග්‍රාහිකාව ලෙස ප්‍රකාශයට පත් කර විනාඩි කිහිපයකදී ඇයට එම කිරුල අහිමි කිරීමත් සමගයි. මෙම සිදුවීම මේවනවිට සමාජ මාධ්‍යවල දැඩි ලෙස කතාබහට ලක්ව […]