ඉවර වුණාම පැළ කරන්න පුළුවන් පෑනක් හදපු තාත්තයි-දුවයි

ඔහු කේ. සුගිර්දන්ය.ඇය එස්.එස්. ක්‍රිස්ටිනාය. සුගී නමින් මහනුවර ප්‍රකට සුගිර්දන් චිත්‍ර ශිල්පියෙකි. නව නිමැවුම්කරුවෙකි.46 හැවිරිදි සුගී මහනුවර වටපුළුවේ පදිංචිකරුවෙකි. ජී.එම්. ස්ටෙලා ඔහුගේ බිරියයි.ක්‍රිස්ටිනා මේ දෙමහල්ලන්ගේ දියණියයි.

19 වැනි වියේ පසුවන ඇය මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයෙන් අ.පො.ස. (උසස් පෙළ) ⁣ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව හදාරා පසුගියදා පැවැති උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින දැරියකි.

ඉකුත් සතියේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවල කතාබහට ලක්වූ මේ තුන්පත් රෑන පිළිබඳ තොරතුරු සොයා ‘ඉරිදා මව්බිමේ’ අපි මහනුවර වටපුළුවේ පිහිටි ඔවුන්ගේ නිවෙස සොයා ගියෙමු.

මේ අපූරු නිවෙස කලාගාරයකි.බැලූ බැලූ අත සිත නිවන සිතුවම්ය. නිමවමින් පවතින විවිධ උපකරණය.පරිසර හිතකාමී පෑනක් නිෂ්පාදනය කිරීම හේතුවෙන් මාධ්‍ය කරළියට ආ මේ දියණිය සහ පියා පිළිබඳ තොරතුරු අපට වටී. රටට වටී. රටේ හෙටට වටී. මුළු ලෝකයටම වටී.

යාන්තම් හය හතර තේරෙන වියේ සිටම තම සම වයසේ දරුවන්ට වඩා වෙනස් විදිහට හිතන පතන පුරුද්දක් තිබූ ක්‍රිස්ටිනා ගහකොළට, සතා සිවුපාවාට, පරිසරයට දැඩි සේ ආදරය කරන්නියකි.

පරිසරය සුරකින්නට න්‍යාය ටොන් ගණන් දෙසා බාන න්‍යායාචාර්යවරු අවුන්සයක භාවිතාවක් නොකරන අයුරු දැක දැක වික්ෂිප්තව සිටි ක්‍රිස්ටිනා දිනක් රූපවාහිනි නාළිකාවක ප්‍රවෘත්ති විකාශයක් අතරතුර අසන්නට දකින්නට ලැබුණු එක්තරා පුවතක් කෙරේ සිය විශේෂ අවධානය යොමු කළාය.

ඉන් කියැවුණේ ශ්‍රී ලංකාවේ පමණක් බෝල්පොයින්ට් වර්ගයේ ප්ලාස්ටික් නිමාවෙන් යුතු පෑන්වල ඇතුළත කාබන් අඩංගු කූරු කිලෝග්‍රෑම් 80ක් පරිසරයට මුදා හැරෙන බවකි.

මේ පුවත කන වැකුණු ක්‍රිස්ටිනා සිය පියා සමඟ ඒ පිළිබඳ කතාබහක යෙදුණේ විමසුමෙන් නොනැවතී විස¾දුමකට යෑමට තැත් කිරීම ඇයගේ පුරුද්දක් නිසාය.මව, පියා සහ දුව එක්ව මේ පිළිබඳව කළ විමසුමේ ප්‍රතිඵල අප සිතනවාට වඩා පරිසර හානියකට මඟපාදන බව අපට පසක් කරවයි.

රජයේ සහ පෞද්ගලික අංශයේ වාර්තාවලින් තොරව ගත්කල ද මේ හිස් පෑන් බට කිලෝග්‍රෑම්  හත්ලක්ෂ පනස්නවදහස් දෙසීයක් පමණ පරිසරයට නොදිරන අපද්‍රව්‍ය ලෙස මුදා හැරෙන බව මේ මව, පියා සහ දියණිය සොයා ගත්හ.

ඇමෙරිකාවේ මෙම ප්‍රමාණය වාර්ෂිකව කිලෝග්‍රෑම් බිලියන 106කි.පරිසරයට අහිතකර බලපෑම් ගෙන එන මෙම පෑන වෙනුවට පරිසර හිතකාමී පෑනක් නිෂ්පාදනය කරන්න අපට බැරිද? 

මේ අදහස මල්පල ගැන්වී ඔවුන් අතින් නිෂ්පාදනය වන්නේ 96%ක් පරිසර හිතකාමී අපූරු පෑනකි.මේ පෑන පෑනක් පමණක් නොවේ, පුංචිම පුංචි බීජ ගබඩාවකි.පෑනක් ලෙස භාවිත කිරීමෙන් පසු විවිධ එළවළු, කුළුබඩු සහ මල් වර්ග පැළ කරගත හැකි බීජ ගබඩාවක් වූ මෙම පෑන මහ පොළොවේ පැළවන පෑනකි.

“අපි කාලයක් පර්යේෂණ කරමින් වැරැදි නිවැරැදි කරගනිමින් පරිසර හිතකාමී පැළ කරන්න පුළුවන් මේ අපූරු පෑන නිෂ්පාදනය කළා.අපි ඒකට පේටන්ට් බලපත්‍රය පවා අරගෙන තියෙන්නෙ.අපනයනය කළ හැකි තත්වයෙන්, ප්‍රමිතියෙන් යුත් මනා නිමාවකින් යුත් අපූරු පෑනක් අපි එකතු වෙලා නිෂ්පාදනය කළා.

ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් හැටියට මේ පැළවෙන පෑන ලෝක වෙළෙඳපොළට එක් කිරීම තමයි අපේ අරමුණ” මේ පිළිබඳව අදහස් දක්වන කේ. සුගිර්දන් මහතා එසේ පවසයි.

ක්‍රිස්ටිනා නම් මේ අපූරු යුවතිය මූලික අධ්‍යාපනය ලබන්නේ මහනුවර ප්‍රදේශයේ එතරම් ප්‍රකට හෝ ජනප්‍රිය නැති සෙංකඩගල වීරෝදාර කනිටු විදුහලේය.

අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් ඒ සාමාර්ථ අටක් සහ ඕ සාමාර්ථයක් සහිතව අති විශිෂ්ට අයුරින් සමත්වන ඇය මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයට ඇතුළත් වන්නේ උසස් පෙළ හදාරන්නටය.

හඬට වඩා වැඩ ඇති සෙංකඩගල වීරෝදාර කනිටු විදුහලේ හිටපු විදුහල්පති කපිතාන් ලාල් ධර්මසිරි මහතා සහ වත්මන් විදුහල්පතිනිය නිලන්ති වීරියශංඛ මහත්මිය ඇයට මෙවන් අපූරු ගමනක් යන්නට මඟපාදා දුන් සැබෑ ගුරු දෙවිවරු බව ඇය අප හා පැවැසුවේ කෘතවේදී බව මුසු වූ ගෞරවයකිනි.

“පසුගිය කො*රෝනා ලොක්ඩවුන් එකත් එක්ක අපට නිවෙසටම වෙලා ඉන්න සිදුවුණා.ඒ නිසා මා වෙනදාට වඩා රූපවාහිනියේ විවිධ වැඩසටහන් නැරඹුවා. ප්‍රවෘත්ති බැලුවා. එතකොටයි මේ තොරතුර පිළිබඳව මා දැනුවත් වුණේ.

ඒ ගමන්ම මම මේ ගැන තාත්තට කතා කළා. අම්මයි, තාත්තයි, මමයි එකතු වෙලා මේ ගැන නිතර නිතර කතා කළා. ඒකට හොඳ විවේකයක්, විරාමයක් අපට කො*රෝනා දීලා තිබුණා. අපි අපට ලැබුණු ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන රටට යහපත් දෙයක් කළා කියලා ලොකු සතුටක් විඳිනවා.”මේ අපූරු දියණිය ක්‍රිස්ටිනා එසේ පවසයි.

උසස් පෙළට ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව හැදෑරූ ක්‍රිස්ටිනා පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් මෘදුකාංග ඉන්ජිනේරු උපාධිය හැදෑරීම ආරම්භ කර ඇත්තේ 16  හැවිරිදි වියේදීය.

එම උපාධියේ තුන්වැනි වසර සිසුවියක වන ඇයගේ අනාගත අපේක්ෂාව පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවරියක ලෙස සමාජ මෙහෙවරක නිරත වීමයි.මේ සියල්ල සමඟ දිරියෙන් ඉදිරියට යන ක්‍රිස්ටිනා විද්‍යා ප්‍රබන්ධ ලේඛිකාවක් ද වේ.

ඇය ලියූ ‘ඇල්ලිඩෝරියම් මෙහෙයුම’ විද්‍යා ප්‍රබන්ධය මුද්‍රණයෙන් එළිදක්වා ඇති අතර පිරමීඩයේ ආරම්භය, ඩාවින් නොකී කතාව, සිතිවිලි යන විද්‍යා ප්‍රබන්ධ මුද්‍රණය සඳහා සූදානම්ය.

ගාල්ල, බෙන්තර, ඇල්පිටිය, කුරු¾දුගහහැතැප්ම ඉපදී හැදී වැඩුණු සුගිර්දන් මහතා කුරු¾දුගහහැතැප්ම කනිටු විදුහලින් මූලික අධ්‍යාපනය ලබා පන්විල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබීය.

උපතින් දායාද වූ චිත්‍ර ශිල්පය සමඟ හස්ත කර්මාන්ත නිපැයුම්කරුවකු ලෙස සමාජගත වීමත් සමඟ ඒ සඳහා පහසුකම් සපිරි කන්ද උඩරට ඔහුගේ නිත්‍ය වාසය සඳහා තෝරා ගති.

පා*ස්කු ප්‍ර*හාරයට වසරක් පිරෙද්දී චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්න මා කටයුතු සූදානම් කළා.ඒ සඳහා කාදිනල්තුමාගේ ආශීර්වාදය පවා ලැබුණා.නමුත් කොරෝනා ව්‍යසන තත්ත්වය හමුවේ ඒ සියල්ල නැවතුණා.මේ පෑන ලංකාවේදී දෙන්න පුළුවන් අවම මිලකට අපි නිෂ්පාදනය කරනවා.රු. 50ක් වාගෙ මුදලකට ගන්න පුළුවන්.

අපේ මේ වාගෙ හැකියාවන් අගයමින් 2017 වසරේදී අපට විශේෂ කුසලතා සම්මානයක් හිමිවුණා එවකට විදුලිබල සහ බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වෙතින්.මේ කටයුතු කරගෙන යන්න අපට සහාය දෙන, අගයන සත්පුරුෂ මිනිසුන් කිහිපදෙනකුත් ඉන්නවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි ඉන්ජිනේරු විද්‍යා පීඨයේ මහාචාර්ය කේ.එස්.පී. අමරතුංග මහතා, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය ඉ¾දුනිල් පෙරේරා මහතා, මහනුවර ධර්මරාජ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පුබුදු බණ්ඩාර මහතා, නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාවේ එරංග ලක්මාල් මහතා යන අය තමයි ඒ සත්පුරුෂ මිනිසුන්.

පේටන්ට් බලපත්‍රය ලබාගැනීමේ කටයුතුවලදී නව නිපැයුම්කරුවන්ගේ සංගමය, බුද්ධිමය දේපළ කාර්යාංශය වාගේ ආයතන උපකාර කළා.මධ්‍යම පළාතේ වෛද්‍යවරුන්ගේ හමුවකදී මේ පරිසර හිතකාමී පෑන ගැන අදහස් දැක්වීමක් කරන්න මට අවස්ථාව ලැබීමත් සමඟයි මේ ගැන රට දැනගන්න පටන් ගත්තෙ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අපව කැඳවලා අපව අගය කරලා දිරිගන්වලා අපව හ¾දුන්වා දෙන්න කටයුතු කළා. මමත් මගේ  බිරිය ස්ටෙලාටත් අපේ දියණිය ගැන තියෙන්නෙ නිහතමානිකම මුසු වූ ආඩම්බරයක්.

ඇය ජාත්‍යන්තර සිංහ සමාජය සංවිධානය කළ නව නිපැයුම් තරගාවලියට ඉදිරිපත් වුණු 300ක පිරිස අතර 30 දෙනා අතර ඉන්නවා.මවුපියන් හැටියට අපේ යුතුකම ඇය රට දැය සමයට හිත වැඩ ඇති දරුවකු ලෙස සමාජගත කිරීම.”

ටොන් ගණන් න්‍යාය දෙසාබානවාට වඩා වැදගත් මෙහෙවරක් ඉටු කරන සුගී, ස්ටෙලා සහ ක්‍රිස්ටිනා යන මේ අපූරු තුන්පත් රෑන අපට අවැසිය. රටට අවැසිය. රටේ හෙටට අවැසිය

Next Post

මඩ - බොරු කිව්ව අයට නාග ශාපය හිමිවේවි – ශ්‍රී උදාර යෝගීතුමා - නාග ලෝකයෙන් කැලණි විහාරයට ලැබුණු රන් කරඬුවේ ඇත්ත කතාව හාමුදුරුවෝ හෙළිකරයි

Sat Apr 3 , 2021
ඓතිහාසික කැලණි පුරවරය හා සම්බන්ධ ඉපැරැණි මූලාශ්‍ර බොහෝය. විජයාගමනයට පෙර කැලණිය ගැන සඳහන් වී ඇත්තේ බුදුන්ගේ ලංකාගමනය පිළිබඳ තොරතුරු හෙළිකෙරෙන ආකාරය දීපවංසය හා මහාවංසය වැනි ඓතිහාසික ග්‍රන්ථයන්හි සඳහන් තොරතුරුවලට අනුව බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වැනි මාසයේ නාග ගෝත්‍රික චූලෝදර හා මහෝදර දෙසොහොයුරන් අතර නාගයන්ගේ මිණි පලඟ හේතුකොටගෙන හටගත් යුද්ධය නැවැත්වීමට නාගදීපයට […]