මේ අවුරුද්දේ විවාහයට සුදානම් වෙන චංචලාගේ ලස්සන ජායාරූප 20ක්

දෙරණ රූපවාහිනි සේවය මඟින් දියත් කරනු ලබන ලිට්ල් ස්ටාර්ස් ගායන තරගාවලියෙන් ඇය කලාවට එක්වූවාය. ඒ වයස අවුරුදු දොළහෙන් (12) පහළ ගායන අංශයේ සිව්වැනි ස්ථානය හිමිකර ගැනීමත් සමඟයි. එලෙස ගායන අංශයෙන් පසුව ඇයට දෙරණේම නිවේදන කටයුතු කිරීමට හා දෙරණින්ම නිෂ්පාදනය කළ ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායකවීමටත් අවස්ථාව උදා වූවාය. මේ දිනවල දෙරණ සිඳු ටෙලි නාට්‍යයේ ‘තෙරුණි’ ලෙසින් අපට සමීප වෙයි. ඒ නව පරපුරෙ යොවුන් කලා ශිල්පිනිය මනීෂා චංචලා දුනුකාර නම් වේ.

මනීෂාගේ කුඩා අවධිය ගැන මතක් කළොත් ?

පෙර පාසල් යන දැනුම් තේරුම් ඇති කාලේ ඉඳලම මට නටන්න සින්දු කියන්න පුළුවන්.ඉතින් ඒ කාලේ ඉඳලම මගේ අම්මා එහෙම ඒ දේවල්වලට මාව ඉදිරිපත් කළා.

ඒ කියන්නේ පෙර පාසල් කාලයේදීත් කලාවත් එක්කමද ගත කළේ?

බොහෝ විට ඒ දේවල්වලට මං වැඩියෙන් ඉදිරිපත් වුණා. ඒක නිසා තමයි අද මම මේ වගේ තැනක ඉන්නේ.

ඔබ ඉගෙන ගත් පාසල ? පළමු වසරේ සිට එකොළහා වසර (1 – 11) දක්වා මහනුවර ස්වර්ණපාලි මහා විද්‍යාලයට ගියා. උසස් පෙළ කොළඹ ශාන්ත ලෝරන්ස් කන්‍යරාමයෙන් තමා හැදෑරුවේ.

කලාවට මඟ පෑදෙන්නේ උසස් පෙළ කරන්න කොළඹ ආවට පස්සේද?

නැහැ. මම නුවර ඉගෙන ගන්න කාලේ ආසාවට, විනෝදාංශයක් ලෙසත් ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවයේ ළමා නිවේදිකාවක් ලෙසත් එයින් පැවැත්වූ ගීත ගායන වැඩසටහන්වලටත් ඉදිරිපත් වුණා. මං පාසලේ 7 වසරේදි මගේ අම්මයි, පුංචි අම්මයි තමා දෙරණ ලිට්ල් ස්ටාර්ස් තරගයට මගේ අයදුම්පතක් දාන්නේ. පස්සේ මං ගිහින් එයට ඉදිරිපත් වුණා.

ඒකෙන් මොකද වුණේ?

ඒ තරගයෙන් සිව්වැනි තැනට තේරුණා. ඊට පස්සේ මට දෙරණ මාධ්‍ය ජාලයේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා කතා කරලා නාට්‍යයක රඟපාන්න අවස්ථාවක් ලබා දෙනවා. ඒ දෙරණෙම ගිය වස්සාන සිහිනය කියන ටෙලි නාට්‍යයේ. ඊට අමතරව මට දෙරණෙ වැඩසටහන්වල නිවේදිකාවක් ලෙසත් කටයුතු කරන්න ලැබුණා. වස්සාන සිහිනය කියන ටෙලි නාට්‍යයේ කණ්ඩායමම තමා සිඳු කියන ටෙලි නාට්‍යය කළෙත්. පස්සේ මට සිඳුහි තෙරුණි ලෙස රඟපාන්නත් අවස්ථාව ලැබෙනවා. මෙහිදි ප්‍රදීප් මානවඩුගේ මහතාවත් මතක් කරන්න ඕනේ.

මනීෂා චංචලා කලා ශිල්පිනියක් නොවුණා නම්?

පාසල් අධ්‍යාපනය ලබන කාලයේදි නම් ඉංගී‍්‍රසි ගුරුවරියක් වීමට තමා ආසාව තිබුණේ.

එතකොට දැන් මනිෂාගේ සංගීත වැඩ කටයුතු කොහොමද?

මුලින්ම මගේම සින්දු දෙකක් කළා. අනතුරුව මෑතකදි ඉදලා මගේම තවත් අලුත් සින්දු දෙකකම වැඩ කටයුතු මං මේ වෙනකොටත් පටන් අරගෙන තියෙන්නේ.

ඔබ වඩාත් කැමති නිවේදිකාවක්ද? නිළියක් ලෙසද? එහෙමත් නැතිනම් ගායිකාවක් ලෙස කටයුතු කරන්නද?

මම වඩාත් කැමති ගායිකාවක් ලෙස ඉදිරියට යන්න තමා.

ඔබ මෙතෙක් කලාවේ ආ ගමන් මඟ ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම නිහතමානීව ගොඩාක් සතු‍ටුවෙනවා.මං හිතන්නේ මේ හැමදේම මගේ හැකියාවත් එක්ක මට වාසනාවට ලැබුණු දේවල් කියලයි.

දැන් ටෙලි නාට්‍ය, චිත්‍රපට කීයකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවද?

ටෙලි නාට්‍යය නම් දහයක විතර රඟපාලා තියෙනවා. හැබැයි චිත්‍රපටවල රඟපාලා නම් නෑ. දරුවනේ, පාටක් නැති ආදරයක් යන ළමා චිත්‍රපටවල පසුබිම් ගායනයට නම් මේ වනවිටත් දායකත්වය ලබාදීලා තියෙනවා.

ඔබ සහ ජනප්‍රිය නිවේදක කළිඳු කරුණාරත්න අතර ප්‍රේම සම්බන්ධය තියෙනවා කියන එක රහසක් නෙවෙයි. කවදද ඔබ දෙපළ විවාහ වන්නේ?

මේ අවුරුද්දේ අග විතරදි විවාහ වෙන්න හිතාගෙන ඉන්නවා. තව ටික කලකින් ඒ ගැන විස්තර කියන්නම්.

මනීෂා දැන් වෘත්තිය කලා ශිල්පිනියක්ද ?

වෘත්තිමය කලාවේ නිරත වෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. මං ඉදිරියේදි මගේම කියලා ව්‍යාපාරයක් කරන්නත් සැලසුම් කරලා තියෙනවා.

අවසාන වශයෙන් යමක් කියන්න තියෙනවද?

මම මෙතෙක් කලාවේ ආ ගමන් මඟේදි නම් වශයෙන් කියන්න බැරි විශාල පිරිසක් ඉන්නවා මට විවිධ අයුරින් උදවු කරපු. ඒ හැමෝටම මේ අවස්ථාවේදි ගොඩාක් ස්තුතියි. ඒ වගේම මගේ අම්මි අප්පච්චි ඇතුළුව පවුලේ අයටත් , කළිඳුටත්, ඔයාටත්, ප්‍රේක්ෂක ජනතාවටත් ගොඩාක් ස්තූතියිවන්ත වෙනවා.

හේමන්ත බණ්ඩාර

Next Post

ඉවර වුණාම පැළ කරන්න පුළුවන් පෑනක් හදපු තාත්තයි-දුවයි

Sat Apr 3 , 2021
ඔහු කේ. සුගිර්දන්ය.ඇය එස්.එස්. ක්‍රිස්ටිනාය. සුගී නමින් මහනුවර ප්‍රකට සුගිර්දන් චිත්‍ර ශිල්පියෙකි. නව නිමැවුම්කරුවෙකි.46 හැවිරිදි සුගී මහනුවර වටපුළුවේ පදිංචිකරුවෙකි. ජී.එම්. ස්ටෙලා ඔහුගේ බිරියයි.ක්‍රිස්ටිනා මේ දෙමහල්ලන්ගේ දියණියයි. 19 වැනි වියේ පසුවන ඇය මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයෙන් අ.පො.ස. (උසස් පෙළ) ⁣ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව හදාරා පසුගියදා පැවැති උසස් පෙළ විභාගයට පෙනී සිට […]