දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවක තිබූ පොල් තෙල් ලීටර 28,000කට අධික ප්‍රමාණයක් අඩංගු සැක කටයුතු කන්ටේනර් රථයක් අද (අප්‍රේල් 1) රාත්‍රී පොලිස් භාරයට ගත් බව දඹුල්ල පොලිසිය පවසයි.
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට ලැබුණු තොරතුරක් මත දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් පැමිණ අද පස්වරු 7.30ට පමණ මෙම ස්ථානය පරීක්ෂා කර තිබේ.
එම අවස්ථාවේදී කන්ටේනර් රථය සම්පූර්ණයෙන් ම ගබඩාව තුළට ගෙන තිබී ඇති අතර එම ගබඩාවේ වහලය මත තිබුණු ටැංකියකට මෙම පොල්තෙල් ගබඩා කරන අයුරු දැක ගැනීමට හැකි වූ බව දඹුල්ල නගරාධිපතිවරයා පවසයි.
නගරාධිපතිවරයා සඳහන් කළේ, අදාළ පොල් තෙල් විදේශ රටවලින් ගෙන්වා ඇති බවත් ඒවා මිනිස් පරිභෝජනයට සුදුසුසු ඒවා ද ප්‍රවාහනය සහ ගබඩා කිරීම සඳහා අවසරයක් ලබා ඇති ඒවා ද යන්න සම්බන්ධයෙන් කිසිදු ලියැකියවිල්ලක් එම පෞද්ගලික ගබඩාව සතුව තිබී නොමැති බවත් ය.
ඒ අනුව, එම පොල් තෙල් මිනිස් පරිභෝජනයට සුදුසු ඒවා ද යන්න පිළිබඳ පරීක්ෂා කර බලන තෙක් කන්ටේනර් රථය, අදාළ ගබඩාවේ භාරකරු සහ කන්ටේනර් රථයේ රියැදුරා පොලිස් භාරයට ගත් බව දඹුල්ල නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.