බස් එක එකපාරටම පාවුණා වගේ දැනුණා-ආපු වේගයෙන්ම පෙරළුණා- පළාතම මළ ගෙයක් කළ පස්සර බස් අනතුරේ මගීන්ගේ සංවේදි අත්දැකීම

මම පස්සර යන්න බස් එක එනකල් හිටියේ. ඔය අනතුරට පත් වෙලා තියෙන ලුණුගලින් එන කොළඹ බස් එක මම ඉන්න තැන නතර කළේ නැහැ. වෙනද මෙතැන නතර කරත් අද  නතර නොකරම ගියා. අපි පහු කරල බස්එක මීටර් 50වත් යන්න නැහැ,  පස්සර පැත්තේ ඉඳල ආපු ටිපර් රථයට ඉඩ දෙන්න බස් එක අයින් කරනවත් එක්කම එකපාරම මම දැක්කා බස්එක ස්ලෝ කරන්නෙවත් නැතිව ආපු වේගයෙන්ම පහළට පෙරළෙනවා.

මිනිස්සු මහ හයියෙන් කෑගහන සද්දෙ ඇහුණා. මමත් බස් එක පෙරළුණා කියල කෑ ගහගෙනම දිව්වා. මට හිතා ගන්න බැරි වුණා. ඒ සේරම වෙන්න ගියේ විනාඩියක් වගේ පොඩි කාලයක්. ඒත් එක්කම අවට කට්ටියයි වාහනවල ආපු කට්ටියයි එකතු වුණත් පහළ ප්‍රපාතයට බැහැගන්න බැරි වුණා. අපි ගස්වල එල්ලි එල්ලි බොහෝම අමාරුවෙන් පහළට බැහැගත්තේ. අපි යනකොට බස් එක හිරවෙල තියෙනවා.

මටත් හිතා ගන්න බැහැ ඒ වෙලාවෙ මොනවද කරන්නේ කියලා. වත්තේ කට්ටියයි පස්සර ටවුමෙ කට්ටියයි කොහොම ආවද දන්නේ නැහැ. පොලිසියෙ මහත්වරුත් ආවා. අපි පුළුවන් පුළුවන් විදිහට තුවාලකාරයො ටික උඩට ගන්න සහයෝගය දුන්නා.

ප්‍රපාතෙ උඩ තිබුණු මහ විශාල ගල් පහළට පෙරළෙන්න ගත්තා. එහෙම ආපු ගලක් වැදිල එක්කෙනකුට තුවාලත් වුණා. මිනිස්සු මහ හයියෙන් විලාප දෙනව. අපිට හිතා ගන්න බැහ. කවුද ඉස්සෙල්ලාම ගන්නෙ කියලා. පොඩි වෙලාවක් යනකොට පොලිසිය හමුදාව, ‍ෙදාස්තර මහත්තුරු පහළට ආවා. අපි උදවු කළා එයාලට ලෙඩ්ඩු ටික උඩට ගන්න. 

මම නම් හිතන්නේ පාර හරහා වැටිල තිබුණු මහ විශාල ගල් පර්වතය නිසා පාරෙ ඉඩ මදිකමෙන් මේක වෙන්න ඇති. බස් එකත් වේගයෙන්ම ආවා. අලුතින් පාර හදපු නිසා පාර දෙපැත්තත් පස් පුරවලා තිබුණා. ඒවා ලිස්සන්න ඇති. මෙවැනි දෙයක් නැවත දකින්න තියා අහන්නවත් ලැබෙන්න එපා.”

පස්සර 13 කණුවේ ආර්. කුමාර් මහතා එසේ පැවැසුවේ ඉකුත් 20දා පස්සර 13 කණුව ප්‍රදේශයේදී ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ මගී බස්රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එම අනතුරින් තුවාල ලත් එම්. තන්ගරාසා මහතා

මම ලුණුගලින් බදුල්ලට යන්න බස් එකට නැග්ගේ.  මම බස් එකේ මැද හරියෙ හිටියේ. මම කිසි දෙයක් දන්නේ නැහැ. බස් එක එකපාරටම පෙරළුණා. මම වීසි වෙලා ගිහින් සීට් එකක් ඇතුළට ගිහින් හිර වුණා. බස් එකේ හිටිය මිනිස්සු මහ හයියෙන් කෑගහනවා ඇහුණා. පස්සේ බලනකොට බස් එක කැලයක් ඇතුළේ ගල් දෙකක හිර වෙලා තිබුණා.

මට පොඩි තුවාල ටිකක් තියෙන්නේ. ඒ වුණත් මට තවම හිතාගන්න බැරිව ඉන්නේ මොනාද වුණේ කියලා.”බසයේ සිට තුවාල ලැබූ එම්. ඩේවිට් මහතා

මම ගමේ තව එක්කෙනෙක් එක්ක පස්සරට යන්න බස් එකට නැග්ගේ. මට ලොකු අමාරුවක් නැහැ. මට හරි බයක් දැනෙනවා  මේ මොකද වුණේ කියලා. මගෙත් එක්ක ආපු අනෙක් එක්කෙනාට මොනව වුණාද කියල මම දන්නේ නැහැ.

මම බස් එකේ පිටි පස්සෙ ආවේ. බස් එකේ සෙනඟ ටිකක් වැඩි නිසා ඉස්සරහා මොනවත් පෙනුණෙත් නැහැ. බස් එක පාවුණා වගේ දැනුණා. ඒත් එක්කම බස් එක මහ හයියෙන් පෙරළුණා. මට මතක එච්චරයි. පස්සෙ කට්ටිය ඇවිත් ලෙඩ්ඩු අරගත්තා. මටත් ලොකු තුවාල නැති වුණාට ඒ වෙලාවෙ මම හිටියෙ කිසි දෙයක් හිතා ගන්න බැරිව.

මෙම අනතුර හේතුවෙන් තුවාල ලැබූ 33 දෙනකු මේ වන විට බදුල්ල පළාත් මහ රෝහලෙත් පස්සර දිසා රෝහලෙත් ප්‍රතිකාර ලබන අතර බස් රථයේ රියැදුරු සහ කොන්‍ෙදාස්තරවරයාද තුවාල ලබා බදුල්ල පළාත් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

අනතුරත් සමඟ අඩි 250ක පමණ ප්‍රපාතයට පෙරළුණු බසය මුළුමනින්ම පොඩිපට්ටම් වී තිබූ අතර බසයේ පැමිණි පිරිස තුවාල ලබා බස් රථය තුළම සිරව සිටියහ. එමෙන්ම බසය පෙරළුණු අවස්ථාවේ මගීන්ගේ ගමන් මලු සපත්තු සෙරෙප්පු කැඩුණු ශරීර කොටස්ද තැන් තැන්වල විසිරී තිබෙනු දක්නට ලැබිණි.

අනතුරත් සමඟම එම ස්ථානයට  එක්රැස් වූ ප්‍රදේශවාසීන් පොලිසියේ, හමුදාවේ සහායද ලබාගෙන මහත් පරිශ්‍රමයක් දරා අඩි 250ක් ප්‍රපාතයේ සිට තුවාලකරුවන් ඉහළට රැගෙන ආවේ එක් ජීවිතයක් හෝ බේරාගැනීමේ අදිටනෙනි. මේ අසීරු කාර්යයේදී ප්‍රදේශවාසී සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකා මෙන් සහෝදර බැඳීමෙන් ක්‍රියා කරනු දක්නට ලැබිණි. 

තුවාලකරුවන් ප්‍රපාතයේ සිට ඉහළට රැගෙන ඒමට අහල පහළ නිවෙස්වල තිබූ ඇඳ ඇතිරිලි, සාරි, රෙදි ආදිය භාවිත කර තිබිණි. මිනිස් දම්වැලක් පාරේ සිට ප්‍රපාතය දක්වා නිර්මාණය වී තිබිණි. ඒ ඔස්සේ තුවාලකරුවන් කඩිනමින් ප්‍රපාතයෙන් ඉහළට රැගෙන ඒමටය. ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමටත් පියවර  ගෙන තිබිණි. 

අනතුරත් සමඟම බදුල්ල මහරෝහලද තුවාලකරුවන් සඳහා හදිසි ප්‍රතිකාර ඒකකය සූදානම් කර තිබිණි. විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් 100ක පමණ කණ්ඩායමක් විශේෂයෙන්ම මේ සඳහා යොමු වී සිටියහ. ගිලන් රථ 7-8ක්ද අනතුර සිදුවූ ස්ථානයට කඩිනමින් පිටත් කර හැර තිබූ අතර අනතුරත් සමඟ තුවාලකරුවන් යොමු කර තිබූ පස්සර රෝහල සඳහා අතිරේක වෛද්‍ය කණ්ඩායම්ද හෙද කණ්ඩායම්ද යොමු කරමින් තුවාලකරුවන්ගේ ජීවිත බේරාගැනීමේ මෙහෙයුම දියත් කර තිබිණි.

පොඩිපට්ටම් වූ බස් රථයේ සිටි තුවාලකරුවන් මහත් පරිශ්‍රමයක් දරා රෝහල් ගත කළ ප්‍රදේශවාසී ජනතාවට මුළු මහත් ජනතාවගේම ගෞරවාදරය හිමිවිය යුතුය. එසේම තුවාල ලැබූවන් වෙනුවෙන් රුධිරය අවශ්‍ය යැයි ලැබුණු ආරංචියක් අනුව සිය ගණනක් බදුල්ල මහරෝහලට පැමිණ තම රුධිරය තුවාල ලැබූ අසරණ ජනතාව වෙනුවෙන් පිරිනැමුවේ කිසිදු භේදයකින් තොරවය. 

තුවාලකරුවන් රෝහල් ගත කළ පසු බදුල්ල හා පස්සර රෝහල් භූමි පිරීගියේ බස් රථයට නැඟුණු තම සැමියා – බිරිය – සහෝදරයා – සහෝදරිය දරුවන් සොයන ඥාතිවරුන් ගෙනි. බසයට නැඟුණු තම ඥාතියා ජීවතුන් අතරද නැත්ද යන්න දැනගැනීමට පැමිණි ඔවුන්ගේ අඳෝනා විලාප හ¾ඩින් රෝහල් භූමියම පැතිරී ගියේ සැණෙකිනි. තැනක මි-යගිය තම ආදරණීයයන්ගේ සිරුර දෙස බලා වැලපෙන ඥාතීන්ය. හදිසියේ සිදුවූ මේ අනතුරින් තම ඥාතියා මියයෑම අදහාගත නොහැකි වූවන්ගේ අඳෝනා හ¾ඩින් පස්සර රෝහල් භූමිය එකම මළගෙයක් වී තිබුණේ දකින දකින අයගේ නෙතු මතටද කඳුළු පුරවමිනි. 

අනතුරින් මි-යගිය 14 දෙනාගේ ම-ළසිරුරු කොවිඩ් පරීක්ෂණවලින් පසුව බදුල්ල මහ රෝහල වෙත මාරුකර යැවුණේ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහාය. බදුල්ල රෝහලේ තිබූ ම-ළ සිරුරු ඊයේ පෙරවරු 1.30 වන විට සියලු පරීක්ෂණ කටයුතු අවසන් කර ඥාතීන්ට භාරදී තිබිණි. 

බදුල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුචිර නදීර මහතා අනතුර සැලවූ සැණින් කොළඹ පිහිටි තම නිවෙසේ සිට බදුල්ල රෝහල කරා පැමිණ තිබුණේ මෙම ඛේදවාචකයෙන් මි-යගිය අයගේ සි-රුරු ඉක්මනින්ම ඔවුනගේ ඥාතීන්ට භාරදීමේ අරමුණෙනි. සවස 5.00ට පමණ මළ සිරුරුවල පරීක්ෂණ ඇරඹු හෙතෙම රාත්‍රි 1.30 – 2.00 වන විට සියලුම සි-රුරුවල පරීක්ෂණ කටයුතු නිමවා ඥාතීන්ට ලබාදී තිබිණි. 

මි-යගිය පිරිස අතර කාන්තාවන් 9 දෙනකු සිටින අතර ඉන් දෙදෙනකු පෙරපාසල් ගුරුවරියන් බව හෙළි වී ඇත. මි-යගිය පිරිමි පුද්ගලයන් ගණන 5කි. ඔවුන් සියලුදෙනා ලුනුගල, මීදුම්පිටිය, යපම්ම, හොප්ටන් ප්‍රදේශවල පදිංචිකරුවන්ය.  තුවාල ලත් පිරිස අතර කාන්තාවන් 13ක් හා ළමයින් 5 දෙනකුද සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි. 

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පස්සර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී අනතුර සිදු වූ ස්ථානයේ විශාල ගලක් මාර්ගයට පෙරළීම හේතුවෙන් මාර්ගයේ  එක් මංතීරුවක් අවහිර වී තිබී ඇති බැවින් එම ස්ථානයේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයකට ඊට ඉඩ ලබාදීමට ගිය බස්රථයේ ඉදිරිපස රෝදය මාර්ගයෙන් ඉවතට ලිස්සා යෑමත් සමඟ රියැදුරුට බස්රථය පාලනය කරගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවී ඇති බව අනාවරණය කරගෙන ඇත. 

“මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මේ පාරට ලොකු ගලක් කඩාගෙන වැටිලා දැන් මාස 6කටත් වැඩි. ගල නිසා පාරෙන් තුන්කාලක්ම වැහිලා. මේ ගැන අපි කිහිපවරක්ම බලධාරීන් දැනුවත් කළා. කවුරුත් ඒ ගැන කිසිම උනන්දුවක් දැක්වූවේ නෑ. මෙහෙම දෙයක් වෙන්න සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනි මාර්ග සංවර්ධාන අධිකාරිය. අපි ඒ කියපු වෙලාවේ ගල අයින් කරලා තිබ්බා නම් මේ අහිංසක ජීවිත අදටත් ජීවත් වෙනවා. අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ දැන්වත් මේකට විසඳුමක් දෙන්න කියලයි.” 

එම ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් හිස්මි මහතා අදහස් දක්වමින්  එසේ කීය.

පාරට ඇද වැටී ඇති ගල පිළිබඳව අදහස් දැක්වූ මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙක් මෙසේ කීය.

“නොවැම්බර් මාසයේදී එතැනට පැවැති වර්ෂාව නිසා ගලක් ඇද වැටී තිබුණා.  ඒ අනුව ගල ඉවත්  කිරීම සඳහා කොන්ත්‍රාත් සමාගමකට කිහිපවරක්ම දැනුවත් කළා ඒක අයින් කරන්න කියලා. ඊට අමතරව එතැන මාර්ගයේ ආරක්ෂාව එක් මංතීරුවකට පමණයි සීමා වෙලා තියෙන්නේ. ඒක නිසා මාර්ගයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ මාර්ගය භාවිත කරන්නන්ගේ ආරක්ෂාව, සම්බන්ධයෙන් නිරන්තරයෙන් ඒ සම්බන්ධව කටයුතු කරන්න කියලා දැනුවත් කරලා තියෙනවා. යම් කිසි ප්‍රමාණයකට ආරක්ෂිත වැඩපිළිවෙළක් එතැන අරගෙන තිබුණත් යම් කිසි අඩුපාඩුවක් එතැන තියෙනවා ආරක්ෂාව සම්බන්ධයෙන්.” 

ඒ පිළිබඳව අදහස් දැක් වූ උෟව පළාත් හිටපු මහ ඇමැති ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා මෙසේ කීය.

“මේ ගල සම්බන්ධව මං ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී රැස්වීම් දෙකකදී මේ කොන්ත්‍රාත් සමාගමට කිව්වා මේක ඉක්මනින් ඉවර කරන්න කියලා. ඒත් ඉවර කරන්න බැරි වුණා. මං හිතනවා මේ සිද්ධියට එක හේතුවක් තමයි මේ ගල නිසා පාර අවහිර වෙලා තිබුණු එක.” 

මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත් අය සඳහා උෟව පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙන් වන්දි මුදලක් ලබාදෙන බවට ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පෙරොන්දු විය. 

අනතුර සිදුවී දාහතරදෙනකුට ජීවිත අහිමි වීමෙන් අනතුරුව කවුරු කෙසේ තීන්දු තීරණ ගත්තද මියගිය අයගේ පවුල්වලට වන්දියක් ලබාදීමෙන් මියගිය මව  – පියා – සහෝදරයා – සහෝදරියගේ අඩුව පිරවිය හැකිද?

Next Post

තාමත් 25-30 කොල්ලෝ ආදරය සොයා එන එදා සිනමාවේ ගිණි සිළුව සුමනා ගේ ලස්සන ජායාරූප 25ක්

Mon Mar 22 , 2021
සුමනා ගෝමස් යනු ශ්‍රී ලංකාවේ එක් යුගයක ආන්දෝලනාත්මක නිළියකි. ‘වැඩිහිටියන්ට පමණයි’ චිත්‍රපට සම්ප්‍රදායේ චිත්‍රපට කිහිපයකින් ඇය එවකට ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කළාය. ඇයගේ නම කියූ පමණින් පිරිමින්ගේ ලිංගික හැඟුම්කාරකයන් අසමතුලිත වූ යුගයක් ද තිබුණි. එපමණක් නොව ඇයගේ පින්තූරත් එවකට තරුණයන්ගේ ද මැදිවිය ඉක්ම වූ පිරිමින්ගේ ද පොතක් ඇතුළත, එහෙමත් නැත්නම් කොට්ටයක්, […]