භාග්‍යා කියූ දේවල් ඇත්ත – පරිසර ඇමති අද හෙළිකල කරුණු මෙන්න

සිංහරාජ වනාන්තරයට අයත් අක්කර 7ක ඉඩමක හෝටලයක් සෑදීමේ උත්සහයක් ඇතැයි සඳහන් කරමින් පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධව පරිසර අමත්‍යාංශය පූර්ණ අවධානය යොමු කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ, අද (18) පැවති භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට වසර 118ක් පිරීම නිමිත්තෙන් පවත්වන ලද සංවත්සරික උත්සවයේදී ය.

ඒ සම්බන්ධව සොයා බැලීමේදී මෙම ඉඩමේ අයිතිය පිළිබඳ නිරවද්‍යතාව සොයා බැලීමට පූර්ණ විමර්ශනයක් සිදු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

තව ද අදාළ ඉඩමේ වටිනාකමකින් යුත් ශාක තිබුණේ නම් ඒවා කපා දැමීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ගෙන නොමැති බව ද මේ වන විට තහවුරු වී ඇත.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ද ඒ සඳහා අනුමැතියක් ලබා නොදුන් බව ඔවුන් ද තහවුරු කර තිබේ.

තව ද මෙවැනි සිදුවීමක් වන තුරු තම රාජකාරිය ඉටු නොකිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා හා ග්‍රාම නිලධාරීවරයා ද වගකිව යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අදාළ ඉඩම අයිති පුද්ගලයන් පවසා ඇත්තේ, ඔවුන් එම ඉඩමෙහි නිවාස ඉදි කරන බව ය.යම් පුද්ගලයෙකුට අයත් ඉඩමක නිවාස ඉදි කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය අවශ්‍ය නොවුණ ද සංචාරක හෝටලයක් ඉදි කිරීම සඳහා අදාළ ඉඩම ඉඩම හෙළිපෙහෙළි කරන බව වාර්තා ඇත.

නිවාස ඉදි කිරීමට යැයි සඳහන් කරමින් නීතිය නොසලකා හැර අවසානයේ හෝටලයක් ඉදි කිරීම යනු නිලධාරීන් හා වගකිව යුතු ආයතන නොමග යැවීමක් බවත් එය බරපතළ වැරදක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

කෙසේ නමුත් එම ඉඩම සම්බන්ධව රජයේ වර්තමාන ස්ථාවරය වන්නේ එය කඩිනමින් සිංහරාජ වනාන්තරයට පවරා ගැනීම බවත් එම ඉඩම මෙන්ම තවත් අක්කර 1500ක් පමණ බිම් ප්‍රමාණයක් පවරා ගැනීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

දැනට එම ඉඩම් තුළ පවුල් 135ක් පදිංචිව සිටින බැවින් ඔවුන් කෙරෙහි ද අවධානය යොමු කිරීමට රජයට සිදු වන බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ලබන සතිය වනවිට මෙම සිද්ධිය සම්බන්ධව අවසන් තීරණයකට එළඹීමට රජය කටයුතු කරන බව ය.

තව ද ඉඩම සම්බන්ධව දැනට අයිතිය පළ කරන පුද්ගලයින් කිසියම් නිත්‍යානුකූල නොවන ක්‍රියාවන් සිදු කර ඇත්නම් ඔවුන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව එම ඉඩමට අයත් වටිනා ශාක කපා ඉවත් කිරීම සම්බන්ධව පරීක්ෂණයක් සිදු කරන බව ද එසේ සිදු කර ඇත්නම් ඊට එරෙහිව තමන් නඩු පැවරීමේ වගකීම බාර ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

Next Post

වෙළෙඳ පොලේ ටයර් හිඟයක් - ගිලන් රථයේ ටයර් නෑ ගාල්ලෙ රෝගියෙක් අවසන් ගමනේ

Fri Mar 19 , 2021
රජයේ රෝහල් කිහිපයක් සතු ගිලන් රථ වල ටයර් නොමැතිවීම නිසා මේ වන විට එම ගිලන් රථ ධාවනයෙන් ඉවත් කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එසේම ඇතැම් ගිලන් රථ වල ටයර් ගෙවී තිබීමෙන් එහි රෝගීන් ප්‍රවාහනය කිරීම අනතුරුදායක බවද එම සංවිධානය සඳහන් කරයි. මේ තත්ත්වය හේතුවෙන් […]

Breaking News