ගොඩක් අය අද කාලේ දැකලත් නැති පුස්කොල පොත – කොහොමද හදා ගන්නේ ජායාරූප 17කින් කියන කතාව

පුස්කොළ පොත් කිව්ව ම ලංකාවේ ගොඩක් අයට මතක් වෙන්නේ නිදන් වදුල්. නිධානවලට පාර කියන නිදන් වදුල් විතරක් නෙවෙයි, බේත් හේත් වගේ ම, වළගම්බා රජ සමයේදී ත්‍රිපිටකය මුලින් ම ග්‍රන්ථාරූඪ වුණෙත් පුස්කොළ පොත්වලට.

ලිවීම කියන්නේ තමන් දන්නා දෙයක් සංරක්ෂණය කරන්න, වෙනත් කෙනෙක්ට බෙදාහරින්න පුළුවන් එක්තරා මාධ්‍යයක්. පෑන්, පැන්සල්, පොත් ලේඛන කාර්යයන්ට භාවිතා වෙන්න ගොඩක් කාලෙකට කලින්, ඉන්දියාව, ලංකාව වගේ දකුණු ආසියානු රටවල්වල පාවිච්චි වුණේ තල ගසේ කොළයි.

තල කොළයේ අකුරු ලිව්වා ම එක පුස්කොළය වෙන්නේ කොහොමද කියන එක ගැන මත බොහොමයක් තියෙනවා. ඉන් එකක් තමයි “ලිවීමට හෝ උල් කටුවෙන් සිරීමට පිළියෙල කරගන්නා හිස්‌ කොළය” පුස්කොළය නමින් හඳුන්වනවාය කියන එක. මේක දහ නවවෙනි සියවසේදී, බෙන්ජමින් ක්‌ලප් දේවගැතිතුමා ඉදිරිපත් කරපු මතයක්.

ලංකාවේ පුස්කොළ ගැන ලැබෙන ආදිත ම සාක්ෂිය ඇහෙන්නේ මහින්දාගමනයත් සිද්ධ වුණාට පස්සෙයි. බුදුන් පිටදුන් ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩම කරද්දී ආව අටළොස් කුල පිරිස ඇතුළේ, පොත් ලිවීම කරපු අය ඉඳපු බවක් කියැවෙනවා.

ඉතිහාසය සාක්කි දරන විදියට, පුස්කොළ ලේඛන කලාව ලංකාවේ පටන්ගන්න ඇත්තේ ඊටපස්සෙයි.

කොහොමද තල කොළය පුස් කොළයක් කරන්නේ? තල පතක් ගහෙන් කඩාගත්ත පලියට ඒක පුස්කොළයක් වෙන්නේ නැහැ. බොහොම සීරුවෙන් කරන ක්‍රියාවලියක ප්‍රතිඵල විදියට තමයි තල කොළයක්, ලිවීමට පාවිච්චි කරන පුස්කොළයක් බවට පත්වෙන්නේ. මෙන්න මේ විදියට ඒක හඳුන්වන්න පුළුවන්.

තල ගොබය කැ පීම සහ කූරු අයින් කිරීම ගොඩක් වෙලාවට පුස්කොළ හදන්න බලාපොරොත්තු වෙන තල් ගහ පොඩි කාලෙදී ම ඒ වෙනුවෙන් වෙන් කරගන්නවා. ඒක වෙනත් දේවල්වලට පාවිච්චි වෙන්නේ නැහැ. ඒක හඳුන්වන්නේ තල ගහ ලකුණු කිරීම විදියට. තල ගොබය පීදීගෙන එද්දී, ඒක ඉහිරිලා යන එක නවත්තන්න වළලුවලින් හිර කරනවා.

මේ වළලු හදන්නේ උණ පතුරුවලින්. ගොබයේ මනා වැඩීමට වගේ ම, ආරක්ෂාවටත් මේක ගොඩක් වැදගත්. ඒ විදියට හොඳින් හැදුණු ගොබය කපාගත්තට පස්සේ ඒකෙ තියෙන තල කූරු අයින්කිරීමක් සිද්ධවෙනවා. මේක කරන්න ඕනේ පිහියක් ආධාරයෙන්. ඒ වෙලාවේදී තල කොළයට හානි නොකරන්නත් වග බලාගන්න ඕනේ.

කූරු අයින් කළාට පස්සේ, මේ තල කොළ රෝලක් විදියට හකුලනවා. තල කොළ කීපයක් එක මත එක තියලා කරන මේ වැඩේ හඳුන්වන්නේ වට්ටු සැකසීම නමින්. හදාගත්ත වට්ටු, බෙහෙත් මිශ්‍ර කරපු වතුරෙන් තැම්බීමක් සිද්ධ වෙනවා. වතුරත් එක්ක වට්ටු උඩට එන එක නවත්තන්න භාජනයේ උඩ ලී පතුරු බැඳීම සිරිතක්. සාමාන්‍යයෙන් මේ තැම්බීමට පැය 2-3ක ඉඳන් දවසක් දක්වා ගත වෙනවා.

හොඳට අව්ව ඇති දවසක් බලලා, තම්බාගත්ත පුස්කොළ වෙන වෙනම මද පවනේ වේලන්න ඕනේ. ඉන්පස්සේ පිළිවෙලින් මද අව්වේත්, මද පින්නේත් වේලීමක් සිදු කෙරෙනවා. වේලලා පදම් වෙච්ච තල කොළ, ආයෙත් වට්ටු විදියට ඔතනවා.

වේලපු තල කොළ මදින්න ඕනේ. මේක කරන්නේ කෙළින් අතට බැඳපු ඉනි දෙකක් මැද්දේ හරස් අතට පුවක් කඳක් සවි කරලයි. මේ පුවක් කඳ උඩින් තල කොළය තියලා, එක පැත්තකට ගඩොල් කැටයක් තරමේ බරක් තියන්න ඕනේ. ඉන්පස්සේ හරස් ලීයේ උඩට පහළට තල කොළය පරිස්සමෙන් ඇදීමෙන් කොළය මැදගන්න පුළුවන්.

මේ විදියට මැදපු තල කොළ, ආයෙත් වට්ටු විදියට ඔතනවා. මේවා දැන් හඳුන්වන්නේ මැදපු වට්ටු නමින්. තල කොළය පුස් කොළයක් වෙන්නෙත් මේ වෙලාවෙමයි.

මේකට සුළි කැපීම කියලත් කියනවා. යකඩ කූරක් ආධාරයෙන් තමයි මේක කරන්නේ. මුලින් පුස් කොළය තුනටත්, ඊටපස්සේ හතරටත් නවලා, නැමුම් පාරවල් ඔස්සේ සමාන දුරවල්වලින් සිදුරු විදගන්නවා.

පුස් කොළ පොතේ ස්වභාවය අනූව, අච්චුවක් මාර්ගයෙන් කොළය ගානට කපාගැනීම සිදුවෙනවා.

මේක කරන්නේ පුස්කොළ පොතට අපූරු නිමාවක් ලබාදෙන්න. පත්තුළ නම් උපකරණයක්‌ මේ වැඩේට පාවිච්චි වෙනවා. ඒක ගිනියම් කරලා, අච්චුව ඇතුළේ පුස් කොළය තියෙද්දී ම දාරවලට ඇල්ලීමෙන් අනවශ්‍ය කෑලි පුළුස්සන්න පුළුවන්.

පොත් කම්බාරි කියන්නේ පුස්කොළ පොත ආරක්ෂා කරමින් ඒ වටේ තියෙන කවරයට. දැව වර්ග වගේ ම, සත්තුන්ගේ හම්, ඇත් දත්, රන්, රිදී, පිත්තල දේවලුත් මේක හදන්න පාවිච්චි වෙනවා. අපේ සම්ප්‍රදායික මෝස්තර, කැටයම්වලින් මේක ලස්සන කෙරෙනවා.

ඒ විතරක් නෙවෙයි, මැණික් ඔබ්බවපු වටිනා පුස්කොළ කම්බාරිත් දැකගන්න ලැබෙනවා. කම්බාරි දෙක එකට බැඳලා තියන්නේ සකියාගෙන්. පොත් හුයේ කොළ විසිරිලා යන එක නවත්තලා තද කරලා බැඳ තබාගන්න මේකට පුළුවන්.

අකුරු කැපීම කියලත් හැඳින්වෙන්නේ මේ වැඩේමයි. පුස්කොළ පත් ඉරු මත උල් කටුවකින් සීරීමක් වගේ දෙයක් තමයි මේකෙදී වෙන්නේ. මේ උල් කටුව පන්හිඳ කියලා හැඳින්වෙනවා.

ලියන අකුරුවල හැඩය, අකුරු පේළි දෙකක් අතර දුර, අකුරුවල සයිස් එක සේරම එක සමාන වෙන්න ඕනේ. පත් ඉරුවේ එක පැත්තකට, එක රූලක ලියන්න පුළුවන් වචන ගාන අනූව,

අකුරුවල විශාලත්වය තීරණය කරගත යුතුයි. සමමිතික අකුරු ලියන එකටත් මෙතැනදී සෑහෙන තැනක් ලබා දෙනවා. ලියන අකුරුවල හැඩයන් හතරක් ගැන අපේ ඉතිහාස පොත්පත් සඳහන් කරනවා. ඒ සිංහ ශෛලිය, හස්‌ථි ශෛලිය, හංස ශෛලිය, හා කාක ශෛලිය විදියට.

ක්‍රිස්තු පූර්ව 1දී විතර හැදුණු පුස්කොළ පොත්වල නටඹුන් පහුගිය අවුරුද්දේදී හොයාගන්න ලැබුණේ අනුරාධපුරයෙන්. දැනට හමුවෙලා තියෙන පැරණි ම පුස්කොළ පොත වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 13දී හැදුණු චුල්ලවග්ග පාළියයි. කොළඹ කෞතුකාගාරයේ මේක සුරක්ෂිත කර තබා තියෙනවා.

තල කොළයක් පුස්කොළයක් බවට පත් කරලා, අකුරු කැපීම වෙනතුරු එන ක්‍රියාවලිය සෑහෙන්න දිගු එකක්. ඒ වගේ ම සෑහෙන්න මහන්සි වෙලා කරන කටයුත්තක්. පුරාණ ලාංකිකයන්ගේ දැනුම සංරක්ෂණය කරන්න හදපු පුස්කොළ පොත්, මේ වෙද්දී ශීඝ්‍රයෙන් විනාශ වෙන බවක් දැකගන්න ලැබෙනවා.

මේවායේ වටිනාකම ගැන නොදන්නා නිසා ඒවා රකින්න ක්‍රමෝපායන් නොයෙදී ම තමයි ඒකට ප්‍රධාන ම හේතුව. පුස්කොළ පොත් ගැන පුළුල් අධ්‍යනයක් කිරීම, ඒවා පරිස්සම් කරන්න පියවර ගැනීම කාලීන අවශ්‍යතාවයක් වගේ ම, අපි හැමෝගෙම වගකීමක්.

Next Post

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවුරුදු තෑගි කලින්ම - වැඩිවන පඩියත් එක්ක ලැබෙන අලුත් දීමනා මෙන්න

Sat Mar 13 , 2021
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව ඉහළ නැංවීමට සහ එක් මන්ත්‍රීවරයෙකු සඳහා රුපියල් දස ලක්ෂයක රක්ෂණ ආවරණයක් ලබාදීමට යයි. මේ සම්බන්ධ යෝජනාව කතානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇත. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව එම යෝජනාව ඒකමතිකව අනුමත කර ඇති බවද වාර්තා වේ. කලින් පැවැති ආණ්ඩු […]

Breaking News