සීනි බද්ද නිසා සිදුවූ පාඩුව රු. බිලියන 15 ඉක්මවයි – මුදල් අමාත්‍යංශය නිල වශයෙන් වාර්තා කරයි

2020 ඔක්තෝබර් 14 වන දා සිට  2021 පෙබරවාරි 20 වන දා දක්වා සීනි ආනයනය, සැපයීම සහ  අලෙවිය විශ්ලේෂණය කිරීමේදී  අනාවරණය වූ විශේෂ  කරුණ වන්නේ , එම කාලය තුළ ආනයනිත සීනි කිලෝග්‍රෑම් 320,627,650ක් සඳහා සම්පූර්ණ බද්ද  එක් කිලෝවකට රුපියල් පණහක් ව තිබියදී  රු. 16,031,382,499ක් වූ නමුත්, එය රු. 49.75 කින් අඩු කර සත 25 කිරීම නිසා  මේ වන විට රු. 15,951,598,724 ක් රජයට අලාභව ඇති බව මුදල් අමාත්‍යංශය අද රජයේ මුදල් පිළිබඳව කාරක සභාවට ඉදිරිපත් කළ වාර්තාවකට අනුව පැහැදිලි විය.

මෙහිදී සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පෙන්වා දුන්නේ, යම් පාලන මිලක් නියම කිරීමේදී ඒ සඳහා වූ සාධක සම්බන්ධයෙන් නිසි සාධාරණීකරණයක් හා විශ්ලේෂණයක්  සිදුකළ යුතු බවය. 

එසේ නොකර පාරිභෝගික අධිකාරිය එක්වර කෘත්‍රිම ලෙස මිලක් නියම කිරීමට යාමේදී, මහා පරිමාණ  වෙළෙන්දන් තමුන්ගේ උපරිම ලාභය ලබා ගන්නා බවත්, රාජ්‍ය ආයතන හුදෙකලාව  සිදුකරන ඇතැම් විකාරරූපී  කටයුතු නිසා ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් පමණක් අසීමිත ලාභ ලැබිමක් මෙහිදී සිදු ඇතැයි පෙනී යන බවත්ය. 

සාමාන්‍ය පාරිභෝගිකයාට ලැබිය යුතුව තිබුණු මේ ලාභය අවසානයේ ලංකාවේ සීනි ආනයනයකරුවන් කිහිප දෙනෙකු අතර බෙදී ගොස් ඇති බව පෙනී යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්දිරන් මහතා පැවසීය.

සීනි ආනයනය සහ  සීනිවලට පාලන සිල්ලර මිලක් පැනවීම නිසා පාරිභෝගිකයාට සහනයක් ලැබුණේ ද යන්න සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටි වාර්තාව අද  (09) මුදල් පිළිබඳ කාරක සභාවේදී  දීර්ඝව සාකච්ඡාවට ගැනිණි.

මෙම වාර්තාට අනුව 2020 ඔක්තෝබර් 13 වන දින  මහා භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිමය තීරණයක් මත එදින රාත්‍රියේ පටන් සීනි කිලෝග්‍රෑමයකට අදාළ බද්ද  ශත 25 ක් දක්වා පහත හෙළනු ලැබ ති‌බේ.

ආචාර්ය  හර්ෂ ද සිල්වා පෙන්වා දුන්නේ, මුදල් අමාත්‍යංශය මෙම වාර්තාවේ නිගමනයෙන් පෙන්වා දෙන පරිදි කතිපයාධිකාරි වෙළෙඳපොළ ආකෘතිය සහ උපරිම මිල සම්බන්ධව පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කළ දුර්වල ආකාරය නිසා මෙම බදු අඩු කිරීමේ  සහනය බලාපොරොත්තු වූ ලෙස පාරිභෝගිකයා වෙත නොලැබුණු බවය.

උපුටාගැනීම – මව්බිම පුවත්පතින්

Next Post

හිරුනිකා මවක් ලෙස අධිකරණ ඇමතිගෙන් කල ඉල්ලීම මෙන්න

Wed Mar 10 , 2021
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත් අඩ0ගුවට ගැනීමට නිකුත් කල වරෙ.න්තුව අවලංගු කිරීමට මහාධිකරණ විනිසුරු නියෝග කර තිබෙනවා. ඇය නඩුව කැඳවන අවස්ථාවේ අධිකරණ භූමියේ නොසිටීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය නීතිඥවරිය මාර්ගයෙන් කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම තීරණය ලබාදීමට විනිසුරු කටයුතු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් හේතු දක්වමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය […]