අපේ රටේ අධිවේගී ලාංකිකයන් බිහිකරන ඉතාලි ජාතික ධාවන පුහුණුකරු ක්ලවුඩියෝ

සුගත් සහ සුසීලාගේ යුගයෙන් පසු ජාත්‍යන්තර ප්‍රධාන මලල ක්‍රීඩා ධාරාවේ ශ්‍රී ලංකා නාමය නියෝජනයකට පමණක් සීමාවූ කලෙක, අපේ රටේ දස්කම් වෙනුවෙන් දහදිය හෙළන ඉතාලි ජාතිකයකු ගැන පවසන්නේ ආඩම්බරයෙනි. නමින් ක්ලවුඩියෝ ලිචර්දෙල්ලෝ වූ ඔහු මෑතදී බිහිවුණු මීටර් 100, මීටර් 60 ශ්‍රී ලංකා වාර්තා ගෙනදුන් යුපුන් අබේකෝන්ගේ සහ ගෘහස්ථ මීටර් 200 වාර්තාව ගෙනදුන් විනුර ලක්මාල්ගේ පුහුණුකරුය. මේ ඉතිහාසයේ පළමු වරට ඉතාලියේ සිට ක්ලවුඩියෝ ශ්‍රී ලංකාවේ මාධ්‍යයක් වෙනුවෙන් සිය අත්දැකීම් බෙදාගත් අවස්ථාවයි.

පුහුණුකරුවෙකු ලෙස වැඩ කිරීමට පටන් අරන් ඔබ කොපමණ කාලයක් වෙනවද?

මම පුහුණුකරුවෙකු වන්නට මත්තෙන් වසර 15 කට පසු වෘත්තීමය ඉතාලි මලල ක්‍රීඩකයකු වූ මා මගේ වෘත්තියෙන් සමුගත්තා. මගේ වෘත්තීය ජීවිතයේ අවසන් වසර කිහිපය බාධකවලින් පිරී තිබුණා. ඇත්ත වශයෙන්ම මගේ පාදයේ ඇතිවුණු ආබාධයක් නිසා ඉහළම මට්ටමේ පුහුණුවීම් ක්‍රියාකාරකම් පවා මට කරගෙන යන්න අපහසුවක් තිබුණා. ඉතින් ඒ කාලය තුළ මම ශරීර සංයෝජන සහ ශාරීරික අධ්‍යාපනය ගැන ඉගෙන ගැනීමට හා අධ්‍යයනය කිරීමට බොහෝ කාලයක් ගත කළා. මගේ අභියෝගය වූණේ මගේ ආබාධ පැමිණියේ කොතැනින්ද යන්න තේරුම් ගන්න එක. ක්‍රීඩා විද්‍යාව පිළිබඳ උපාධිය ලැබීමෙන් පස්සේ මම මගේ කණ්ඩායමේ යොවුන් පිරිමි ළමයා වන ෆියාම් ගියාල් රෝමාගේ ප්‍රධාන පුහුණුකරු බවට පත්වුණා. මීට වසර හයකට පෙර වුණු මගේ නව වෘත්තියේ ආරම්භක අවස්ථාව එයයි.

කොහොමද ඔබට අපේ ක්‍රීඩකයන් මුණගැසුණේ?

යුපුන් අබේකෝන් රෝමයේ ජීවත් වන බවත්, හොඳ දක්ෂ ක්‍රීඩකයෙක් බවත්, මම කලින්ම දැන සිටියා. එම කාලය තුළ ඔහු වෙනත් පුහුණු කණ්ඩායමක් සමග පුහුණුවීම් කරමින් සිටියේ. ඔහුගේ ප්‍රතිඵල ඒ වෙද්දීත් ඉතා සිත්ගන්නා සුළුයි (ඉතාලියේ ෆිරෙන්සිහිදී පැවැති තරගයක තත්පර 10.45 කාලයක් වාර්තා කරයි). මාස කිහිපයකට පසු මට ඉතාලි මලල ක්‍රීඩා කණ්ඩායමක් වන ‘ෆියුචුරා රෝමා’ හි සභාපතිගෙන් ඇමතුමක් ලැබුණා. ඒ ඇමතුමෙන් කියැවුණේ 2020 තරගවාරයේදී එම තරගවාරය සඳහා ගන්න පුළුවන්ද? කියන පැනය. යුපුන් කියන්නේ මගේ ජීවිතේදී මම දැකපු දක්ෂතම ක්‍රීඩකයන්ගෙන් කෙනකු බව පුහුණුව අරඹලා සතියෙන්ම මට තේරුණා. ඉන්පසු ඔහු මුහුණ දෙන යම් ශාරීරික ආබාධයකදී පවා එකට වැඩ කිරීමට අපි තීරණය කළා. දැන් යුපුන් ඉහළ මට්ටමකට පැමිණෙමින් ඉන්නේ. ඔහුගේ සගයා විනුර ලක්මාල් සමග එය තරමක් පහසු වුණා. මට විශ්වාසයි, විනුරත් මම දන්නා දැකුම්කලු ධාවකයෙක් බව. ඔවුන් දෙපළට තිබෙන විස්මිත ධාවන ක්‍රම, කැපවීම ආදිය අපූරුයි. මේ විශ්වාස කිරීම සහ ඉලක්කගත ව්‍යාපෘති සමග වැඩ කිරීමට යම් ඉවසීමක් තියෙන්න ඕනේ. විනුරව දකිද්දී මම තරුණ ක්‍රීඩකයෙක්ව සිටි කාලය මට මතක් වෙනවා. ඔහු තමාවම ගොඩනගා ගත යුතු අතර සූදානම් වෙන්නත් අවශ්‍යයි.

මේ ආකාරයෙන් ඉතාලියේදී ශ්‍රී ලංකා වාර්තා බිහිවීමේ රහස කුමක්ද?

මම හිතන්නේ මේ ක්‍රීඩකයන්ගේ සාර්ථකත්වයේ රහස නම්, ඔවුන් ‘රෝමා හි ෆියාම් ජියෙල්’ යන මධ්‍යස්ථානයේ කණ්ඩායමත් එක්ක සිදුකරන ලද පුහුණුවීම්. එතැන ඉන්න වෙනත් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සමග දිගටම වැඩ කරන එක අත්දැකීමක්. ශූරයකු වීමට කැමති අයට අවශ්‍ය සියලු පහසුකම් සොයා ගත හැකි ඉතා සම්පූර්ණ ජාත්‍යන්තර ක්‍රීඩා ගොඩනැගිල්ලක් අපට තිබෙනවා.

ඔබ ඔබේ ගෝලයන්ව රැකබලා ගන්නේ කෙසේද?

වැඩේ ආරම්භයේදී ඉඳන්ම මම ඉන්නේ මේ අය සමගයි. යුපුන්ගෙන් නම් අපි උත්සාහ කරන්නේ වසරේ ඉහළම අභියෝගය වන ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීම. නමුත් එය සරල නෑ, ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ නීතිරීතිවලට අනුව අපි ඉහළ මට්ටමේ දක්ෂ කාලයන් 5ක් පෙන්වන්න පුළුවන්. සුදුසුකම් ලැබීමේ කාලය ඉවරයි. නමුත් ඔලිම්පික් කල් දැමීමත් එක්ක ලැබුණු කාලය තුළ එනම් වර්තමාන ගෘහස්ථ තරග සමයේදී සහ මුල් ගිම්හාන සමයේදී අපට යම් අවස්ථාවක් තිබෙනවා.

ඔබගේ යටතේ ඉන්න හොඳම ශිෂ්‍යයා කවුද?

ඇත්ත වශයෙන්ම දක්ෂ තරුණ තරුණියන් සමග වැඩ කිරීමට ලැබීම මම ඉතා වාසනාවන්තයි. ඒ වගේම ඒ සෑම අය එක්කම යුපුන් ඉන්න එකටත් මම ඉතා වාසනාවන්තයි. යුපුන් තමයි මගේ ලැයිස්තුවේ වඩාත්ම දක්ෂ මලල ක්‍රීඩකයා. නමුත් ඔහුගේ පසුපසින් වේගවත් කෙටිදුර ධාවකයන් රැසක්ම ඉන්නවා. බොහෝ දෙනෙක් ඉතාලි ක්‍රීඩක ක්‍රීඩිකාවන්. ඇන්ජලෝ උලිස් කියන්නේ ඉන් එක් අයෙක්. ඔහු ඉතාලියේ යොවුන් කෙටිදුර ධාවන ශූරයා.

ඉතාලි ජාතිකයන්ගෙන් ලංකාවේ ක්‍රීඩකයන්ට ලැබෙන ප්‍රතිචාර?

පසුගිය මාස කිහිපය තුළ බොහෝ දෙනෙක් යුපුන්ගේ ප්‍රතිඵල ගැන කතා කරනවා. ශ්‍රී ලංකාව කියන්නේ නිවාඩුවට යාමට සුන්දර ස්ථානයක් ලෙස දැකීමටත් වඩා දැන් මිනිසුන් සිතන්නේ එය ශූරයන්ගෙන් පිරුණු දිවයිනක් කියලා. මම ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකාව නරඹන්න කැමතියි. ඒ වගේම මගේ ඉතාලි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ තැන් ගැන පුදුමාකාර පින්තූර කිහිපයක් ගෙනත් ඒ අය පුදුම කරන්න මට ආසාවක් තියනවා.

ඔබ ක්‍රීඩාව සමගින් ගෙවන ඉදිරි අනාගතය සඳහා සැලසුම් කරන්නේ කෙසේද?

අනාගතය කියලා විශේෂිත නව දේවල් කිරීමට මම සැලසුම් කරන්නේ නෑ. මගේ පුහුණු කණ්ඩායම සෑම වසරකටම වරක් පියවරෙන් පියවර ඉස්සරහට ගන්න තමයි මම මහන්සි වෙන්නේ. ක්‍රීඩාව සහ ආකල්ප අතිනුත් මම ඒ දේ කරන්න මැළි වෙන්නේ නෑ.

අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ඔබ දකින විශේෂ ගුණාංග මොනවාද?

ශ්‍රී ලංකාවෙන් පැමිණි මා දන්නා සියලු දෙනා නිහතමානී අය. ඒ වගේම උනන්දුයි සහ සුහදශීලියි. ඒ වගේම ඒ අය දක්ෂයෝ. සෑම වෘත්තියකම නියැළෙන ඕනෑම කෙනකුට තිබිය යුතු හොඳම කුසලතාවය එයයි.

ඔබ පුහුණුකරුවෙක් වශයෙන් ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් සඳහා දෙන්නට උපදෙසක් තිබේද?

මට කිසිම පුහුණුකරුවෙකුට දෙන්නට එහෙම විශේෂ උපදෙසක් නැහැ. මොකද මම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා විශ්වාස කරන කෙනෙක්. මධ්‍යම පන්තියේ පුහුණුකරුවෙකු සහ ඉහළ පුහුණුකරුවෙකු අතර ඇති එකම වෙනස වෙන්නේ ඔවුන්ගේ කණ්ඩායමේ ඉතා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමගින්ම ඉන්න එක. ඇත්තටම එය වාසනාවක්. ඇත්තටම වෙනස වන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හිත. පරිමාව හෝ තීව්‍රතාව පුහුණුකරු තෝරා නොගත යුතුය. ක්‍රීඩකයාට දක්ෂතා තිබේ නම් පුහුණුකරුට තිබෙන එකම තේරීම වෙන්නේ අඛණ්ඩ පුහුණුවීම්වලට සහයෝගයයි. ඒ වගේම තාක්ෂණික ව්‍යායාම ගොඩක් අත්‍යවශ්‍යයි. ධාවනයේ යෙදෙන්නෙකුගේ වැදගත්ම දේ තාක්ෂණික කොටස. තාක්ෂණ කොටස තමයි ක්‍රීඩකයන්ගේ දක්ෂතා අඩුවැඩි කරන ප්‍රධානතම අවිය. එය තමා ක්‍රීඩකයකුගේ සාධකය එය වෙනුවෙන් පුහුණුකරුවන් උදව් කළ යුතුයි.

චතුර රණසිංහ

Next Post

පුංචි පුතා පාසැල් ගිය මුල්ම දවස...

Mon Feb 15 , 2021
ජීවිතයේ මුල්වරට පාසැලට යමින් සිටි පාසැල් ශිෂ්‍යයෙක් බදුල්ල ඉන්ධන පිරවුම්හල ඉදිරියේදි  අද (15) උදේ 7.20 ට කන්ටේනර් ලොරියක ගැටී  සිදුවූ අනතුරකින් ජීවිත ක්ෂයට පත්වූ බව බදුල්ල  පොලිසිය පොලිසිය පවසයි.මර.ණයට පත්ව ඇත්තේ බදුල්ල අසේලපුර පදිංචිව සිටි සිවනේෂන් වරුන් ප්‍රදීෂ් (6)නැමති   බදුල්ල සරස්වතී කනිෂ්ඨ විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ශිෂ්‍යයෙකි. ශිෂ්‍යයාගේ මිත්තනිය  මෙම දරුවාත් ඔහුගේ […]