පාපැදියෙන් ඔෆිස් ආපු නිසා ලක්ෂ 60ක් ඉතිරිවෙලා බසයෙන් ගියොත් පැය එකහමාරයි බයිසිකලෙන් විනාඩි 45යි

එච්.එස්. පීරිස් රාජකාරි කරන්නේ කොළඹ හතේ විජේරාම මාවතේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණ හා පුහුණු ආයතනයේය. සතියේ දින පහේම සවස හතරහමාර පමණ වන විට අනෙක් සේවකයන් සේම ඔහු විජේරාම මාවතට යන්නේ ගෙදර යන්නය. අනෙක් සේවකයන් කඩිමුඩියේ බෞද්ධාලෝක මාවතට දුවන්නේ බසයක් අල්ලා ගන්නටය. එසේ නැතිනම් ඉස්ටේෂමට ගොස් කෝච්චියක් අල්ලා ගන්නටය.

ඒ අතරේ මෝටර් සයිකල් හා කාර්වලින් පැමිණි සේවක සේවිකාවෝ ගෙදර යති. කාර්යාල ප්‍රවාහන සේවාවලින් එන යන අය වාහනය එනතුරා කන්තෝරුව අයිනේ පාරේ මගබලා සිටිති. එහෙත් මේ කන්තෝරුවේ වැඩ කරන පීරිස් අයියා ගෙදර යන්නේ මේ එකම ක්‍රමයකින්වත් නොවේ. ඔහු කන්තෝරු එන්නෙත් වැඩ ඇරී යන්නෙත් පාපැදියෙනි. ඔහු විජේරාම මාවතේ සිට සිය නිවෙස පිහිටි කොළඹ – හොරණ පාරේ පොල්ගස්ඕවිට සියඹලාගොඩ සිරිනිවස වෙත දිනපතාම යන්නේ එන්නේ පාපැදියෙනි. ‘මෙතැන ඉඳලා අපේ ගෙදර මම බයිසිකලය නවත්වන කුස්සියේ දොරකොඩට කිලෝ මීටර් විසිහයාමාරක් තියෙනවා.

මම උදේ හවස කිලෝ මීටර් පනස් තුනක් බයිසිකලේ පදිනවා.’ පීරිස් මෙසේ සිය පා පැදියෙන් කිලෝ මීටර් පනස් තුනක් උදේ හවා එහා මෙහා යන්නේ මාසයක් දෙකක් හෝ අවුරුද්දක් දෙකක් නොවන්නේය. ‘අවුරුදු තිස් හයක් තිස්සේ මම මේ කිලෝ මීටර් පනස් තුන මගේ බයිසිකලයේ උදේ හවස යනවා. මේක දැන් මට සාමාන්‍ය දෙයක් වෙලා තිබෙන්නේ. පීරිස්ට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණයේ රැකියාව ලැබුණේ එක්දහස් නවසිය අසූපහේ අප්‍රේල් දාහත් වැනිදාය.

ඒ පුස්තකාල සහයක වශයෙනි. මම රැකියාවේ සම්මුඛ පරීක්ෂණ තිබුණු දවසේ මෙතැනට පැමිණියේ බස් එකෙන්. ඊට පහුවෙනිදා ඉඳලම මම රැකියාවට පැමිණියේ මගේ බයිසිකලයෙන්ම තමයි.’ පීරිස්ට හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණායතනයේ රැකියාව ලැබුණේ විසිහතර වියේදීය. නාඹර කොළු වයසේදී මුලදී මුලදී පොල්ගස්ඕවිට සිට කාර්යාලයට පැමිණීමට ටිකක් වැඩි වේලාවක් ගත වුවද අද වන විට ඔහු බසයෙන් හෝ මෝටර් රථයෙන් පැමිණෙන්නන්ට වඩා ඉක්මනින් කාර්යාලය පැමිණෙන්නේය. ‘වැඩට එන්න පටන් ගත්ත මුල්ම දවස් ටිකේ මට පැයකට වැඩිය වේලාවක් ගියා නමුත් වේලාව ටික ටික අඩු වුණා.

දැන් විනාඩි හතළිස් පහකින් පමණ මම ගෙදර ඉඳලා කාර්යාලයට එනවා. බස් එකේ එන්න ගියොත් පැය එකහමාරකට වැඩිය යනවා. සමහර දවස්වලට මට කලින් බස් එකේ වැඩට එන්න ගිය අය මට මගදී හම්බ වෙනවා. ඒ අය කාර්යාලයට එන්නේ මම ඇවිල්ලා ටිකක් වෙලාවට ගියාට පස්සේ. මොකද බස් වෑන් කාර්වලට පුදුම ට්‍රැෆික් එකක් තියෙන්නේ. බයිසිකලෙන් එන අපිට මේ ට්‍රැෆික් අදාළම නැහැ. හැබැයි මම හරියටම මාර්ග නීති අනුගමනය කරනවා. කලර් ලයිට්වල නවත්වනවා. වන් වේ පාරවල්වල යන්නේ නැහැ. හරියටම මාර්ග නීති අනුගමනය කරනවා.’ මාර්ග නීති රීති අනුගමනය කරමින් පීරිස් පැමිණෙන්නේ ඔහුටම ආවේණික වූ මාර්ගයකය.

ඇතැම් දිනවල මාර්ගයද වෙනස් කිරීම ඔහුගේ සිරිතකි. මේ දිනවල ඔහු පැමිණෙන්නේ පොල්ගස්ඕවිට සිට කැස්බෑව පිළියන්දල රත්නපිටිය දෙල්කද හරහා නුගේගොඩින් නාවල පාරට පැමිණ නාරහේන්පිට හරහා විජේරාම කාර්යාලයටය. නමුත් මුල් කාලයේ කලින් කලට මේ මාර්ගයද වෙනස් වූවේය. ඒ ඔහුට බයිසිකල් නඩයක් සිටි බැවිනි. ඒ හයදෙනාගේ කණ්ඩායමය. ‘අපේ හිටියා හයදෙනෙක්ගේ කණ්ඩායමක් අපි ඔක්කොම පොල්ගස්ඕවිට පැත්තේ අය දෙන්නෙක් ජිනසේන එකේ වැඩ කළා. හතර දෙනෙක් මහ රෝහලේ වැඩකළා. අපි හැමෝම උදේට පිළියන්දල මිරිස්වත්ත හන්දියට එකතු වෙනවා. එතැන ඉඳලා අපි හැමෝම ටවුන් හෝල් එකට ඇවිත් එතැනින් බෙදිලා යනවා. පස්සේ කාලේ අපි තුම්මුල්ලෙන් විසිරිලා ගියා.

ජංගම දුරකථන නැති ඒ කාලේ පීරිස්ලා අනුගමනය කළේ අපූරු සන්නිවේදන ක්‍රමයකි. අපේ කාට හරි උදෙන්ම යන්න ඕන වුණොත් ඒ කෙනා කලින් ගියා කියලා කියන්න අපූරු සන්නිවේදන ක්‍රමයක් අප අතර තිබුණා. මිරිස්වත්ත හන්දියේ අපි හඳුනාගත්ත පඩිපෙළක් තිබුණා. එහි අපි හැමෝටම වෙන් වූ ස්ථානයක් තිබුණා. උදෙන්ම යන කෙනා එයාගේ ස්ථානයේ ගලක් තබලා යනවා එතකොට පස්සේ එන අය දන්නවා එයා ගියා කියලා. ඉතින් ඉතිරි කට්ටිය එකතු වෙලා කලින් ගිය කෙනාව අල්ලන්න පදිනවා. හවසට නම් එක එක්කෙනාට වැඩ ඇරෙන වෙලාවල් වෙනස් හින්දා අපි බසයෙන් ගියොත් පැය එකහමාරයි බයිසිකලෙන් විනාඩි 45යි ශිරෝමි රත්නායක ඡායාරූප – ප්‍රදීප් දඹරගේ හැමෝම තනියම යන්නේ සමහර දවස්වලට මගදී යාළුවෝ හම්බ වෙනවා.

ඒ දවස්වල දැන් වාගේ හැන්ඩ්ෆෝන් නැහැනේ. ටික කාලයක් ගියාට පස්සේ සමහර අය මෝටර් බයිසිකල්වල එන්න ගත්තා සමහර අයට කාර්යාලවලින් ප්‍රවාහනය ලැබුණා. අද හයදෙනාගෙන් මම විතරයි තාම බයිසිකලයෙන් වැඩට එන්නේ.’ මේ වසර තිස්හයක කාලය තුළදී එක් වැසි දිනකදී හෝ පීරිස් වැඩට නෑවිත් සිටියේ නැත. ඔහු වෙනදා මෙන්ම වැසි දිනවලද රාජකාරියට පැමිණෙන්නේ ඔහුගේ පාපැදියෙනි. ගංවතුර ගැලූ දිනක ඔහුට අපූරු අත්දැකීමකට මුහුණ දීමට සිදුවූවේය. ‘වැස්ස දවසටත් වෙනදා වාගේම එනවා. මොකද මම බයිසිකල් පදිනකොට අඳින ඇඳුම ඇඳලා සපත්තු දාලාඑන්නේ ඔෆිස් එකට ඇවිත් නාලා වැඩකරන ඇඳුම් ඇඳ ගන්නවා.

මට මතකයි මම දවසක් කොළඹ විශ්වවිද්‍යාලයේ බයින්ඩින් කෝස් එකක් කරලා සහතිකයක් ගන්න තිබුණ. එදා අනෝරා වැහි වහින්න ගත්තා. වෙනදා වගේම මම ආවා රත්තනපිටිය පන්සල කිට්ටුවට. හොඳටම ගංවතුර. මගේ ඉනෙනුත් උඩට වතුර. දැන් කරන්න දෙයක් නැහැ. කිල ෝමීටර් කාලක් විතර බයිසිකලේ කරට අරගෙන ආවා. ඊට පස්සේ ඔෆිස් එකට ඇවිත් ඇඳුම් මාරුකරගෙන ගියා.’ මේ හරියේ ගංවතුර දාන හැම දවසකම මම බයිසිකලේ කරට අරන් ගංවතුරේ එනවා. මොකද බයිසිකලයට මම හරිම ආදරෙයි. ඒක වතුරේ ගෙනියන්න මම ආස නැහැ.

මට ලෙඩක් දුකක් හැදුනත් බස් එකේ නම් එන්නේ නැහැ බයිසිකලේම තමයි එන්නේ.’ පාපැදියට අසීමිත ලෙස ආදරය කරන හේතුව නිසාම පීරිස්ට පාපැදිය අකීකරු නොවූ තරම්ය. ඔහුට මේ කාලය තුළ අනතුරකට මුහුණ දීමට වූයේ එක් වරක් පමණ වූද එහිදී ද ඔහුට අනතුරක් නොවීය. ‘දවසක් මම ඔෆිස් එකේ ඉඳලා ඇවිත් බෞද්ධාලෝක මාවතට දාන කොටම මාව කාරෙකකින් හැප්පුවා. ඒ වෙලාවේ කාර් එකේ සිටිය මහත්තයා බැහැලා ඇවිත් මට කතා කළා. මම කිව්වා මහත්මයා මට තුවාල නැහැ. හැබැයි මගේ බයිසිකලයේ ඉස්සරහ රෝදේ ඩැමේජ් වෙලා කියලා. ඒක මට හදලා දෙන්න.

මට ගෙදර යන්න ඕන කියලා කිව්වා. මේ මහත්තයා එහෙනම් නගින්න කියලා මාව කාර් එකේ දාගෙන බම්බලපිටිය පැත්තට ගියා. ටිකක් දුර යද්දි පාරේ ඉන්න පොලිස් රාළහාමිලා මේ කාර් එකේ යන මහත්තයාට සැලියුට් ගහනවා. පස්සේ මම දැන ගත්තේ ඒ සිටියේ ඩී.අයි.ජී. මහත්තයෙක් කියලා. මගේ බයිසිකලය හදලා දීලා මට අමාරුවක් තියෙනවද කියලත් ටික දවසක් යනතුරුම මගේ ගැන හොයලා බැලුවා. මේ අනතුර ඇරෙන්න ඔය ඉඳලා හිටලා වැටිලා තියෙනවා.’ තමන්ගේම මෝටර් රථයකින් හෝ යතුරුපැදියකින් රැකියාවට යන්නේ නම් වසරකට කොතරම් පාරක් වාහනය ක්‍රියාවිරහිත වීම හේතුවෙන් මගදිගට රස්තියාදු වෙනවාද? නමුත් පීරිස්ට එහෙම ලොකු ලොකු කාර්මික දෝෂ වැනි ප්‍රශ්න නැත.

ඔහුගේ රථය පෙට්‍රල් නැතිව නවතින්නේ නැත. අතරමගදී වාහනය කැඩෙන්නේ නැත. ඔහුට මුහුණ දීමට සිදුවන ලොකුම කාර්මික දෝෂය වන්නේ ටයරයක හුළං යාමය. ‘ඉඳලා හිටලා තමයි එහෙම දෙයක් වෙන්නෙත්. මේ කාලේ අතේ ඇඟිලි ගානටත් අඩු පාරක් තමයි ටයර්වල පැච් ගිහින් තිබෙන්නේ. මට මතක විදිහට තුන්පාරක් මම තල්ලු කරගෙන ආවා. දවසක් නම් උදේ වැඩට එද්දි දෙල්කඳ හන්දියේදී පැච් එකක් ගියා. එතැන ඉඳලා ඔෆිස් එකට බයිසිකලේ තල්ලු කරගෙන ආවා. හවසට යන ගමන් නාරාහේන්පිටින් පැච් එක දාගත්තා. මොකද උදේ වැඩට එන වෙලාවල්වලට විනවහලානේ තියෙන්නේ.’ දශක තුනක් පමණ පාපැදියෙන් කොළඹ පැමිණි පීරිස් ඒ කාලයේදී පොල්ගස්ඕවිට සිට කොළඹ දක්වා වූ හැම විපර්යාසයක්ම ඇස් දෙකින්ම දැක්කේය.

ඒ කාලේ ගෙවල් වට කර තාප්ප ගසා ගේට්ටු දමන සිරිතක් තිබුණේ නැත. ඒ නිසා වත්ත පිටියේ සිටින අයට බයිසිකලෙන් කොළඹ යන පීරිස් පෙනේ. කලක් ගත වන විට ඔවුහු පීරිස්ගේ මිතුරන් බවට පත්විය. අතරමගදී හමු වූ කීර අම්මා, කිරිකාරයා, පාන්කාරයා, මාළුකාරයා ඔහුන්ගේ මිතුරන්ය. ඔවුන් කොළඹ සමග සබඳතා පවත්වා ගත්තේ පීරිස් හරහාය. ‘මීට වසර දහයකට විස්සකට කලින් මේ තරම් රථවාහන තිබුණේ නැහැ. කොළඹ එන පිරිසත් හිටියේ අඩුවෙන්. ඉතින් සමහර ගෙවල්වල අය කොළඹින් ගේන්න තිබෙන බෙහෙතක් හේතක් බඩු මුට්ටුවක් ගෙන්න ගත්තේ මට කියලයි.’ එපමණක් නොව ඔහු ඇතැම් අයෙකුට බෙහෙත් පැළෑටියක් වගේ අත්‍යවශ්‍ය දෙයක් සොයා දුන්නේද මේ හැඳුනුම්කම් මතය. ‘ඔෆිස් එකේ කාටහරි බෙහෙත් පැළැටියක් එහෙම හොයාගන්න ඕන වුණාම මට කියනවා.

මම ඔය එන අතරමග අඳුරන ගෙදරක තිබුණොත් ඉල්ලලා ගෙනත් දෙනවා. හැබැයි පොල්ගස්ඕවිට ඉඳලා දෙල්කඳ හරියට වෙනකම් ගෙවල් විතරයි මම දන්නේ. එතැනින් පස්සේ දැන් ලොකු ලොකු තාප්ප ගහගෙන ගේට්ටු දාගෙන ඉන්න අයනේ ඉන්නේ.’ ඇතැම් දිනවල පීරිස් තවත් බොහෝ සමාජ සේවා කටයුතුවලද නිරත වේ. එවැනි කටයුතු සඳහා ඔහුට පහසු වී ඇත්තේ ඔහුගේ ගමනා ගමනය රෝද දෙකෙන් වූ බැවිනි. ‘පිල්ලෑවේ පන්සලේ බෝධිය වටේ හදන වෙලේ මම වැඩ ඇරිලා එනකොට වැලි කොට්ට ටිකක් එහෙම ගෙනහින් දීලා එනවා.

මම හරියට ස්වේච්ඡාවෙන්ම ඒ දවස්වල මගේ ශ්‍රමයෙන් උදව් කළා. වසර තිස්හයක කාලයක් තුළ පීරිස් බස් රථයෙන් ගමන් කර තිබුණේ මාස දෙකක කාලයක් පමණ. ඒ අසූ අට අසූ නවය කාල වකවානුවේය. ‘අසූ නවයේ කලබල කාලේ පාපැදියෙන් වැඩට එන එක ටිකක් විතර අනතුරුදායක වුණා. රටේ වාතාවරණ එතරම් හොඳ නැති හින්දා ඒ කාලේ මාස දෙකක් මම බස් එකේ වැඩට ආවා. මට එපා වුණා. ඊට අමතරව මම බස් එකේ වැඩට ඇවිත් තිබෙන්නේ ඇතේ ඇඟිලි ගාණටත් අඩු වාර ගණනක්. බස් එකේ ආපු දවසට හවසට මට හරිම මහන්සියි.

ගිහිල්ලා නිදාගන්න එක තමයි කරන්නේ. නමුත් බයිසිකලේ වැඩට එන දවසට ගෙදර ගිහිල්ලා ගෙදර මොනවා හරි වැඩකුත් කරනවා. කිසි මහන්සියක් නැහැ.’ වසර තිස් හයක්ම ඔහු උදේ හවස මෙසේ කිලෝ මීටර් ගණනාවක් පාපැදිය පැද්දා. පීරිස්ට අමුතුවෙන් ජිම් යන්නට ඕනෑ වුණේ නැහැ. ඔහුගේ ඇතැම් මිතුරන් මෝටර් රථයෙන් වැඩට පැමිණ හවසට නිදහස් චතුරස්‍රයේ ඇවිදින මංතීරුවල ඇවිදින්නේ බඩ අඩුකරගන්නටය. පෙෂර්, දියවැඩියාව පාලනය කරගන්නට මහන්සි වෙන්න පීරිස්ට ව්‍යායාම්වලට අමුතුවෙන් වෙලාව වැය කරන්නට ඕනෑ වුණේ නැත.

දියවැඩියාව, අධි රුධි පීඩනය, කොලෙස්ටරෝල් ඔහුගේ අහලකවත් නැත. වරක් ඔහුගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ වෛද්‍යවරයකු පවා පුදුම වූවේය. මම බෙහෙත් අරන් තියෙන්නේ හරිම අඩුවෙන්. පොඩි ලෙඩකට බෙහෙත් ගන්න ජයවර්ධනපුර රෝහලට ගියා. ඒ වෙලාවේ මගේ වයසත් එක්ක රිපෝට් එක දැකලා ඒ ඩොක්ටර් පුදුම වුණා. මොකද බෝ නොවන රෝග එකක්වත් මට තිබුණේ නැහැ. ඒ අහලකවත් රෝග ලක්ෂණ මට තිබුණේ නැහැ. මම ඒ වෙලාවේ ඩොක්ටර්ට කිව්වා මම වැඩ යන්නේ බයිසිකලයෙන් කියලා. ඒ ඩොක්ටර් පවා ඒක අගය කළා. පීරිස් මත්පැන් දුම්වැටි බොන්නේ නැත. බුලත් විටක් හෝ කන්නේ නැත.

ඔහු යන එන අතරමග නවතා කඩචෝරු පවා නොකන්නේය. ‘මම හොඳට වතුර බොනවා. ගෙදර හදලා දෙන කෑම ටික හොඳට කනවා.’ තරුණ කාලේ පීරිස් දක්ෂ පාපැදිකරුවෙක්. ඔහු විවිධ වූ පාපැදි තරග සඳහා ඉදිරිපත්ව ජයග්‍රහණය කොට තිබේ. එසේම එකල රට පුරා සවාරි ගොස් ඇත්තේද පාපැදියෙනි. ඒ දවස්වල අපි කොල්ලෝ ටික එකතු වෙලා කතරගම යනවා. නුවර පෙරහර බලන්න යනවා. මේ ඔක්කොම ගමන් අපේ බයිසිකලෙන් තමයි. පීරිස්ගේ බිරිය වන මදුකා නිල්මිණි ඔහුට හමුවී ඇත්තේ ක්‍රීඩාව නිසාය. ‘මගේ නෝනාත් දක්ෂ වොලිබෝල් ක්‍රීඩිකාවක්. අපි දෙන්නම සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළා. අදටත් අපේ පවුලේ හැමෝම නිවාඩු දවසට වොලිබෝල් ගහන්න යනවා.

මගේ නෝනා ක්‍රීඩා උපදේශිකාවක්. අදටත් ඇය දක්ෂ ක්‍ර්‍රීඩිකාවක්. මට ඇයව හමුවුණෙත් වොලිබෝල් සෙල්ලම් කරන්න ගිහිල්ලා. මට පුතාලා තුන්දෙනෙක් ඉන්නවා. ලොකු පුතා යුද්ධ හමුදාවේ ගැමුණු හේවා රෙජිමේන්තුවේ ලුතිනන්වරයෙක්. අනෙක් පුතාලා දෙන්න පෞද්ගලික ආයතනවල සේවය කරනවා.’ පීරිස් වසර තිස්හයකට ආසන්න කාලයක් රාජකාරී සඳහා පාපැදියෙන් පැමිණියද ඔහු යතුරුපැදි දෙකක් ත්‍රිරෝද රථයක් හා මෝටර් රථයක හිමිකරුවෙකි. බරවාහන රියැදුරු බලපත්‍රයද ඔහු මීට බොහෝ කලකට පෙර ගත්තේය. ඔහු අදටත් පෙම් බඳින්නේ ඔහුගේ පාපැදිවලටය. ‘මගේ මුල්ම පාපැදිය ගත්තේ එක්දහස් නවසිය හැත්තෑ හයේ. ඒ දවස්වල එය රුපියල් හත්සිය පනහක් වගේ වුණා. ලක්ෂ ගණනක් වටිනා පාපැදියකුත් දැන් මගේ ළඟ තිබෙනවා.

දැනට රේසිං බයිසිකලයකුත්, ස්ටෑන්ඩඩ් එකක් සහ මවුන්ටන් බයිසිකලයක් මට තියෙනවා. මුල් කාලේ ගත්ත බයිසිකල් තුනත් මම සිහිවටන විදිහට තියාගෙන ඉන්නවා. එක බයිසිකලයක්වත් මම විසික්කළේ නැහැ. මේ බයිසිකල් හැම එකක්ම මම හොඳට හදලා ගන්නවා. අවශ්‍ය නම් විවිධ අමතර කොටස් පවා දානවා. මේ හැමදේම මට වින්කල්වලින් නොමිලේ කරලා දෙනවා. මොකද මම ඒ අයව දැන් අවුරුදු ගණනාවක ඉඳලා දන්නවා.’ වසර තිස් හයක් පුරා ඔහු සිය පා පැදියෙන් කිලෝ මීටර් ලක්ෂ පහකට අධික දුරක් ගමන් කර ඇත්තේය. එසේම ලක්ෂ ගණනින් මුදල්ද ඉතිරි කරගත්තේය. මේ සියල්ලටම වඩා පරිසරයටද යමක් කළේය.

පාපැදියෙන් වැඩට එන්නන් එකතු කර ගනිමින් ‘සුව දිවියට පා පැදියක් (Ride For life Sri Lanka) සංවිධානය නිර්මාණය කළ ප්‍රජා අක්ෂි වෛද්‍ය අසේල අබේධීර, පීරිස්ගේ මේ ක්‍රියාවට යමක් එකතු කළේය. ‘ඔහුගේ මේ පාපැදි ගමන හින්දා පෙට්‍රල් ලීටර් හතළිස්දහසක් ඉතිරි කරලා තිබෙනවා. ඒවාගේම කාබන් මෙට්‍රික් ටොන් සියයක් පමණ මේ පරිසරයට මුදාහැරීම වළක්වලා තිබෙනවා. එපමණක් නොව ඔහු තමන්ටම රුපියල් ලක්ෂ හැටක පමණ මුදලක් ඉතිරිකරගෙන තියෙනවා. වඩාම වැදගත් කාරණය මේ පාපැදි ගමන හින්දා ඔහු නිරෝගී පුද්ගලයෙක් බවට පත්වෙලා තිබෙනවා. නිරෝගී රටට වැඩදායී මිනිසාගේ පාපැදි ගමන ලබන මසදී අවසන් වේ. ඒ ඔහුට වයස අවුරුදු හැට පිරීම නිමිත්තෙන් සේවයෙන් විශ්‍රාම යාම හේතුවෙනි. ‘මම විශ්‍රාම ගියත් ඉදිරියටත් මගේ ගමන් මම යන්නේ පාපැදියෙන්ම තමයි.

Next Post

රු. 5147කින් මාසයක් ජීවත් විය හැකියි - පැත්තෙන් පැත්තට වෙනස් වෙන අගයන් මෙන්න

Sun Feb 14 , 2021
අඩු ආදායම්ලාභී පවුලක එක් පුද්ගලයකුට මූලික අවශ්‍යතා පමණක් සපුරා ගෙන මසක් ජීවත් වීම සඳහා රුපියල් 5147ක් අවශ්‍ය බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ නවතම විමර්ශනයකින් හෙළි වී තිබේ. දිස්ත්‍රික්ක විසිපහම ආවරණය වන පරිදි මෙම විමර්ශනය සිදු කර ඇති අතර මෙම මුදල දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් අගයන් ගෙන තිබේ. ඒ අනුව […]

Breaking News