ප්‍රාදේශවාසී තරුණයන්ගෙන් මංගල තෑගි මංගල ගමන ගියේ ත්‍රිරෝද රථයකින් – ආබාධිත තරුණයකු හා විවාහ වූ හිත හොඳ තරුණියක්

පෙබරවාරි මාසය උදා වීමත් සමගින් බොහෝ ආදරවන්තයෝ වැලන්ටයින් නැති නම් ආදරවන්තයන්ගේ දිනය සැමරීමට සූදානම් වෙති. ඒ සූදානම කෙසේ වුවද සෑබෑ ආදරවන්තයන්ගේ දිනයේ වටිනාකම දැනගෙන සෑබෑ ආදරයට වටිනාකමක් දෙමින් ආදරවන්තයන්ගේ දිනය සමරන්නේ කීයෙන් කීදෙනෙකුද? එබඳු සමාජයක ආදරවන්තයන්ගේ දිනයට සෑබෑ ආදරයට නව අරුතක් ලබා දුන් විවාහ මංගල උත්සවයක් ගාල්ල ඉමදුව දී පැවැත්විණි. 

වසර 19 කට ආසන්න කාලයක් අබාධිතව එක්තැන්ව සිටි තරුණයකුට සැබැවින්ව ආදරය කළ තරුණියක් ඔහු හා විවාහ වීම එම සුවිශේෂී සිදුවීමය. විවාහ උත්සවය ඉමදුව අගුළුගහ, විලේවත්ත, හටන්ගල ප්‍රජා ශාලාවේ දී ඉමදුව ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මි කාන්ති මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහි කතානායකයා වන අබාධිත තරුණයා හේවා ගමගේ සුනිල් ශාන්තය. ඔහු 40 හැවිරිදිය. ඔහුගේ මනාලිය වූ ශිරෝමි පතිරණට අවුරුදු 41කි. මොවුන් දෙදෙනාම විලේවත්ත, හටන්ගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති.

මෙම විවාහය ලියාපදිංචි කරනු ලැබුවේ ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විවාහ රෙජිස්ටාර් ශිරෝමි එස් කොඩිකාර මහත්මියයි. ඉමදුව ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මි කාන්ති මහත්මිය සාක්ෂිකාරියක් ලෙස විවාහයට අත්සන් තැබුවාය. මෙකී විවාහය ලියාපදිංචි කිරීමේ උත්සවය හටන්ගල ග්‍රාම නිලධාරිනී ඉනෝකාද සිල්වා මහත්මිය, ආර්ථික සංවර්ධන නිලධාරි හා සමෘද්ධි නිලධාරී, ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් හා ප්‍රදේශයේ තරුණයන් එක්ව සංවිධානය කොට තිබිණි. 

මනාලයා ආබාධිත තත්ත්වයට පත්ව ඇත්තේ අඹ ගසකින් ඇද වැටීම නිසාය. එතැන් පටන් ගෙවුණු වසර දහ නවයක කාලයක් ඔහු ගත කළේ දුක්බර ජීවිතයකි. ජංගම දුරකථනය මගින් ඇති කරගත් සබඳතාවක් අනුව මාස හයක් තිස්සේ ආදරය කිරීමෙන් පසු තම සහකාරියගේ අත ගත් බව සුනිල් ශාන්ත අප සමග පැවසීය.

මම අබාධිත වුණාට පස්සේ ඉතා අසරණ තත්ත්වයට පත්වෙලා හිටියේ. මම වරාය අධිකාරියේ සේවය කළ කෙනෙක්. 2002 වර්ෂයේ දී මම මගේ අක්කලාගේ ගෙදර ගියා මිහින්තලයේ. එහේ දී අඹ කඩන්න ගිහින් අඹ ගසකින් වැටිලා තමයි ඉණෙන් පහළ කොටස පණ නැතිවුණේ. මගේ අම්මා තමයි මාව රැක බලාගත්තේ. එයාට දැන් අවුරුදු 85ක්. මේ ගේ කෑල්ල විතරයි මට තියෙන්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයෙන් මට ගොඩක් උදව් කළා. මගේ අම්මාට දැන් බැහැ මාව රැකබලාගන්න. ඇත්තටම මම ගොඩක් කටුක ජීවිතයක් ගත කළේ.

ඔය අතර මගේ මස්සිනා කෙනෙකු මාර්ගයෙන් තමයි ශිරෝමි හඳුනා ගත්තේ. පසුව ඇයත් සමග දුරකථනයෙන් කථා කළා. මාස 06ක් විතර ආදරය කළා. ඇය කැමැති වුණා මාත් එක්ක විවාහවෙන්න. ආබාධිත අයෙකු සමග කවුරුවත් විවාහ වෙන්නේ නැහැ. නමුත් ඇය ලොකු පරිත්‍යාගයක් හා කැපවීමක් කරලා මා සමග විවාහවුණා. මට ගොඩක් සතුටුයි. එයා පසුගිය කාලයේම මගේ නිවසට ඇවිල්ලා ගෙදර හැම දෙයක්ම කරලා දුන්නා. මාව නාවන ඇඟ හෝදන දේ පවා පසුගිය කාලය පුරා කළේ එයා. ඇත්තටම මටත් හිතාගන්න බෑ මේ ආදරය. මම අද ගොඩක් සතුටින් ඉන්නේ මේ ආදරය නිසා. 

වසර 19 කට ආසන්න කාලයක්ම මගේ ඇඟෙන් බාගයක් පණ නැතිව තමයි මම හිටියේ. නමුත් දැන් ශිරෝමිගේ ආදරයත් එක්ක මගේ ඇඟට අලුත් පණක් ලැබිලා වගේ. දැන් මම පුදුම ආදරයක් ලබන ආදරවන්තයෙක් වෙලා. මට මේක වචනයෙන් විස්තර කරන්න බෑ. මට පාපිසි හදන්න පුළුවන්. මගේ නෝනට හඳුන්කූරූ හදන්න පුළුවන්. ඒ කර්මාන්තයෙන් අපිට තනිවම ජීවිතය ගැටගසා ගන්න පුළුවන්. ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මට කරපු උදව්වලට ගොඩක් ස්තුතියි. අද මේ විදියට මෙතන උත්සවයක් තිබුණේ ඒ අය නිසා. ඒ වගේ අපේ ගමේ අය. ඒ අයටත් මට ස්තුතියි කියන්න විතරයි පුළුවන්. අනේ මට ආයිත් ජීවිතයක් දුන්නාට හැමෝටම පින්. 

සුනිල්ගේ මනාලිය වන ශිරෝමි පතිරණ මහත්මිය සිය නව ජීවිතය සහ මෙම අපූරු ආදර කතාව ගැන පැවසුවේ මෙවැන්නකි.

මගේ මව්පියන් නෑ. මම හිටියෙත් තනියම. එහෙම ඉන්දිද්දී තමයි දුරකතනයෙන් අපි කතා කළේ. ඉතින් මම ඔහුගෙන් ඇහුවා බලන්න එන්නද කියලා. ඔහු එන්න කියලා කිවා. සුනිල්ගේ ගෙදරට ආවාට පසු මට ගොඩක් දුක හිතුණා. එයා ගැන අනුකම්පාවක් ඇතිවුණා. ඒක ආදරයකට පෙරළුණා. මට සුනිල්ගෙනුත් පෙරළා ඒ ආදරය ලැබුණා. ඒ ආදරය අපිව එකතු කළා. අපි දෙදෙනා මාස කිහිපයක් ආදරය කළා. ඇත්තටම ආබාධිත තරුණයකු සමග විවාහු වුණා කියා මම දුක්වන්නෙ නෑ. ආදරය මොකක්ද කියලා සුනිල් ගෙන් මම දැක්කා. මා කළේ පරිත්‍යාගයක්. සුනිල්ට හා එයාගේ මවට ඇප උපස්ථාන කරමින් යහපත් බිරිඳක් විදියට කටයුතු කරන්න මා කැපවෙනවා.

මෙම විවාහ මංගල උත්සවය වෙනුවෙන් පැමිණි ප්‍රදේශවාසීන්ගෙන්, රජයේ නිලධාරීන්ගෙන් සුනිල්ට සහ ශිරෝමිට ත්‍යාග ලැබුණ් සෑබෑ මංගල උත්සවයක දී මෙන්ය. සුඛෝපභෝගී මංගල රියක් නොතිබුණ ද ත්‍රිරෝද රථයක් සරසා මනාලිය හා මනාලයා රැගෙන ඒමටත් රැගෙන යාමටත් ගමේ තරුණ පිරිස කටයුතු කර තිබිණි.

Next Post

රංගන ශිල්පියෙක් ඒත් පලමු උපාධිය රසායන විද්‍යාවට - අවසන් පැයේ ජයලාල් මහතාගේ ජීවිතය ගෙවුන හැටි (ජායාරූප)

Fri Feb 12 , 2021
රවීණ වේදිකා සහ ටෙලිනාට්‍ය ශිල්පියකු වන ජයලාල් රෝහණ ඊයේ (11) රාත්‍රියේ රාගම ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත විය.මිය යන විට ඔහු 56 වැනි වියේ පසුවිය. ඔහු රංගන ශිල්පියකු, නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු, ගුවන් විදුලි පිටපත් රචකයකු, දේශකයකු, ගුරුවරයකු, ලේඛකයකු මෙන්ම වේශ නිරූපන ශිල්පියකු ලෙසින් ද ලාංකේය කලා ක්ෂේත්‍රයට සිය දායකත්වය සැපයීය. ජයවර්ධන පුර කෝට්ටේ […]

තවත් මෙවැනිම පුවත්..........