එදා තමයි මම පුතාගේ කටහඬ අහපු අන්තිම දවස. ‘තාත්තේ මට අමාරුයි‘ කිව්වා – වෛද්‍ය ගයාන්ගේ පියා

වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ ගෙදර ඇත්තන් තවමත් සිටින්නේ ශෝකාකූලවය. ඔවුන්ට ගයාන්ගේ හදිසි වියෝව තවමත් අදහාගත නොහැකි, දරාගත නොහැකි දෙයකි.

කඳුළු පිරුණු දෙනෙත් අතරින් වෛද්‍ය ගයාන්ගේ මෑණියන්ගේ සේම ඔහුගේ තරුණ බිරිය වෛද්‍ය හර්ෂණී යාපාගේ මතකය හැම විටම දිවයන්නේ අතීතයටය. ඒ අතීතයේ සැරිසරන්නේ සිනා සපිරි මුව මඬලකින් සැරසුණු ගයාන්ය.

මගේ පුතා හින්දා කියනවා නෙවෙයි එයා මහ පුදුම දරුවෙක්. පිළිවෙළකට වැඩ කරපු උපතින්ම දක්ෂතා රැසක් අරගෙන ආපු දරුවෙක්. වේදනාව සඟවාගෙන අප සමඟ එකතු වූ වෛද්‍ය ගයාන්ගේ පියා වෛද්‍ය සරණතිලක මහතා කීවේය.

ගයාන් දරුවන් පස්දෙනකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවාය. ඔහුට අයියලා දෙන්නෙකුත් නැඟණියකුත් මල්ලි කෙනෙකුත් සිටිති.වෛද්‍ය ගයාන්ගේ වැඩිමහල් සොහොයුරා මියගොස් ඇත්තේ පාසල් වියේදීමය. ඒ මරණයත් පුදුමාකාර ලෙස අවාසනාවන්ත වූවකි.

ඒ පුතා එතකොට වෛද්‍ය විද්‍යාලයට තේරිලා හිටියේ. එක දවසක් එයාලා කොළඹ ඉඳලා කෝච්චියේ ආවා. ඒ එද්දී ඔරුගොඩවත්ත හරියේ කෝච්චියෙන් වැටිලා මිය ගියා.ඒ මරණයත් අපිට දරාගත නොහැකි මහ විශාල දුකක් වුණා. ඊළඟට මේ ගයාන් පුතා” වෛද්‍ය සරණතිලක මහතා කීවේ නිවුණු හඬකිනි.

වෛද්‍ය ගයාන් කො.රෝනා රෝගයට ගොදුරු වී රෝහල්ගත වූයේ පසුගිය දෙසැම්බර් අවසානයේය. ඒ වෙද්දීත් වෛද්‍ය ගයාන් සිටියේ කාර්යබහුල තත්ත්වයකය.

“පුතා කොහොම කො.රෝනා ආසාදිතයෙක් වුණාද කියලා තවම හරියට කියන්න බැහැ. ඒත් එයාට වගේම රාගම, හීන්කෙන්ද ගෙදර හිටපු අපේ ලේලිට වගේම ඒ ගෙදර අයටත් කො.රෝනා වැලඳිලා තිබුණා. ඒත් ඒක අපි දැනගත්තෙත් පස්සේ.”

මේ කාලය වනවිට වෛද්‍ය සරණතිලක මහතා සිට ඇත්තේ ශල්‍යකර්මයකින් පසු විවේකීවය. වෛද්‍ය ගයාන් මේ නිසාම ඔවුන් මුහුණ දී සිටින ගැටලු සහගත තත්ත්වය සඟවාගෙන උන්නේය.

හදවත් සැත්කමින් පස්සෙ මම ගෙදරට වෙලා විවේකීවයි හිටියේ. පුතා නිතරම වගේ දුරකථනයෙන් කතා කර කර අපේ දුක සැප ඇහුවා. කො.රෝනා ගැන මොකුත් කිව්වේ නැහැ. 

හැබැයි ඒ වෙද්දී එයා රාජකාරි ස්ථානය වගේම සියලු වෛද්‍ය නිලධාරීන් දැනුවත් කරලා තියෙනවා. එයා කො.රෝනා ආසාදිතයෙක් කියලා සඟවාගෙන ඉඳලා නැහැ.

අපිට නොකිව්වේ අපි දුවගෙන එයි කියන බයට. මොකද හිටිය තත්ත්වය අනුව මම එන එක හරි නැහැ කියලා එයා දැනගෙන හිටියා.

වෛද්‍ය ගයාන් කො.රෝනා රෝගයට ගොදුරු වූ දිනයේ සිටම ඊට සරිලන එමෙන්ම එවැනි රෝගයන්ට ලබාදෙන ඔෟෂධ නිවෙසේ සිටම ලබාගෙන තිබිණි. ඔහු එසේ කර ඇත්තේ බිරියට හා බිරියගේ මවුපියන්ට සැලකීමට ඇති ඕනෑකම නිසාමය.

ඔය විදිහට ඉන්න අතරේ තමයි උණ වැඩිවෙලා පුතාලගේ ගෙදර කට්ටියම රෝහල්ගත වුණේ. මුල්ලේරියාව රෝහලට අරන් ගියේ. ඊට පස්සේ ඒ ගොල්ලෝ දිගටම හිටියේ ඒ රෝහලේ.”

මේ වෙද්දී වෛද්‍ය සරණතිලක මහතාට සහ ඔහුගේ බිරියට වගේම ඔවුන් රාගම ප්‍රදේශයේ පවත්වාගෙන යන සුවසරණ රෝහලේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් කිහිපදෙනකුටත් කො.රෝනා ආසාදනය වී තිබිණි.

“ඊට පස්සේ අපිත් සෞඛ්‍ය අංශය දැනුවත් කරලා පී.එච්.අයි. මහත්තුරුන්ටත් ඒ බව දන්වලා රෝහලත් වැහුවා. ඒ අනුව අපිවත් බිංගිරිය ප්‍රදේශයේ ඇති කො.රෝනා මධ්‍යස්ථානයකට රැගෙන ගියා.”

වෛද්‍ය සරණතිලක මහතා සහ බිරිය එම කඳවුරේ ප්‍රතිකාර ලබා නිවෙසට ආහ. එයිනුත් පසු ඔවුහු තම පුතුගේ සුවදුක් විමසන්නට මුල්ලේරියාව රෝහලට ගියහ.

“එදා තමයි මම පුතාගේ කටහඬ අහපු අන්තිම දවස. ‘තාත්තේ මට අමාරුයි‘ කිව්වා” වෛද්‍ය ගයාන්ගේ පියා කීවේ දැඩි අපහසුවකිනි.

“එයා ආපහු කතා කළේ නැහැ. කතා කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. දැඩි සත්කාර ඒකකයේ හිටියේ.”

මුල්ලේරියාවේ පිහිටි මූලික රෝහලේ එසේත් නැත්නම් වර්තමානයේ කො.රෝනා රෝහලකට පරිවර්තනය වී ඇති මෙම රෝහලේ සිට වෛද්‍ය බලධාරීන් මේ තරුණ වෛද්‍යවරයාව ඊළඟට රැගෙන ගියේ කරාපිටියටය. ඒ කරාපිටිය මහ රෝහලේ පමණක්ම ඇති එක්මෝ (ecmo) යන්ත්‍රයට සවිකොට දුර්වල වී තිබෙන ඔහුගේ පෙණහැල්ලට හා හෘදයේ ක්‍රියාකාරිත්වය සවිමත් කරන්නටය.

“මේ වෙද්දී මමත් දැනගෙන හිටියා පුතාගෙ තත්ත්වය එච්චර හොඳ නැහැ කියලා. වෛද්‍යවරු හැටියට අපිට ඒක දැනෙනවනේ.

පුතාට දියවැඩියා රෝගය යාන්තමින් තිබිලා තියෙනවා. ඒත් ඒක අපි දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා කො.රෝනා ආසාදිතයකු වූ හැටියේ ඒ තත්ත්වයේ අවදානම වැඩි වුණා. ඔහු අප දාලා ගියේ ඒ නිසයි.” වෛද්‍ය සරණතිලක මහතා හදවතේ තෙරපෙන වේදනාව ආයාසයෙන් යටපත් කරගෙන කීවේය. ඒ ඔහු පිරිමියකු නිසාය.

වෛද්‍යවරු මියයන, පණ අදින රෝගීන් ඕනෑ තරම් දකිති. එය ඔවුන්ට සාමාන්‍ය දෙයකි. එහෙත් කුමන තරාතිරමක සිටියත් අපේ කෙනකුට, එසේත් නැතිනම් හදවතේ ජීවත්වන ආදරණීය කෙනකුට එසේ වීම ඉවසා දරාගත නොහැකිය.

“මගේ පුතා හින්දා කියනවා නෙවෙයි. ඔහු අසාමාන්‍ය දරුවෙක්. පුදුමාකාර ගති පැවතුම් තිබුණු කෙනෙක්. මගේ රෝහලට ප්‍රතිකාර ලබාගන්න එන අති බහුතරයක් දෙනා හොයන්නේ, අහන්නේ ඩොක්ටර් ගයාන් අද ඉන්නවද කියලයි. මම ඉන්න දවසට ඉන්නවට වඩා ලෙඩ්ඩු ඔහු ඉන්න දවසට එනවා. ඒ එයා ඒ අය සමඟ කරන ගනුදෙනු හුඟාක් පහසු හින්දා.”

වෛද්‍ය ගයාන් දන්තනාරායන කුඩා කල සිටම සිටියේ එහෙමය. නුගේගොඩ ලයිසියම් විද්‍යාලයේ ඉගෙනගත් කාලයේත් චීනයේ ටියැන්ජින් යුනිවසිටි එකට ගිය කාලේත් එහෙමය. ඉන්පසුව වෛද්‍ය උපාධිය ලබා මෙරටට පැමිණ අම්පාර, හලාවත රෝහල්වල සේවය කරද්දීත් ඔහු වෙනස් වුණේ නැත.

“පුතා 9 ශේ‍ර්ණියේ ඉගෙනගන්න කාලේ ඉඳලම ගිටාර් වාදනයට හුඟාක් දක්‍ෂ වුණා. එයාට එකවර වැඩ තුනක් විතර කරන්න පුළුවන්. පාඩම් පොත දිග ඇරගන්නවා. පාඩම් කරනවා. ඒ එක්කම අතේ තියෙන ගිටාර් එකත් හෙමිහිට වයනවා. ඊළඟට අපි කතා කරන ඒවාට උත්තරත් දෙනවා.”ඇත්තටම ඒ හැකියාවට මම ආස කළා.”

ගියවර ‘ඉරිදා මව්බිම’ සමඟ එකතු වූ වෛද්‍ය අහමද් රිෆ්කාන් කීවේත් වෛද්‍ය ගයාන් පුදුමාකාර චරිතයක් බවය. ඔහු සමඟ වසර 5ක් එකට සිටි මේ මිතුරා මත්පැන් මෙන්ම සිගරට් පමණක් නොව සියලු දුසිරිතෙන් තොරව හැසිරුණු බවය. අපි මේ කාරණයත් වෛද්‍ය ගයාන්ගේ පියාට මතක් කළෙමු.

“ඔව්… එයා ඒ  වගේ දරුවෙක් තමයි. ඇත්තටම එයාට ඒ පුරුද්ද ආවේ අපේ ගෙදරින්. මමත් අරක්කු, සිගරට් බොන්නේ නැහැ. නරක වචන කතා කරන්නේ නැහැ. මවුපියෝ හැටියට අපි කවදාවත් අඬදබර ඇති කරගෙන බැන අඬ ගහගෙන නැහැ. අපේ දරුවෝ මේවා පුංචි කාලේ ඉඳලම දැන හිටියා.”

“ගයාන් පුතා වගේම හැම දරුවෙක්ම දහම් පාසල් ගියා. පොහොය දවසේ සිල් සමාදන් වුණා. ස්වාමීන් වහන්සේ නමක් දුටු විට වැන්දේ කිසිදු පැකිළීමකින් තොරවයි.” වෛද්‍ය ගයාන්ගේ චරිතය පෝෂණය වී තිබුණේ වෛද්‍ය වටපිටාවකය. ඔහු දරුවන්ට, වැඩිහිටියන්ට ආදරය කළේද ඒ නිසාමය.

වෛද්‍ය ගයාන් සංගීතලෝලියෙක් විය. ගිටාර් වාදනයට දක්‍ෂ විය. අපූරු ගායන හැකියාවක් තිබූ ගායන ශිල්පියෙක් විය. ඔහුගේ ගීත ඇසූ චීනයේ ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ විවිධ රටවල හිතමිතුරෝ මෙන්ම අපේ රටේ අයත් වින්දේ පුදුමාකාර කැමැත්තකි.

“පුතා කවදාවත් ඕපාදූප කතා කළේ නැහැ. අනිත් අයව පහත් කොට තැකුවේ නැහැ. නිකම් ඉන්න හැම වෙලාවෙම කළේ ගිටාර් එක වයමින් ගීත ගායනා කළ එකයි. එහෙම දරුවව තමයි ආකාරුණික විදිහට හොරු අරන් ගියේ” වෛද්‍ය ගයාන්ගේ පියා සුසුමක් හෙළුවේය.

වෛද්‍ය ගයාන් රෝගී වුණේ පසුගිය දෙසැම්බර් මාසයේ අගදී බව අපි ඔබට මුලදී කීවෙමු. එය නොතකා ඔහු ජනවාරි 10 වැනිදා වනතුරු කළේ නිවෙසට වී ප්‍රතිකාර ගනිමින් බිරිය හා ඇගේ මවුපියන් රැක බලා ගැනීමය. හැබෑවටම ඔහු ඒ තීරණයට එළැඹුණේ ගෙදර ඇත්තන් තනි නොකිරීමටය. “මම තරුණයිනේ තාත්තා…. මට මොකුත් වෙන්නේ නැහැ….” වෛද්‍ය ගයාන් හැමවිටම කීවේ ඒ විදිහටය.

එහෙත් ජනවාරි 10 වැනිදා වන විට තමාගේ සෞඛ්‍ය තත්ත්වය අවදානම් බව වෛද්‍ය ගයාන්ම තේරුම් ගත්තේය. ඒ නිසාම ඔහු වාහනය ධාවනය කරමින් රෝහලටද ගියේය. ඒ වෙද්දීත් ඔහුගේ තත්ත්වය දරුණු වී තිබුණේය.

“පුතා හැමවෙලාවෙම හිතුවේ අනුන් ගැනමයි. තමන් ගැන හිතුවේ නැහැ. එයා ගැන මට හරිම ආඩම්බරයි. ඒ වගේ දරුවෝ මේ සමාජයේ හුඟාක් අඩුයි” පියා කීවේය.

මේ සටහන අවසන් කිරීමට පෙර වෛද්‍ය ගයාන්ගේ ප්‍රිය බිරිය වෛද්‍ය හර්ෂණී ගැනත් අපි වෛද්‍ය සරණතිලක මහතාගෙන් ඇසුවෙමු.

“පුතා හර්ෂණී දුවට හරිම ආදරෙයි. දතකට බෙහෙත් ගන්න ගිය වෙලාවේ අඳුනගෙන තමයි දෙන්නා යාළු වුණේ. හර්ෂණී දුව දන්ත වෛද්‍යවරියක්.”

“කොහොම හරි දැකලා අඳුනගෙන ඇවිත් අපිට කිව්වහම අපි අවසර දුන්නා. මොකද පුතා කවදාවත් වැරදි තීන්දු, තීරණ ගන්න කෙනෙක් නෙවෙයිනේ.”

වෛද්‍ය ගයාන් සහ වෛද්‍ය හර්ෂණී එකතු වුණේ එහෙමය. ඒ බැඳීම සුළුපටු එකක් නොවේ. අද වෛද්‍ය හර්ෂණී තනි වී, හුදකලා වී හඬන්නේත්, සුසුම් හෙළන්නෙත් ඒ ආදරණීය බැඳීම අහිමි වූ දුකටය.

“මම දූට කිව්වා දැන් හිත හදා ගන්න. ඔයත් වෛද්‍යවරියක් නිසා මිනිස්සුන්ට සේවය කරන්න ඕන කියලා. ඒත් මම දන්නවා හිත හදාගන්න ලෙහෙසි පහසු නැහැ කියලා. අපි හැමෝටම එහෙමයි.”

වෛද්‍ය ගයාන්ගේ මව රමණී ප්‍රනාන්දුය. ඇය වෘත්තියෙන් විද්‍යා ගුරුවරියකි. මේ වෙද්දී ඇය සිටින්නේද බලාගත් අත බලාගෙනය.

“පුතා ගිටාර් එක ගහගහ සින්දු කියනවා අපිට මැවි මැවී පෙනෙනවා. ඒ ආදරණීය හිනාව අපිට මතක් වෙනවා. කාටවත් කරදරයක් නැති, මිනිස්සුන්ට කැපවුණු වෛද්‍ය සේවයක නිරත වුණු මේ මනුෂ්‍යයාට හැමෝම ආදරෙයි. ඒ දරුවව තමයි හොරු අරන් ගියේ. බුද්ධාගමේ හැටියට අපි විශ්වාස කරනවා එයා හොඳ තැනකට ගියා කියලා.” වෛද්‍ය සරණතිලක මහතා හදවතේ තෙරපෙන වේදනාව පිට කළේ ඒ විදිහටය.

වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ වියෝවත් සමඟ මෙරට වෛද්‍ය ක්‍ෂේත්‍රය තුළ ඇති තවත් පැතිකඩක් හෙළිවිය. ඒ පෙණහැල්ල අකර්මණ්‍ය වූ අවස්ථාවක ලබාදෙන එක්මෝ ප්‍රතිකාරය ගැනය. ලංකාවේ රෝහල් බොහොමයක නැති මේ එක්මෝ යන්ත්‍රය ඇත්තේ ගාල්ල කරාපිටිය රෝහලේ සහ කොළඹ ළමා රෝහලේ පමණය. ආරංචි මාර්ගවලට අනුව ළමා රෝහලේ එක්මෝ යන්ත්‍රය පාවිච්චි කෙරෙන්නේ නැත. ඒ එම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමේ දැනුම ඇති අය හෙද කාර්ය මණ්ඩලයේ නොමැති නිසාය.

“මම මේ වෙනුවෙන් පෙරමුණ ගන්නවා. අපි හැමෝම එකතු වෙලා රෝහලකට අවශ්‍යම මේ යන්ත්‍රයක්, දෙකක් අරන් දෙන්න කටයුතු කරනවා. මේ යන්ත්‍රය ගන්න කෝටියක් වගේ මුදලක් තමයි වැය වෙන්නේ. ඒක හොයා ගන්න අපහසු නැහැ. පුතා වෙනුවෙන් අපි මේ දේ කරනවා.” වෛද්‍ය සරණතිලක මහතා කීවේ අධිෂ්ඨානශීලීවය.

කෙසේ හෝ දැන් වෛද්‍ය ගයාන් අප අතර නැත. එහෙත් ඔහු ලංකාවේ කො.රෝනා රෝගයෙන් මියගිය පළමු වෛද්‍යවරයා ලෙස ඉතිහාසයට එක්වී ඇත. ඛේදවාචකය නම් තරුණ, එසේම පරාර්ථකාමී හදවතක් ඇති ආදරණීය වෛද්‍යවරයකුගේ වේදනාත්මක සමු ගැනීමය.

සමන් ප්‍රියංකර නම්මුනිගේ

Next Post

හාස්ක­ම­කින් කටහඬ ලැබු­නේ නෑ - මම ඔහුව බලා­ගන්නේ ලොන්ඩ්‍රි­යක් කර­ගෙන - හෂිනි

Sat Feb 6 , 2021
ඇය සිය වියපත් සැමියා සමඟ දේව යාතිකා සිදුකරන යාඥා මධ්‍යස්ථානයකට ගොස් සිටියාය. එම වීඩියෝවේ අප දුටුවේ හඬා වැටෙමින් බිම වැටී සිය සැමියා වෙනුවෙන් යහපතක් ප්‍රාර්ථනා කරනා අසරණ ගැහැනියකි. ජීවිතයේ අත්හැරෙන්නට ආසන්නව ගිලී යනු ඇතැයි සිතෙන මොහොතක මිනිස්සු පිදුරු ගස්වල වුවද එල්ලෙති. එහෙත් ඒ පොදු යථාර්ථය ඔවුන්ට වලංගු කිරීමට සමාජය සූදානම් […]

Breaking News