මෙරට කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. එහි ප්‍රධාන උත්සවය පැවැත්වුණේ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි ඩී එච් රෝහලේදීයි. එහිදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ආරම්භ කරමින් පළමු එන්නත ලබාදුන්නේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමටයි.
එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරගුංග, රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර, කොළඹ යුද හමුදා රෝහලේදී ද කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනක් අද උදෑසන ආරම්භ කෙරුණා. කොවිඩ් මර්දන කටයුතු සඳහා දායකත්වය ලබාදෙන ඉදිරිපෙළ යුද හමුදා නිලධාරීන් තිදෙනෙකුට එහිදී පළමුව එන්නත් ලබාදීම සිදු කෙරුණා.
යුද හමුදා නිවාරණ වෛද්‍ය නියෝජ්‍ය අධ්යක්ෂ කර්නල් වෛද්‍ය සවීන් සේමගේ, ගුවන් තොටුපළ කොවිඩ් මර්දන කටයුතු භාරව කටයුතු කරන බ්‍රිගේඩියර් ලාල් විජේතුංග සහ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ පළමු වෛද්‍ය නිලධාරියා වන කපිතාන් වෛද්‍ය පසිඳු පෙරේරාට එලෙස පළමුව කොවිඩ් මර්දන එන්නත ලබාදී තිබෙනවා.
ඉන්දීය රජය මගින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් මෙරටට පරිත්‍යාග කළේ ඊයේ දිනයේදීයි. එම එන්නත් කොරෝනා මර්දන වැඩසටහනේ ඉදිරිපෙළ ක්‍රියා කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සාමාජිකයින් එක්ලක්ෂ 50,000 කට සහ එක්ලක්ෂ 20,000 ක් පමණ වන ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් වෙත පළමුව ලබාදීමට නියමිතයි. බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06 කදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා එන්නත් ලබාදීම අද සිදු කෙරෙනවා.