පාර්ලිමේන්තු පොකුරේ මැති ඇමතින්ගේ අත්දැකීම්

කො.රෝනා වසංගතයේ මේ වන විට ලංකාව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන්නේ මෙරට කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 50,000 සීමාව ඉක්මවමිනි. ගෙවුණු සතිය මැද වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් 7 දෙනෙකුට කො.රෝනා රෝගය වැලඳි තිබුණු අතර ලිපිය ලියන මොහොත වන විටත් ඉන් කිහිප දෙනෙක් සුවය ලබා නිවෙස්වලට ගොස් තිබුණි.

ඇමැතිවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, වාසුදේව නානායක්කාර,රාජ්‍ය ඇමැතිවරුන් වන දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත, අරුන්දික ප්‍රනාන්දු හා මන්ත්‍රීවරුන් වන රවුෆ් හකිම් හා වසන්ත යාපා බණ්ඩාර ඒ අතර වෙයි. ඇමැතිවරු කිහිප දෙනෙක් තමන් කො.රෝනා වසංගතයට ගොදුරුවීමේ අත්දැකීම් හෙළිකළ අතර අනෙක් මැති ඇමැතිවරුන් සෞඛ්‍ය හේතු මත සම්බන්ධ කර ගැනීමට නොහැකි වුව ද, ඔවුන්ගේ සමීපතමයන් ඒ ගැන අදහස් පළ කළේ මේ අයුරිනි.

සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි කො.රෝනා ආසාදනය වූ පළමු ඇමැතිවරියයි. හික්කඩුව ප්‍රදේශයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු මෙසේය. ‘ කො.රෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් අනතුරුව ඇයගේ ස්වාමි පුරුෂයා ඇතුළු සමීප ඥාතීන් කිහිප දෙනෙක් ස්වයං නිරෝධායනයට ලක් විය. එසේම අමාත්‍යාංශ කාර්යාලයද සම්පූර්ණයෙන් වසා දමා එහි සිටි පනස් දෙනෙක් පමණද නිරෝධායනයට යොමු වුණා.

කො.රෝනා වැලඳී ඇතැයි තහවුරු වූයේ කරන ලද පි.සී.ආර් හා රැපිඩ් පරීක්ෂණ දෙකකින් අනතුරුවයි. ඇය පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවටද පැමිණ ඇති අතර එදින සවස් වරුවේ පැයක පමණ කාලයක් එහි ඉඳ පිටත්ව ගොස් තියෙනවා. එසේම ඇය මන්ත්‍රී භෝජනාගාරයට ගොස් තේ පානය කර තියෙනවා. ඇමැතිවරියට බරපතළ සංකූලතා කිසිවක් නැති අතර ඇය පසුවන්නේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙනි.පසුගිය දිනවල ඇය විවිධ වැඩ සටහන් හා සාකච්ඡා කිහිපයකටද සම්බන්ධ වී සිටි නිසා එම ස්ථානයට පැමිණි කො.රෝනා ආසාදිතයකුගෙන් රෝගය බෝවන්නට ඇතැයි සැක කෙරෙනවා.“

ඇමැතිවරියට කො.රෝනා ආසාදනය වීම පුදුමයක්. කොහෙන් බෝ වුණා ද කියලා අපිටත් ප්‍රශ්නයක්. හැබැයි ඇය කො.රෝනා මැඬලීමේ වැඩපිළිවෙළ පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන් මෙන්ම විවිධ පුද්ගලයන් සග එක්ව වැඩ කළා. ළඟදී දවසක ඇයගේ උගුර ටිකක් රිදෙනවා කිව්වා හින්දා පී. සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණයකට ලක්වුණා. එහිදි ඇයට කො.රෝනා වැළඳි ඇති බව තහවුරු වුණා.

ඇය හික්කඩුව ප්‍රතිකාර මධ්‍යස්ථානයක පසුවෙනවා. අපි නිවසේ නිරෝධායන වෙනවා. නිවසේ වැඩ කරන ආරක්ෂක සේවයේ යෙදී සිටින සියලූම දෙනාත් පී. සී. ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කළා. ඇමැතිනිය හැර අප කාටත් කො.රෝනා වැලඳී නැති බව තහවුරු වුණා.“මේ වනවිටසෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි IDH රෝහලට ඇතුළත් කළ බව සෞඛ්‍ය අංශ වර්තා කරයි.

ඇමැති වාසුදේව නානායක්කාර කො.රෝනා රෝගය වැළඳී සුවවීමෙන් අනතුරුව නිවසේ සිට විවේකී සුවයෙන් පසුවෙයි. ඔහු වෙනුවෙන් ඔහුගේ තොරතුරු පැවැසූවේ ඔහුගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් ඩබ්ලිව් කේ විලේගොඩය.

ඇමැතිවරයා අසනීප වූ බව දැන ගත්තේ 11 වැනිදා. ඒ වන විට ඔහුට ඇඟපත රිදුම වැනි පොඩි ශාරීරික වෙනස්කම් කිහිපයක් තිබුණා. රෝගය බෝ වූ ආකාරය නිශ්චිත නැතත් මහජන හමු පවා එතුමා ආරක්ෂිතව පැවැත්වූවා. මේ වන විට ඇමැතිතුමාට සුවයි.ඒත් එතුමා නිවසට වී නිරෝධාන කාලය ගත කරනවා. ඔහු සිටියේ කොග්ගල පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ. මුලින්ම ගෙදර සිටියත් වෛද්‍ය උපදෙස් මත එහෙට යන්න වුණා. එම මධ්‍යස්ථානයේ නීති රීති තදයි. තමන්ට කැමැති විදියට එළියට යන්නවත් බැහැ. කෑම වේල් තුනක් ලබා දෙනවා.

කාමරයේ සිට තමන්ට අවශ්‍ය විදියට තේ කෝපි හදාගෙන පානය කළ හැකියි. අවශ්‍ය වු විට වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කිරීම් කරනවා. මේ කාලයේ ඇමැතිවරයා කාමරයට වී පොත්පත් කියෙව්වා. රූපවාහිනිය නැරඹුවා. නිවසට ගෙන යාමට එක්කගෙන ඒමට ගියේ මම. ඒත් එම මධ්‍යස්ථානයේ එක් සීමාවත් දක්වා පමණයි අපිට යාමට හැකි වූයේ. ඔහු තනියම තමන්ගේ ඇඳුම් පැලදුම් සූදානම් කරගෙන තම බෑගයත් රැගෙන වාහනයට ආවා. නිවසේ සති දෙකක විවේකයකින් පසුව නැවතත් සුපුරුදු රාජකාරියට ඇමැතිවරයා එක්වේවි…“

රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ඇතුළු සිය බිරිඳට හා දියණියට කොවිඩ් වැළඳුණේ පසුගිය 13 වැනිදාය. ඒ වන විට ඔහු කොව්ඩ් රෝගයට ගොදුරු වූ හතරවැනි පාර්ලිමේන්තු මහජන නියෝජිතයාය. ඔහු සිළුමිණට කතා කළේ කොග්ගල පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටය.

“මමයි මගේ බිරිඳයි දුවයි අපි තුන්දෙනා කොග්ගල පිහිටි හමුදාවෙන් ක්‍රියාත්මක නිරො­්ධායන මධ්‍යස්ථානයේ සිට ගෙවීමේ ක්‍රමයට ප්‍රතිකාර ගත්තා. අපිට පොඩි කොටේජ් එකක් ලැබුණා. පළමු දින දෙක තුනේ අපිට ඇඟ රිදුම, හිස කැක්කුම තිබුණා. දැන් තිදෙනාම ගෙදර ආවා. ඒත් දැන් සුවයි. අපේ අයියා කෙනෙකුගේ මාර්ගයෙන් මේ රෝගය අපිට බෝ වෙන්න ඇතියි කියා මා විශ්වාස කරනවා. මුලින්ම මගේ ඇඟ රිදෙන ගති මතුවුණ නිසා පී.සී.ආර් කළේ. මගේ නිවසේ අය සමඟ කාර්ය මණ්ඩයේ අයටත් පරීක්ෂණය කෙරෙව්වා. පසුව පොසිටිව් වූ බව ආරංචි වූ නිසා මම සෞඛ්‍ය ඇමැතිතුමියට කතා කර මේ බව දැන්වූවා.

අපිට කොවිඩ් වැළඳුණු බව ආරංචි වූ වහාම පැය දෙකක් තුළ අපි මේ ස්ථානයට ආවා. මෙහිදි අපිට දෙන්නේ සරල බෙහෙතක් පමණයි. ඒ වගේම දුම් ඇල්ලුවා .කොත්තමල්ලි පානයට දුන්නා. අපිට අවශ්‍ය හැම දෙයක්ම මේ අය ඉතා හොඳින් සොයා බලපෑවා. එයට ගොඩාක් ස්තුතියි. අපේ විවාහ සංවත්සරය පවා යෙදිලා තිබුණේ මේ දිනවලමයි.

ඒ නිසා අපි තුන්දෙනා කේක් එකක් කපලා චාම් අන්දමින් විවාහ සංවත්සරය සැමරුවා. මෙම මධ්‍යස්ථානයේ තමයි ඇමැති වාසුදේව, මන්ත්‍රි හකීම් ප්‍රතිකාර ගත්තේ. නිදහසේ සිටියා. එත් මම මේ අවස්ථාවේ රජයෙන් එක් ඉල්ලිමක් කරන්න කැමැතියි, තදබල අසනිප ගති නොපෙන්වන රෝගින්ට නිවසේ සිට නිරෝධායනය වීමට අවස්ථාවක් ලබා දෙන්නේ නම් එය ඉතා උචිතයි….“

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන් අතරින් මුලින්ම කොවිඩ් රෝගය වැළඳුණේ රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකරටය. මේ වන විට ඔහු සුව වී නිවෙසේ නිරෝධනය කාලය ගත කර රාජ්‍ය සේවයටද ගොස් ඇත්තේය.

“..ඇඟපත රිදීම, උණ නිසා මම මුලින්ම හිතුවේ මට ඩෙංගු රෝගය වැළඳුනා කියලා. උණ තියෙන නිසා නිවසේත් මම සිටියේ වෙනමම කාමරයක. මේ නිසා මම ඩෙංගු පරීක්ෂාවයි, පී.සී.ආර් පරීක්ෂාවයි දෙකම එකට කළා. එහිදි තමයි කොවිඩ් පොසිටිව් කියලා දැන ගත්තේ. මම ප්‍රතිකාර ගන්නට හික්කඩුවේ සුපර් කොරල් ගාර්ඩ්න් මධ්‍යස්ථානයට යන විට පාන්දර 2 ට පමණ ඇති. දැනගත් විගසම ගියා. මම යද්දී පොත්පත් කිහිපයක් ගෙන ගියා. ගොඩක් දවසට රාත්‍රියට නින්ද යන්නේ නැහැ.

පාන්දරම ඇහැරෙනවා. හරිම ඒකාකාරීයි; සිරගත දිවියක් ගතකළා වගේ හැඟීමක් දැනුණා. මුලදි මට කෑම ගේන ළමයා ඇවිත් කෑම එක එළියෙන් තියලා දුවනවා මම දැක්කා. ඒත් පසුව ඔහු මා හඳුනා ගත්තා. දවල් 11 ට පමණ තද අව්වේ මා ඇවිද්ද වනවා. දවල්ට නාලා කාලා සවස් වෙනකම්ම මට කරන්න දෙයක් තිබුණේ නැහැ. වෙලාවක මට පෝන් එකත් මහ වදයක් වුණා. පෝන් මැසේජ් පමණක් දෙදහ පැන්නා. දින 14 ක් පමණ යළිත් නිරෝධායනය. 20 වැනිදා මම ගෙදර ආවා. 26 වැනිදා රැකියාවටත් ගියා.

මම අදටත් විශ්වාස කරන්නේ මේ රෝගය මට බෝ වුණේ මගේ ගමෙන්; එහි රැස්වීම් කිහිපයකට මම ගියා. ඇත්තටම රජයක් විදියට අපි සතුටු වෙනවා, රජයේ වියදමින් මෙවැනි ආකාරයට රෝගි සත්කාරක සේවාවක් කිරීම ගැන. ඒත් දිනකට රෝගීන් ප්‍රමාණය 1000 පැන්නොත් එය දරා ගැනීමට අපහසු තත්ත්වයත් ඇති වේවි. මේ නිසා රජය තීන්දුවක් ගත යුතුයි, අඩු සංකුලතා ඇති අය නිවෙස්වල සිටම නිරෝධායනය කර වීමට…..“

කොවිඩ් රෝගයට ගොදුරු වූ මැති ඇමතිවරුන් අතර කොවිඩ් වැලඳුණු හත්වන කෙනා වන්නේ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දුය. ඒ තමන්ගේ ඇඟට දැණුනු අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු විසින්ම සිදු කරන ලද පී. සී. ආර් පරික්ෂණයෙන් අනතුරුවය.

“මට සති දෙකක සිට සුළු උණ තත්ත්වයක් තිබුණා. ඒත් පාර්ලිමේන්තුව විසින් පසුගිය දිනවල සිදු කරන පි.සී.ආර් පරීක්ෂණයේදි එය නෙගටිව් වුණා.

පසුගිය සිකුරාදා මම නුවර ගියා. පසුදින දළදා වහන්සේ වැඳ මල්වතු අස්ගිරි මහ නා හිමිවරු බැහැ දකින්න සූදානමින් සිටියත් ඇඟට දැණුනු අසනීප තත්ත්වය නිසා ඒ ගමන නවතා දැම්මා. නමුත් සෙනසුරාදා සවස රැස්වීම් කිහිපයකටම ගියා. කිතුල් පැණි සම්බන්ධ වලපනේ පැවැති භාණ්ඩ බෙදා දීමකටත් සම්බන්ධ වුණා. ඉන්පසු පන්විල අමත්‍යාංශය සතු වැවිලි ඉඩම් කිහිපයක් බලන්නත් ගියා. ඉන්පසු තෙල්දෙනිය, උඩුදුම්බර බල මණ්ඩල රැස්වීම් කිහිපයකටත් සහභාගි වුණා. නමුත් ඉරිදා වන විට

ඇඟට උණ ගතිය හා ඇඟපත වේදනාව දැනුණු නිසා ලංකා රෝහලින් පී.සි.ආර් පරීක්ෂණය කළා. මෙහි වාර්තාව ආවේ බඳදා උදේ. ඒ අනුව තහවුරු වුණා මට කොවිඩ් වැළඳී ඇති බව. මේ නිසා ඇපලෝ රෝහලේ නතර වී වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් විවේකිව සිටිනවා……..“

මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර කොවිඩ් වැළඳුණු 6 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාය. එහෙත් ඔහුගේ පී.සී.ආර් වාර්තාවේ යම් යම් ගැටලු පවතින බවත්, දෙවැනුව ඔහු විසින් කළ අහඹු ප්‍රතිදේහ පරික්ෂාවෙදී ඔහු කොවිඩ් වැළඳී නැතිබව තහවුරු වූ බවත්

මම පළමු ආශ්‍රිතයෙකුවත්, මට කිසිම අසනිපයක්වත් තිබුණේ නැහැ. මම ස්වේච්ඡාවෙන් තමයි කඩුගන්නාව දිසා රෝහලෙන් මේ පරීක්ෂාව කළේ. ඒ 16 වැනිදා. දින දෙකකින් මම වාර්තාව ගැන විමසිම් කළා. ඉන් පසුවත් කළා. ඒත් කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. මේ නිසා මම මහජන හමුවිම් ඇතුළු මගේ වැඩ කටයුතු කළා. දින 9 කින් එනම් 24 වැනිදා රාත්‍රි 10.30 ට පමණ මට කතා කර කිව්වා, මට කොවිඩ් පොසිටිව් කියා.

ඉන්පසු මම අහඹු ප්‍රතිදේහ පරික්ෂාව පෞද්ගලික රෝහලකින් සිදු කළා. එය නෙගටිව් වුණා. ඉන්පසු මම මගේ නිවසේ අය ඇතුළුව 30 දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කළා. ඒ සියල්ලත් නෙගටිව් වුණා. ඉන්පසු මම කළ යුතු දේ ගැන වෛද්‍ය උපදෙස් ගත්තා. ඔවුන්ගේ අදහස වුණේ ඉතුරු දින කිහිපය මට වෙන් වී සිටින ලෙසයි. මේ වන විට දින 14 ත් ගෙවිලා. මම ඉල්ලා සිටින්නේ ඇයි මෙවැනි දේවල් වන්නේ. අදාළ වෛද්‍ය නිලධාරීන් මේ ගැන සැලකිලිමත් විය යුතුයි. අපි මහජන නියෝජිතයන්. අපිත් සමඟ ගැවසෙන පිරිස වැඩියි.

මේ නිසා අපේ වාර්තා මීට වඩා සැලකිලිමත්ව බැලිය යුතුව තිබුණා. මම සොයා බැලූ විදියට ආරංචි වුණේ 16 වැනිදා මගෙන් ගත්තු සාම්පල හා නම් ලැයිස්තුව පරික්ෂණාගාරයට ගිහින් තියෙන්නේ 21 වැනිදා කියලා…එය විශාල දුර්වලතාවක්….“

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් කොවිඩ් වැළඳුණු කොග්ගල පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා මේ වන විට පිටත්වගොස් ඇත. කෙසේ වෙතත් මන්ත්‍රීවරයාට කොවිඩ් වළදි ඇතැයි තහවුරු වූ විගස ඔහු ට්විටර් පණිවුඩයක් තබමින් කියා සිටියේ තමන්ට කොවිඩ් වැළැඳී ඇති බවත් තමන්ගේ ආශ්‍රිතයන් වූ පිරිස සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවත්ය.

Next Post

දැඩි සත්කාර ඒකකයේ ජීවිතය රැකගන්න පොරබදන දරුවන්ට ජීවිතය දුන් රත්තරන් දොස්තර - වෛද්‍ය ගයාන් දන්තනාරායන කවුද? ඔහු ගැන ඔහුගේ මිතුරන් මේ තරම් උනන්දු වන්නේ ඇයි?

Sat Jan 30 , 2021
පසුගිය සිකුරාදා රාත්‍රියේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සුවිශේෂි බෝධි පූජාවක් පැවැත්විණි. මේ බෝධි පූජාව සංවිධානය කළ පිරිස අතර මු.ස්ලිම් ජාතිකයකු වූ වෛද්‍ය අහමද් රිෆ්කාන් මහතාද උන්නේය. ඔහු මේ පින්කමට සම්බන්ධ වී සිටියේ කලක් තමා සමඟ එකට ඉගෙනගත් හිත හොඳ මිතුරකු වූ වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ ජීවිතය බේරාදෙන ලෙස ඉල්ලා සිටින්නටය. එසේත් නැති […]