අංක එකේ පී.සි.ආර් යන්ත්‍රය ගුවන්තොටේ එකතැන – දිනකට පරීක්ෂණ 4,500ක් පැය එකහමාරක පමණ කෙටි කාලයකින් වාර්තාව

මෙරට ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ පී.සි.ආර් පරීක්ෂණ සඳහා රසායනාගාරයක් ස්ථාපිත කිරීමේ මූලික අරමුණට සම්පූර්ණයෙන්ම පටහැනි වන අයුරින් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් කියයි.

ගුවන්තොටුපොළ පී.සි.ආර් රසායනාගාරය වැසී යන්නට සලස්වා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගජ මිතුරන්ගේ ආදායම තර කරමින් සිටින බවටද හෙතෙම කියයි. 

ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළ පී.සි.ආර් රසායනාගාරයක් ඉදිකිරීමේ මූලික අරමුණ වන්නේ ගුවන් මගීන්ගේ පී.සි.ආර් පරීක්ෂණ සිදුකිරීම වුවද, සංචාරකයන් ගෙන්වීමේදී හෝ ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසුව, ගුවන් මගීන්ගේ එකදු පී.සි.ආර් පරීක්ෂණයක් හෝ ගුවන්තොටුපොළ රසායනාගාරයට යොමු කර නොමැති බව හෙතෙම පවසයි.

අමාත්‍යාංශයේ සමහර නිලධාරීන්ගේ සහ විශේෂඥයන්ගේ තාවකාලික සේවා ස්ථානවලට වාසි සලසමින්, ගුවන් මගීන්ගේ සියලු පී.සි.ආර් පරීක්ෂණ පෞද්ගලික අංශයේ රසායනාගාරයක් වෙත යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවද හෙතෙම පවසයි. 

ඒ සඳහා පූර්ව පියවරක් ලෙස ගුවන්තොටුපොළ තුළ පී.සි.ආර් නිදර්ශක ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් යොදවන ලද කාර්ය මණ්ඩලය, ගුවන්තොටුපොළ විවෘත කිරීමට පෙර ඉවත් කර ගැනීමට කටයුතු කර තිබීම කැපී පෙනෙන තත්ත්වයක් බවද හෙතෙම පෙන්වා දෙයි.

ශ්‍රී  ලංකාව තුළ අංක එකේ පී.සි.ආර් රසායනාගාරය ලෙස කටයුතු කරනු ලබන්නේ ගුවන්තොටුපොළ රසායනාගාරය වන අතර, එහි ධාරිතාව පී.සි.ආර් පරීක්ෂණ 4,500ක් පමණ වන බවත් පැය එකහමාරක පමණ කෙටි කාලයකින් පී.සි.ආර් පරීක්ෂණ වාර්තාවක් නිකුත් කිරීමේ හැකියාව පවතින අතර, ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා වාර්තාවක් ලබාදීමේ හැකියාව ඇති රසායනාගාරය වන්නේද එම රසායනාගාරය පමණක් බවත් එම තත්ත්වයන්ට කිසිසේත් සමාන කළ නොහැකි රසායනාගාර වෙත පී.සි.ආර් පරීක්ෂණ යොමු කිරීම මඟින් රජයට ඉපයිය හැකි විශාල ආදායමක්, ව්‍යාපාරිකයන් කිහිපදෙනකු අතට පත් කිරීම බරපතළ අත්වැරැද්දක් බවත් ජනාධිපතිවරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් වටහා ගත යුතු බවත් හෙතෙම පවසයි. 

ගුවන් මගීන්ගෙන් සහ සංචාරකයන්ගෙන් දැනට පරීක්ෂණයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 50ක පමණ මුදලක් අය කරන අතර ඔවුන් පරීක්ෂණ දෙකක් හෝ හතරක් අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවත් මේ මුදල පමණක් රජයට හෝ ගුවන්තොටුපොළට අයකර ගනු ලබන්නේ නම්, එමඟින් සමස්ත රසායනාගාරය නඩත්තු කළ හැකිව තිබියදී, ඊනියා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සහ ඔවුන්ගේ ගජමිතුරන්ගේ ව්‍යාපාර නඩත්තු කිරීම සඳහා වසංගතය භාවිත කිරීම බරපතළ තත්ත්වයක් බවද හෙතෙම තවදුරටත් පවසයි.

උපුටාගැනීම – 2021 ජනවාරි මස 29 වන දින පළවූ මව්බිම පුවත්පතින්

Next Post

එන්නතේ වෙනත් බලපෑම් නෑ - පළමු දින සාර්ථකයි

Fri Jan 29 , 2021
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇස්ට්‍ රාසෙනිකා එන්නත අද (28දා) සිට එන්නත් කිරීම ආරම්භ කළ බවත් එහි වෙනත් බලපෑම් කිසිවක් නොමැති බවත් වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි. අද දිනයේදී එන්නත් මධ්‍යස්ථාන 10කදී එන්නත් 5286ක් ලබාදී තිබේ. එහිදී වැඩිම ප්‍රමාණයක් එන්නත් කර ඇත්තේ කොළඹ ජාතික රෝහලේදී වන අතර එම අගය […]