එන්නත ගැන දැනුවත් වෙමු – මෙරට පළමු කොවිඩ් එන්නත යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට ලබාදෙයි – ජායාරූප

ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත්, එන්නත්කරණය අද (29) පළමුව යුද හමුදා රෝහලේදී ආරම්භ විය.එහිදී යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට පළමුව එන්නත ලබාදීමට පියවර ගත්තේය.

මේ අතර එන්නත්කරණ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී පැවැත්වුණේ සෞඛ්‍ය බලධාරීන් රැසකගේ සහභාගීත්වයෙනි.එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද එක්ව සිටියේය.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී පළමු එන්නත ලබාදුන්නේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාටය.ඒ අනුව බස්නාහිර පළාතේ රෝහල් 6 කදී ස්ථාන 6කදී එන්නත්කරණ කටයුතු අද ආරම්භ විය.

අද දවසේ දෙන්න යන එන්නත මොකක්ද? මොන රටක නිර්මාණය කරන ලද්දක් ද?

එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ Astrazenecea සමාගම මගින් නිර්මාණය කර ලොව පුරා රටවල් අටක මේ වන විට නිෂ්පාදනය සිදුකරන එන්නතකි.

ලංකාව තුළ හෙට දිනයේ ලබාදීමට යෙදෙන්නේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ AstraZenecea සමාගම මගින් නිර්මාණය කරන ලද ඉන්දියාව තුළ නිෂ්පාදනය කරනු ලබන CoviShield යන නමින් වෙළඳපලට නිකුත් කරන Oxford-Astrazeneca එන්නත වේ.

මෙම එන්නතේ ගුණාත්මකභාවය කොහොමද?

මෙම එන්නත ලබා ගැනීම මගින්,
covid ආසාදනය වීමේ අවධානම සැලකිය යුතු ලෙස අඩු වේ. (පර්යේෂණ වාර්තා වලට අනුව මෙම අගය 62% සිට 90% දක්වා වන බව තහවුරු කර ඇත)

ඊට අමතරව රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීමේ අවදානම ද විශාල ලෙස අඩුවන බව සොයාගෙන ඇත.

මෙම එන්නත ලබා ගැනීමෙන් පසු රෝගය වැළඳුණ ද එමගින් සංකූලතා ඇතිවීම, දරුණු රෝගී තත්ත්වයක් ඇතිවීම ඉතා විශාල ලෙස අඩු වීමක් පෙන්නුම් කර ඇත. (පර්යේෂණ වාර්තා වලට අනුව පර්යේෂණයට භාජනය කළ 10,000 කට අධික පිරිසගෙන් කිසිම කෙනෙකුට රෝහල් ගත කර ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වන තරම් රෝගී තත්ත්වයක් වැළඳී නැති බව වාර්තා වනවා)

මේ සියලුම වාසි ලැබුණත්, මෙම එන්නත සහ දැනට ලෝක වෙළඳපොලේ අනුමත අනෙකුත් එන්නත් සියල්ලම භාවිතය සඳහා අනුමත කර ඇත්තේ දැනට කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට අප ගන්නා සියලු ක්‍රියාමාර්ගවලට අමතරව රෝගය පැතිරීම වැළැක්වීමට නව ජවයක් එකතු කිරීමට මිස එම ආරක්ෂක විධිවිධාන සියල්ල අතහැර දමා එන්නත මත පමණක් යැපීමට උනන්දු කරවීමට නොවේ.

මෙම එන්නත් ලබා දෙන්නේ කාටද?

මෙම එන්නත් ලබාදීම සිදුකරනුයේ රෝගය වැළදීමට ඇති අවදානම මුල්කරගෙන නිර්මාණය කරන ලද ප්‍රමුඛතා ලයිස්තුවකට අනුකූලවයි.

මුලින්ම එන්නත් ලබා දෙනුයේ කොරෝනා ආසාදිතයන් සමග ගැටෙන පළමු පෙළ සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් හඳුනාගත් අංශවල සිටින පුද්ගලයින්.

දෙවනුව අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ටත් ඉන්පසු අඩු වන වයස් පිලිවෙලට, අවදානම් සාධක ද සලකා බලා, පියවරෙන් පියවර එන්නත ලබාදීමට තීරණය කර ඇත.

මෙම එන්නත දැනට අනුමත කර නැත්තේ කුමන කාණ්ඩ සඳහා ද?

වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට

ගර්භනී මව්වරුන්ට සහ මව් කිරි දෙන මව්වරුන්ට

එන්නත් සදහා දැඩි අසාත්මිකතා පෙන්වා ඇති පුද්ගලයින්.

මේ කරුණු වලට අමතරව සෞඛ්‍ය කාර්යය මණ්ඩලය මගින් සෑම පුද්ගලයෙකුම එන්නත ලබා ගැනීමට ඇති යෝග්යතාවය සලකා බැලීමෙන් පසුව පමණක් එන්නත් ලබා දීම සිදු කරනු ඇත.

කොරෝනා ආසාදනයට ලක්වූ පුද්ගලයකුට මෙම එන්නත් ලබාගත නොහැකිද?

රෝගය කලින් වැළඳී ඇත්ද නැද්ද යන්න එන්නත් කරනය සඳහා බාධාවක් නොවේ. එම නිසා ඉහත සඳහන් කළ කාණ්ඩ වලට අයත් නොවන සියලු දෙනාටම මෙම එන්නත එන්නත් කළ හැක.
උපුටා ගැනීම- සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

Next Post

බස්නාහිර රෝහල් 6කයි - යුධ හමුදා රෝහලෙයි පලමු එන්නත් ලබා දුන්නෙ මෙහෙමයි - ජායාරූප

Fri Jan 29 , 2021
මෙරට කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. එහි ප්‍රධාන උත්සවය පැවැත්වුණේ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි ඩී එච් රෝහලේදීයි. එහිදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ආරම්භ කරමින් පළමු එන්නත ලබාදුන්නේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමටයි.  එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක […]

Breaking News