ටෙන්ඩරේ දෙන්නත් කලින් රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලංකාවට ආවේ කොහොම ද? ඇත්ත නැත්ත මෙන්න

පසුගියදා ලංකාවට ගෙන ආ රැපීඩ් ඇන්ටිජන් කට්ටල (Rapid Antigen Test Kits) තොගය සහ රජය විසින් රජයේ රෝහල්වල භාවිතය සඳහා රැපීඩ් ඇන්ටිජන් කට්ටල ගෙන ඒම සඳහා ටෙන්ඩර් කැඳවීම අතර කිසිදු සම්බන්ධයක් නැතැයි මේ වන විට අනාවරණය වී තිබේ.

PCR ක්‍රමයට වඩා අඩු කාලයක් සහ අඩු මුදලක් මගින් කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම භාවිත කරන රැපිඩ් ඇන්ටිජන් කට්ටල නිෂ්පාදනය සඳහා මාස දෙකකට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තර සමාගම් දෙකකට අවසර ලබා දී ඇති අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය පසුගිය ඔක්තෝබර් 22 වෙනිදා එය ලංකාවට ගෙන ඒම සඳහා අවසර දී තිබේ.

එම අනුමැතිය ලද වහාම පසුගිය අවුරුදු 10ක පමණ කාලයක් තිස්සේ අදාළ සමාගම් දෙකේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන George Steuart සමාගම මෙම උපකරණ කට්ටල තොගයක් ලංකාවට ගෙන ඒමට කටයුතු කර තිබේ. ඒ මේ රට පෞද්ගලික අංශයේ සහ පෞද්ගලික රෝහල්වල භාවිතය සඳහා ය.

මෙහි දී George Steuart සමාගම අදාළ භාණ්ඩ තොගය ලංකාවට ගෙන ඒමට කිලෝග්‍රෑමයට ඩොලර් 1.5ක් වැඩිපුර ගෙවමින් කොරියානු ගුවන් සේවය වෙනුවට මේ වන විට පාඩු පිට දුවන අපේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් තෝරා ගැනීම ද විශේෂත්වයකි. ඔවුන් ගෙන ආ රැපිඩ් ඇන්ටිජන් කට්ටල මේ වන විටත් ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයට මෙන්ම ආසිරි රෝහලට ලබා දී ඇත. ආසිරි රෝහල පමණක් රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලක්ෂයක් මිලයට ගෙන තිබේ.

කෙසේ වුවද මෙම පෞද්ගලික සමාගමක් පෞද්ගලික අංශයේ භාවිතයට ගෙන ආ රැපිඩ් ඇන්ටිජන් කට්ටල තොගය සහ ආණ්ඩුව ඒවා ගෙන ඒම සඳහා ටෙන්ඩර් කැඳවීම අතර කිසිදු සම්බන්ධයක් නොමැත. ඒ සඳහා ඉදිරිපත් වූ සමාගම් තවමත් විශේෂඥ කණ්ඩායමක් මගින් පරික්ෂා කරන අතර ඉදිරියේ දී වඩාත් සුදුසු සමාගම හෝ සමාගම් වෙත අදාළ ටෙන්ඩරය ලබා දෙන බව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ ය.

කොරෝනා හඳුනා ගන්නා PCR පරීක්ෂණයක් සඳහා වැඩි කාලයක් සහ රු. 9 000 – 20 000 දක්වා මුදලක් වැය කළ යුතු වුවද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව සඳහා වැය වන්නේ විනාඩි 15ක් වැනි කෙටි කාලයක් සහ රු. 1000කට ආසන්න මුදලකි. එහෙයින් එය පෞද්ගලිකව වුවද කැමති අයෙකුට පෞද්ගලික රෝහලකින් අඩු මුදලකට කරගත හැකි ය.

සෞඛ්‍ය අංශයට සම්බන්ධ වෘත්තීය සමිති මෙන්ම පසුගිය රජයේ විවිධ දේශපාලනඥයිද මෙම සිදුවීම් දෙක සම්බන්ධ කර අසත්‍ය පුවත් නිර්මාණය කරමින් සිටින බවට වාර්තා වී තිබේ. කෙසේ වුව ද මෙහි සත්‍යාතාව රට හමුවේ තැබීමට ආණ්ඩුවේ වගකිව යුතු පාර්ශව මෙතෙක් කටයුතු කර නොමැත.

Next Post

වැලිසර - කන්දකාඩු පොකුරු මර්දනය කලා - මිනුවන්ගොඩ, පෑලියගොඩ පොකුරු මර්ධනය කරමින් සිටිනවා - ඒලියන්ත වයිට්

Sun Nov 8 , 2020
ඉන්දියාවේ වේගයෙන් පැතිරෙමින් ඇති කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් 63 දෙනෙකුට වෛද්‍ය එලියන්ත වයිට් මහතා විසින් ලබාදුන් ප‍්‍රතකාර හේතුවෙන් ඔවුන් කඩිනමින් සුවය ලබා නිවෙස් වලට ගොස් තිබෙන බව ඔහුට දන්වා ඇතැයි සති අන්ත මව්බිම පුවත්පත වාර්තා කරයි. ඉන්දියා රජයේ ඉල්ලීම මත සහ ශ්‍රී ලංකා ජනාධිපති සහ අගමැතිගේ අවසරය මත මෙම […]