දිවුලපිටිය ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් 1034 දෙනාගෙන් ඊයේ පස්වරුව වන විට රෝහල් ගතකර ඇත්තේ 528 ක් පමණක් බව හෙලිවී තිබේ.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය වී ඇත.
දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් 1725 ක් සඳහා කොරෝනා පරික්ෂා සිදුකර ඇති අතර ඔවුන් නිරෝධායනය සඳහා ඉන්පසු නිවෙස් වලට යොමු කර තිබේ.
නමුත් ඔවුන් විසින් එහිදී ලබා දී ඇති ලිපින හා ජංගම දුරකතන අංක වැරදි බව ද හෙළි වී ඇත.
එම වැරදි ලිපින සහ දුරකථන අංක ලබාදුන් සේවකයන් සොයා බුද්ධි අංශ විසින් මෙහෙයුම් ආරම්භ කර ඇත.
කෙසේ නමුත් එම ආයතනය සේවක ලෙස සියලු දෙනා සහ ආශ්රිත යනු නිරෝධනය කිරීමට තීරණය වී තිබේ.
වසංගත රෝග විද්‍යා අංශය විසින් ඊයේ පෙරවරු 10.00ට නිකුත් කර ඇති වාර්තාවේද දැක්වෙන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයන් රෝහල්ගත කර ඇත්තේ 509ක් බවය.
කිසිවකු හෝ තමන්ට කොරෝනා ආසාදිත යැයි සැක සහිත නම් ඒ බව වේලාසනින් රෝහල් හෝ අදාළ අංශ දැනුවත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටියි.
එසේ නැතිව සෘජුව රෝහල්වල බාහිර රෝගී අංශ වෙත නොපැමිණෙන ලෙස ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඉල්ලා සිටියි.
එසේ පැමිණියහොත් අවධානමට ලක්වන රෝහල් කාර්ය මණ්ඩල නිරෝධායනයට ලක් කිරීමට සිදුවන බවත් එවිට ප්‍රතිකාර කාර්ය මණ්ඩල අඩුවීම සිදු වන බවත් ඔහු කියා සිටියේය.
එවන් තතත්වයකදී රෝගීන් රෝහලට එනවිට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය කාර්යය හිග වනු ඇතැයි ද පවසන ඔහු එය ඉතා භයානක තත්ත්වයක් බවත් ඒ හරහා කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් කියා සිටියේය.
මෙවර කොරෝනා පොකුරේ පළවෙනි ජීව සාම්පලය ලබාගෙන ඇත්තේ තිස් වෙනිදා වුවද එහි ප්‍රතිඵල පැමිණ ඇත්තේ තුන්වෙනි දා බවත් එතරම් පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාද වීම දැඩි ගැටළුවක් බවත් ඔහු පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.