දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොවිඩ්-19 රෝගය වැළඳී ඇතැයි තහවුරු වීමත් සමග මහ ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ එක්රැස් කිරීමට යුහුසුළු වන ආකාරයක් වෙළෙඳසල් ආශ්‍රිතව දක්නට ලැබේ.
අප වාර්තාකරුවන් පැවසුවේ, සුපිරි වෙළෙඳ සල් සහ ඉන්ධන පිරවුම් හල් ආශ්‍රිතව මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබුණු බවය.
මේ අතර, බොහෝ වෙළෙඳ සල්වල සහල් හිඟයක් පවතින බව වාර්තා වේ.
පානදුර ප්‍රදේශයේ වෙළෙඳ සල් රැසක් නිරීක්ෂණය කළ අපට සහල් හිඟයක් පවතින බව තහවුරු විය.
වෙළෙඳ සල් හිමියන් ප්‍රකාශ කළේ, සහල් හිඟය මාස ගණනක සිට පැවති බවය.
“අපි හාල් බෑග් 300ක ඕඩර් එකක් දුන්න ම අපිට ලැබෙන්නෙ බෑග් 50යි. මේ තත්ත්වය දිගට ම තිබුණා. ගිය පාර ලොක්ඩවුන් කරනකොට අපි ගාව හාල් ඕන තරම් තිබුණා. ඒත් දැන් හාල් තොග නෑ. ඒ නිසා හදිසියේ ලොක්ඩවුන් කළොත් ලොකු ප්‍රශ්නයක් වෙයි,” වෙළෙඳ සල් හිමියෙක් පැවසීය.
බොහෝ ඉන්ධන පිරවුම් අසල දිගු වාහන පෝලිම් ද දක්නට ලැබිණි.
මේ අතර, ජනතාව මුහුණ දෙන තවත් ගැටලුවක් වී ඇත්තේ, භාණ්ඩ එක්රැස් කර ගැනීම සඳහා අවශ්‍ය ආර්ථික හැකියාව අඩු වීමය.
“දැන් අපේ පඩියෙන් කොටසයි හම්බ වෙන්නේ. ඒ නිසා ගෙදරට අවශ්‍ය බඩු වැඩිපුර ගන්න විදියක් නෑ. මේ පාර ලොක්ඩවුන් කළොත් අපට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි,” පානදුර ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික ආයතන සේවකයෙක් සඳහන් කළේය.
කෙසේ වෙතත්, මෙතෙක් සමස්ත දිවයින ආශ්‍රිතව ලොක්ඩවුන් ක්‍රියාත්මක කිරීමක් සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැත.
කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීම සඳහා වන ක්‍රියාන්විතයේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටියේ, ඉදිරි දින කිහිපය තුළ අනවශ්‍ය කිසිවෙකු නිවසින් බැහැර නොගොස් සිටිමින් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට පියවර ගන්නා ලෙසය.
උපුටාගැනීම – මව්බිම