සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

මිනුවන්ගොඩ රෝහල කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර කරන රෝහලක් වශයෙන් වෙන්කර තිබේ.මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් කොවිඩ් ආසාදිතයන් බවට වාර්තා වීමත් සමග ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහ් මෙම රෝහල වෙන් කර තිබේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවිකාවන් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද (5දා) තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

මෙම සේවිකාවන් දෙදෙනා එම ඇඟළුම් කම්හලේ ප්‍රථමයෙන්ම වාර්තාවූ සේවිකාව සමීපව ඇසුරු කරන ලද අය බව පැවසේ.මොවුන් නාරම්මල ගලහිටියාව සහ කුලියාපිටිය නක්කාවත්ත බරිගොඩ පදිංචිකාරියන් බව වාර්තාවේ.

මොවුන් දෙදෙනා කොරෝනා ආසාදිතයින් බව තහවුරු වීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච් උණ රෝහල වෙත යැවූ බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.

මොවුන් දෙදෙනාට අමතරව මේවනවිට එම ඇඟළුම් කම්හලෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හා සමීපව ඇසුරු කරන ලද තවත් පුද්ගලයන් සිවු දෙනෙකුද පීසීආර් පරීක්ෂණය සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටින බවද වෛද්‍ය කැඳන්ගමුව මහතා පැවසීය.

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ්-19 රෝගීන් කිහිප දෙනා හේතුවෙන් එය හදිසි තත්ත්වයක් ලෙස දැනුම්දෙන බව වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා නිවේදනය කරයි.

ඒ අනුව, කොවිඩ්-19 සමාජය තුළ තවදුරටත් සම්ප්‍රේෂණය පාලනය කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටියි.

රට තුළ ජාතික ආරක්ෂාව සුරැකීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් ගත හැකි සෑම පියවරක් ම ගෙන ඇති බවත් ඒ සඳහා නිකුත් කර ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව, මහජනතාව එක් රැස්වන කිසිදු කටයුත්තකට සහභාගී නොවී සිටීම, නිවෙස්වලින් පිටතට පැමිණෙන විට මුහුණු ආවරණ පැළඳීම, නිතර අත් සේදීම, මුහුණ ස්පර්ශ නොකිරීම, නිවැරදි ශ්වසන ආචාර විධි ආදී උපදෙස් අනුගමනය කරන ලෙස එම අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.

මේ වන විට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වල පමණක් වන අතර සෙසු ප්‍රදේශ වල සිටින ජනතාව ද ලබා දී ඇති මාර්ගෝපදේශයන් අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි ලෙස අවධාරණය කර සිටියි.

කෝවිඩ්-19 වයිරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට හා පොලිසියට කරුණු සඟවන පුද්ගලයන් අත් අඩ0 ගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.

සෞඛ්‍ය බලධාරීන්, පොලිස් නිලධාරීන් මේ සම්බන්ධයෙන් සේවක සේවිකාවන්, ආයතන ඇතැම් ප්‍රධානීන් හමුවීමට ගිය අවස්ථාවේ ඔවුන් තොරතුරු ලබාදීමට මැලිකමක් දක්වන බවට තොරතුරු වාර්තා වී ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මොවුන් සම්බන්ධයෙන් නීරෝධායන නීතිය යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කර්මාන්ත ශාලාවේ හෝ, එයට අනුබද්ධ ආයතනවල හෝ, නිවෙස්වල ගිය අවස්ථාවල දී කිසියම් කෙනෙක් යම් කරුණක් සඟවන්න උත්සහ ගන්නේ නම් එය නීතියෙන් වරදක් බවත්, මෙවැනි ක්‍රියා තුලින් මෙම අවදානම් තත්ත්වයෙන් මිදීමට නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.

මෙම කර්මාන්ත ශාලාවල කැස්ස, උණ වැළදී සිටි පිරිස, නිවෙස්වලට ගිය පිරිස, නිවෙල්වල සිට පැමිණි පිරිස, සමීපව ගැවසුන පිරිස ආදී මෙම සියලු තොරතුරු සෞඛ්‍ය බලධාරීන් වෙත දැනුම් දිය යුතු බවද අජිත් රෝහණ මහතා පැවසීය.

එවැනි තොරතුරු වසන් කර විමර්ශනයේ එම කරුණු හෙළි වුවහොත් එවැනි පුද්ගලයන් අත් අඩ0ගුවට ගෙන ර නීතිය ක්‍රියාත්මක කරන බවද අජිත් රෝහණ මහතා සදහන් කළේය.

කිසිම දෙයක් නොසඟවා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දෙන ලෙසත්, මේ සදහා සෞඛ්‍ය බලධාරීන්ට හා පොලිසියට සියලු තොරතුරු ලබා දෙන ලෙසට ඉල්ලා සිටින බවත්, එය ජාතික වගකීමක් බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි

Next Post

ආසාදිතයින් සීග්‍රයෙන් ඉහල නගී - සෞඛ්‍ය අමාත්‍යාංශය තොරතුරු රැස් කරන්න මහජන සහය පතයි

Mon Oct 5 , 2020
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කර යාපනයට පැමිණි සේවිකාවකට ද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.‍ඇය මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සිට නිවාඩු ලබා යාපනයේ, පුන්කුඩිතිව් ප්‍රදේශයේ පිහිටි සිය නිවසට ගොස් තිබේ . දිවුලපිටිය කොවිඩි 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු ලෙස මොණරාගලදි හඳුනාගත් කාන්තාවටද කොවිඩි 19 වැලදි අතැයි ඒ සමිබන්ධයෙන් සිදුකළ පි.සි.ආර් පරික්ෂණයේදි […]