ගම්පහ නවතම තත්වය – ඇසුරු කළ 400ක් හඳුනාගෙන – 40කට රෝග ලක්ෂණ? – සාද – සංදර්ශන බෑ

සේවකයින් 1500 ක් පමණ සේවය කරන දිවයිනේ ප්‍රධාන පෙළේ  නමගිය  ඇඟලුම් ආයතනයක ‍ එක ශාඛාවක සේවක සේවිකාවන් 40 ක් පමණ අසනීප තත්ත්වයන් හේතුවෙන් නිවාඩු ඉල්ලුම් කර ඇතැයි  පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙම ඇඟලුම් ආයතනයේ මිනුවන්ගොඩ ශාඛාවේ සේවිකාවකට කොරෝනා ආසාදනය වීමෙන් පසු අයි. ඩී. එච්. රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ  කොරෝනා ආසාදිත බව  හෙළි වී ඇත්තේ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සිව් දරු මවකටය. රෝගී කාන්තාව හා ඇසුරු කළ සෙසු පුද්ගලයින් සම්බන්ධයෙන් හඳුනාගැනීමේ පරීක්ෂණ කටයුතු සෞඛ්‍ය බලධාරීන් විසින් දැනටමත් ආරම්භ කරනු ලැබ ඇත. සිව් දරු මවක වන මෙම සේවිකාව හා සමීපව ඇසුරු කළ අනෙක් සේවිකාවන් 42 දෙදෙනෙකුගේ   පවුල්වල සාමාජිකයන්ද  නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීහු පියවර ගත්හ.

මෙම කාන්තාවගේ  පියාල ස්වාමියා හා දරු සිව් දෙනා හබරාදූවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය  වෙත යොමු කිරීමට පියවර ගනු ලැබ තිබේ.

හඳුනාගත් කාන්තාව  මිනුවන්ගොඩල බාඳුරාගොඩ ප්‍රදේශයේ සිට ගමන් ගන්නා සේවක ප්‍රවාහන රියකින් සේවයට යන බවද, එම රථයේ 35 දෙනෙකු ගමන් ගන්නා බවද වාර්තාවේ. වැඩ පරීක්ෂකවරියක වන  කොරෝනා ආසාදිත කාන්තාව, 20 දෙනෙකුගේ සේවය පිරික්සීමේ රාජකාරියේ යෙදී ඇතැයි ද හෙළි වී තිබේ.⁣ගම්පහ දිස්ත්‍රික්කකය පුරා වෙසෙන විශාල පිරිසක් මෙම ආයතනයේ සේවයකරන බවද අනාවරණය වී තිබේ.

මෙම කාන්තාව පසුගිය 30 වැනිදා කර්මාන්තශාලාවේ සේවය කරමින් සිටින අතරදී රෝගාතුර වීමෙන් පසු ආයතනයේ බලධාරීන් විසින් ඇයව ගම්පහ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.

ඔක්තෝබර් 01 වැනිදා ඇය පී. සී. ආර්. පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු දෙවැනි දා නිවස කරා පැමිණ ඇතග එහෙත් ඇයට කොරෝනා ආසාදිත බව තහවුරු වී’ඇත්තේ  3 වැනිදා (ඊයේ) ලැබුණු වාර්තාවකිනි. ඒ සමගම සෞඛ්‍ය බලධාරීන් ඇය අයි. ඩී. එච්. රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීමට පියවර ගත් අතර ඇගේ පවුලේ පිරිස නිරෝධායනයට යොමු කරනු ලැබිණ.

මෙම සේවිකාව හා සමීපව කටයුතු කළ අනෙකුත් සේවක සේවිකාවන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ද නිරෝධායනය කිරීමට කටයුතු කර ඇති අතරම ඔවුන් සම්බන්ධයෙන් පී.සී.ආර් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවද සෞඛ්‍ය බලධාරීහු කියති.

කොරෝනා ආසාදිත කාන්තාවකගේ දරුවන් දෙදෙනකු දිවුලපිටිය හා ගල්කන්දේ පාසල් දෙකක ඉගෙනුම ලබන අතර එම දරුවන් හා සමීපව කටයුතු කර ඇති සෙසු පාසල් සිසුන් සම්බන්ධයෙන් ද පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. එමෙන්ම ඇය ගම්පහ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේදී සේවයේ යෙදී සිටි රෝහල් කාර්යමණ්ඩලයේ 15 ක පමණ පිරිසක් ද  නිරෝධායනය  කිරීමට කටයුතු කරන බවද සෞඛ්‍ය බලධාරීහු කියති.

දිවුලපිටිය  හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ දිවුලපිටිය  හා මිනුවන්ගොඩ ප්‍රදේශය හරහා ගමන් කිරීම ද නවතා දමා ඇති අතර මාර්ග බාධක යොදා පරීක්ෂණ  කටයුතු කිරීමට පොලිසිය කටයුතු යොදා තිබේ.

කොවිඩ් රෝගියෙකු ලෙස හඳුනාගත් ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව සමීපව ඇසුරු කළ පුද්ගලයින් 400ක පමණ පිරිසක් හඳුනා ගෙන ඇත.මේ බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ඩී.ඒ රන්දෙනිය මහතා සඳහන් කරන්නේ අදාළ කාන්තාව සේවය කළ ආයතනයේ පිරිසක් මෙලෙස හඳුනාගෙන ඇති බවයි. අදාළ පිරිස PCR පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගන්නා බව පැවසෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. නැවත දැනුම්දෙන තුරු මෙම පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙනු ඇති.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කීපයකට අද (4) උදෑසන ඇදිරිනීතිය පැනවීමත් සමඟ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ යම් සීමාකිරීම් කීපයක් සිදුකිරීමට කටුනායක ගුවන් තොටුපළ ඉහළ කළමනාකාරීත්වයේ උපදෙස් මත පියවර ගනු ලැබ ඇතැයි ගුවන් තොටුපළ කාර්යය බාර නිලධාරීයා පැවසීය.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ සහ පැමිණීමේ පර්යන්ත තුළ ඇති තීරු බදු රහිත සාප්පු සංකීර්ණ වෙත අද (4) දින දහවල් 12.00 සිට ගුවන් මගීන්ට පිවිසීම යළි දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.       

එමෙන්ම ගුවන් තොටුපළ තුළ පිහිටි පැමිණීමේ පර්යන්තයේ ආලින්දයට සහ පිටත්වීමේ පර්යන්තයේ ඇති ආලින්දයටත් ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන්ට පිවිසීම මෙන්ම ගුවන් තොටුපළ මහජන ප්‍රේක්ෂක මණ්ඩපය ද නැවත දැනුම් දෙනතුරු වසා දමා දැමීමට පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය බාර නිලධාරීයා සඳහන් කළේය.

මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශවල වෙසෙන සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට නැවත දැනුම් දෙන තුරු සිය කඳවුරු වලට වාර්තා නොකරන්නැයි  දැනුම් දුන් බව හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .

මෙම ප්‍රදේශවල පිහිටි හමුදා කඳවුරුවල රාජකාරි කරන සියලුම ආරක්ෂක අංශ සාමාජිකයන් ද කඳවුරුවලින් වලින් පිටත  රාජකාරි වලට නොයා  කඳවුරු තුළ තුළම රඳවා තබා තබාගන්නා ලෙසට උපදෙස් ලබා දුන් බව හමුදාපතිවරයා කියා සිටියේය.

එම ප්‍රදේශවල සිට නිවාඩුව අවසන් කර කඳවුරුවලට පැමිණි සියලු දෙනාම පී සී ආර් පරීක්ෂණය සඳහා යොමු කරන බව ද හමුදාපතිවරයා සඳහන් කළේය .

දිවුලපිටිය ප්‍රදේශයේ  කාන්තාවකට  කෝවිඩ් ආසාදිත වීමත් සමඟම මේ පියවර ගත් බවද හමුදාපතිවරයා වැඩිදුරටත් කිය.

දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාව ඇසුරු කළ ආශ්‍රිතයන් 100දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇති බව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඇය සේවය කළ පෞද්ගලික ආයතනයේ ඇය සමීපව සි⁣ටි පිරිසක්,  සේවය නිමකර ඇය සමග  ආයත⁣නයේ  බස් රථයෙන් ගමන්ගත් පිරිස, නිවැසියන් ඇතුලු ඇය සමග සමීපව කටයුතු කළ පිරිස  මේ අතර සිටින බව හමුදාපතිවරයා කීය.

මෙම සියලු දෙනා සම්බන්ධයෙන්  පී.සී. ආර්. පරීක්ෂණ ආරම්භ  කර ඇති බවද හමුදාපතිවරයා කියා සිටියේය.

දිවුලපිටිය කාන්තාව සම්බන්ධයෙන් පී.සී.ආර්. පරික්ෂණ තුනක් සිදුකිරීමෙන් අනතුරුව ඇය කොවිඩ් 19 ආසාදිතයෙකු බවට තහවුරු කරගත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

අද (04දා) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඇය මේ බව සඳහන් කළාය.

“කොවිඩ් රෝගය මර්දනය කරන්න පසුගිය කාලයේ ලබාදුන් සහාය නැවත ලබාදෙන්න. සමාජය තුළින් මතු වෙලා තිබෙනවා. ලෝකයෙන් නැවත මතුවෙලා තිබෙනවා.

නැවත අපිට රෝගියෙක් හමුවෙලා තිබෙනවා. අපි ඉල්ලා සිටින සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. මීටරය, මුඛ ආවරණ, අත්සේදීම වැනි සෞඛ්‍ය පුරුදු නැවත සිදුකරන්න.

එක රෝගියයි හමුව තිබෙන්නේ එය මර්දනය කරන්න සහාය දෙන්න. අනෙක් රටවල් වගේ නෙමෙයි ලාංකික ජනතාව අපට සහාය දුන්නා. මෙය හුස්ම ගැනීමෙන් පවා බෝවන ලෙඩක්.

සංගීත සංදර්ශන, ප්‍රිය සම්භාෂණ නවතා දැමීමට සලකා බැලිය යුතුයි. අපි මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. එය ඉතාම තදින් සෞඛ්‍ය අංශ මගින් නැවත පරික්ෂණයට ලක්කරනවා.

යම්කිසි උණක් රෝග ලක්ෂණයක් තිබෙනවානම් එම ප්‍ර දේශයේ තිබෙන ප්‍රධාන රෝහල්වලට ඇතුළත් වෙන්න.

අපි අහඹු ලෙස ලබාලත් නියැදියක තමයි ඇයට කොවිඩ් ආසාදනය වි ඇති බවට වාර්තා වුණේ. අපි තුන් පාරක් පරීක්ෂා කිරීමෙන් පසුව තමයි ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු කර ගත්තේ.

ඉතාම තදින් අප නැවත කොවිඩ් මර්දනය කිරීමට සියලු පියවර ගන්නවා . ඒ සඳහා ජනතාවගේ සහාය ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා”

ලබන 9 වනදා ලබාදිමට සුදානම් කර තිබු දෙවන පාසල් නිවාඩුව හෙට (5) සිට ලබාදිමට තිරණය කර ඇති බව වාර්තා වෙයි. පෞද්ගලික හා ලංගම බස් රථ ආසන ප්‍රමාණය අනුව පමණක් මගීන් ප්‍රවාහනය කළ යුතු බව විෂය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

Next Post

ගම්පහ අයට සෞඛ්‍ය සේවා මගින් විශේෂ නිවේදනයක් - ඇඟලුම් සේවිකාවගේ දියණියටත් කොරෝනා

Sun Oct 4 , 2020
කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වූ දිවුලපිටිය ඇඟලුම් සුපරීක්ෂකවරියගේ දියණියට ද කොරොනා ආසාදනය වී ඇති බව අද (04) කරාපිටිය ශික්ෂණ  රෝහලේදී කළ පීසී ආර් පරීක්ෂණයේදී තහවුරු වී ඇතැයි හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය. එම දැරිය 16 හැවිරිදි වියේ පසුවන්නීය.මෙම දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි ඩී එච් රෝහලට […]