එදා බස් එක ඩිපෝ එකට දාද්දී ඇස් දෙකට කදුළු ආවා – මට මගේ බස් එක මාලිගාවෙ ඇතා වගෙයි

ජීවත් වන්නට මිනිසා බොහෝ දෑ කරයි. සමාජයේ ජීවත් වන බොහෝදෙනකු ජීවිකාව ගෙවා දමන්නේ තම තමන් කරන්නා වූ රැකියාවෙනි. ඇතැමුන් අයහපතින්තම ජීවිතය සුරක්ෂිත කර ගන්නට වෑයම් කරද්දී තවත් මිනිසුන් කොටසක් තම රැකියාව රැකගනිමින් ජීවත් වන්නේ ඒ රැකියාවට බොහෝ ඇලුම් පාමිනි. සොරකම්, මැරකම්, ජඩකම් මෙන්ම මංකොල්ලකෑම් වැනි රැකියාවලින් තම ජීවිකාව ගෙවා දමන අධමයන් ගෙවන සැපවත් ජීවිතය පුංචි රැකියාවකින් ජීවිතය රැකගන්නට මහන්සි ගන්නා මිනිසාට අත්නොවන්නේය.

එහෙත් ඔවුන් ඒ රැකියාව සිදුකරන්නේ දේව කාරියකටත් වඩා භක්තියෙනි. මේ එවන් මිනිසකු සොයා ගිය ගමනක සටහනකි. ඔහු නමින් ඩබ්. එම්. විජේරත්නය. ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යාය 2, සාලිය අශෝකපුර ලිපිනයේ ජීවත් වන ඔහු පිළිබඳ බොහෝ දෙනා කතා කරන්නට ගත්තේ අන්තර්ජාලය පුරා සැරෑ ඡායාරෑපයක් නිසාවෙනි.

රියැදුරකු වශයෙන් වසර 27ක් ගමනාගමන මණ්ඩලයේ ගල්ගමුව ඩිපෝවේ සේවය කළ ඔහු තම සේවා කාලය අවසන් කළේ ඉකුත් 20 වැනිදායි. ඒ බොහෝදෙනාට බෙහෝ දෑ සිතන්නට තරම් ප්‍රබල වූ පාඩමක් කියා දෙමිනි. රියැදුරකු වශයෙන් තමා පැදවූ බස් රථයෙන් බැස යන්නට සැරසෙද්දී ඔහු තමාට ජීවත් වන්නට මඟපෙන්වූ බස් රියට දෙදණ බිම ඔබා දෙඅත් එක්කොට වැඳ අවසර ගැනීමයි.

සිතේ දුකත්, දෙනෙතට ඉනූ කදුළුත් සමඟින්ම ඔහු ඩිපෝවේ ගේට්ටුවෙන් සමුගෙන ගියේ මෙතුවක් කාලයක් පුරාම තමාට පිහිට වූ රැකියාවට ඕනෑවටත් වඩා කෘතගුණ දක්වමිනි. අන්තර්ජාලය පුරා බොහෝදෙනකු කතිකා කළ ඡායාරෑපය ඔවුන්ට බොහෝ දෑ සිතන්නට කරැණු රාශියක් ඉතුරි කළා යැයි කීවේ ඒ නිසාවෙනි. “මම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයට එකතු වුණේ 1992 අවුරැද්දේ. එදා ඉඳන් මේ වෙනකල් වසර විසිහතක්ම මම ඒ රැකියාව නියමාකාරව ඉටු කළා.

රියැදුරෙක් විධියට මම මුලින්ම භාර ගත්ත බස් රථය එදා 6026 කියන අංකය දරන බස් රථය. මුල්ම පත්වීම මට ලැබුණේ ගල්ගමුව ඩිපෝවට. අද කාලයේ වගේ නෙවේ මහත්තයෝ ඒ දවස්වල බස්. පණ දාගෙන සුක්කානම කපන්න ඕනේ. දැන් වගේ ලේසි නෑ ඒ බස් එළවන එක. කොහොම හරි මම මේ සේවා කාලය තුළ බස් රථ විශාල ප්‍රමාණයක් ධාවනය කරලා තියෙනවා.

මෑත කාලයේ නම් ඉංග්‍රීසි අකුරැ තිබුණ බස් රථ තමා ලැබුණේ” යැයි විජේරත්න මහතා අප සමඟ සිය අතීතය සිහිපත් කළේය. “මම මුලින්ම සේවයට එකතු වෙලා ගල්ගමුවේ ඉඳලා පැරකුම්පුර දක්වා මාර්ගය තමා භාර ගත්තේ. ඊට අමතරව අනුරාධපුර – පැරකුම්පුරත්, කොළඹ – පැරකුම්පුර කියන මාර්ගත් භාර අරන් මගේ රැකියාව කළා. අවුරැදු 15ක් විතරම මම බස් රථය ධාවනය කළේ පැරකුම්පුර – ගල්ගමුව මාර්ගයේ.

ඉතින් මේ විධියට රැකියාව කරද්දී විශාල අත්දැකීම් කන්දක් මට ලැබිලා තියෙනවා. මම විශ්‍රාම යද්දී කොන්දොස්තර මහත්තුරැ, රියැදුරැ මහත්තුරැ, හැත්තෑවක් විතර මාත් එක්ක සේවය කළා. සමහර අවස්ථාවල මට කැපිලි කෙටිලිත් ඇවිත් තියෙනවා. නමුත් ඒවා මම මගේ රැකියාවට හොඳ ශක්තියක් කර ගත්තා. ඒ නිසයි මට මගේ රැකියාව කිසිම ප්‍රශ්නයක් නොවෙන විධියට කරන්න ලැබුණේ.

ලබන මාසේ පළමුවැනිදා තමා මගේ විශ්‍රාම යන දිනය තියෙන්නේ. ඒත් මගේ නිවාඩු ඉතිරි වෙලා තියෙන නිසා මට පසුගිය 20 වැනිදා ඉඳන් නිවාඩු ලැබුණා. ඒත් ඒ රැකියාව මතක් වෙද්දී මට දැන් ඇති වෙන්නෙ දුකක්. ඒ වෙන දෙයක් නිසා නෙවේ. මම හරි භක්තියකින් රැකියාව සිදුකරපු නිසා.” තම රැකියාව ඒ තරම්ම අගය කරමින් අප සමඟ කතාවට එක් වූ ඒ මහතා ඉන්පසුව වචන ගොනු කළේ මෙලෙසිනි.

ඒ ඔහු මේ වසර විසිහතක කාලය පුරා ලැබූ අත්දැකීම්ද සිහිපත් කරමිනි. “මේ කාලය පුරා මම ලබපු අත්දැකීම් බොහොමයක් තියෙනවා. දවසක් මම අනුරාධපුරයේ ඉඳන් කොළඹ දක්වා ගමන් කරන්න අනුරාධපුරයෙන් පිටත් වුණේ සවස 4.30ට. මම ධාවනය කරපු බස් රථය මුලින්ම මම භාර ගත්තෙ එදා. සාමාන්‍යයෙන් මම බස් රථයක් භාර ගනිද්දී මගේ දැනුමට අනුව ඒක පරික්ෂා කරලා බලනවා.

නමුත් දවල්භාර ගත්ත නිසා බස් රථයේ විදුලි ලාම්පු ගැන මට ඒ තරම්ම අවධානයක් යොමු වුණේ නෑ. කොහොම හරි පොතුහැර හරියට යනකොට කළුවර වැටිලා නිසා බස් රථය ධාවනය කරන්න අසීරැ වුණා. මොකද බස් රථයේ විදුලි ලාම්පුවල එළිය වදින දුර අඩු නිසා. ඒත් ගමන නතර කරන්න විධියක් මට තිබුණෙ නෑ. මාර්ගයේ එන අනෙක් වාහන මාව ඉස්සර කරන්න ඉඩ දීලා ඒ වාහනේ පිටිපස්සේ මම බස් රථය ධාවනය කළා.

නමුත් ඒ වාහනේ මාව ඉස්සර කරලා හයියෙන් යද්දී මම පුදුම විධියට අසරණ වෙලා තියෙනවා. ඒ වෙලාවට මම හිමින් සීරැවේ ධාවනය කළා. කොහොම හරි කිසිම කරදරයක් නැතිව මම හැම මගියකුම කොළඹට යනකල් අරන් ගියා.” “ආයේ දවසක් මට මතකයි මම ඩිපෝවෙන් උදේ 6ට බස් එක අරන් ගල්ගමුව නගරයේ ඉඳලා පාසල් ළමයිනුත් විශාල සංඛ්‍යාවක් දාගෙන පැරකුම්පුර දක්වා එන්න ආවා. ගුරැවරැ හිටියා බස් එකේ. ඩිපෝවෙන් බස් එක ගද්දී තිරිංග හොඳම තත්ත්වෙන් තිබුණු බස් එක මහගල්කඩවල හරියට එනකොට තිරිංග නැතිව ගියා.

මම එදා තරම් අසරණ වුණු දවසක් නැතිව ඇති. මොකද ජීවිත විශාල ප්‍රමාණයක් රැදිලා තිබුණේ මේ අත් දෙක උඩ. මම හරි පරෙස්සමට පාසල් ළමයි ටිකත් අදාළ ස්ථානවලින් බස්සන ගමන් පාසල්වලට යන්න ඉන්න අනෙක් ළමයි බස් රථයට නංවා ගත්තා. තිරිංග නැතිව කොහොමද එහෙම දෙයක් කළේ කියන ප්‍රශ්නය මම එහෙම කියද්දී හිතෙන්න පුළුවන්. මම ජියරයයි ක්ලච් එකයි භාවිත කරගෙන තමා ඒ විධියට එදා ධාවනය කළේ.

එහෙම ඇවිත් සාලියරාජ පාසලේ පිට්ටනියට දාලා බස් එක නතර කළා.” මේ ආකාරයෙන් සිය අත්දැකීම් අප සමඟ බෙදාගත් විජේරත්න මහතා සිය රාජකාරි ජීවිතයේදී තම සේවාව ඉටු කළ ආකාරයද සිහිපත් කළේය. “අනෙක් කාරණාව තමයි මහත්තයෝ රියැදුරෙක් විධියට මේ අවුරැදු 27ක කාලය පුරාම කිසිම මාර්ග නීතියක් මගෙ අතින් කඩ වෙලා නෑ. ඒ කියන්නේ ආසාවටවත් මට පොලිසියේ මහත්තුරැ දඩ කොළ යක් දීලා නෑ. ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා.

මොකද මම මේ රස්සාව භාර ගත්ත දවසේ ඉඳන් නියමාකාරව මේ බස් රථ ධාවනය කළා. පාරේ ගමන් වුණත් ලොකු අවධානයකින් අවබෝධයකින් තමා මම ධාවනය කළේ. “අද කාලයේ රියැදුරැ මහත්තුරැ දිහා බලද්දී වෙලාවකට මට ඇතිවෙන්නෙ දුකක්. මොකද අද තියෙන්නේ බස් අතර තරගයක් මහත්තයෝ. ලංගම, පෙෳද්ගලික බස් අතරත් විශාල තරගයක් අද මේ හැම මාර්ගයකම තියෙනවා. සාමාන්‍යයෙන් බස් රථ රියැදුරෙක් රියැදුරැ අසුනේ ඉඳගෙන ඉන්න විධියට කියන්න පුළුවන් මෙයා ලංගමද පෙෳද්ගලික රියැදුරෙක්ද කියන දේ.

සුක්කානම අල්ලන්න වෙනමම විධියක් තියෙනවා. අසුනෙ ඉඳගන්න තැන ඉඳන් ධාවනය කරන විධිය දක්වා අපිට අපේ ගුරැවරැ කියලා දුන්නා. මමත් තරැණ කාලයේ හරි හරියට එළෙව්වා. රේස් ගියා. ඒත් කවදාවත් මම මගේ අතින් කාටවත්ම හානියක් කරලා නෑ. අද එහෙම නෑ. රියැදුරැ අසුනේ පැත්තකට වෙන්න ඉඳගෙන තනි අතින් සුක්කානම අල්ලගෙන අනෙක් අතින් ජංගම දුරකථනය කනේ තියාගෙන තමා සමහර රියැදුරැ මහත්තුරැ බස් රථ ධාවනය කරන්නෙ.

මම ඒ අයගෙන්” ඉල්ලන්නෙ එහෙම කරන්න එපා. මොකද බස් එකේ ඉන්න අයගේ ජීවිත විතරක් නෙමේ පාරේ ගමන් ගන්න අයගෙත් ජීවිත රැදිලා තියෙන්නේ ඔබ අතේ. සමහරැ සිගරැට් එක බොන ගමන් බස් එක ධාවනය කරනවා. මේ වගේ වැරැදි අද අපේ ගොඩක් රියැදුරැ මහත්තුරැ අතින් සිදුවෙනවා.

ඒවා අවම කරගෙන නිවැරැදිව තමාගේසාමාන්‍යයෙන් මම විශාල අවධානය යොමු කළ දෙයක් තමයි මාර්ගයේ ධාවනය කරද්දී බෝලයක් පාරට ආවොත් ඒ පිටිපස්සෙන් අනිවාර්යයෙන් ළමයෙක් එනවා. ටයරයක් පාරට ආවොත් ඒ පිටිපස්සෙන් ළමයෙක් දුවගෙන එනවා. හරකෙක් පාර හරහා පැන්නොත් තවත් හරකෙක් නැත්නම් කිහිප දෙනෙක් පාරට පනිනවා. නැත්නම් හරක් රංචුවක් පස්සෙන් මිනිහෙක් එනවා.

මේ වගේ දේවල් ගැන මම නිතරම අවධානය යොමු කළා. මොකද අපිට වරදින්න තප්පරය ඇති. වැරදුණාට පස්සේ අපි කාටවත් කියලා වැඩක් නෑ. අපිට එකපාරම අනතුරක් වළක්වා ගන්න පුළුවන්කම නොලැබුණොත් රියැදුරෙක් විදියට අපි පරාදයි. අනතුරක් සිදුවෙන්න නොදී බේරන්න පුළුවන්. මම කියන්නේ ඒකයි. හැම රියැදුරැ මහතෙක්ම ලොකු අවධානයක් අරන් තමයි මේ රැකියාව කරන්න ඕනේ. තම මතකයන් මෙන්ම සේවා කාලය පිළිබඳ ආවර්ජනය කරමින් විජේරත්න මහතා අප සමඟ එක්වෙද්දී සිය බස් රියට කෘතගුණ දැක්වූ අයුරැද සිහිපත් කළේය.

“මම මේ මාසයේ 20 වැනිදා මා අවසන් වතාවට රැකියාව සිදුකරපු දිනය වුණේ. එදත් උදේ 6ට ගිහින් 11 වෙනකල් මගේ රැකියාව කරලා ආපහු ඇවිත් ගල්ගමුව ඩිපෝව ඇතුළට බස් රථය ඇතුළු කරද්දී මට ඇත්තටම ඇඬුණා. මොකද අවුරැදු 27ක් මේ විදියට මම මේ ගේට්ටුවෙන් බස් රථය ඇතුළු කරලා තියෙනවා. ඒත් අදින් පස්සේ මම රියැදුරෙක් විදියට ආයෙත් මේ බස් රථය පදවන්නෙ නෑනේ කියන දුක තමා මට තිබුණේ.

ඒ නිසාම තමා මේ විධියට මගේ ජීවිතය සුර¿ෂිත කරගන්න මට ශක්තියක් වුණ රැකියාවට වගේම බස් රථයට කළගුණ සලකන්න හිතුණෙ. එහෙම නැතිව ප්‍රසිද්ධියක්වත්, වෙනයම් ලකුණු දමා ගැනීමක් සඳහාවත් නෙමේ මහත්තයෝ. ඒ නිසා මට හිතුණා සුදු රෙද්දක් එළලා මෙච්චර කාලයක් මාව රැකපු, මම රැකපු මේ බස් දේවතාව හරි පරිස්සමින් ඩිපෝව ඇතුළට අරන් කළමනාකාරීත්වයට බාරදෙන්න ඕනේ කියලා.

බස් එක ගේට්ටුව ඇතුළට අරන් මම බිම දෙදණ ඔබලා බස් රථයට ගරැ බුහුමන් දැක්වූවේ ඒ නිසා. ඒ දර්ශනය තමා මගේ කොන්දොස්තර මල්ලී එයාගේදුරකථනයෙන් අරගෙන අන්තර්ජාලයට එකතු කරලා තිබුණේ. ඇත්තටම මම ඒ වෙලාවෙ කරන්නෙ මොකක්ද කියලා කවුරැත් දැනන් හිටියේ නෑ. ඩිපෝව ඇතුළෙ හිටිය අයත් ගල් ගැහිලා වගේ බලන් හිටියා. මට හිතට එකඟව මේ රැකියාවෙන් සමුගන්න යන දවසේ ඒ වගේ දෙයක් කරන්න ඕනේ කියන හැඟීම තිබුණා. මොකද මම වගේම මගේ දරැවන් දෙන්නත්, මගේ ආදරණීය බිරියත් ජීවත් වුණේ,

රැකුණේ මේ රැකියාවට පින් සිද්ධ වෙන්න. මම ළමයි දෙන්නට ඉගැන්නුවේ මේ රැකියාවෙන්. ඒ නිසා මේ වගේ කෘතගුණ සැලකීමක් මම නොකර ගෙදර ගියා නම් ඒක මම මේ රැකියාවට කරන අසාධාරණයක් වෙනවා මහත්තයෝ. මම මේ දුනු මිටි හතර උඩ ඉඳගෙන සුන්දරව මේ රැකියාව කළා. අමාරැ රැකියාවක් වුණත් මම ඒක යහපත් විදියට කළා. ඇත්තටම මේ බස් රථය කියන්නේ මට නම් මාලිගාවේ ඇතා වගේ තමා.’ එවන් මිනිසුන් විරලය. අද වන විට විජේරත්න මහතාගේ සත්ක්‍රීයාව අන්තර්ජාලය පුරාම විහිදී පැතිරී හමාරය.

රැකියාවෙන් සමුගන්නා දිනයේ ජයපැන් බී මතින් මත්වී සමරන බොහෝ දෙනකු අතරේ රැකියාවට සමුදෙන්න සිදුවීමත් දුකක් වේදනාවක් කරගත් විජේරත්න මහතා වැනි උතුම් මිනිසුන් මේ සමාජයට අවැසිය. සුක්කානමට හුරැ වූ දෑතයි… දුනු කොළ මත කළ රස්සාවටයි සමුදී අද ඔහු විශ්‍රාම ලබා ගෙනය. එහෙත් විජේරත්න මහතා නම් තවමත් ඒ අතීතයෙන් ඈත්වී නැත. ඔහු අවසන් වරට අප සමඟ කියා සිටියේ මෙවැන්නකි. “අවුරැදු 27ක් මේ පාරවල්වල දුවලා දුවලා මට දැන් ගෙදර ඉන්න බෑ මහත්තයෝ. ඇත්තටම මම හරි ආසාවෙන් තමා මේ රැකියාව කළේ.

මේ බස් රථවලට මම ගොඩක් ආදරය කළා. ඒ නිසා ගෙදර ඉද්දී ඒවා මතක් වෙද්දී දුකක් දැනෙනවා. නමුත් රියැදුරෙක් විදියට මට ඉදිරියේදී රැකියාවක් කරන්න නැතත් අපේ තරැණ දරැවන්ට, විශේෂයෙන්ම රියැදුරැ නෝනලාට, ගුරැවරැන්ට වගේ සමාජයේ ඉන්න පාර්ශ්වයන්ට පරිස්සමින් කොහොමද එළවන්නෙ කියන කාරණාව ගැන දැනුවත් කරන්න මට ආසාවක් තියෙනවා රියැදුරැ පාසලකට වගේ සම්බන්ධවෙලා.

මම ඒ වෙනුවෙන් කිසිදු වැටුපක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ වෙනුවෙන් මට ලබාදෙන්න පුළුවන් උපරිම සහාය මම ලබා දෙනවා” යැයි විජේරත්න මහතා අප සමඟ කියා සිටියේය. මෙවන් උතුම් ක්‍රීයාවක් සිදු කරන්නට තරම් රැකියාව පිළිබඳ ඇල්මක් බැදීමක් ඇත්තෙන්ම තිබිය යුතුය. තම සැමියාගේ මේ උතුම් ක්‍රීයාව පිළිබඳ ඔහුගේ බිරිය වූ ආර්.ඩී. චන්ද්‍රසීලි මහත්මිය පැවැසුවේ මෙවැන්නකි. “ඇත්තටම මහත්තයාගේ මේ ක්‍රීයාව ගැන අන්තර්ජාලයේ තියෙනවා දැකලා අපිට දුරකථන ඇමැතුම් දීලා බොහෝ දෙනෙක් කිව්වා. ඒ වෙලාවේ ගොඩක් ලොකු සතුටක් දැනුණා.

මොකද මගේ මහත්තයා ඒ වගේ කෘතගුණ සලකන කෙනෙක් නිසා. මටත් වඩා එයා ආදරය කළේ රැකියාවට. මොකද කවදාවත් බස් එක පරක්කු කරන්න එයා කැමැති නෑ. දවල් ගල්ගමුවේ ඉඳන් එනකොට එයාගේ කෑම එක අරන් මම පාරට යනවා. එහෙම යන්න පරක්කු වුණු දවසට එයා බස් එක නතර කරලා බලාගෙන ඉන්නේ නෑ කෑම එක ගන්න. මම යන්න පරක්කු වුණොත් දිගටම යනවා. සමහර දවස් තියෙනවා මම පාරට එනවා පෙනි පෙනී කෑම එකත් ගන්නේ නැතිව ගියපු දවස්. අන්න ඒ නිසයි මම කිව්වේ එයා ඒ රැකියාවට ගොඩක් ආදරේ කළා.

ආසාවෙන් ඒ රැකියාව කළා කියලා. ඒ වගේම තමයි නිවාඩු දවසට ගෙදර ඉද්දී වුණත් කියන්නේ බස් එක දාලා ආවා ඒක ගැන දුකයි… කියන කතාව. ඒ තරම්ම ඒ දේවල් මෙයා ආර¿ෂා කළා. ඒ නිසා තමයි මේ වගේ සමුගැනීමක් අවසානයේ එයා කළගුණ දැක්වූවේ.” අද ඔහු විශ්‍රාම සුවයෙන් ජීවිතයේ සැදෑ සමය ගත කරන්නට සූදානමිනි. සුක්කානම තුරැලු කරගනිමින් රියැදුරැ අසුනේ දුනු කොළ මිටි උඩ කළ රැකියාවට ඔහු සමුදී හමාරය.

ඔහු වෙනුවෙන් මතු යම් දිනෙක මේ ශ්‍රී ලංකා ඉතිහාසය පුරාම ලියන්නට දැන් යමක් ඉතුරැ වී හමාරය. ඔහු ඇත්තෙන්ම කළ ගුණ සැලකිය යුතු හොඳම තැනට කළ ගුණ සලකා ඇත. ජීවත් වන්නට මඟ කියූ රැකියාවට ඔහු ගරැ බුහුමන් දැක්වූයේ ඔහු තුළ තිබූ මහත්මා ගුණය නිසාය. මෙවන් මිනිසකු ලංගමයේ සේවය කිරීමද විශාල වටිනාකමක් එක් කරන්නකි.

Next Post

ගම්පහ නවතම තත්වය - ඇසුරු කළ 400ක් හඳුනාගෙන - 40කට රෝග ලක්ෂණ? - සාද - සංදර්ශන බෑ

Sun Oct 4 , 2020
සේවකයින් 1500 ක් පමණ සේවය කරන දිවයිනේ ප්‍රධාන පෙළේ  නමගිය  ඇඟලුම් ආයතනයක ‍ එක ශාඛාවක සේවක සේවිකාවන් 40 ක් පමණ අසනීප තත්ත්වයන් හේතුවෙන් නිවාඩු ඉල්ලුම් කර ඇතැයි  පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙම ඇඟලුම් ආයතනයේ මිනුවන්ගොඩ ශාඛාවේ සේවිකාවකට කොරෝනා ආසාදනය වීමෙන් පසු අයි. ඩී. එච්. රෝහලට ඇතුළත් කර තිබේ. මෙසේ  කොරෝනා […]