පාස්කු සිදුවීම සම්බන්දයෙන් සී.අයි.ඩී භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතාට එරෙහිව නඩු පැවරීමට තරම් සාක්ෂි කිසිවක් නොමැති බව පොලිසිය පවසයි.
පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා මේ බව පැවසීය.
පාස්කු ඉරිදා සිද්ධියේ විමර්ශනවලට අදාළව සාධාරණ සැකයක් මත රියාජ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගත් බවත් සිදුකරනු ලැබු විමර්ශනයට අනුව ඔහුට නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔහු මුදා හැරීමට සිදුවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා මෙලෙස විමර්ශනවලින් මුදා හැරීමට කිසිදු දේශපාලන බලපෑමක් සිදුව නොමැති බව මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා පැවසීය.
පාස්කු ඉරිදා සිදුවීම සම්බන්ධයෙන් සී.අයි.ඩීය සිදුකරන විමර්ශන අවසන් අදියරට පැමිණ ඇති බවත් තවත් සති කිහිපයකින් පමණ විමර්ශන කටයුතු අවසන් වනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
විමර්ශනවලට අදාළව වාර්තා රැසක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමට නියමිතව ඇති අතර අදාළ වාර්තා ලැබුණු පසු සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට එම වාර්තා නීතිපතිවරයා වෙත යොමු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරයට අදාළව සැකකරුවන් 100 ක් පමණ අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.