20 සම්මත කරන්න 2/3ට කට්ටිය නෑ – විදුරත් නෑ – සිරිසේනලත් ශුවර් නෑ – පොහොට්ටුවෙන් අලුත් මෙහෙයුමක්

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත කර ගැනීමේ දී යම් හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාගැනීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ කිහිප දෙනෙකු විපක්ෂ මන්ත්‍රීන් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙන බව වාර්තාවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මෙහිදී මූලිකත්වය ගෙන කටයුතු කරන බවද වාර්තා වේ.

20 වැනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය අවශ්‍ය වුවහොත් ලබාගැනීම වෙනුවෙන් ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳ මේ දිනවල සලකා බලමින් පවතින බවත්, පසුගිය ආණ්ඩු සමයේ විවිධ චෝදනාවලට ලක්වූ මන්ත්‍රීවරුන්ගේ සහාය කිසිදු අයුරකින් ලබා නොගන්නා ලෙස ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයන් උපදෙස් ලබාදී ඇති බවත් වාර්තා වේ.

ආණ්ඩුව නියෝජනය කරන පක්‍ෂවල නායකයන් සමගද මේ පිළිබඳ සාකච්ඡා කරමින් පවතින බවත්, ඒ අනුව ආණ්ඩුව තුළින්ම තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමේ හැකියාව පැවතියද යම් හෙයකින් කිසියම් කණ්ඩායමක් ඊට සහාය ලබා නොදීමට තීරණය කළහොත් යන අවදානම මත විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා ආරම්භ කළ බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ ආරංචිමාර්ග සඳහන් කළේය.

20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීම සඳහා රහස් ඡන්ද විමසීමක් වෙනුවට නාමික ඡන්ද විමසීමකට යා යුතු බවට විපක්‍ෂයෙන්  කරන ලද යෝජනාවට ආණ්ඩු පක්‍ෂයද එකඟවීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

ජාතික උරුම ප්‍රසංග කලා හා ‍ග‍්‍රාමීය කලා ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට විරුද්ධ බව පැවසුවේ යැයි අනිද්දා පුවත්පත වාර්තා කර ඇත.

තමන්ගේ එම ස්ථාවරයට හේතුව 20 වන සංශෝධන කෙටුම්පතට විරුද්ධව අදහස් පළ කරන පුද්ගලයන්ගේ මත වලට තමන් එකඟ වීම යැයි ද එහි සඳහන් කර තිබේ.

දැනට එම කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 39 සම්බන්ධයෙන් තීන්දුවෙන් පසුව පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධයෙන් සිදුවන විවාදයේදී තම අදහස් පළ කරන බවත් ඇමතිවරයා තවදුරටත් පැවසූ බව එම පුවත්පත වාර්තා කරයි.එසේම මේ පිළිබඳ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුවත් කර ඇති බවද වාර්තා වේ.

Next Post

රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරාට නඩු පවරන්න විදියක් නැතිලූ - එදා නොකි අද කියන පොලීසියේ අමුතු කතාව

Fri Oct 2 , 2020
පාස්කු සිදුවීම සම්බන්දයෙන් සී.අයි.ඩී භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් මහතාට එරෙහිව නඩු පැවරීමට තරම් සාක්ෂි කිසිවක් නොමැති බව පොලිසිය පවසයි.  පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා මේ බව පැවසීය.  පාස්කු ඉරිදා සිද්ධියේ විමර්ශනවලට අදාළව සාධාරණ […]

Breaking News