පස් මහල් නිවසට යටවූ දරු පවුල වෙනුවෙන් නීතිඥයන් 101ක් අධිකරණයේ..!

මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාවතේ කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ නමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති නඩුව සඳහා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් මහනුවර නීතිඥ සංගමයේ ලේකම් බණ්ඩාර කරුණානායක මහතා ඇතුළු නීතීඥයින් 101 දෙනෙකු පෙනී සිට තිබෙනවා.

විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සමග නීතීඥ නන්ද සේනානායක, නීතීඥ සමන් තන්ත්‍රීගේ සහ නීතීඥ තිස්ස සෙනෙවිරත්න යන මහත්වරුන් පෙනී සිටියා.

ඒ, සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (29)ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

නොසැලිකිලිමත් ක්‍රියාවක් හේතුවෙන් තිදෙනෙකු මරණයට පත් කිරීම සහ දේපළවලට අලාභහානි සිදුකිරීම යන චෝදනා යටතේ පොලිසිය සැකකරුට එරෙහිව නඩු පවරා තිබෙනවා.

රජ කාලයේ ගොඩනැගිල්ලක් කඩා වැටුණා ම මේසන් බාස්ට දඬුවම් දුන්නා වගේ සිද්ධියක් මෙතැනදී සිදු නොවිය යුතු බැවින් සියලු කරුණු සලකා බැලිය යුතුව තිබෙන බව කී මහේස්ත්‍රාත්වරයා, පරිප්පුවක රස බැලීමට පරිප්පු, කහ, මිරිස්, ලුණු වෙන වෙන ම ලබාදීමෙන් නොහැකි බවත්, ඒ සඳහා පරිප්පුව හදල ම බැලිය යුතු බවත් ප්‍රකාශ කළා.

මහල් දෙකක් ගොඩනැගීමට අත්තිවාරම දමා, මහල් පහක් ගොඩනගා තිබෙන බවත් විත්තිකරු අදාළ නිවස ගොඩනගා තිබෙන්නේ තමන්ට ජීවත් වීමට බවත්, කඩා වැටෙන අවස්ථාව තෙක් ම ඔහු එහි ජීවත්ව සිට ඇති බවත් ප්‍රකාශ කළ විත්තියේ නිතීඥවරයා, මෙයට අනුමැතිය ලබා දුන් මහනුවර මහ නගර සභාව සමග සෙසු අනුමැතීන් ලබා දුන් ආයතන මෙයට වගකිය යුතු බව ද පැවසුවා.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා අදහස් දක්වමින් කියා සිටියේ, ඒ සඳහා අවශ්‍ය අනුමැතීන් ලබාගත් බව විත්ති පාර්ශවය ප්‍රකාශ කරන බවත් ඒ අනුමැතීන් ලබා ගත්තේ යම් බලපෑමක් සිදු කිරීමෙන් ද යනවග සොයා බැලිය යුතු බවත්ය.

ඒ අනුව, එම කරුණු සම්බන්ධව දීර්ඝ විමර්ශනයක් කළ යුතු බව මෙහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා.

මහනුවර පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. බණ්ඩාර මහතා අධිකරණයේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම ගොඩනැගිල්ල කඩා වැටීම ආරම්භ වී ඇත්තේ පාන්දර 4.40ට බවත් එය සම්පූර්ණයෙන් කඩා වැටී තිබෙන්නේ පාන්දර 4.57ට බවයි.

ඒ අනුව, අදාළ කාලය තුළ අවට සිටි අයට මේ සම්බන්ධව දැනුම් දීමට කාලය තිබී ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න මහතා විත්තිකරුට ඇප ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ අතර පොලිසිය ඊට විරුද්ධත්වය දැක්වුවා.

සැකකරුට එරෙහිව නඩු පැවරීමට පෙර පොලිසිය, මහනුවර මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, භූ විද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු ආයතන ගණනාවකින් ගොඩනැල්ල සම්බන්ධ වාර්තා ලබාගෙන තිබෙනවා.

Next Post

හෙට සිට ඔබගේ මොඩම් - ජී.පී.ස් උපාංග - දුරකතන ලියාපදිංචි කිරීම අනිවාර්යයි - ලියාපදිංචි වී ඇත්ද ? නැද්ද බලන්නෙ මෙහෙමයි

Wed Sep 30 , 2020
සිම් කාඩ්පතක් සහිතව ක්‍රියාත්මක වන උපාංග  මිලදී ගැනීමේදී එවා හෙට (01දා) සිට ශ්‍රී  ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි කර තිබීම අනිවාර්ය බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා සඳහන් කරන්නේ දැනටමත් සේවා සපයයන ආයතනයක් මගින් ක්‍රියාත්මක වන සේවාවකට සිම්පතක් හරහා සම්බන්ධ වී […]