2004 සුනාමි ව්‍යසනයෙන් අම්පාර සමන්තුරෙයි ප්‍රදේශයේදී අතුරුදන් වූ තම පුතා වසර 16කට පසුව අබුසාලි සිත්ති හමාලියා නමැති මව විසින් සොයා ගෙන තිබේ.
මෙසේ සොයා ගෙන ඇත්තේ එවක පස් හැවිරිදිව සිටි රෂීන් මුහම්මඩ් අක්රම් රිෂ්කාන් නමැති පුතුය. ඔහු මේවන විට 21 හැවිරිදි තරුණයෙකි.
අබුසාලි සිත්ති නමැති මව අශ්රෆ් අනුස්මරණ රෝහලේ සේවිකාවක ලෙස සේවය කර ඇති අතර ඇය සුනාමියෙන් අතුරුදන් වූ දරුවා සොයා ගැනීමට අවුරුදු 16ක කාලයක් පුරා දැඩි පරිශ්‍රමයක් දරා ඇත. එහි ප්‍රතිඵලයක් ලෙසට අවසානයේදී ඇයගේ දරුවා සොයා ගැනීමට හැකිවී තිබේ.
තම දරුවා සොයා ගැනීමට හැකිවීම පිළිබඳව සිත්ති හමාලියා නමැති මව මහත් සතුටින් පසුවන අතර ඇය අතුරුදන්ව නැවත හමුවුණු තම දරුවා පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසුවාය.
සුනාමි ව්‍යසනය සිදුවන කාලයේදී මම අශ්රෆ් අනුස්මරණ රෝහලේ සේවිකාවක් වශයෙන් සේවය කළා. සුනාමියෙන් පසුව ඉක්මනින් මම නිවෙසට ගොස් දරුවා සිටිනවාදැයි සොයා බැලුවා. නමුත් මගේ අවුරුදු පහක් වයසැති පුතා නිවසේ සිටියේ නැහැ.
සුනාමියෙන් මියගිය පුද්ගලයන් රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර තිබුණා. මම රෝහලෙත් මගේ දරුවා සෙව්වා. නමුත් දරුවා හමුවුණේ නැහැ. නමුත් රෝහල් ගත කළ රෝගීන්ගේ ලැස්තුවේ මගේ දරුවාගේ නම තිබෙන බව හඳුනා ගත්තා. මගේ දරුවාගේ මවුපියන් බව පවසමින් පුද්ගලයන් දෙදෙනකු මාගේ දරුවා රැගෙන ගොස් තිබුණා. එය අසා මම රෝහලේදී විලාප තැබුවා. නමුත් මගේ දරුවා ජීවතුන් අතර සිටින බව මම දැනගත්තා. එතැන් සිට මගේ දරුවා සොයන්න මම පටන් ගත්තා.
පළමුව අම්පාර පොලිසියට ගොස් දරුවා නැතිවීම පිළිබඳව පැමිණිල්ලක් දැමුවා. කල්මුණේ මානව හිමිකම් කාර්යාලයට ගොස් පැමිණිල්ලක් කළා. කොළඹ මානව හිමිකම් කාර්යාලයට ගොස් පැමිණිලි කළා. එහෙත් එම ආයතනවලින් මගේ දරුවා සොයා ගැනීමට කිසිම උපකාරයක් ලැබුණේ නැහැ.
රටේ විවිධ ප්‍රදේශවල මගේ පුතාගේ ඡායාරූපයක් ගෙන ඔහු සොයා ඇවිද්දා. අවසානයේ මගේ පුතා ඉගෙනුම ලබන පාසල සොයා ගැනීමට මට හැකියාව ලැබුණා. මගේ මිතුරියක් විසින් ලබාදුන් තොරතුරක් අනුව 2016 වසරේදී මගේ පුතා අම්පාර සද්ධාතිස්ස පාසලේ ඉගෙන ගන්නා බව දැන ගත්තා. මගේ පුතා ඒ නමින්ම සිංහල පාසලේ ඉගෙනුම ලබමින් සිටියා. නමුත් මට මගේ දරුවා බැලීමට පාසලෙන් අනුමැතිය ලැබුණේ නැහැ.
මම දරුවා හඳුනා ගත් බව මගේ දරුවා හදාවඩා ගත් සිංහල මවුපියන්ට ආරංචි වී තිබුණා. පසුව දරුවා දැකීමේ දැඩි ආශාවක් ඇතිවුණා. මට වුවමනා වුණේ දරුවා දකින්න විතරයි. මම රෙදිපිළි, විවිධ විසිතුරු භාණ්ඩ අලෙවි කරන්නියක් වගේ වෙස් වළාගෙන ගොස් මගේ දරුවා සිටි නිවෙස සොයා ගත්තා. අවසානයේ මම මගේ පුතා සිටින නිවෙසටම ගොස් ඔහුව හමු වුණා.ඔහුගේ මව මම බව පැවසුවා. දරුවා මාව හඳුනා ගත්තා.
මගේ දරුවා නීත්‍යනුකූලව නැවත ලබාගැනීමට වුවමනා වුණා. බොහෝ බලධාරීන්ගෙන් මම උපකාර ඉල්ලා සිටියා. අවසානයේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පවා උපකාර ඉල්ලා සිටියා. ලිපි යොමු කළා. ඉල්ලීම් කළා. නමුත් ඔවුන්වත් මට උපකාර කළේ නැහැ.
දෙවියෝ මාව අත්හැරියේ නැහැ. මගේ දරුවා මට ලැබුණේ වසර 16කට පසුවයි. මගේ පුතා දැන් හින්දි නළුවෙක් වගෙයි. මගේ දරුවා හදාවඩාගත් මවුපියන්ට ඕනෑම වේලාවක පැමිණ දරුවා බලන්න පුළුවන්.